උදාව | සිළුමිණ

උදාව

මේ ස්පාඤ්ඤයේ කැබර්සෙනෝ වනපෙතේ හිරු උදාවකි. වර්ග සැතපුම් තුනක් අරා විහිදුණු මේ අභයභූමියේ මෙතෙක් කල් රජකෙරුවෝ පතල්කාරයෝය. ඔවුන්ගෙන් මුදාගත් බිම අද ජීවී විශේෂ සියයකට අධික පිරිසකට නිදහස් නිවහනක් සාදා ඇත.


හැට හත් වසක වසන්තය

වසන්තය කියන්නේ ආදරයයි. හිරිමල් වියේදී ජීවිතයට එන වසන්තය, කාලයේ අැවෑමෙන් අවපැහැව තුරුපත් වියැකෙන සරත් සමයට පෙරළෙයි. ඒත් ආදරය නොවෙනස්ව තිබුණොත් වසන්තය හැමදාම තියේ.

එක වහලක් යට ගෙවූ හැටහත් වසක් දිගු වසන්තය අබියස කාල් සහ ජොආනා තවම තරුණය.

ඔවුන්ගේ ප්‍රේමණීය ජීවිත කතාවේ ලස්සනම පිටු රාමුකර බිත්තියේ එල්ලා තිබේ. එදා ඒ පින්තූරවල උණුහුමට ගුලිව සිටි දූදරුවෝ අද ලොකු මිනිසුන්ව කාර්යබහුලය. ඒ ලොකු මිනිසුන් තැනූ කාල් සහ ජොආනාගේ ආදරය පිරි සදාකාලික වසන්තය ගැන මේ පින්තූරය කැමරාවට හසුකර ගත්තේ ඡායාරූප ශිල්පී මෙග් බ්‍රොක්ය.


ජීවිතය හැඩ කරන නිමිති

මේ මිතුරුකම මිනිස් පරිණාමය දක්වාම ඈතට දිවෙන්නකි. නැගෙනහිර යුරෝපයේ බෙලරස් රටේ වියපත් කායවර්ධන ශිල්පී කිරිල් ඩබ්කොව්ටත් එහෙවු මිතුරෙක් සිටී.

එදවස ව්‍යායාමයෙන් වෙහෙස වී හැඩ කරගත් සිරුර කන්නාඩියකින් දුටු විට හිතට දැනුණු සතුට කිරිල්ට අද ලබාදෙන්නේ මේ කුඩා මිතුරාය. ඇලස්කන් මැලමියුට් වර්ගයේ බලු සුරතලුන් ඇති කිරීම කිරිල්ගේ අද විනෝදාංශයයි. ජීවිතය හැඩ කරන්නට කුඩා නිමිත්තකුත් සෑහේ.

Comments