
බුදු දහම තරම් සොබා දහමට, වනාන්තරයට ගස්කොළන් වලට පර්වතවලට සම්බන්ධ වන වෙනත් දහමක් නැති තරම් යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවනු තරම්ය. මන්ද යත් බුදුන් වහන්සේගේ ඉපදීම බුදුවීම හා පරිනිර්වාණය යන තෙමඟුලම සිදු වූයේ වෘක්ෂයන් සම්බන්ධ කරගෙනය. ඇසතු බෝ රුක මුල දී බුද්ධත්වය අවබෝධ කරගත් ගෞතමයන් වහන්සේ තමාට බුදු වීමට සෙවණ දුන් බෝධිය දෙස සතියක් ඇස්පිය නොහෙළා බලා හිඳ කෘතගුණ සැළකූහ. පාරිලෙය්‍ය වනය ඇක්ටේරියා වනය, ගිජ්ජකූට පර්වතය පිළිබඳව බුද්ධ දේශනාවේ විවිධ තැන්වල සඳහන් වේ.
දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් අතර භික්ෂුන් ජීවිතාන්තය දක්වාම වෘක්‍ෂ මූලික විය යුතුයැයි යන ඉල්ලීමද ප්‍රධාන කොට තිබිණ. බුදුන් දවස භික්ෂූන් භාවනානුයෝගීව වැඩ විසීම සඳහා වනාන්තරය තෝරාගත් බව ඇතැම් සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කිරීමේදී කවරකුට වුවද අවබෝධ වේ.
ඒ බුදුන් දවස ය. මේ සම්බුද්ධ පරිනිර්වාණයයෙන් වසර දෙදහස් සන්සියයකට පසු කාලයයි. එදා බුදුන් දවස භික්ෂුන් වනගත වී භාවනානුයෝගීව වැඩ විසුවේ යම් පරිද්දෙන් ද මෙකල ද වනාන්තරය ආශ්‍රිත භාවනානුයෝගීව භික්ෂුන් වහන්සේ වැඩ වසති. ලංකාව පුරා, භික්ෂුන් වැඩ වසන එවන් වනාන්තර බොහෝමයක් ඇත.
මා සඳහන් කරන්නට යන්නේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් පාලින්දනුවර ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කළුගල ග්‍රාමනිලධාරි වසමේ පිහිටි කළුගල ආරණ්‍ය සේනාසනය පිළිබඳව ය.
කළුගල ආරණ්‍ය සේනාසනය බිහිවීම අහම්බයක් යැයි කිවහොත් එය සාවද්‍ය වන්නේ නැත. මන්ද එය නිර්මාණය වීමට පාදක වී තිබෙන්නේ එහි නිර්මාතෘ බ්‍රහ්මචාරී දොන් ෆිලිප් සමරදිවාකර විජේසුන්දර රාළහාමි දුටු සිහිනයක ප්‍රතිඵලයක් ලෙසටය.
ඇහැලියගොඩ උපන් සමරදිවාකර රාළහාමි දිඹුලාගල පස්බුදු ලෙන යෝගාවර භික්ෂුන් උදෙසා සංවර්ධනය කරමින් සිටින සමයක, දැන් මෙහි සංවර්ධනය ප්‍රමණවත් බවත් කළුගල ප්‍රදේශයේ තපෝවනයට සුදුසු ස්ථානයක් තිබෙන බවත් එහි ගොස් එහි ආරණ්‍යයක් නිර්මාණය කරන්නට පියවර ගන්නා ලෙසත් දෙවියකු විසින් සමරදිවාකර රාළහාමි හට සිහිනයෙන් ප්‍රකාශ කර ඇති බව ජනප්‍රවාදයේ විශ්වාසයයි.
ඉන්පසු දිඹුලාගල පස්බුදු ලෙනෙහි වැඩ නවතා සිහිනයෙන් තමාට පෙන්නුම් කළ ප්‍රදේශය සොයා 1941 වසරේදී බදුරලිය ගුරුළුබැද්ද ග්‍රාමයේ කළුගල ප්‍රදේශයට පැමිණ ඇත.
