යකඩ ත්‍රිකෝණයේ කඳුළ | සිළුමිණ

යකඩ ත්‍රිකෝණයේ කඳුළ

වර්ෂ 1968දී දොළොස් හැවිරිදි වියේ පසු වූ එන්ගුයෙන් තී ට්‍රොන් හට සිය දකුණු පාදයෙන් කොටසක් අහිමි වූයේ වියට්නාම් යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට ය. යුද්ධය, වේදනාවෙන් තොර කිසිවක් මිහි මත ඉතිරි නොකරන්නේය යන්න සැබෑ කරන්නට ඇගේ කතාව තරම් අනෙකක් නැත.

ලැරී බුරෝව්ස් 'ලයිෆ්'සඟරාවේ ඡායාරූප මාධ්‍යවේදියෙකි. හෙතෙම අපූරු ඡායාරූප පෙළක් “ලයිෆ්” සඟරාවෙහි 1968 නොවැම්බර් කලාපයේ පළකර තිබුණේය. ඉන් අනාවරණය වුණේ නව යොවුන් විය වැලඳගන්නට පුල පුලා බලා සිටින සුන්දර දැරියක ගැන ය. එන්ගුයෙන් තී ට්‍රොන් නම් වූ ඇය තම ශරීරය තනි කකුලකට බර දෙමින් ජීවිතයට මුහුණදෙන සැටි ඉන් නිරූපණය විය. යුදයේ විනාශකාරී අන්තය ලෝකයාට මොනවාට පසක් කළ මේ ඡායාරූප පෙළ “ලයිෆ්” සඟරාවේ පාඨකයන්ගෙන් ඔබ්බට ගියේ නැත. ඒත් සමඟ ම, ෙම් ඡායාරූප පෙළ ඉතා ඉක්මනින්ම ලෝකයාට අමතක වී ගියේය.

මෙතැන් සිට දිග හැරෙන්නේ ලෝකයට අමතකව ගිය ඒ අසරණ කෙල්ලගේ කතාවයි. වියට්නාම යුදය පැවැතියේ එක්දහස් නවසිය පනස් ගණන්වල මැද භාගයේ සිට ඉදිරියට ගලාගෙන ගිය දශක දෙකක පමණ කාලය තුළ ය. යුදය ආරම්භ වනවිට ට්‍රොන් සහ ඇගේ පවුලේ උදවිය විසුවේ වියට්නාමයෙහි “යකඩ ත්‍රිකෝණය” යනුවෙන් හැඳින්වුණු කලාපයෙහි ය. කොමියුනිස්ට් පාලනයේ ප්‍රධාන කඳවුරක් වූ යට කී කලාපය වර්ග සැතපුම් 120ක පමණ පෙදෙසකි. ට්‍රොන් පවුලේ උදවිය එකල එහි ගත කළේ ඉතාමත් දුක්ඛිත ජීවිතයකි. ඔවුන්ගේ නිවාස තනා තිබුණේ දළ යකඩ කූරු සහ කාඩ්බෝඩ් වලිනි. මවුපියන් දරුවන්ව ජීවත් කළේ වනයෙන් දර කඩාගෙන විත් ඒවා නිවෙස්වලට විකුණමින් ය. ඒ හැරුණු විට ට්‍රොන්ගේ මව ගෙයක් ගෙයක් ගණනේ ගොස් අනුන්ට බැළමෙහෙවර කර කීයක් හෝ අත මිට මොළවා ගත්තාය.

