සිංහරාජයේ අවසන් අලි දෙදෙනාගේ ඉරණම | Page 4 | සිළුමිණ

සිංහරාජයේ අවසන් අලි දෙදෙනාගේ ඉරණම

ඒ 2011 වර්ෂයයි. සිංහරාජ වන පෙතේ වෙසෙන “පණුදළයා” නම් අලියා ඒ අවුරුද්දේ ගම් වදිමින් සිටි සම‍යකි. ගම්මු අලියාට බියපත්වද, ප්‍රකෝපවද සිටියහ. ඒ අතරේ එක්තරා බීමත් ගැමියෙක් “අද මම මුගේ නැට්ට කපා පෙන්නන්නං” කිය කියා අලි වෙඩි පත්තු කරමින් පණුදළයා පස්සේ පැන්නුවේය. ඒ වීර කතාවට වැඩි වේලාවක් ගතවුණේ නැත. ටික වෙලාවකින් මේ තැනැත්තා බීමතින් ඉන්නා බව ගඳින් දැන අලියා ඇසිල්ලකින් පෙරට ආවේය. නැට්ට කපන්නට තියා අඩි දහයක් දුර දුවා ගන්න‍ටවත් අවසර නොදෙමින් බීමත් පුද්ගලයාගේ ජීවිතය අවසන් කළේය. අලිමිනිස් ගැටුම ගිණුමට තවත් එක් මිනිස් ජීවිතයක් නිස්කාරණේ එකතු විණි.

ඒ එක් සිද්ධියක් පමණි. සොබාදහමට අභියෝග කරනා මිනිසුන් “වීරයන්” වන්නේ බොහෝ තාවකාලික කුඩා කාලයකට පමණි. සිංහරාජයේ අවසාන වන අලි දෙදෙනා පිළිබඳ බලධාරීන්ගේ කතාවද ඉහත අප ලියා ඇති කතාවට යම් තරමක් සමාන වෙයි.

සිංහරාජ වන පෙතේ අලි දෙදෙනා ගම්වැද මිනිස් ජීවිත බිලිගන්නා නිසා අලි අල්ලා හොරොව්පතානට ගෙනගොස් දමන්නට වන ජීවී දෙපාර්තමේන්තුව ගිය සතියේ බදාදා තීරණය කළේය. අලි දෙන්නා ඇල්ලීමේ මෙහෙයුමට වන ජීවී දෙපාර්තමේන්තුවේ පංශු ‍ෛවද්‍යවරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට නියෝග ලැබිණි. ඒ දෙප‍ාර්තමේන්තුවට අනුබද්ධ පශු වෛද්‍යවරුන් එය කිසිසේත් නොකළ යුතු දෙයක් යැයි කියා ඊට විරෝධය පළ කරද්දී, ගුවන් හමුදා පශු වෛද්‍යවරු ඒ රාජකාරියට අනුයුක්ත කරනු ලැබුහ. සිංහරාජයේ අලි ඇල්ලීමේ මෙහෙයුම ගැන රටේම අවධානය යොමුවුයේ මේ සිදුවීම් මාලාවත් සමඟනි. ප්‍රබලව නැගුණු ජන විරෝධය මැද ජනපති අණින් අලි මෙහෙයුම තාවකාලිව දැන් නතර කෙරී තිබේ.

සිංහරාජ වනාන්තරය නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. ජෛව පද්ධතියේ අපුර්වත්වය නිසාම 1988 වසරේ දී මිනිසා සහ ජෛවගෝලය වැඩසටහන ය‍ටතේ යුනෙස්කෝව එය ලෝක උරුම රක්ෂිතයක් හැටියට නම් කළේය. සිංහරාජ වනාන්ත‍රයේ ශාක, සත්ත්ව හෝ ජානමය දේ කිසිවක් වනාන්තරයෙන් පිටතට ගෙනයෑම තහනම් කෙ‍රුණේ ඒ හේතුවෙනි. මෙහෙව් සිංහරාජයේ අභිමානය හෙවත් තේජාන්විත සලකුණ “සිංහරාජා” ය මල්පෙත්තක්, ගස් පොත්තක්වත් වන මායිමෙන් පිටතට ගෙනයෑම තහනම් කර තිබියදී මේ රටේ වනජීවී ඇමතිතුමාගේ අණින් සිංහරාජයේ තේජාන්විත සලකුණ වනයෙන් පිටමං කිරීමට පිඹුරුපත් සැකසීම විස්මයකි.

