
මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟා වන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන - කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවිශේෂ ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණේ පළ විය. මේ සතියේ පළ වෙන්නේ එහි තෙවැන්නයි.
හැටන් සිට කොළඹ බලා ඇදෙන ටිකිරි මැණිකේ දුම්රිය නියමිත වේලාවට වඩා විනාඩි දහයක පමණ පමාවෙන් “බලන’ දුම්රිය පොළට ළඟා විය. මැදිරි පහකින් සමන්විත දුම්රියක් වූ එය මඟීන්ගෙන් පිරි පැවැතිණි. ඉරිදා දිනයක් වූ එදින උදෑසන කඩුගන්නාව පොළට ගිය අවට ගම්වාසීන් එම දුම්රියෙන් නැවැත පැමිණ තිබුණේ අතින් කටින් බඩු මලු එල්ලාගෙනය.
බලන දුම්රිය පොළට කොළඹ සිට දුර කිලෝමීටර් 99.17කි. සැතැපුම් 62.23කි. බලන දුම්රියපොළෙහි උස මුහුදු මට්ටමේ සිට මිටර් 428.2කි. දුම්රිය දෙකකට දෙපසට මාරු විය හැකි ලෙස අතුරු මාර්ග සහිත මෙම දුම්රිය පොළ මෙම මාර්ග කොටසේ හමුවන ප්‍රධාන දුම්රියපොළකි.
ආලින්දයටම පැමිණ ගෙට ගොඩ නොවී ගියා සේ දැනෙන්නට ඉඩ ඇති නිසා බලනට පැමිණි අපි ඓතිහාසික බලන කොටුවට ගොඩ නොවන්නේ නම් එය අඩුපාඩුවකි. ඒ නිසාම අපි බලන කොටුව නැරැඹිමට යෑමට තීරණය කළෙමු. දුම්රියපොළේ කඩුගන්නාව අන්තයෙන් ඇති පා මගක් දිගේ සැතැපුම් බාගයක් පමණ ඉහළට නැඟණු විට බලන සිට අමුණුපුරට දිවෙන පටු කාපට් පාරට පිවිසිය හැකිය.
ඒ අසලම වූ තේ කඩය කරන්නේ අතීතයේ ලංගම සේවකයෙකු වූ අනිල් අබේගුණවර්ධන මහතාය. ඔහුගේ කඩය ඉදිරිපස බංකුවක වාඩි වී කොච්චි සම්බෝලයක් සමඟ ඉඳිආප්ප කමින් මහ බිංගේ, වවුල් බෝක්කුව සහ කැටලේ ඇළ ගැන අසා තිබූ බොහෝ කතා තහවුරු කරගත් අපි, බලන අතීතය ගැන කතා ගොන්නක් සහිත ඔහුගේ මතක මඩිස්සලය තව තවත් හාරා බැලුවෙමු.
‘මගේ ඉඩම දෙපැත්තෙන් තමයි මොරගහ ඇළයි, කැටලේ ඇළයි යන්නේ…. මේවා අපේ පරම්පරා ඉඩම්. එදා බලනෙන් කෝච්චි පාරට අරගෙන තියෙන්නෙත් අපේ සීයලගේ ඉඩමෙන්.. මගේ ඉඩම අදත් සීමාවෙන්නේ කෝච්චි ස්ටේෂමෙන්….’
දුම්රිය පොළේ සිට සැතැපුම් භාගයක පමණ දුරක් ගෙවා පැමිණි අපි ඔහුගේ කීම විශ්වාස කළ නොහැකි අයුරින් බලා සිටියෙමු.
‘එන්න… මේ කඩේ පිටිපස්සට… මේ තියෙන්නේ ස්ටේසම… මේ පේන්නේ කෝච්චිපාර….”
