
ඩී.ආර්.ඕ. තනතුරෙන් ඇරඹි රාජකාරි දිවිය දිසාපතිවරයකු, ලේකම්වරයකු දක්වා ඉහළට පැමිණ පසුව උතුරු - නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ද, රාජ්‍ය තාන්ත්‍රික සේවයේ ඉහළ තානාන්තර ද හෙබවූ මෙරට සිටින කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වන ලයනල් ප්‍රනාන්දු මහතාගේ මතක සටහන් මෙලෙස දිගහැරේ.
• ඔබේ ගම්පළාත ගැන කතා කරලම කතාබහ පටන් ගනිමු?
මම උපන්නේ මහනුවර නගර මධ්‍යයේ සොල්දර ගෙයක.
මගෙ දෙමවුපියො පාණදුර වාද්දුවේ. එතුමන්ලා ගමේ තියෙන දේවල් විකුණලා, ඉංගිරිසි කාරයො රට අල්ලන්න ආවා වගේ නුවර අල්ලන්න ගියා. මට සහෝදරියො දෙන්නයි. සහෝදරයො දෙන්නයි. අපේ තාත්තට ඕන වුණා අපිව එකම ඉස්කෝලෙකට යවන්න. ඒක කතෝලික පාසලක් ද බෞද්ධ පාසලක් ද කියල එතුමා බැලුවෙ නෑ. හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න පුළුවන්කම තියෙනවාද කියන එකයි බැලුවෙ. ඒ නිසා මගෙ සහෝදරියො දෙදෙනා අම්පිටිය කන්‍යාරාම පාසලට ගියා. මම ඊට ඉදිරිපස තියෙන පාසලටත්, පසුකාලීනව බෙරවඩ්ස් රෝමානු කතෝලික ඉංගිරිසි පාසලටත් ඇතුළු කළා.
• ඔබ ගුරුවරුන්ව දැක්කේ කොහොමද?
ෆාදර් බෙරවඩ්ස් හරිම සරලයි. ටෂෝර් කලිසම් ඇන්දේ. ටයි ඇන්දෙ නෑ. ගුරු මණ්ඩලයත් සරලයි. 11.30 ට පාසල අවසන්. ඊට පසුවත් ගුරුවරු අපිට ඉගැන්වුවා. ටියුෂන් කියල නාමයක්වත් ඒ කාලෙ අපි අසා තිබුණේ නෑ.
බෙරවඩ්ස් පාසලේ සමහරවිට ඒ කාලයේ මං ලංකාවේ පළමුවරට සහ අවසන් වරට දැකපු අංග 2ක් තියෙනවා. එකක් සික්රූම් එකක්. ශිෂ්‍යයකුට අසනීපයක් ඇති වුණොත් විවේක ගැනීමට සලස්වා ඒ සියලු කටයුතු ෆාදර් බෙරවඩ්ස් තමන්ගේ අතින් ම කළා. ඒ දෙවියන් වහන්සේට කරන මෙහෙයක් ලෙස සලකළා. දෙමවුපියන්ට පණිවිඩයක් යවලා අවශ්‍ය නම් ගෙදරින් එන තෙක් අවශ්‍ය සත්කාර මෙතැන කළා. සික්රූම් එකට යාබදව ඩෙන්ටල් ක්ලිනික් එකකුත් තිබුණා. සෑම ශිෂයකුගේම දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් වුණා. හරියට රාජ්‍ය දෙපාර්තමේන්තුවක වගේ මනා පරිපාලනයක් ෆාදර් බෙරවඩ්ස් පවත්වාගෙන ගියා.
අපි එස්.එස්.සී. පන්තිවලට එනකොට එතුමා හොඳ චිත්‍රපටි නැරැඹීමට සති 3කට වතාවක් සැලැස්සුවා. ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කරන්න ළමයි 4 ක් විතර හිටියා. ඒ කණ්ඩායමෙන් කෙනෙක් මම. ඩේවිඩ් කොෆර්ෆීල්ඩ්, ට්‍රෙෂර් අයිලන්ඩ් වගේ චිත්‍රපට මට තවම මතකයි. ෆිල්ම් එක බලලා ඉවර වුණාම අනෙක් ළමයි විසිරිලා යනවා. අපි මේ උපකරණ එතුමාගේ කාමරයේ පිළිවෙළකට තැන්පත් කරනවා. පස්සෙ, අපි 4 දෙනා එතුමා පදිංචි සෙමනේරියට එක්ක යනවා. මේ සෙමනරිය තිබුණේ පාසලේම කුඩා කඳුගැටයක් මත. පඩිපෙළ නැගලා අපි එතැනට ගියාම පුදුමාකාර සරල කාමරයක් අපි දකිනවා. එතුමා ම අපට කන්න පාන් ටෝස්ට් කරල බටර්, මාමයිට් එක්ක කන්න දුන්නා. චිත්‍රපටයක් බලලා අපිට හොඳ කෑමකුත් ලැබෙනවා කියලා අපි ආසාවෙන් බලාගෙන හිටියා. ෆාදර් බෙරවඩ්ස් ගැන අපිට ඉතාම භක්තියක් ගෞරවයක් තිබුණා.
• ඉගෙනීමට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලත් යෙදුණාද?
ඇයි නැත්තෙ. මම කැඩෙට් කණ්ඩායමට බැඳුණා. ඒ 1949 දි. එතකොට මට අවුරුදු 13 ක්. අවුරුද්දකට පසුව මට සාජන්ට් තනතුර ලැබුණා. අපිට කෑම්ප් යන්න තිබුණේ බූස්සටයි. දියතලාවටයි. හොඳම ප්ලැටූන් එකට හර්මන්ලෝස් පළිහ හිමිවුණා. සාජන්ට් වෙලා කෑම්ප් යන්න මට සපත්තු දෙකක් තිබුණේ නෑ. දෙවෙනි ලෝක යුද සමය නිසා හුඟාක් දෙනෙක්ගෙ වගේ මගේ පියාගෙත් ආර්ථිකය පසුබාලා තිබුණා. සපත්තු නැතුව බූස්සේ යන්නත් බෑ. මගේ පියාට අරන් දෙන්න හැකියාවකුත් නෑ. මං පසුතැවිලි වුණේ නෑ, කොහොමහරි ලැබෙයි කියලත් හිතුණා. මොරිස් ෆර්ඩිනැන්ඩු මගේ 5 පන්තියේ මිතුරෙක්. මොරිස් කිව්වා මට සපත්තු ජෝඩු 2 ක් තියෙනවා. හොඳ එක ඔයාට දෙන්නම් කෑම්ප් යන්න සූදානම් වෙන්න කියලා. මේස් කුට්ටමක්, කෝබ්‍රා පොලිෂ් ටින් එකක් මම සල්ලිවලට ගත්තා. පිට්ටනියෙ අවසන් පුහුණුවීම් වලට විතරක් දාලා සපත්තු කුට්ටම කෑම්ප් යන්න තියා ගත්තා. මේ සිද්ධියත් එක්ක මොරිස් සහ මම තවත් මිතුරු වුණා. ඒ මිතුරුදම අදටත් අපි අතර තියෙනවා.
දුර පැනීම, උස පැනීම, මීටර් 100 වගේ ක්‍රීඩාත් කළා. ඔය අතර සීනියර් කැඩෙටිනුත් කළා.
• ඒ අතරේ ඉගෙනීමත් සාර්ථකව කළා?
මෙහෙමයි. ෆාදර් බෙරවඩ්ස් මට අවස්ථා 2 කදී ම ඩබල් ප්‍රමෝෂන් දුන්නා. 3 වැනි පන්තියේ සිට 5 වැනි පන්තියටත්. 6 වැනි පන්තියේ සිට 8 වැනි පන්තියටත්. ඇතැම් ගුරුවරු ෆාදර් බෙරවඩ්ස්ට කියලා තිබුණා මේක කරන්න එපා මේ ළමයගෙ අනාගතය අඳුරු වේවි කියලා. මොකද මට සහතිකය ලැබෙන්නෙ 7 පාස් කියලා. හැබැයි ෆාදර් ඒක කළා. එස්.එස්.සී. ලිව්වාම මට ඉංගිරිසි වලට විශිෂ්ට සම්මාන, ඉතිහාසයට සම්මාන, සිංහලට සම්මාන, ශුද්ධ ගණිතයට සම්මාන තිබුණා.
• ඔබේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන අපි කතා කරමු?
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ උසස් පෙළ අවසන් කළාට පස්සේ 1956 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තෙරුණා. 1956 - 1959 වකවානුව මං විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. 1956 අපි වගේ ශිෂ්‍යයන්ට ඉතාමත් විප්ලවීය වර්ෂයක් වුණා. යූ.එන්.පිය 8ට බස්සලා සර් ජෝන් පරද්දලා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පොදු ජනතාව අරමුණු කළ රජයක් පිහිටෙව්වා. 56’ දීම තමයි කලා ක්ෂේත්‍රයේ ලොකු ප්‍රගතියක් ඇති වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, ආචාර්ය සිරි ගුනසිංහ, ආනන්ද සල්ගාදු කුලසූරිය, ඩී.එෆ්. හෙට්ටිආරච්චි, එච්.ඒ.ඩී.එස්. ගුණසේකර, ලුඩොවයික් වගේ ශාස්ත්‍රවන්තයන් පෙරට ආවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් රටේ නොයෙක් පළාත්වල ඇවිදලා කෝළම් නාටක ආදියේ ආභාසය අරගෙන මනමේ, සිංහබාහු සහ කුඩා පර්යේෂණ නාට්‍ය බිහි කළා. මටත් අවස්ථාව ලැබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමයේ භාණ්ඩාගාරික වෙන්න. අවසාන අවුරුද්දේ මම සභාපතිත් වුණා.
• ඔය කාලෙ ඔබගේ දේශපාලන උනන්දුව කොෙහාමද?
පසුව ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටයකු වූ බර්ටි ගලහිටියාව සහ මම හෝඩියේ පන්තියේ ඉඳල එකට ආවෙ. බර්ටි 5 ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගියා. මම 5 ශිෂ්‍යත්වය සමත් වුණේ නෑ. බර්ටි නුගවෙලින් තලාතුඔයට ගියා. මම බෙරවඩ්ස් විද්‍යාලයේ ඉගෙන ගත්තා. අපේ ගෙවල් දෙක අම්පිටිය ගමේ එකිනෙක යාබදව තිබුණෙ. බණ්ඩාරනායක මැතිතුමා 1951 දී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගියා. ඉන්පසුව තමයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේ. බර්ටිටයි මටයි මේක විශාල අත්දැකීමක් වුණා. ඒ වනවිට මම විශ්වවිද්‍යාලයට ගිහින් නෑ. ඒත් දේශපාලනය ගැන අප තුළ විවෘත හදවතක් ඇති වුණා.
1951 සැප්තැම්බර් ශ්‍රීලනිපය හදලා, බණ්ඩාරනායක මැතිතුමා බෝගම්බර පිටියෙ රැස්වීමට පැමිණියා. පුදුමාකාර සෙනගක්. බර්ටිටයි, මටයි මේක නොබලා ඉන්න බෑ. අපි ගියා. එදා අපි බණ්ඩාරනායක මැතිතුමාව දුටුවා.
මහනුවර නගර සභා මැතිවරණයට පෙනී සිටි ප්‍රගතිශීලී අපේක්ෂකයන්ට බර්ටිත් මමත් පක්ෂපාතිත්වයක් දැක්වුවා. ඒ මැතිවරණවලට අපි ඉතා කැමැත්තෙන් පෝස්ටර් ගැහුවා. නොයෙක් දේ කළා.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට සිංහබාහු කරන්න සංගීතය සපයපු එච්.එච්. බණ්ඩාරත්, බර්ටිත්, මමත් කියන අපි තුන්කට්ටුව බර්ටිගෙ ගෙදර කාමරයක තමයි නිතර රැස්වුණේ. එච්.එච්. වයලීන් ගහද්දි අපි සින්දු කිව්වා. විනෝද වුණා. ශත 3 ට තෝසේ කෑවා. අපේ ගෙවල් වලින් විරුද්ධ වුණෙත් නෑ. අපි ඉගෙනීමේ වැඩ හොඳින් කරන බව විභාග සමත් වන බව ඔවුන් දැන සිටියා.
මැතිවරණයක් ළං වෙද්දි හරි ම විනෝදජනක අවස්ථාවක් බර්ටිත්, මමත් අත්වින්දා. ඒ කාලෙ පාසල්වල ක්‍රීඩා පිටි දේශපාලන රැස්වීම්වලට ගන්න පුළුවන්. ජෝර්ජ් ඊ. ද සිල්වා යූ.එන්.පියෙන් ඡන්දෙ ඉල්ලුවා මහනුවර කොට්ඨාසයට. ඔහු හරි ප්‍රතාපවත්. ජෝර්ජ් ඊ. ද සිල්වාගේ රැස්වීමක් තිබුණා. අපේ පිට්ටනියෙ. අපේ ගෙවල් කිට්ටුව රදළ පවුලක් හිටියා. වරකාමුල්ලෙ මහත්තයාගේ පවුල. වරකාමුල්ල මහත්තයා තමයි අර රැස්වීමේ මුලසුන දැරුවෙ.
සති 3 කට විතර පස්සේ ශ්‍රීලනිප අපේක්ෂකයා ටී.බී. ඉලංගරත්නගේ රැස්වීමත් අර ස්ථානයේම තිබුණා. අපි ඒකත් බලන්න ගියා ඉතා ම කැමැත්තෙන්. මෙන්න වැඩක්! මේ රැස්වීමේ මූලාසනයෙත් වරකාමුල්ලෙ මහත්තයාම ඉන්නවා.
• විශ්වවිද්‍යාලෙ කලා කටයුතු කොහොමද?
මම හොඳ චිත්‍රපට බැලුවා. නාට්‍ය බැලුවා. මනමෙ නාට්‍යයේ වැදි රජුට රඟපෑවා. ඒ චරිතය රාජ්‍ය සේවයට බැඳෙනකල් ම හොඳට කළා. රටේ නොයෙක් පළාත්වලට ගියා. රැකියාවට ගිහිනුත් ටික කලක් රඟපෑවා. ඊට පස්සෙ ශරීරය ටිකක් මහත් වෙන්න ගත්තාම ඒක වැදි චරිතයට නොගැළපෙන නිසා අත්හැරියා. සුදුසු අයෙක් තෝරා ගැනීමට ඉඩ දුන්නා. ඉන්පසුවත් ගුණසේන ගලප්පත්ති එහෙම නාට්‍යක් කරද්දි පොඩි චරිතයක් කරමු කියලා මාව සම්බන්ධ කරගන්නවා. ඒවයෙ පොඩි චරිත කළා. සෝමලතා ප්‍රධාන චරිතය නිරූපණය කළා.
• ඔබේ විවාහය සිදුවුණේ ප්‍රේම සම්බන්ධතාවකින්?
අපේ විවාහය වුණේ විශ්වවිද්‍යාලය තුළින්මයි. මම ගිහින් අවුරුදු 2 කට පසුව 1958 දි සෝමලතා සුබසිංහ විශ්වවිද්‍යාලයට පැමිණියා. ඇය හැදෑරුවෙ මගේ විෂයයන්මයි. පසුව ගුරුවරියක් විදිහට ඇය තර්ක ශාස්ත්‍රය ඉගැන්නුවා. ඒත් අන්තිමේදී ළමා හා යොවුන් නාට්‍ය වේදිනියක් බවට පත් වුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ වැඩ කිරීමෙන් ලත් ආභාසය ඇයට බලපෑවා. අපේ විවාහය සිදු වුණේ 1962 සැප්තැම්බර්.
මට අවුරුදු 3 කින් උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ඇති කළේ මගේම වැඩිමල් අයියා එම්.ටී.ආර්. ප්‍රනාන්දු. මම යුනිවසිටි ඉන්න කාලේ පඩි දිනයට අයියා මට එන්න කියලා පොකට් මනි විදියට රුපියල් 15/- ක් දෙනවා. මම ඒක බොහොම අරපිරිමැස්මෙන් වියපැහැදම් කළා. හැබැයි හොඳ පොතක් දැක්කොත් ගත්තා.
මම රෑ නින්දට යන්න කලින් පොතක පිටු කිහිපයක් හරි කියවනවා. තවමත් එහෙමයි. කෑම කන කොට මගේ වම් පැත්තෙ පොතක් තියෙනවා.
• ප්‍රේමය, ආදරය ගැන අත්දැකීම් කතා කරන්න කැමැතිද?
මම, මට වැඩිය ටිකක් ජ්‍යෙෂ්ඨ උපාධි අපේක්ෂිකාවන් හතර - පස්දෙනෙක් ඇසුරු කළා. ඒ අයගේ ස්වභාවයෙන් ඔවුන් ධනවත් පවුල්වල ළමයි බව මම දැන සිටියා. ලෙක්චර්ස් අතරවාරයේ අපි ටක්ෂොප් යනවා. මොනව හරි කනවා. තේ බොනවා. ඔවුන් මා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණා, ඇසුරු කළාට කරදරයක් වෙන්නෙ නෑ කියලා. මේ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් මිය ගියා. අනෙක් අය ජීවත් වෙනවා. මගේ උපන්දිනයට ෂර්ට් කලිසම් රෙදි එහෙමත් ලැබුණා. ඉතින් මං මොකටද ඒ ආශ්‍රය නතර කරන්නෙ.
• ඔබ රජයේ සේවයට එක් වුණේ කොහොමද?
මට වැඩිය ටිකක් සීනියර් කෙනෙක් හිටිය එම්.සී. මාතුපාල කියල. මම එතුමට කිව්වා අනේ මාතු මං හරි කැමැතියි ඩී ආර් ඕ කෙනෙක් වෙන්න කියලා. මාතුපාල මහත්තයා මට කිව්වා සරසවියෙ තැපැල් කන්තෝරුවෙන් බ්‍රහස්පතින්දාට ගැසට් එක බලන්න කියලා. පස්සෙ මම ඉල්ලුම් පත්‍රයක් යොමු කළා. විභාගයෙන් පළමුවැනියා ලෙස මම සමත් වුණා. පළමු පත්වීම ලැබුණේ දකුණේ මුහුදු බඩ පළාතකටයි.
ඒ කාලෙ ඒ.ටී. ආරියරත්න මහත්මයා, ශ්‍රමදාන ව්‍යාපාර පටන් ගත්තා. ගමට සේවය කරන්න නම් මේක ගොඩක් හොඳයි කියල මට ලොකු විශ්වාසයක් තිබුණා. මගේ වාමාංශික දැක්මෙන් මම හරියට ප්‍රයෝජන ගත්තා. ගමට වැඩ කරන්න ගම්මු සම්බන්ධ කරගත්තා. ඉතින් මට කොමියුනිස්ට් කාරයා, ශ්‍රී ලංකා කාරයා, සමසමාජකාරයා කියල කියන්න ගත්තා. මේ කොයි හැටි වෙතත් මං මහජනතාවත් එක්ක හිටියා.
1963 මැයි 1 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සිවිල් සේවය ඉවත් කරලා ඒ වෙනුවට පරිපාලන සේවය ඇති කළා. ගම්මුලෑදෑනී සේවය වෙනුවට ග්‍රාම සේවක ඇති කළා. මේ විදිහට එවක රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සමඟ එක්ව විශාල පරිපාලන වෙනස්කම් ඇති කළා. අභ්‍යන්තර විභාගවලින් අපට ඉක්මනින් උසස්වීම් ලබා ගැනීමේ අවස්ථාවත් හිමි වුණා.
1965 දී ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් ඩබ්. දහනායක කිව්වා මම තහවුරු කරගත් වාමාංශිකයෙක්. ඒ නිසා වහාම මාව මාරුකරන්න කියලා. ඉතින් මම බිරිඳයි, අවුරුද්දක් පමණ වයස බිලිඳු දරුවයි රැගෙන බෙම්පි මුදලාලිගෙන් ලොරි බාගයක් ඉල්ලගෙන මතුගමට ගියා. මට තිබුණු චෝදනා විභාග කළේ නෑ. චෝදනා වුණේ ඇත්ත පත්තරය කියැවීම, මීගමුවේ එජාප අපේක්ෂකයට විරුද්ධව සමසමාජෙ ඩොක්ටර් හෙක්ටර් ප්‍රනාන්දුට උදව් කිරීම සහ තුවක්කු බලපත්‍රයක් නොදීම. මම යන්න බෑ කිව්වෙත් නෑ, මාරුවීම අවලංගු කරගන්න ඉල්ලුවෙත් නෑ. ඒත් මිනුවන්ගොඩ ජනතාව මාව ඉල්ලලා සාමකාමීව උද්ඝෝෂණ කළා. සෝමලතාත් කිව්වා අපි යමු කියලා. ඉතින් අපි බඩු පටවගෙන මතුගම ගියා.
• මතුගමදිත් ප්‍රශ්න ඇති වුණාද?
එහෙ ඉන්නකොට අගලවත්තට අතුරු මැතිවරණයක් ආවා. තරග කළේ කොල්වින් සහ දොන් ඩේවිඩ්. මං හිටිය නම් ඡන්දෙට වැඩ කරයි කියල මාව මාරු කළා. චීන කොමියුනිස්ට් කාරයෙක්ව අරින්න ඕන චීනයට නෙ කියලා මාව අත්තතගල්ලට දැම්මා. බණ්ඩාරනායක මැතිනියට වුණත් මම ඇත්ත කිව්වෙ. කරන්න බැරි දෙයක් නම් මම බෑ කිව්වා. ඒ ගැන මැතිනියට මම පැහැදිලි කළා. “ඒක තමයි මේ පළාතෙ අය ඔයා යු.එන්.පී. කාරයෙක් කියනවා” කිව්වා. මං එතුමියට කිව්වා ඔබතුමිය විපක්ෂ නායිකාව නිසා දැන් මෙහෙම කිව්වට ආයෙම අගමැතිනිය වුණාමත් මේ ගස් කපන ප්‍රශ්න අරගෙන ඒවි කියලා. එතුමිය පිළිගත්තා. වැරැදි කරන අයට එරෙහිව පරීක්ෂණ කරන්න කිව්වා. ශ්‍රමදාන වැඩ කරගෙන යන්න කියලත් කිව්වා.
• අත්තනගල්ලෙන් කොළඹට යනවා?
ඔව්! මූලස්ථාන ඩී.ආර්.ඕ. හැටියට. කොළඹ දිසාපති මට කිව්වා, ලයනල් මේ වැඩේ හරි යන්නේ නෑ යන යන තැන ශ්‍රී ලංකා කාරය කියනවා. මං ඔයා ගැන දන්නවා. ඔයා ගංගා නිම්න සංවර්ධන මණ්ඩලෙය් පිරිස් කළමනාකාර තනතුර බාරගන්න කියලා. මං ඒක බාර ගත්තා. වැඩ කරගෙන ගියා. ඔය අතර 70’ ඡන්දය ආවා. සමගි පෙරමුණ බලයට පත්වුණා. ෆීලික්ස් ඩයස් මහත්මයත් මාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ගත්තා. සහකාර ලේකම් හැටියට වැඩ කළා.
• 1971 ගැන ඔබට ඇති අත්දැකීම් කෙබඳුද?
මම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ගියා වැඩිපුර අධ්‍යාපන කටයුතුවලට. ආවෙ අවුරුදු 3 කින්. කොහොම වුණත් මේ දක්වා හෙළිදරව් නොකළ කාරණයක් කියන්නම්. ගුවන් විදුලියට ප්‍රහාරයක් එල්ල වෙයි කියලා සැකයක් තිබුණා. හමුදාව නාවික හමුදාව යොදවලා සිටියෙ. මාවයි, බර්ටිවයි දැම්මා. ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දි නම් සඳහන් වුණේ නෑ. ගැටලුවක් ඇති වුණෙත් නෑ. අපි නිසියාකාර ඒ කටයුතු කරගෙන ගියා.
• උතුරු නැගෙනහිරත් ඔබ රාජකාරි කළා?
ආණ්ඩු පෙරළියත් සමඟ මාව රාජ්‍ය පරිපාලනයේ සංචිතයට දැම්මා. ඉන්පසුව උතුරේ දිසාපතිවෙලා ගියා. එහෙදි චිත්‍රපට උලෙළ කළා. ලෙස්ටර් ගෙ පොන්මනි චිත්‍රපටයත් පෙන්නුවා. කලා කටයුතුවලින් ලැබුණු ආදායම ඒ ළමයින්ගේම යහපතට යෙදෙව්වා. දින 3 - 4 ක් කපිලවස්තු ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කළා. දකුණේ මාධ්‍යවේදීන් උතුරට ගෙනගොස් මේ දේවල් පෙන්නුවා. මේ මාධ්‍යවේදීන් හරිම රසවත් මතක සටහන් ගැන වාර්තා කළා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙ කාලේ උතුරු- නැගෙනහිර ආණ්ඩුකාර ධුරයක් දැරුවා.
• 1994න් පසු ඔබේ භූමිකාව?
චන්ද්‍රිකා මැතිනිය අගමැතිනිය වුණාට පස්සෙ මාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හැටියට පත් කළා. පස්සේ ලේක්හවුස් ආයතනයේ සභාපති හැටියටත් ටික කලක් කටයුතු කළා. විදේශ අමාත්‍යාංශයේ ලේකම් හැටියටත් කටයුතු කළා. ලක්ෂ්මන් කදිර්ගාමර් ඇමැතිතුමාගේ කාලයේ මැලේසියාවෙත්, නෙදර්ලන්තයේත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස වැඩ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාව යුනෙස්කෝවත් ඇතුළුව ප්‍රංශයේ රාජ්‍ය තාන්ත්‍රික සේවයට පත් කළා. දැනටත් මම ජනාධිපති කාර්යාලයේ සේවය කරනවා.
• පවුලේ තොරතුරු කොහොමද?
දියණියන් දෙදෙනයි. ඒ අයගෙ දරුවොයි එක්ක සතුටින් ඉන්නවා.
සේයාරුව - සරත් පීරිස්