මෑත ඉතිහාසයේ සිංහරාජ වනාන්තරයෙන් වාර්තාවන වන අලි ගණන තිදෙනෙකු බව ගම්මු පවසති. ඒ, ඇතින්නක සහ අ‍ැගේ පැටවුන් දෙදෙනකු වශයෙනි. මෙහි සිටින අලි ගණන කීයද කියා වත් පර්යේෂණයක් කරන්නට බලධාරීන් උත්සුක වී නැති නිසා, අලි ගණන ගැන දත්ත සකස්කරන්නට වෙන්නේ ගම්මුන් කියන තොරතුරු සැලකිල්ලට ගනිමිනි. එයිනුත් ඇතින්න මෑත කාලීනව අතුරුදන් වී සිටින බව ගම්මු කියති. ඇතැම්විට ඈ ස්වභාවිකව මිය ගියා ‍හෝ වෙඩි වැදී මිය ගියා වන්නට පුළුවන. එනයින් දැන් සිංහරාජ වන පෙතේ ඉතිරිව සිටින අලි ගණන දෙදෙනකි. ඒ දෙදෙනාම එක ඇතින්නගේ පැටවුන් වන පිරිමි සත්තු දෙදෙනකි. ඒ නිසා ඒ පරපුර එතැනින් ඉදිරියට යෑමට කිසිසේත් අවකාශයක් නැති අතර, සිංහරාජයේ අලි පරපුර පිළිබඳ ඉතිහාසගත ජීවමාන සාක්ෂි සියල්ල ඔවුන්ගේ අභාවයත් සමඟ මිහිමතින් තුරන් වී යයි.

නමුත් අනෙක් අතට තර්ක නඟනවිට මේ අලි දෙදෙනා අහිංසකයන්ම නොවනා බවද පෙනේ. ඒ, මේ අලි දෙදෙනාගේ ප්‍රහාරවලින් ඉතිහාසය පුරා සිංහරාජය අවට ගම්මානවල ජීවිතක්ෂයට පත්වී ඇති මිනිසුන් ගණන 14ක් වන නිසාය. සිංහරාජ වනපෙත අවට පර්යන්ත කලාපයක් (Buffer Zone) නැති කම නිසා වනයෙන් පිටතට පැමිණි ගමන් මේ වන අලින්ට හමුවන්නේ ජනාවාසකරණය වූ ගම්මානයි. ඒ අනුව මේ වනවිට මානික්කවත්ත, සයිප්‍රස්වත්ත, දොළේකන්ද, රජවත්ත, කෝපි කෑල්ල, කජු ගස් වත්ත, හඳපාන ඇල්ල, රඹුක, තේ කොටුව, තණබෙල, පනහැටගල, වැවගම, තුඩව, කත්ලාන වැනි ගම්මාන රැසක මිනිසුන්ට වන අලි තර්ජනයට මුහුණ පෑමට සිද්ධ වී ඇත. මිනිසාද, අලියාද යන වරණ දෙකෙන් එකක් විතරක් තෝරා ගන්නේ නැතිව දෙපාර්ශ්වයේම හිත සුව සඳහා වැඩ පිළිවෙලක අවශ්‍යතාව බරපතල ලෙස දැනෙමින් පවතී. ඒ සඳහා විෂය පිළිබඳ ප්‍රාමණික දැනීමක් ඇති විශේෂඥයන්ගේ උපදෙස් පැතිය යුතුය.

පරිසරවේදී නයනක රන්වැල්ල මහතා මේ තත්ත්වය විග්‍රහ කරන්නේ පහත අයුරිනි.