පුදුමයකි! අපි සිටින ස්ථානයට මීටර් සියයක පමණ ප්‍රපාතයක වූ බිමේ බලන දුම්රිය පොළ පෙනිණි. සරුවට වවා තිබූ කරාබු ගස් අතරින් පෙනුණේ පැරණි බලන දුම්රිය පොළ අසලින් ඇදී යන දුම්රිය මඟයි… අපේ අවිශ්වාසය තවදුරටත් මඟ හරින්නට කටයුතු කළ ඔහු පරෙස්සමට තබා තබූ 1938 දී මහනුවර මිනින්දෝරුවකු වූ ෆ්‍රැන්සිස් මාපලගම විසින් අඳින ලද තම ඉඩමේ බිම්සටහනද ඉදිරිපත් කළේය. අවසානයේ අප තේරුම් ගත්තේ සැතැපුම් භාගයක් දුර ගෙවූ අප කන්දක් වටේ පැමිණ දුම්රිය පොළට මීටර සියයක් පමණ ඉහළ නැඟ නැවතී ඇති බවයි.
“ඒ කාලේ සුද්දා රේල් පාර හදන්න හැදුවේ මාකෙහෙල්වල පැත්තෙන්… රඹුක්කනින් වෙල් යය දිගේ මාකෙහෙල්වලට ඇවිත් එතැනින් වෙරළුගොල්ලට එන්න තමයි සැලසුම් කළේ… ඒ පැත්තෙන් පාර මැනපු කතාවක් සීයල අපිට කියල තියෙනවා. ඒත් බෑවුම වැඩි නිසා තමයි වටේ පාරෙන් කඩිගමුව, අලගල්ල, බලන කඳු මායිමෙන් වෙරළුගොල්ලට පාර දැම්මේ….”
“සුද්දා රේල් පාර හදන කොට මේ බලන හරියේ ඇරෙන්න අනෙක් හැම තැනම තිබුණේ කැලෑවල්… බලන කොටුව හදපු කාලේ ඒක බලාගන්න පැවැරුවේ අමුණුපුර මුදලි තුමාට… එතුමාගේ සහායට පදිංචි කරපු පවුල් හැටක් සුද්දා රේල් පාර හදන කාලෙත් මේ හරියේ පදිංචි වෙලා හිටියා… ඒ නිසානේ නුවර කඩුගන්නාව දිහා කෝච්චි පාරේ යන්න තහනම් කරලා ගහල තියෙන දැන්වීම් බලන - ඉහළ කෝට්ටේ අතර හයි කරලා නැත්තේ…. මොකද කෝච්චි පාරට දෙකඩ වෙච්ච අපේ ඉඩම්වලට යන එන එක තහනම් කරන්න සුද්දට බැහැනේ….අපි අදත් ඒවට යන්නේ කොච්චි පාර දිගේ... ”
ප්ලේන්ටිය නිවී සීතල වන තුරු ඇදී ගිය ඒ කතාව බෙහෙවින් රසවත් එකක් විය.
දුම්රියපොළේ සිට බලන කොටුවට කිලෝමීටර තුනක් පමණ තිබේ. දූරියන්, අලි ගැට පේර, අඹ සහ රඹුටන් වැවුණු සාරවත් ගෙවතු මැදින් වැටී ඇති පාරේ කඩුගන්නාව දක්වා ඇදෙන ලංගම බස් රථයක්ද වේ. වේලාව ඉතිරි කරගත යුතු නිසාම අපි ඒ ගමනට තුන්සක රියක පිහිට පැතුවෙමු.
ආරම්භයේදී මාර්ගයට දකුණු අන්තයේ වූ කැටලේ ඇළ නිම්නය ගමනේ අතරමැද දී වම් පසට මාරු විය. මේ ඉසව්වේදී පහතරට සිට උඩරටට ඇතුළු විය යුතු දුෂ්කර මාර්ගය විහිද තීබී ඇත්තේ කැටලේ ඇළ ඉස්මත්තේ වූ වෙල් යාය දිගේය. කැටලේ ඇළේ මුල් දියත්ත ඇරඹෙන්නේ බලන කොටුවට පහළින් වූ “කඩවත” අසලිනි.