ට්‍රොන් වෙඩි පහරට ලක් වනවිට ඔවුන් විසූ ලිබරල් කලාපයට එහායින් රිපබ්ලිකන් නමින් තවත් කලාපයක් තිබිණ. මේ කලාප දෙක අතර අන්තරාය කාරී කලාපයක් හෙවත් මිනිසුන් රහිත තීරයක් ද පැවැතියේය. ලිබරල් සහ රිපබ්ලිකන් කලාප දෙකෙහි ජීවත් වුණේ වියට්නාම වැසියන් වුවත් ඔවුනොවුන්ගේ ඥාතීන් බලන්නට කලාප දෙක අතර ගමන් කිරීම සපුරා තහනම් විණ. අවාසනාවකට මෙන් මේ වැල්වටාරම් කතාව කුඩා දරුවන්ට කොහෙත්ම තේරුණේ නැත. ට්‍රොන් සහ තවත් දැරියන් දෙදෙනකු දිනක් යට කී තහනම් කලාපයට රිංගා ගත්තේ එනිසා විය යුතුය. එක කෙල්ලක පැමිණ සිටියේ පා පැදියකිනි. පොඩිවුන්ගේ කෙළි කවටකම් නොඉවසූ ගැහැනියක්, ගුවනේ පහළින් පියාසර කරමින් තිබුණු හෙලිකොප්ටරයකට දැරියන් පෙන්වමින් කෑ ගැසුවාය. ඇගේ කෑගෑමත් සමඟම හෙලිකොප්ටරයේ සිටි ඇමෙරිකා සොල්දාදුවෝ පොළොව දෙසට වෙඩි තබන්නට පටන් ගත්හ. වෙඩි ප්‍රහාරවලින් බේරෙන්නට පුංචි කෙල්ලෝ සී සී කඩ දිව ගියහ.

සොල්දාදුවන් නැවතුණේ කෙල්ලන් තුන්දෙනාටම වෙඩි වැදුණු බව තහවුරු කරගත් පසුවය. ට්‍රොන්ගේ දකුණු පස පාදයට වෙඩි වැදී තිබිණ. තවත් දැරියකගේ කුස පෙදෙස බරපතළ ලෙස තුවාල වී තිබුණේය. ඒ මදිවාට කැලයේ දර කපමින් සිටි වැඩිහිටියකුත් වෙඩි ප්‍රහාරවලට මැදිවී තිබිණ. හුස්මක් කටක් හෙළන්නට ඉඩක් නොතබාම මරු ඔහුව කැන්දාගෙන ගොස් තිබුණේය. එදා තමන් මුහුණ දුන් අත්දැකීම ට්‍රොන් පසු කලෙක විස්තර කර තිබුණේ මෙලෙසිනි.

“වෙඩි වැදුණු වෙලාවේදී මට වේදනාවක් දැනුණේ නැහැ. ඒත් කකුල හිරිවැටිලා වගේ දැනුණා... ඒ එක්කම මගේ මතකයට ආවේ අපේ වැඩිහිටියන් අපට කිව්ව කතාවක්. ඔවුන් කිව්වේ ඇමෙරිකා සොල්දාදුවෝ වෙඩි තැබුවහොත් පුංචි අප මැරෙන්න වුණත් පුළුවන් කියලයි. ඒක මතක්වෙද්දී මට බයක් දැනුණා. ඒ නිසා මට දුවන්න වුවමනා වුණා. දුවන්න හැදුවත් මට දුවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකට හේතුව මගේ කකුල හරියට වැඩ නොකිරීමයි. මම අම්මට අඬගසමින් මහා හඬින් අඬන්න පටන් ගත්තා. ...”

මේ සංවේදී සිදුවීම වෙඩි තැබූ සොල්දාදුවන්ටත් දැනී තිබිණ. තමන් බරපතළ වරදක් කළ බව ඔවුහූ ඒ වනවිට අවබෝධ කරගෙන සිටියහ. ඔවුන් හෙලිකොප්ටරය ඒ ආසන්න ප්‍රදේශයකට ගොඩ බෑවේ එනිසාය. තුවාල ලබා සිටි මේ කෙල්ලන් රෝහලකට රැගෙන යන්නට සොල්දාදුවෝ උත්සාහ ගනිමින් සිටියහ.

“ඒ වනවිට මම විශාල වේදනාවකින් පෙළෙමින් සිටියේ. මාව රැගෙන යන්න උත්සාහ කරන ඇමෙරිකා සොල්දාදුවන් නවත්වන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම ඔවුන්ට පයිනුත් ගසමින් සිටියේ” කියා සිය මතකය ආවර්ජනය කරමින් ට්‍රොන් පවසන්නීය.