“අලියකුට තමන්ගේ වාසස්ථාන කලාපය හෙවත් Home range එක ගැන අවබෝධයක් ලැබෙන්නේ උගේ පැටි වයසේදීයි. අලි පැටියාට ඒ සීමාව පෙන්වන්නේ මවු කෙනෙරයි. එහෙම සීමාව සහතික කරගන්නා අලියා, පොළොවේ චුම්බක ශක්තිය සමඟ මොළය ක්‍රියාත්මක කරමින් ජීවිත කාලය පුරා තමන්ගේ වාසභූමිය තීරණය කර ගන්නවා. අලි මංකඩවල් ඔස්සේ අලි ඇතුන් ඒ සහජ ඉවෙන් ගමන් ගන්නකොට ඉදිරියට හමුවෙන බාධක ගැන ඌ තකන්නේ නැහැ. ඔවුන්ගේ ගමන් මාර්ගයේ නිවාස, තාරපාරවල්, ගොවිබිම්, වාහන සහ මිනිස්සු හිටියොත් ඌ ඒවා නොතකමින් තමාගේ පාරේ තමාගේ ගමන් බිමන් යනවා. අලි මිනිස් ගැටුමක් නිර්මාණය වෙන්නේ අන්න එතැනදීයි.”

“දඩබ්බර යැයි අල්ලා ගන්නා වන අලි වෙනත් වනාන්තරවලට ගෙනගොස් දැමීම කියන සංකල්පය ඉතාම ප්‍රාථමික එකක්. මොකද පහුගිය කාලයේ වනාන්තරවලින් අල්ලලා , කර පටි දාලා ගෙනිහින් දාපු අලි 17 දෙනාම ආපසු මොන විදියෙන් හරි තමන්ගේ Home range එකට ආවා. සමහරු තුන්පාරක් ගෙනිහින් දැම්මාම තුන්පාරම ආපසු ආවා. ඔවුන් ඇවිදින‍්නේ පොළොවේ චුම්බක ශක්තිය සමඟ මොළය ක්‍රියාකාරී වී මෙනුයි .”

“එහෙම ගෙනිහින් දාපු සමහර අලි ඒ එන මඟදි ගම් වැදිලා නොයෙක් උවදුරුවලට මුහුණ දීලා මඟදි මැරුණා. සමහර අලි ඒ ආපහු එන ගමනේදී මිනිසුන්ව මැරුවා.මේ දෙකෙන් කොයි එක වුණත් ඒක මහ අපරාධයක්. මේ නිසා වනජීවි දෙපාර්තමේන්තුව 2016 වසරේදී පමණ ප්‍රතිපත්තියක් හැටියට තීරණය කළා අලින්ව එහෙම ගෙනිහින් දාන වැඩේ අසාර්ථකයි කියලා.”

“නමුත් දැන් බලධාරීන් ආපහු මේ අලි එහෙ මෙහෙ ගෙනියන ක්‍රීඩාව පටන්ගෙන තියෙන බව පේනවා. හොඳම උදාහරණය ගල්ගමුවේ ඒක දන්ත කියන ඇතා මීට මාස දෙක තුනකට කලින් බලහත්කාරයෙන් පටවා ගෙන ගිහින් හොරොව්පතානේ ඇත් ගාලට මුදා හැරිය එක. ඌව ගෙනියන්න කලින්ම අපි කිව්වා ඒක අසාර්ථක උත්සාහයක් වෙනවා කියලා. ඒ වගේම හරියටම දින 10 ක් ඇතුළත ඌ කඩාගෙන ආපහු ආවා. සිංහරාජයේ අලි දෙන්නා හොරව්පතානට ගෙනිහින් දැම්මත් ලැබෙන්නේ ඒ පිළිතුරම තමයි. මේ වැඩේ නිසා අලින්ගේ හෝ මිනිසුන්ගේ ජීවිත විනාශ වෙන්න තියෙන අවදානම වැඩියි”.

සිංහරාජ වනාන්ත‍රයේ වන අලි දෙදෙනා අල්ලා ගෙනගොස් දැමීමට යෝජනා වූයේ හොරොව්පතාන ප්‍රදේශයේ හෙක්ටයාර් 3000 කින් සමන්විත විදුලි වැටකින් ආවරණය කළ අලි රැඳවුම් මධ්‍යස්ථානයටය. ගත වු අවුරුදු පහ තුළ හොරොව්පතානට ගෙනගොස් දමා ඇති මුළු අලි ඇතුන් ගණන 60 කි. ඒ හැටෙන් භාගයකට ආසන්න පිරිසක් හොරොව්පතා‍නේදී මිය යන්නට වුණි. හොරොව්පතානට ගෙන ගොස් දැමුණේ රටේම සිටිනා දඩබ්බර යැයි කියන අලි ය. දඩබ්බර අලියෙකු යනු තමාගේ පෞරුෂය පිළිබඳ විශාල අභිමානයක් ඇති සතෙක් බව නොඅනුමානය. අභිමානය අහිමිවීම පිළිබඳ ශෝකයෙන් රෝගීව ඇතැමුන් මිය ගිය අතර, අනෙක් අලි සමඟ දබර කර ගැනීමෙන් සහ ආහාර හිගතාව හා පෝෂණ ඌනතා හේතුවෙන් ඒ මරණ සහතික ලියැවුණු බව තතු දන්නෝ දනිති.

වන අලි ලොරි රථවල පටවා දුර ගෙනයාමද අතිශය අවදානම් සහගත ක්‍රියාවකි. ඒ වාහනවල ගමන් යෑම ගැන ඔවුන්ට පෙර අත්දැකීම් නැති නිසාය. පෙරේදා සිංහරාජයේ අලියා පටවාගෙන යන්නට පැමිණි වනජීවී අමාත්‍යංශයට අයත් WP – IN 0513 දරන ලොරිය වනාන්තරය අසලට ගමන්කරන අතරතුරදී විදුලි රැහැනක් කඩාගෙන ගියේය. මේ ලොරියට අලියකු නංවා ගත්විට එහි උස තවත් අඩි 4 කින් වැඩිවේ. හොඬය ඔසවා අධිබල විදුලි රැහැන් ස්පර්ශ කරන්නට ඇති අවදානම අමතක නොකළ යුතු එකකි.

මීට පෙර මේ අයුරින් පටවාගෙන ගිය අලියකු වාහනය මදකට නතර කළ විට විදුලි රැහැනක් ස්පර්ශ කරන්නට යෑමේදී ඇත්ගොව්වා සතාගේ කකුලට පිහියෙන් ඇන්න පුවත කවුරුත් දන්නා කතාවකි.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අයත් වන්නේ වියළි කලාපයටයි. එහෙත් මේ අලි දෙදෙනා ජීවිත කාලයේ වසර තිහක් මුළුල්ලේම ජීවත් වුයේ වසරකට මිලිමීටර් 3000 ත් 5000 ත් අතර තරම් ඉහළ වර්ෂාපතනයක් ලැබෙන සිංහරාජ තෙත් වනාන්තරය තුළය.එහි ගෙන ගියා නම්, ඒ දේශගුණ වෙනස මේ අලි දෙදෙනාව රෝගී කරවනු නිසැකය. අනෙක් අතට හොරොව්පතනට ගිය පසු ජීවිතේ වසර 30 ක් අනුභව කළ ශාක විශේෂ නැතිවන නිසා වෙනත් අලුත්ම ආහාර රටාවකට හුරුවීමට ඔවුන්ට සිදුවේ.

සිංහරාජයේ වෙසෙන පිරිමි අලි දෙදෙනා යනු ඔවුන්ගේ පරපුරේ අවසාන සාමාජිකයන් වන නිසා ඔවුන් සම්බන්ධයෙන් මී‍ට වඩා විධිමත් සංරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කර යුතුව තිබියදී මේ සිදු කරන්නේ නියමිත කාලයටත් පෙරාතුව ඔවුන් මිහිමතින් තුරන් කිරීමට පසුබිම සැකසෙන වැඩසටහනකි.

සිංහරාජයේ අලි මිනිස් ‍ගැටුම නොසලකා හැරිය යුතු බව අපේ අදහස නොවේ. වඩාත්ම වුවමනා වන්නේ විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේදයකි. ඒ පිළිබඳව පරිසරවේදී නයනක රන්වැල්ල මහතාගේ යෝජනා මෙපරිදි වෙයි.