“කඩවත” යනු දොරටුවයි. එනම් පහතරටින් උඩරටට ඇතුළු වූ කපොල්ලයි. අද මෙන් සෑම තැනින්ම මාර්ග විහිදී නොතිබුණු එකල මේ කඩවත යනු සුවිශේෂි ස්ථානයකි. මේ කඩවත පිහිටා ඇති ස්ථානයෙන් නැගෙනහිර අන්තයේ කදු මුදුනේ බලන කොටුව පිහිටා ඇත. දුෂ්කර බෑවුම් මාර්ගයක වෙල් යාය දිගේ පැමිණ සුවිශේෂී ගල් දෙබොක්කාවකින් ඇතුළු විය යුතු මේ ස්ථානය මුර කිරීමට මුර භටයන්ද, චර පුරුෂයන් හඳුනා ගැනීමට ඔත්තුකරුවන්ද, බදු අයකිරීමට භාණ්ඩාගාර නිලධාරින්ද රඳවා තිබී ඇත. මාර්ගයේ ගමන් කරන්නෙකුට අද ඒ ස්ථානය හදුනාගැනීමට ඇති එකම සලකුණ වන්නේ පැරණි කොස් ගසකි. එය හැඳින්වෙන්නේ “කඩවත කොස් ගස” නමිනි. ඒ සේවකයන් සඳහා සෙවණ, සිසිලස සහ ආරක්ෂාව ලබාදුන් ඒ කොස් ගස අද අනාරක්ෂිතව මහ මඟ අයිනේ හුදකලා වී තිබේ. දළබෑවුමකටත්, කාපට් ඇතිරුමටත් අතර පටු බිමක, කිසිදු සංරක්ෂණයකින් තොරව පිහිටි ඒ කොස් ගස තව කොතෙක් කලක් ආරක්ෂා වේදැයි සැක සහිතය. අප එහි යන විටත් එහි පහත අතු ඉවක් බවක් නොමැතිව කපා බෑවුමට දමා තිබෙනු දක්නට ලැබිණි.
“ඔය කොස් ගහයි කපොල්ලයි දැන් අයිති පුද්ගලික ඉඩමකට… බලන කොටුව අයිති බිම සුද්දා තේ වවන්න දුරයා කියල මිනිහෙක්ට වික්කා… ඒක පස්සේ බෙදිලා ගියා… කොටුව අයිති බිම පුරා විද්‍යාවට ගන්න කොට කොස් ගහයි, කපොල්ලයි අඳුරගෙන තිබුණේ නෑ.. ඒ නිසා මේ කොටස පවරගෙන නෑ… “ ත්‍රිරෝද රථයේ රියැදුරා අපිට තත්ත්වය පැහදිලි කළේ එලෙසය. අපි නිවැසියන් දැනුවත් කර ගල් තුනක් පිහිටි කපොල්ලේ සහ කොස්ගසේ ඡායාරූප ගත්තෙමු.
ඊළඟට තේවත්තක් මැදින් පිහිටි අඩි දෙකක් පමණ පටු පිවසුම් මාර්ගයක් දිගේ බලන කොටුව වෙත පිය මැන්නෙමු. මිටර තුන්සියයක පමණ පාගමනකින් පසු බලන කොටුවට පිවිසෙන්නට හැකියාව ලැබිණී. දැනට එහි ගොඩනැගිලි කිසිවක් නැත. අත්තේ ගලින් බැඳි පාදම පමණි. විසිර තිබූ ගල් එක්කර පසු කාලීනව සංරක්ෂණය කර ඇති ආකාරය හඳුනාගත හැකිය. සම චතුරස්‍රාකාර ආකාරයක් ගන්නා බලන කොටුව දිගින් අඩි 102 ක් ද පළලින් අඩි 116 ක් ද වේ. කළුගලින් ඉදි කළ පදනම් ප්‍රාකාරය අඩි 4 ක පමණ ඝනකමෙන් යුක්තය. මෙය බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කර කෙටි කලකට මුරපොළක් ලෙස භාවිත කර ඇත. ඒ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය 1830 සමයේ ඉදි වන තෙක්ය. කොටුවේ සිවු පසින් වක්‍රාකාර මුර අට්ටාල පිහිටා තිබුණු බව අත්තිවාරමෙන් පැහැදිලි වේ.
