මාලබේ-පිටකොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරඹේ | Page 2 | සිළුමිණ

මාලබේ-පිටකොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරඹේ

ඇමෙරිකානු ඩොලර් මිලියන 1700ක් වැය කර මාලබේ සිට පිටකොටුව දක්වා ඉදි කෙරෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ කටයුතුවල මූලික අදියර පසුගිය සිකුරාදා (29) ආරම්භ කරන ලදි.

ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ලබන වසරේ එහි විස්තරාත්මක සැලසුම නිම කිරීමටත්, 2020දී ඉදි කිරීම් කටයුතු ආරම්භ කොට 2024දී ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කර ජනතා අයිතියට පත් කිරීමටත් නියමිතය. මේ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියට සමගාමිව තවත් දුම්රිය පද්ධති 6ක් සමඟ සැහැල්ලු දුම්රිය මාර්ග 7ක් ස්ථාපිත කෙරෙන අතර, එයින් 2ක් සඳහා මේ වන විට ආධාර ලබා දීමට ජයිකා ආයතනය ඉදිරිපත්ව ඇත. මේ සැහැල්ලු දුම්රිය පද්ධතියට අදාළ සියලු මුදල් ජයිකා ආයතනය විසින් 0.1%ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබා දීමට නියමිතය.

මැදිරි 3කින් සමන්විත මේ සැහැල්ලු දුම්රියයක එක් මැදිරියක මඟීන් 80කට පමණ ඉතා පහසුවෙන් ගමන් කළ හැකිය. එසේම මේ මේ සැහැල්ලු දුම්රියන්ට සාමාන්‍ය දුම්රියට මෙන් නොව, කඳු තරණය පහසුවෙන් සිදු කළ හැකිය‍.

ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව ජයිකා ආයතනයේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී ෆුසාටෝ ටනාකා මහතා (Fusato Tanaka) විසින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා වෙත නිල වශයෙන් භාර දීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය (www.clr.lk) ස්ථාපනය සිකුරාදා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Comments