රජය සතු ඉඩමක් වූ අදාළ වනාන්තරය ආරණ්‍යයක් සඳහා යොදා ගැනීමට අවසර ලබාගැනීමට සමරදිවාකර රාළහාමි හට උපවාසයක් කරන්නටද සිදුව තිබේ. කෙසේ හෝ තම අරමුණ ඉටුකර ගැනීමට සමත් වූ සමරදිවාකර රාළහාමි ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව 1942 වසරේ දී ආරණ්‍යය සේනාසනය නිර්මාණය කිරීමට සමත්ව ඇත.
කළුගල ආශ්‍රිත මැණික් ඉඩම් රාශියක් තිබෙන බව අවබෝධකරගත් එතුමා එම ඉඩම් මිලදීගෙන පතල් කර්මාන්තය එම ප්‍රදේශයේ ආරම්භ කරන ලදි. මැණික් යනු මොනවාද කියාවත් නොදැන සිටි ප්‍රදේශයේ ජනතාවට මැණික් හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේද රාළහාමිට වග සඳහන් කළ යුතුය. මැණික් ව්‍යාපාරයෙන් ලද සියලු මුදල් යොදා ගත්තේ ආරණ්‍යයේ සංවර්ධන කටයුතු සඳහාය.
දැවන්ත ශරීරයකට හිමිකම් නොකීවද එතුමා තරම් යෝධ චිත්ත ශක්තියකට හිමිකම් ලද පුද්ගලයකු එදා මෙදාතුර අහළ ගම් හතකවත් නොයිපදුන බවනම් කිව හැකිය. ඕනෑම අයකුගෙන් කුමක් හෝ වැඩක් කරවා ගැනීමට සමරදිවාකර රාළහාමි උපන් හපනෙක් බව ප්‍රදේශයේ පැරණි ජනතාව සමග කතා කිරීමේදී අවබෝධ වේ.
එහි ප්‍රතිඵලය වනුයේ වර්තමානයේ ද යෝගාවර භික්ෂූන් වහන්සේ හට ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙමින් වැඩවාසය කිරීමටත් සකලවිධ බෞද්ධ ජනතාවට දානාදී පුණ්‍යකර්ම කර ගැනීමටත්, වන්දනා කර පින් රැස්කර ගැනීමටත් පින් කෙතක් බඳු වූ ආරණ්‍යය සේනාසනයක් නිර්මාණය වීමයි.
කළුගල ආරණ්‍යය සේනාසනයේ සුන්දරත්වය සොබා සෞන්දර්යාත්මක වටිනාකම පිළිබඳව අනේකවිධ වාර්තා පුවත්පත් වල නොඅඩුව පළවී ඇති බැවින් ඒ පිළිබඳව වැඩි යමක් සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතේ. ආරණ්‍යය නිර්මාණය සඳහා ප්‍රදේශයේ මිනිසුන් නොපැකිළව ශ්‍රම දායකත්වය ලබා දුන්නද, සමරදිවාකර රාළහාමිගේ මැණික් හා මුදල් පිළිබඳව කෑදර කමින් බලා සිට ඒවා තමන් සතු කර ගැනීමට මාන බලමින් සිටි අධම මිනිසුන් පිරිසක් ද සිටි බව කිව යුතුය. එහි ප්‍රතිඵලයක් වූයේ රාළහාමි සතු වටිනා මැණික් පිරවූ බෝතලයක් එවන් අධම මිනිසුන් පිරිසක් විසින් හොරකම් කිරීමයි. සූක්ෂ්ම ලෙස නිදි බෙහෙත් ලබා දී සමරදිවාකර රාළහාමිට නින්ද ගිය පසු මැණික් පිරවූ බෝතලය ඔවුන් විසින් සොරකම් කර ඇත. පසු කාලීනව එම මැණික් රාළහාමිටම විකුණා ඇත. කළුගල චෛත්‍යයේ කොත් වහන්සේගේ චූඩා මාණික්‍ය ද වරක් ප්‍රදේශයේම කීප දෙනෙක් එකතු වී කඩාගෙන ගොස් තිබිණ. නීතිමය දඬුවම් නොලැබුණ ද ඔවුනට සොබා දහමේ දඬුවම් නිසියාකාරව ලැබී ඇති බව සාක්ෂි සහිතව අද ද දක්නට ලැබේ.