දෙපැයකට පමණ පසුව අපි යළිත් බලන දුම්රිය පොළට පැමිණියෙමු. අතිතයේදී සුද්දා “බලන” යන්න උච්චාරණය කර ඇත්තේ “Ballanny” යනුවෙනි. එහෙත් ඒ බවට වන සාක්ෂි කිසිවක් බලන දුම්රිය පොළේ නැත. 1926 දී අඳින ලද බලන දුම්රිය පොළ සහ ආශ්‍රිත සංඥා කුලුනු පද්ධතිය දැක්වෙන සිතියමේ පැහැදිලිව දක්වා ඇත්තේ “Balana” යනුවෙනි. නමුත් කඩුගන්නාව සහ ඉහළ කොට්ටේ දුම්රිය පොළවල වූ ටැබ්ලට් යන්ත්‍ර වල “Ballanny” යනුවෙන් සටහන් කර ඇති බව අසන්නට ලැබිණි. ඉදිරියේදී හමුවන ඉහළ කෝට්ටේ දුම්රිය පොළේදී ඒ ගැන විමසන්නට සිතා අපි බලන දුම්රිය පොළේ සිට පල්ලම් බසින්නට පටන් ගත්තෙමු.
බලන දුම්රිය පොළේ සිට මිටර් පණහක් පමණ පහළින් දකුණු පැත්තේ හමුවන ගරාවැටණු ගොඩනැගිල්ල පැරණි “බලන” දුම්රිය පොළයි. එය අතහැර දමා නව දුම්රිය පොළට මෙහෙයුම් කටයුතු මාරු වී ඇත්තේ 1992 දී පමණය. David Hyatt ගේ Railways of Sri Lanka” කෘතියේ සටහනකට අනුව මහනුවරට දුම්රිය මඟ ඉදිව ඇත්තේ 1867දීය. ආරම්භයේදිම ස්ථාපිතව නැතත් ඉතා ඉක්මනින් බලන දුම්රියපොළ ඉදිවන්නට ඇති බැවින් මේ ගොඩනැගිල්ල අතහැර දමන සමය වන විටත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් විය යුතුමය. නමුදු අද දක්වාම එය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සංරක්ෂණය කරන්නට බලධාරීන් කටයුතු කර නැත. දැන් හෝ ඒ සදහා පියවරගන්නට පමාවක් නැත්තේ තවමත් එහි වහලය සහ බිත්ති යහපත් තත්වයෙන් පවතින නිසාය.
කොහේදෝ සිට පැමිණි අකල් මහ වරුසාවක් කඩා වැටුණේ අප බලන දුම්රිය පොළ පසු කර මීටර එනසිය පනහක් පමණ ගිය තැනය. ඒ ආසන්නයේ දුම්රිය පාර අද්දර වූ නිවෙසක ඉස්තෝප්පුවට පිවිසි අප වැස්ස තුරල් වී යන තුරු එහි රැදී සිටියෙමු. දුම්රියෙන් යන මඟියෙකුට දුම්රිය මාර්ගය වූ සුන්දරත්වය අතරින් මෙවැනි නිවාස පැහැදිලිව හදුනාගත නොහැක්කේ ඒවා තුරු වදුලු අතරේ සැඟව ඇති නිසාය. නමුත් අප සිටි නිෙවසේ සිට දුම්රිය මඟට ඇත්තේ අඩි විස්සකට නොඅඩු දුරකි. අඩි පහළොවක තරම් උසෙකි.
