
තිස් වසරක් පැවැති කොටි ත්‍රස්තවාදී යුද්ධයෙන් විනාශ වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව අති විශාලය. පොලිස් සහ හමුදා නිලධාරීහු ද දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූහ. විශේෂයෙන් උතුරු කරයේ සේවාවල යෙදී සිටි විශාල පිරිසක් සදාකාලික ආබාධිත බවට ද පත්වූහ. කොටි ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාර සහ වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවේ එවැනි සිදුවීම් සිතන්නට හෝ අවස්ථාවක් නොමැතිවය. එහෙත් ත්‍රස්ත ප්‍රහාර මනසින් දැකීම නිසා ජීවිත බේරුණු පොලිස් නිලධාරීහු ද සිටිති.
කොටි ත්‍රස්ත ප්‍රහාර සිදුවීම පිළිබඳ මනසින් දැකීම නිසා ජීවිත බේරුණු නිලධාරීන් දෙදෙනෙක් අදත් ඒ පිළිබඳ මවිතය පළකරති. ඔවුන් දෙදෙනා ම ඒ වන විට සේවයේ යෙදී සිට ඇත්තේ උතුරුකරයේ පොලිස් ස්ථානවල ය. ඉන් එක් නිලධාරියෙක් විශ්‍රාම යනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට ද උසස්වීම් ලැබීමෙන් පසුවය. ඔහුගේ මනෝ සංඥාව නිසා ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ ඔඩ්ඩු සුඩාන් පොලිසියට කොටි ප්‍රහාර එල්ලවූ අවස්ථාවේදීය.
මහනුවර පදිංචිව සිටි සමන්ගේ දෙමාපියෝ තම පුත්‍රයාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කළහ. පොලිස් සේවාවට ළැදියාවක් දැක්වූ සමන් 1980 වසරේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් විය. එහි පුහුණුව නිම වීමෙන් පසු උප පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස ඔහු පොලිස් සේවාවට ඇතුළත් විය.
ගල්කිස්ස, වත්තල, කඳාන ආදී පොලිස් ස්ථානවල සේවය කළ සමන් රත්නායක මහතා ඉතා කෙටි කලකින් පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලැබීය. අනතුරුව කොටි සටන් උග්‍රව පැවති සමයේදී ත්‍රිකුණාමලය, මුතූර්, කන්කසන්තුරේ, මහඔය සහ ඔඩ්ඩුසුඩාන් යන පොලිස් ස්ථානවල ද සේවයේ යෙදී සිටි ඒ මහතා හොරණ සහ පාණදුර පොලිස් කොට්ඨාසවල පොලිස් අධිකාරිවරයා ලෙස ද සේවය කළේය. පනාමුරේ හස්ති රාජ පදනම යටතේ පනාමුරේ ඇත්ගාල ආරක්ෂක වැඩපිළිවෙළ ද සකස් කිරීමට පුරෝගාමියෙක් විය.
කොටි ප්‍රහාරයකින් ඒ මහතාගේ ජීවිතය බේරා ගත හැකිවූ මනෝ සංඥාවක් ඔහුට ලැබී ඇත්තේ 1985 වසරේදීය. එය සිදුවූයේ ඔහු ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ රාජකාරි බාර ගත් අවස්ථාවේදීය. එදා ඔහු එම පොලිසියේ රාජකාරි බාරගනු ලැබුවේ දෙමසක් තිස්සේ එහි පුරප්පාඩුවී තිබූ තනතුර සඳහාය. එදා එම පොලිස් ස්ථානය පිහිටා තිබුණේ දෙමහල් ගොඩනැඟිල්ලකය. එහි සේවය ආරම්භ කළ සමන් රත්නායක මහතාට එදින උදේ භයානක අනතුරක මනෝ සංඥාවක් දැනෙන්නට විය.එනම් එදින පොලිස් ස්ථානය විනාශ කරන කොටි ප්‍රහාරයක් එල්ලවන බවය. පොලිස් නිලධාරීන් රැස් කළ ඒ මහතා වහාම පොලිසියේ ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් දුන්නේය. ආරක්ෂක අගල් කැපීම් ඇතුළු වැලිගෝනි රැස්කිරීම ද ක්‍රියාක්මක කළේය. එදින උදේ සිට ඒ සියලු කටයුතු යුහුසුලුව සිදු කරමින් තිබිණි. දැන් දැන් ප්‍රහාරය එල්ලවන බැව් ඔහුට මනසින් දැනෙන්නට විය. පැය කීපයක් ගත විය. ඒ අවස්ථාවේ ඔහු සිටියේ උඩු මහලේ කාර්යාලයේය. ආරක්ෂක කටයුතු තවත් තර කරන ලෙස ඔහු නිලධාරීන්ට නැවතත් පැවසීය.
