‘සැකය’ සමාජය වනසන පිළිලයක්! | සිළුමිණ

‘සැකය’ සමාජය වනසන පිළිලයක්!

 සැකය පිළිබඳ කතා කිරීමේදී බුදු දහමේ එන පාඨයක් සිහියට එනවා. බුදුදහමේ ‘විචිකිච්ඡා' නමින් නීවරණයක් තිබෙනවා. හැබැයි මෙහි ‘සැකය’ කියන්නේ අප කතා කරන සැකය පිළිබඳ නොවෙයි; බුද්ධා’දි අට තැන් පිළිබඳ සැකයයි. එනම්: බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝරත්නය, ත්‍රිශික්ෂා, පටිච්ච සමුප්පාදය, අතීත ජීවිතය, අනාගත ජීවිතය, වර්තමාන ජීවිතය යන කාරණා පිළිබඳ සැකය තමයි ‘විචිකිච්ඡා’ කියන නීවණයේ කියැවෙන්නේ. මේ බුද්ධා’දි අටතැන් පිළිබඳ ඇති සැකයට වඩා, අද සමාජයේ දකින්නට ලැබෙන ලෞකික කාරණා අරබයා වන සැකය පිළිබඳවයි අප මෙහිදී සාකච්ජා කරන්නේ.

විශේෂයෙන් ස්වාමියා, බිරිය සහ දරුවන් මෙන්ම දෙමාපියන් සහ නැන්දා-මාමා යන සියලු දෙනා පවුලක් තුළ ඇති වන සැකයට අදාළ වෙනවා. ‍පවුල් සංස්ථාවක් සාර්ථක වෙන්න නම් ධර්මතා හතක් සම්පූර්ණ කළ යුතුයි. ඒ ධර්මතා හත ‘අපරිහානීය ධර්ම’ නමින් හැඳින්වෙනවා. නිතර එක්රැස් වීම මේ අතුරින් පළමු කාරණාව ලෙස හැඳින්වෙනවා. ස්වාමියා, භාර්යාව, දූදරුවන් නිරන්තරයෙන් රැස් විය යුතුයි. වර්තමාන සමාජයේ අය නිවෙසේ රැඳී සිටින්නේ බොහෝ කෙටි වේලාවක්. ඒත් ඒ අවස්ථාවලදී හෝ කෙටි වේලාවක් ‍නිරන්තරයෙන් රැස්වීම අත්‍යවශ්‍ය කාරණාවක්. මේ සාකච්ජාවේදී එකිනෙකා ඉස්මතු වීම නොවිය යුතුයි. මමයි මේ නිවසේ ප්‍රධානියා, මම කියන දෙයයි සිදු විය යුතු වන්නේ, යනුවෙන් ස්වාමියා ඉස්මතු නොවිය යුතුයි. භාර්යාව සමාජයේ පිළිගන්නා ප්‍රධානියකු වුවත් ඇයත් ඉස්මතු විය යුතු නැහැ. ඇතැම් වෙලාවට දරුදැරියන් සමාජයේ ඉස්මතු වූ උගත් බුද්ධිමත් ඇත්තන් වුවත් පවුල තුළ ඔවුනුත් ඉස්මතු නොවිය යුතුයි. ඔවුනොවුවන් සියලු දෙනා සුහදව සියලු දෙනාගේ මතයට ගරු කළ යුතුයි. අනෙත් කාරණාව: සුහදව සාකච්ඡා කොට, සුහදව නැඟීසිටීම. කවදාවත් මේ හමුව තරහවකින්, අමනාප‍යකින්, ගැටීමකින්, කෝපයකින්, දරුණු වචන හුවමාරුවකින්, අපැහැදීමකින්, අසතුටකින් විසිර යා යුතු නැහැ. සමඟිව නැඟී සිටීම අත්‍යවශ්‍ය කාරණාවක්.

ඊළඟට පවුල් සංස්ථාවක් රැකගැනීමට අවශ්‍ය අනෙක් කාරණාව වන්නේ නොපනවන ලද නීති නොපැනවීම හා පනවන ලද නීති කඩ නොකිරීම. මෙහිදී විවාහයට පෙර ඔවුනොවුන් ඇතැම් දේ පිළිබඳ තමන්ගේ රුචි-අරුචිකම් මත පනවාගන්නා නීතිරීති ඒ පනවාගත් ආකාරයෙන්ම පවත්වාගත යුතු අතර, අලුතින් නීති-රීති පනවාගැනීමට යෑමෙන් සහ පනවාගත් නීතිරිති කඩ කිරීමෙන් දෙදෙනාටම සිදු වන්නේ අපහසුතාවක්. ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. දෙදෙනා අතර යම් ගිවිසුමක් වේ නම් ඒවා කඩ කිරීම සුදුසු නැහැ. එය සමඟිය නැති වෙන්න, ඔවුනොවුන් අතර සැක-සංකා ඇති වීමට හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒ කාරණාව මතක තියාගන්න. ඒ වාගේම කරන්න බැරි දේවල් කරනවා කියා පොරොන්දු වෙන්න හොඳ නැහැ.

සතර වැන්න වන්නේ: වැඩිහිටියන්ට සවන් දිම, නැන්දා-මාමාට, වැඩිහිටි සහෝදරයන්ට සවන් දිය යුතුයි. යල් පැන ගිය අදහස් කියා හිතන්න නරකයි. ජීවිතාවබෝධයෙන් අත්දැකීම් එකතු කරගත් පිරිසක් නිසා ඔවුන්ට සවන් දිය යුතුයි.

පස්වනුව: තණ්හාව වැඩි කරගත යුතු නැහැ. ඇදුම්-පැලඳුම්, ආහාර-පාන, ගෘහ උපකරණ, ගමන්-බිමන්වලට ප්‍රියසම්භාෂණවලට වැඩි ආසාවක් නොදැක්විය යුතුයි‍. වර්තමානයේ අන්තර්ජාලයේ මුහුණුපොත නිසා බොහෝ ගැටලු ඇති වී තිබෙනවා. නොගැළපෙන අයට කතා කිරීම වැනි වැරදි ක්‍රියා නිසා නොයෙක් ආරවුල් පවුල් ජීවිතවල අැති වී තිබෙනවා. අන්තර්ජාලයේ අනවශ්‍ය ලෙස සැරි සැරීම ‍හොඳ ක්‍රියාවක් නොවෙයි.

සවැනි කාරණාව මත්පැනට, දුරාචාරයට යා යුතු නැහැ. එයත් පිරි‍හීමට කාරණාවක්. එහෙම වුණොත් ප්‍රශ්න ඇති වනවා නිසැකවම.

අනෙක් අපරිහාණීය කාරණාව: ප්‍රියශීලි කෙනකු ඉන්නවා නම් නිතර කල්පනා කරන්න ඕනