පුතා සුදු කොඩියක් ඔසවාගෙන එනවා මා දුටුවා | සිළුමිණ

පුතා සුදු කොඩියක් ඔසවාගෙන එනවා මා දුටුවා

රණවිරු ගයාන්

සමීපතම නෑදෑයන්ට සහ හිත මිතුරන්ට විවිධ අනතුරු සිදුවීමේදී වෙනත් අයෙකුට ඇතිවන දැනීම් මනෝ සංඥා ලෙස හඳුන්වනු ලැබේ. මවුවරුන්ට, පියවරුන්ට, දූ දරුවන්ට දැනුණ එවැනි සිදුවීම් රැසක් පර්යේෂණවලට බඳුන් වී තිබේ. මනෝ සංඥා ලෙස පිළිගැනෙන එවැනි සිදුවීම් TELEPATHIC IMPRESSION යනුවෙන් සිදුකරන මනෝ විද්‍යා පර්යේෂණවලට ඇතුළත් වේ. දේශීය සහ විදේශීය පර්යේෂණවලින් හෙළි වූ එවැනි සිදුවීම් රැසක් සිළුමිණ ඔබ වෙත ගෙන එයි. මේ එහි පළමු වැන්නයි. සමහර විට එවැනි ම‍නෝ සංඥා ඔබේ ජීවිත අත්දැකීම් අතර ද තිබෙන්නට පුළුවන. එවැනි අවස්ථා ඇත්නම් අප වෙත ඉදිරිපත් කළ හැකිය.

මෙලොව ජීවත් වන සියලු ම ජීවීන්ට අනතුරු පිළිබඳව කල් ඇතිව සංඥා දැනෙන බැව් විද්‍යාත්මකව පිළිගත් සිද්ධාන්තයකි. විශේෂයෙන් ම මිනිසාගේ මනසට දැනෙන මනෝ සංඥා (TELEPATHIC IMPRESSIONS) සහ අධිමානසික සංජානනය (EXTRA SENSORY PERCEPTION) යනුවෙන් මනෝ විද්‍යාත්මක පර්යේෂණ සිදු කෙරේ. මේ පිළිබඳ පර්යේෂණ පවත්වන රටවල් අතර ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, කැනඩාව, ඉන්දියාව, බුරුමය, තායිලන්තය සහ ජපානය ද ප්‍රධාන තැනක් ගනී.

මිනිස් සිතේ ගමන් මඟ සෙවීමක් ලෙස හැඳින්විය හැකි මෙම සියුම් පර්යේෂණවලට දීර්ඝ ඉතිහාසයක් ද තිබේ. මනස පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණවලට දැඩි අවධානයක් යොමුවී ඇත්තේ 1884 දී පමණ ය. මිනිසාගේ මනසේ ඇතිවන අධිමානසිකත්ව ක්‍රියා සිදුවන ආකාරය නිරීක්ෂණය කළ සිදුවීම් STRENGTH OF THE EVIDENCE FOR EXTRASENSORY PERCEPTION FROM IMPRESSION CASES යනුවෙන් පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර ඇත. එවැනි පර්යේෂණ ප්‍රකාශයට පත්කළ ප්‍රකාශන අතර AMERICAN SOCIETY FOR PSYCHICAL RESEARCH AND BOSTON SOCIETY FOR PSYCHIC යන ප්‍රකාශන මුල් තැන ගනී.

මනසින් දැකීම පිළිබඳව සහ මනෝ සංඥා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවලට දැඩි උනන්දුවක් දැක්වූ මනෝ විද්‍යාඥයකු වූයේ ජර්මනි‍යේ ගොවින්ගන් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සුර්ටිබර්ටි අර්ටල්ය. මිනිස් සිතේ ගමන් මඟ සෙවීමට ඔහු විසින් සියුම් පර්යේෂණ රැසක් සිදු කරනු ලැබීය. කීපවිටක් ම ශ්‍රී ලංකාවට ද පැමිණි මහාචාර්ය සුර්ටි බර්ටි මනෝ සංඥා පිළිබඳ ON INDEVIDUAL DIFFERENCES IN EXTRASENSORY PERCEPTION යනුවෙන් සිදු කළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන් ලේ සබඳතා ඇති ඥාති හිතමිතුරන්ට ඔවුනොවුන්ගේ මනසින් ඇතිවන සබඳතා සෙවීමට මෙම පර්යේෂණ පවත්වනු ලැබේ. ඇතැම් පුද්ගලයන් ඔවුනගේ සමීපතමයන්ට සිදුවන අනතුරු මනසින් දැකීමක් සිදුවී ඇති බැව් ඇතැම් සාධක මඟින් සනාථ වී ඇත. එවැනි සිදුවීම් අතර දෙමාපියන්ට, දූ දරුවන්ට, සැමියන්ට, බිරියන්ට සහ හිතමිතුරන්ට ඇතිවූ මනෝ සංඥා නිසා ඇතැමුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිවූ අවස්ථා පවා තිබේ.

විදේශ මනෝ විද්‍යා පර්යේෂණයන් විසින් සිදු කර ඇති එවැනි සිදුවීම් රැසක් මනෝ විද්‍යා ග්‍රන්ථවලට ද ඇතුළත් කර ඇත. මීට වසර ගණනකට උඩදී පුත්‍රයෙකුගේ අනතුරක් මවකට මනසින් දැනුණු අවස්ථාවක් අතිශය පුදුම උපදවනසුලුය. එය සිදුවී ඇත්තේ නිව්යෝර්ක් නගරයත් වර්ජිනියා ප්‍රාන්තයත් අතරය. වර්ජිනියා සරසවිය පිහිටා ඇත්තේ වොෂින්ටන් සිට තවත් සැතපුම් සියයක පමණ දුරකින් චාලට්ස්විල්හි දීය.

වර්ජීනියා විශ්වවිද්‍යාලයේ සිසුවෙකුව සිටි රිචඩ් නතර වී සිටියේ තවත් මිතුරෙකු සමඟ එක ම කාමරයක ය. රිචඩ්ට ගමන් බිමන් යෑම සඳහා මෝටර් බයිසිකලයක් තිබිණි. 1961 පෙබරවාරි 12 වැනිදා තම ගමන් පහසුව සඳහා ඔහු මෝටර් බයිසිකලයෙන් යෑමට තීරණය කළේය. රථය වෙත ගිය ඔහු එය ගැනීමත් සමඟ ම ඔහුගේ තුනටියට දැඩි වේදනාවක් ඇති විය. එම වේදනාව ඔහුගේ පාදයක් දක්වා පැතිරිණි. දැඩි වේදනාව සමඟින් ඔහු විශ්වවිද්‍යාලය අසල පිහිටි වර්ජීනියා රෝහලට ඇතුළත් කරනු ලැබීය. එහිදී ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කැරිණි.

රිචඩ්ගේ පවුලේ අය පදිංචිව සිටියේ නිව්යෝර්ක් නගරයේ නිවෙසකය. තමාට සිදුවූ අනතුර මවට හෝ වෙනත් කිසිවෙකුට හෝ නොකියන ලෙස රිචඩ් තම කාමරයේ සිටි මිතුරාට පවසා තිබිණි. කිසිවෙක් දුරකථන ඇමතුමක් හෝ දුනහොත් ඔහු පුස්තකාලයට හෝ ඉවතට හෝ ගොස් ඇතැයි දැනුම් දෙන ලෙස ද රිචඩ් සිය මිතුරාට උපදෙස් දී තිබිණි. අනතුර සිදුවූ දින මව මුහුණ දුන් අත්දැකීම් අතිශය පුදුම උපදවන සුලුය. එදින නිව්යෝර්ක් නගරයේ නිවෙසේ සිටි රිචඩ්ගේ මවට එක්වරම තම පුත්‍රයා සිහිවිය. ඔහුට කිසියම් අසනීප තත්ත්වයක් ඇතැයි මවට සිතෙන්නට විය. ඇගේ මනසට දැනුණු එම සිතිවිල්ල සමඟම ඇයට මහත් අපහසුතාවක් ද දැනිණි.

මව රිචඩ්ගේ කාමරයේ දුරකථනයට ඇමතුමක් ගත්තේය. එහෙත් එයට පිළිතුරක් නොලැබිණි. එදින රාත්‍රිය පුරා කීප විටක් ම දුරකථනයෙන් පුත්‍රයා ඇමැතීමට ඇය උත්සාහ ගත් නමුත් එය කළ නොහැකි විය. පසුදා පහන් වන තුරු දැඩි අපහසුතාවෙන් සිටි ඇය පසු දින ද කීප විටක් ම ඔහුට ඇමතීමට උත්සාහ කළාය. අවසානයේ මවට රිචඩ්ගේ මිතුරා සම්බන්ධ කර ගැනීමට හැකි විය. ඔහු පැවසුවේ පෙරදින රිචඩ් හට සිදුවූ අනතුර නිසා රෝහල් ගත කළ බවය. නිවෙසට හෝ මවට හෝ ඒ පිළිබඳ දැනුම් නොදෙන ලෙස රිචඩ් උපදෙස් දී තිබීම නිසා මවට ඔහුගේ තත්ත්වය හෙළි නොකිරීම ගැන මිතුරා සමාව ඇයැද සිටියේ ය. රිචඩ්ට සිදුවූ අනතුර මවගේ මනසට දැනුණු මනෝ සංඥාවක් ලෙස මෙම සිදුවීම TELEPATHIC IMPRESSION යටතේ පර්යේෂණ වාර්තාවකට ද ඇතුළත් කර තිබේ.

මේ අයුරින් දූ දරුවන්ගේ අනතුරු මවුවරුන්ට මනෝ සංඥා මඟින් දැනුණු අවස්ථා රැසක් ශ්‍රී ලංකාවෙන් ද පර්යේෂණ අතරට එක්වී තිබේ. ඇතැම් මවුවරුන් එවැනි සිදුවීම්වලට මුහුණ දී ඇත්තේ ඔවුන් විදේශගතව සිටියදී ය. තම පුත්‍රයාට අනතුරක් සිදුවන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකික මවකට ඇතිවූ අතිශය පුදුම ම‍‍නෝ සංඥාවක් මීට වසර කීපයකට උඩදී අනාවරණය වීය. කොළඹ දේවි බාලිකා විදු‍හලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ මල්ලිකා 1983 වසරේදී ඇමෙරිකාවේ හෙදි පුහුණුවට එක්වූවාය. අනතුරුව ඇමෙරිකාවේ COSTAMESE සහ MESABERDIE රෝහල්වල සේවය කළාය. තම දූ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබාදීමට සිතූ මල්ලිකා තම පුතු ද ‍ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට උනන්දුවක් දැක්වූවාය.

ගයාන් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලේය. ටික කලක් ඇමෙරිකාවේ සිටියද ගයාන් එහි සිටීමට කැමැත්තක් නොදැක්වීය. ඔහුට අවශ්‍ය වූයේ හමුදා සේවයට එක්වීමට ය. තම අදහස මුදුන් පමුණුවා ගනිමින් නැවත ලංකාවට පැමිණි ගයාන් දෙමවුපියන්ට ද නොදන්වා 1987 මාර්තු 16 වැනිදා හමුදා සේවයට එක්විය. 1996 වසර වන විට ඔහු කපිතාන්වරයකු දක්වා උසස් වී සිටියේය.

එදා 1996 ජූලි 26 වැනිදාය. ඒ වනවිට ගයාන් සේවය කළේ කුරුණෑගල බෝයගනේ යුද හමුදා කඳවුරේ කපිතාන්වරයෙකු ලෙසය. එදා ඔහු අලිමංකඩ යුද මෙහෙයුමකට එක්වී සිටියේය.

ගයාන්ගේ මව වූ මල්ලිකා මහත්මිය ඒ වන විට සේවයේ යෙදී සිටියේ කැලිෆෝනියා විශ්ව විද්‍යාල (UNIVERSITY OF CALIFORNIA) රෝහලේය. එදින රාත්‍රි සේවයේ යෙදී සිටි මල්ලිකා සුළු විවේකයක් සඳහා විවේකාගාරයේ සැටියක හාන්සි වී සිටියාය. එහි සිටි ඇයගේ මනසේ යමක් ඇඳී ගියේය. හමුදා සේවයේ සිටින ගයාන් පුත්‍රයා සුදු කොඩියක් ඔසවාගෙන තවත් පිරිසක් සමඟ ඉදිරියෙන් දිව යන අයුරු එම දර්ශනය විය. මල්ලිකා මහත්මිය තිගැස්සිණි. ඇය දුටුවේ සිහිනයක් ද? සැබෑ දසුනක් ද? ඇයට ප්‍රහේලිකාවක් විය.

දුටු දර්ශනයේ මිය ගිය ඥාතීන් ද සිටි බැව් ඇයට සිහිපත් විය. පසුදින උදේ නිවෙසට ගිය ඇය ශ්‍රී ලංකාවේ සිටින තම සැමියාට දුරකථන ඇමතුමක් ගත්තාය. එහෙත් පිළිතුරු නැත. මහත් කලබලයට පත්වූ ඇය තමා දුටු දර්ශනය ගැන සිතමින් සිටියාය. ගයාන් පුතුට කිසියම් දෙයක් සිදුවී ඇත්ද ඇගේ යටිසිත කියන්නට විය. ඒ අතරේ දියණියගෙන් පණිවිඩයක් ලැබිණි. ඉන් කියැවුණේ ‘ගයාන්ට අමාරුයි ඉක්මනට එන්න” යනුවෙනි. තම ආදරණීය පුත්‍රයා මෙලොවින් සමුගෙන ඇති බවක් ඇය ‍නොදැන සිටියා ය. ‍ගයාන් අලිමංකඩ යුද මෙහෙයුමේදී වෙඩි පහකරට ලක්වී මරණයට පත්ව සිටියේය. මල්ලිකා මහත්මිය මනසින් දුටු දර්ශනයත් ගයා‍න්ගේ මරණයත් අතර තිබූ ම‍නෝ සංඥාව පිළිබඳ විමසීමට අපට අවස්ථාව ලැබිණි. වසර කීපයකට උඩදී ඇය සමඟ කළ සාකච්ඡාව ඒ අයුරින් ම මෙසේය.