වේලාව සවස පහයි තිහ විය. ආරක්ෂාව සඳහා පොලිසිය ඉදිරිපිට වැලිගෝනි ද යොදමින් තිබිණි. ක්ෂණයෙන් මහත් හඬක් නඟමින් කොටි ප්‍රහාරයක් පොලිසියට එල්ල විය. වෙඩි හුවමාරුවේදී ත්‍රස්තයන් තිදෙනෙකු මැරී වැටිණි. පොලිස් නිලධාරිහු කීප දෙනෙක් ද මරුමුවට පත්වූහ. පුපුරා ගිය බෝම්බයක් නිසා උඩු මහලට යෑමට තිබූ පඩිපෙළ ද සුනු විසුනු වී ගියේය. එහි සිටි පොලිස් නිලධාරියකුට දක්නට ලැබුණේ තවත් බෝම්බයක් පිපිරවීම සඳහා යොදා ඇති බවය. ඔහු වහාම සමන් මහතාට උඩු මහලෙන් පහතට එන ලෙස කෑගසන්නට විය. එහෙත් සමන්ට පහතට ඒමට පඩිපෙළක් නොතිබිණි. වෙනත් පැත්තකට ගිය ඔහු ජීවිතය පරදුවට තබා උඩු මහලෙන් බිමට පැන්නේය. දෙවැනි බෝම්බය අක්‍රියවීම නිසා එය පුපුරා නොගියේය. බිමට පැනීම නිසා ඇතිවූ ශාරීරික පීඩාවට බොහෝ කලක් යනතුරු ප්‍රතිකාර ගැනීමට සිදු වුවත් ඔහුගේ ජීවිතය බේරුණේය.
ඔහුට ඇතිවූ මනෝ සංඥාව පිළිබඳ සමන් රත්නායක මහතා අප සමඟ විස්තර කළේ මෙසේය.
“බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ උදේ සිට මගේ මනසට දැනුණේ එදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවයි. එය මගේ මනසට තදින් ම දැනුණා. වහාම ආරක්ෂක කටයුතු තර කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. එහෙත් වැලිගෝනි යෙදීමේ කාර්යය නිම කර ගන්නත් පෙර සවස ප්‍රහාරය එල්ල වුණා. මගේ මනසට එය දැනුණු ආකාරයට මට අදත් පුදුමයක්. ඒ තරමින් හෝ ආරක්ෂක ක්‍රියාවලිය කර ගන්නට බැරි වුණා නම් ඊටත් වඩා දරුණු තත්ත්වයක් එදා ඇතිවනවා. එවැනි මනෝ සංඥාවක් කිසි දිනෙක ඊට පෙර ඇති වුණේ නැහැ. පළමු බෝම්බයෙන් ගොඩනැගිල්ලට හානි සිදු වුණත් දෙවැනි බෝම්බයෙන් අප ආරක්ෂා වීමත් දෛවෝපගත සිදුවීමක් ලෙස මට සිතෙනවා.” එදා ඔහු මුහුණ දුන් සිදුවීම චිත්‍ර සටහනක් මඟින් ඇඳ පෙන්වීමට ද ඒ මහතාට හැකිවිය.
මේ අයුරින් ම පොලිස් සේවාවේ යෙදී සිටියදී ලද මනෝ සංඥාවක් නිසා ජීවිතය බේරුණ නිලධාරියකු වන්නේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වූ චාමින් වර්ණකුල මහතාය.
චාමින් තරුණ වයසේ සිට ම කරාෙට් පිළිබඳ දැඩි ඇල්මක් දැක්වීය. කළුතර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ චාමින්ට කරාටේ පුහුණුවක් සඳහා ඉන්දියාවට යාමට ද අවස්ථාව ලැබිණි. ඉන්දියාවේ කරාටේ විශේෂඥයෙකු වූ රාජා මාස්ටර්ගෙන් කරාටේ පුහුණුවක් ලබාගත් චාමින්ට තවත් ආසාවක් ඇති විය. එනම් භාවනා සහ යෝගීන් පිළිබඳවය. එය ද ප්‍රගුණ කළ චාමින් වර්ණකුල මහතාගේ සිත ඇදී ගියේ පොලිස් සේවාවට එක්වීමටය.
පියාගේ ද මඟ පෙන්වීම යටතේ චාමින් 1987 වසරේ දී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්වීය. සය මසක පුහුණුවෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස එක්වූ ඒ මහතා ප්‍රථම වරට පොලිස් රාජකාරි ආරම්භ කළේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. ඒ වන විටත් ඔහුගේ දිනචර්යාවට ඇතුළත් වූ එක් අංගයක් වූයේ සුළු වේලාවක් දිනපතා ම යෝග අභ්‍යාස කිරීමය. ඒ වන විට චාමින්ට සේවය කිරීමට සිදුවූයේ ත්‍රස්ත ප්‍රහාර එල්ලවන ගම් ප්‍රදේශවලය. එම ගම්මානවල ආරක්ෂක කටයුතු සඳහා යවනු ලබන පොලිස් කණ්ඩායම්වලට ඔහු ද ඇතුළත් විය.
අම්පාර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වූ බක්මිටියාවට ආරක්ෂාව සැලසීම ඔවුන් වෙත පැවරී තිබිණි. වරින් වර පොලිස් නිලධාරීන් දොළොස් දෙනෙකු පමණ එහි යා යුතු විය. සිංහල පවුල් විසි පහක් පමණ ඒ වන විට එහි පදිංචිව සිටියහ. චාමින් පවසන පරිදි මනෝ සංඥාවක් නිසා ඔහුගේ ජීවිතය බේරුණේ 1988 වසරේදී ය. එදින බක්මිටියාව ග්‍රාමයේ ආරක්ෂක කටයුතු සඳහා ගිය පොලිස් කණ්ඩායමට චාමින් ද ඇතුළත් කර තිබිණි. පසුදාට බක්මිටියාවේ ආරක්ෂක කටයුතු සඳහා යන ලෙස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් ඔහුට නියෝගයක් ලැබිණි. ඔවුන් ඒ සඳහා උදේ 6.30 පිටත් විය යුතු විය. ඔවුන් ගමන් කළ යුතුව තිබුණේ අත් ට්‍රැක්ටරයකිනි. එදින උදේ භාවනාවේ යෙදී සිටි චාමින්ට මහා භයානක දර්ශනයක් මනසේ මැවී පෙනිණි. ඒ ඔවුන් ගමන්ගත් ට්‍රැක්ටරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන අයුරුය. ඇතැම් නිලධාරීන්ගේ අත් පා ගැලවී යන අයුරු ද ඔහුට දර්ශනය විය. ඔහුගේ මනසේ සිද්දිය නැවත නැවත දර්ශනය වූයේ රූපවාහිනී තිරයක මෙ නි. එම දසුනෙන් පසු තමා එදින බක්මිටියාවට නොයා යුතු බැව් ඔහුගේ සිත කියන්නට විය. ඔහු වහා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවී බක්මිටියාවේදී මහා අනතුරක් සිදු වන බවත් එහි යාමට නොහැකි බවත් කීවේය.
ඔහු එකල සිටියේ පරිවාස කාලයකය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ, නියෝග පිළිනොපැදීම වැඩ තහනමකට වුවත් ලක්විය හැකි බවය. කෙසේ වෙතත් එදින එම වාහනයෙන් නොගොස් පසුදින හමුදා වාහනයකින් යෑමට චාමින් පොරොන්දු විය. එම පොරොන්දුව මත චාමින්ට පසු දින යෑමට අවසර ලැබිණි. එදින යෑමට නියමිතව සිටි පොලිස් නිලධාරීහු ට්‍රැක්ටරයෙන් පිටත්ව ගියහ. ගතවූයේ පැය කීපයකි. හරියට ම උදේ 10.30 ට එම පිරිස ගමන් ගත් ට්‍රැක්ටරයට කොටි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එහි ගමන්ගත් ට්‍රැක්ටර් රියදුරු ඇතුළු පිරිස ත්‍රස්තයන් විසින් ඝාතනය කරනු ලැබීය. චාමින්ගේ මනසට දර්ශනය වී තිබූ අයුරින් ම එම ඝාතනය සිදුවී තිබීම අතිශය පුදුම උපදවන සුලුවිය.
එම මනෝ සංඥාව ලැබීම පිළිබඳ චාමින් වර්ණකුල මහතා එදා අප සමඟ අනාවරණය කළේ මෙසේය. “පොලිස් සේවාවේ යෙදී සිටියදී සැමදා ම උදේට භාවනාවේ යෙදී සිටීම සිරිතක් වී තිබුණා. එය මා දීර්ඝ කාලයක සිට ප්‍රගුණ කර තිබූ යෝගී පිළිවෙතක්. එදා ඒ අනතුර සිදුවීමට පෙර උදෙත් මා සිරිත් පරිදි භාවනාවේ යෙදී සිටියා. එක්වරම මගේ මනසට චිත්‍රයක් ලෙස එම අනතුර සිදුවන අයුරු මනසින් දුටුවා. පොලිස් නිලධාරීන් රැගත් ට්‍රැක්ටරයට ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අයුරු මට දර්ශනය වුණා. හරියට රූපවාහිනී තිරයකින් පෙනෙනවා වගෙයි. එම සිදුවීම කීප විටක් ම එක ම අයුරින් මගේ මනසින් දර්ශනය වුණා. කොටි ප්‍රහාරය ඔවුන් වෙත එල්ල වී තිබුණේ හරියට ම මා මනසින් දුටු අයුරින් ම වීම පුදුමයක්.” යයි වර්ණකුල මහතා පැහැදිලි කළේය.