තමන් ජීවත්වුණු ප්‍රදේශය ආසන්නයෙන් වෙඩි හඬක් ඇසුණු බැවින් ට්‍රොන්ගේ මව තහනම් කලාපය වෙත දිව යමින් දරුවන් සෙව්වා ය. දරුවන්ට වෙඩි වදින්නට ඇතැයි කියා ඒ මවට අවබෝධ වී තිබිණ. එනිසා අම්මා බලාපොරොත්තු වූයේ මිහිමත ඇද වැටී තිබෙන මළ සිරුරු ය. එහෙත් ඒ කිසිවක් ඇයට දක්නට ලැබුණේ නැත. ඒ අම්මාට සිය දියණියව දින ගණනකට පසුව නැවතත් හමුවන්නේ ඇමෙරිකා යුද හමුදා රෝහලේ ගිලන් සයනයක් මතදීය. ට්‍රොන්ගේ දකුණු කකුලෙන් කොටසක් ඒ වනවිට කපා දමා තිබිණ.

“මම අම්මා දැක්ක ගමන් අඬන්න පටන් ගත්තා ... අම්මා මට එවෙලේ කිව්වේ නොමැරී ජීවත් වුණාට වැඩක් නැහැ කියලා. තියෙන තත්ත්වය තුළ වුවත් මට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් බව කියමින් මම අම්මාව අස්වැසුවා. ඒ වේලාවේ මම අම්මාට කිව්වා; අම්මව හැර නොගිහින් මම අම්මව බලාගන්නවා කියලත්... ”

ලැරීට, ට්‍රොන් පළමුවරට දක්නට ලැබෙන්නේ රතු කුරුස සමාජයට අයත් පරිශ්‍රයක තවත් දැරියක සමඟ සිටියදීය. ට්‍රොන්ට වෙඩි වැදී මසක පමණ කාලයක් ඒ වනවිට ගත වී තිබුණේය. මේ කාලය තුළදී ට්‍රොන් සෑහෙන දුරකට සුවය ලබා තිබිණ. ලැරී, ට්‍රොන් අබියසට යනවිට ට්‍රොන් සිටියේ දණහිස ළඟින් එල්ලා වැටෙන කකුල් කොටය ගැන අබමල් රේණුවක්වත් තැකීමක් නොකර වැටක එල්ලී පැද්දෙමිනි. විසේකාර එහෙත් ධෛර්යය සම්පන්න මේ කෙල්ල තම කෙළිලොල් ජීවිතය සෙසු අය හා බෙදා ගන්නා හැටිත් ඈ දෛනික වැඩපොළවල නිරත වන ආකාරයත් ලැරී පළමුවරට ඡායාරූපයට නැඟුවේ එකල්හි ය. මේ හමුවේදී ලැරී දුටු සංවේදීම දසුන වූයේ ට්‍රොන් තමන්ගේ කෘත්‍රිම පාදය සාදා නිම කරන තුරු, කෘත්‍රිම පාද තනන ශිල්පියකු අසල හිඳගෙන බලාපොරොත්තු සහගතව සිටින ආකාරයයි. ශිල්පියා, ට්‍රොන්ගේ කකුලේ මිමිවලට අනුව කෘත්‍රිම පාදය සැකසුවේ ලී කොටයක් මත තබාගෙනය. වරින් වර හෙතෙම එය ට්‍රොන්ගේ පාදයට සිරකර බලමින් හැඩය සහ ප්‍රමාණය හරියටම හරි යන තුරු ඔපමට්ටම් කළේ මහත් ආයාසයකිනි. ට්‍රොන්ට සරිලන කෘත්‍රිම පාදය, ට්‍රොන්ගේ කකුලට රිංගවූ පසු ඇයට අත් වාරු යුවළකුත් ලැබිණ. ඒ ආධාරයෙන් ඈ යළිත් ජීවිතය පටන් ගත්තාය. විශේෂත්වය, එදා තිබූ තාක්ෂණය යටතේ ඇයට සවි කෙරුණු කෘත්‍රිම පාදය වසර පනහකට අධික කාලයකට පසු අදටත් ඇයට හරියටම හරි යෑමය.