ප්‍රශ්නය - කැලිෆෝනියා රෝහලේදී එදා සිදුවීම ඔබට මතක ද?

පිළිතුර - ඔව්

ප්‍රශ්නය - දිනය කවදා ද?

පිළිතුර - 1996 ජූලි 26 වැනිදා

ප්‍රශ්නය - ඒ සිදුවීම විස්තර කළ හැකි ද?

පිළිතුර - එදා මම රාත්‍රි සේවයේ යෙදී සිටියා. රාත්‍රි 7 සිට පසුදා උදේ 7 වන තුරු රාජකාරි කළ යුතු වනවා. රාත්‍රි 12 ‍ට පමණ කෙටි විවේකයක් ලැබෙනවා. එම විවේකයේදී කාමරයේ සෝෆා සැටියක වාඩිවී සිටියා. ඒ වෙලාවේ මට හොඳට මතකයි. එක්වරම මං මහා අමුතු දර්ශනයක් මනසින් දුටුවා. යුද බිමේ සිටි මගේ පුතා සුදු ඇඳගෙන තවත් පිරිසක් සමඟ සුදු කොඩියකුත් ඔසවා ගෙන දුවගෙන ආවා.

ප්‍රශ්නය - ඔහු සමඟ පැමිණි අනෙක් අය කවුද?

පිළිතුර - ඒ අතර මිය ගිය ඥාතීන් කීප දෙනෙක් ද සිටියා.

ප්‍රශ්නය - එම දර්ශනය දුටු විට ඔබට සිතුණේ කුමක් ද?

පිළිතුර - මට කිසිවක් සිතා ගන්න බැරි වුණා. මළගිය අය දැකීමෙන් මගේ සිතට චකිතයකුත් දැනුණා.

ප්‍රශ්නය - ඔබ දුටුවේ සිහිනයක් ද?

පිළිතුර - නෑ සිහිනයක් නොවෙයි. සැබෑ දර්ශනයක් ලෙසයි මා එය දුටුවේ.

ප්‍රශ්නය - ඊට පසුව ඔබ කළේ කුමක් ද?

පිළිතුර - පසු දින උදේ නිවෙසට ගිය ගමන් ලංකාවේ සිටි සැමියාට දුරකථන ඇමතුමක් ගත්තා.

ප්‍රශ්නය - ඇමතුමක් ගන්න ඔබ සිතුවේ ඇයි?

පිළිතුර - මළගිය අය දැකීමත් සමඟ ගයාන්ට කිසිවක් සිදුවෙලාද යන සිතුවිල්ල මා තුළ ඇති වුණා. නමුත් සැමියාට දුරකථන ඇමතුම ගත නොහැකිව මා කල්පනා කරමින් සිටියා. සුළු වේලාවකින් මගේ දුවගෙන් පණිවිඩයක් ලැබුණා. එයින් පැවසුවේ ගයාන්ට අනතුරක් වී ඇති බවයි. එහෙත් ඒ වන විට පුතා මරණයට පත්වී තිබුණා.

ප්‍රශ්නය - ඔබ දුටු දර්ශනයත් ගයාන් පුතාගේ මරණයත් අතර සබඳතාව ගැන ඔබ සිතන්නේ කුමක් ද?

පිළිතුර - පුතා අලිමංකඩදි වෙඩි ප්‍රහාරයට ලක්වන විට ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 8.30 පමණ බැව් මට දැන ගන්න ලැබුණා. මා ඇමෙරිකාවේදි එය දුට‍ුවේ රාත්‍රි 12 ට විතර. දෙරට අතර වේලාව වෙනස්කම් අනුව එකම වේලාවකදී එය සිදුවී ඇතැයි සිතෙනවා.” යැයි මල්ලිකා මහත්මිය පැවසුවාය.

තිස්ස ජයවර්ධන

Comments