විනාඩි දහයක පමණ වැස්ස අවසානයේ අපි නැවත දුම්රිය මඟට පිවිසුණෙමු. ඊළඟට අපට හමුවූයේ බිංගෙයකි. අංක 8 දරන ඒ බිංගෙය දිගින් අඩි 243කි. ලේඛනගත නාමකරණය එසේ වූවත් මේ බිංගෙයට බලන ප්‍රදේශවාසීන් කියන්නේ “වැලි බිංගෙය” කියාය. බිංගෙය ආසන්නයේම රේල් පාරට ආසන්නයේ වෙෙළඳසලක් ඉදිරිපිට සිටි ජේමිස් මාමගෙන් අපි ඊට හේතු විමසූවෙමු.
“ඔය බිංගේ දෙපැත්තෙන් වැලි කඩා වැටිල පාර පිරෙනවා.. ඒ නිසා තමයි ඕකට වැලි බිංගේ කියන්නේ...,”
පසුව එම බිංගෙය ආසන්නයට යළි ගිය අපට, කන්දේ ඉහළ සිට වැටෙන වැලි සිල්පර අතර රැදි තිබෙනු දැකගත හැකි විය.
“මෙතැනින් උඩ කන්දේ ඉස්සර තිබිලා තියෙන්නේ රබර් වත්තක්. ඒකේ කෙළවරේ බලන ඉස්කෝලේ… පරණ රබර් පැක්ටේරියකුත් ඔතන උඩ තියෙනවා… දැන් නම් ඒ ඉඩම බෙදිල ගිහින් තියෙන්නේ… ඉස්සර කිව්වේ ලිංගම්වත්ත කියලා… දැන් කියන්නේ මොටන කන්ද කියලා… හැබැයි මේ කන්ද නාය යන්න බලාගෙන තමා ඉන්නේ… අපිත් ජීවත්වෙන්නේ අවධානම් කලාපෙක. මගේ ගෙට පහළින් ගෙවල් දෙකක සෙනඟත් අයින් කළා... ” ජේමිස් මාමා ගේ පැහැදිලි කිරීම් රාශියකි.
“එහෙම වුණොත් කෝච්චි පාර…..”
“මහත්තුරු ඇවිත් බලල යනවා… එක එක කතා කියනවා…. කන්ද නාය ගිය දවසක කෝච්චි පාරත් වැහෙනවා තමා… සමහරවිට ආයෙ අරින්න බැරි වෙන්නම වැහිල යාවි… සාක්කි දෙන්නවත් ඉතුරු නොවි අපිත් පසුත් එක්ක මොරගහ ඇළටම තල්ලු වෙලා යාවි…..”
කොළඹ මහනුවර දුම්රිය මඟට ඇලුම් කරන සහසක් දනන් වෙනුවෙන් ඒ තීරණාත්මක දිනය උදා නොවේවායි පතමින් අපි ජේමිස් මාමාගෙන් සමුගෙන කුදිර පාලමත්, හකුරා වැටුණු ගලත් සොයා පල්ලම් බැස්සෙමු.
ස්තූතිය - අවසර ගැනීම් සම්බන්ධීකරණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැදුරු සමන් ගුණවර්ධන මහතාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී (සම්බන්ධිකරණ ලේකම්) විරාජ් නානායක්කාර මහතාට, තොරතුරු තහවුරු කර ගැනිමට සහය වූ කොටුව ස්ථීර මාර්ග පරීක්ෂක ඇන්ටන් වික්‍රමසිංහ මහතාට, නාවලපිටිය ප්‍රවාහන අධිකාරී කාර්යාලයට සහ ගමන ගවේශන කණ්ඩායමට
ලිංගම් වත්තේ වතු වේදිකාව ගැන විමසන චාරිකා සටහන ලබන ඉරිදා සිළුමිණේ….
ඡායාරූප - චතුර හේමාල්