ට්‍රොන් ජීවිතය පියවරෙන් පියවර ඉදිරියට තබන හැටි බලන්නට ලැරී, වරින් වර ට්‍රොන් සොයාගෙන ආවේය. ඇයගේ ප්‍රගතිය ඔහු ඡායාරූපයට නැඟුවේය. තරුණ අවධියේදී තමන් කරන්නට කැමති කුමන ආකාරයේ රැකියාවක්දැයි කියා එහෙම ආ ගිය වෙලාවකදී ලැරී ට්‍රොන්ගෙන් ඇසුවේය. ට්‍රොන්ගේ බලාපොරොත්තුව තිබුණේ ඇඳුම් මැසීම ඉගෙන ගැනීම සඳහායි. නොවළහාම ඈ ඒ බැව් ඔහුට දැන්වූවාය. ට්‍රොන් බලන්නට ඊළඟ වාරයේදී පැමිණෙන විට මහන මැෂිමක් ට්‍රොන්ට තෑගි කරන්නට තරම් ඔහුගේ සිත උණු විණ. මැහුම් පාඩම් ඉගෙන ගන්නට ට්‍රොන්ට විය හියදම් ලැබුණෙත් ලැරීගෙනි. මෙවැනි දෑ නිසා ලැරී සහ ට්‍රොන් අතර හොඳ බැඳීමක් ගොඩනැඟී තිබිණ. එහිලා වඩාත් තදින්ම බලපෑවේ ලැරීට ද ට්‍රොන්ගේ වයසේම දියණියක හිඳීමයි. එමෙන්ම මාධ්‍යවේදී ලැරී හොඳ හිතක් ඇති මිනිසකු වීමයි. ලැරීට වුවමනා වුණේ ට්‍රොන් දිනෙක ස්වාධීනව නැඟී සිටින අයුරු දැක ගන්නට ය.

එහෙත් ට්‍රොන් ජීවිතයේ සාර්ථකත්වයට පැමිණෙන්නට පළමුව ලැරී ජිවිතයෙන් සමුගත්තේය. ඔහු සහ තවත් මාධ්‍යවේදීන් පිරිසක් ගමන් ගත් හොලිකොප්ටර් යානය වියට්නාමයට අයත් ප්‍රදේශයකදී 1971 පෙබරවාරි 10 වැනිදා අනතුරට පත්වීමෙන් ඔහුගේ මරණය සිදුව තිබිණ. ලැරීගේ මරණින් දෙවසරකට පමණ පසු ට්‍රොන්ගේ පියාත් අභාවප්‍රාප්ත වූයේය.

විවාහයක් ගැන හෝ දරු මල්ලන් හැදීමක් ගැන හෝ හිතන්නට ට්‍රොන්ට සිය ජීවිත කාලය තුළ ඉඩක් ලැබුණේ නැත. ඒ, අනෙකක් නිසා නොව පාදයක් අහිමි ඇයව කරකාර බඳින්නට කිසිවකු නොවූ බැවිනි. එසේ වුවත් ඈ ජීවිතය අත්හැරියේ නැත. ඔවුන් දැඩි සේ පෙළූ යුදය 1975 අප්‍රේල් 30 වැනිදා නිමාවට පත් විණ. ඒ වනතුරු ඇඳුම් මසමින් සිය පවුල නඩත්තු කළ ට්‍රොන්ට ප්‍රජා සෞඛ්‍ය සේවයට අනුයුක්තව කටයුතු කිරීමේ ආශාවක් ඇති වූයේය. ඒ නිසා ඈ හෙද පුහුණුව ලැබ වින්නඹු මාතාවක ලෙස සේවය කිරීම ආරම්භ කළාය.

2017 වසර වනවිට ට්‍රොන් වින්නඹු සේවයට ආයුබෝවන් කිව්වේ සිය ජීවිතයේ සැඳෑ සමය ඇරඹීමේ අරමුණෙනි. එහෙත් සිය කාලය නිකරුණේ නාස්ති වනවා දක්නට ඈ කොහෙත්ම කැමැති නැත. ඒ නිසා ට්‍රොන් යළිත් ඇඳුම් මැසිමේ ව්‍යාපාරය ආරම්භ කළාය. ඇය පවසන අන්දමට දැන් ඇගේ ඇස් පෙනීම දුර්වල වෙමින් යයි. කෙදිනක හෝ පෙනීම නරක අතටම හැරුණු විට හැර ඇඳුම් මැසීමේ ව්‍යාපාරය නවත්වන්නට ට්‍රොන්ට වුවමනාවක් නැත.

Time සඟරාව ඇසුරෙනි

Comments