“සිංහරාජ අලියා අල්ලලා ඌ‍ට කරපටියක් පලඳවන්න ඕන. ඒක GPS සහVHS සංඥා වැඩ කරන දියුණු මට්ටමේ කරපටියක් විය යුතුයි. එතකොට අලියාගේ ගමන් බිමන් නිරීක්ෂණය කරන්න වනජීවී නිලධාරීන්ට පුළුවන්කම ලැබෙනවා. සිංහරාජය අවට ගම්මාන ආශ්‍රිතව දැනට තියෙන බීට්ටු කාර්යාල ගණන ප්‍රමාණවත් නැහැ. අවට ගම්මාන ආශ්‍රිතව තව බීට්ටු කාර්යාල හතරක් වත් පිහිටුවලා අලියාව තාක්ෂණයෙන් නිරීක්ෂණය කරන්න ඕන. අලියා ගමට එනවා නම් හෝ ජනාවාස දෙසට තර්ජනයක් ඇතිවෙනවා නම් සයිරන් මඟින් ගම දැනුවත් කරන්න ඕන. මොකක් හෝ දුරකථන සමාගමක් එක්ක එකතුවෙලා අලියා ගැන ගම දැනුවත් කරන්න එස්.එම්.එස් පණිවුඩ යවන ක්‍රමවේදයක් වුණත් අත් හදා බැලුවොත් අසාර්ථක වෙන එකක් නැහැ.”

“අපට ළඟම රට ඉන්දියාවේ මේවා ප්‍රායෝගිකව කරලා පෙන්නලා තියෙනවා. ඔවුන්ගේ අලි උවදුරු තියෙන ගම්මානවල මිනිසුන්ව ප්‍රාදේශිය ගුවන්විදුලි නාලිකා හරහා දැනුවත් කෙරෙනවා. ගොවිබිමේ ඉඳලා ගෙදර එන මිනිස්සු දන්නවා අලියා අද ඉන්නේ කොතැනද කියලා. මේ වගේ වැඩසටහන් නිසා ඉන්දියාවේ අලි මිනිස් ගැටුම 80% කින් සමනය වුණා. වනය වට කරලා වැටක් ගහනවා වෙනුවට ගම වටකරලා වැටක් ගැහීමත් කළා....”

සිංහරාජයේ අලි දෙන්නාට නැඟෙන විරෝධය පිටුපස අදිසි ජාවාරම්කරුවන් සිටින බවට ද මතයක් ඇත. ඉන් එකක් නම් හඳපානා ඇල්ල ප්‍රදේශයේ සිදු කරගෙන යන මහා පරිමාණ අනවසර පතල් ගැරීමයි. ඒවාට සම්බන්ධ අය කසිප්පු බී කැලය හරහා ගමන් කරති. එමෙන්ම සිංහරාජ වනයේ දැව ජාවාරම් කරුවන්ටද හිතුමතේ නිද‍හසේ වනයේ ගැවසෙන්නට දැන් නුපුළුවන් වී තිබෙන්නේ අලියා කොතැන සි‍ටී දැයි යන භීතිය සිතෙහි ගැවසෙන නිසා ය. එනයින් මේ අලි දෙන්නා සිංහරාජ වනාන්තරයේ තේජවන්ත මුරකාරයෝය.

මේ නිසා හොරොව්පතානට නොගෙනිච්චත් දැන් අලි දෙන්නාගේ ආරක්ෂාව ගැන වැඩිපුර සැලකිලිමත් වීමේ වගකීමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

ඒ , මේ උද්වේගකාරී දිනවල අහිංසක ගැමියන් විසින් අලියා මරා දැමුවාය යනුවෙන් පෙනෙන පරිදි ජාවාරම්කරුවන් විසින් අලියා මරා දමන්නට ඉඩ ඇති නිසාය.

වෙඩිල්ලක කම්පන තරංගය නිරීක්ෂණය කරන්නට ද පුළුවන්කම ඇති දියුණු තාක්ෂණික කර පටි ලෝකයේ දැන් නිපදවා තිබේ. සිංහරාජයේ තේජවන්තයන් දෙ‍පළටත්, රටේ සියලු වන අලින්ටත් ඉතා නුදුරු දිනකදීම රජය ගානේ එවන් කරපටියක් තෑගි ලැබෙනු දැකීම අපේ අපේක්ෂාවයි.

Comments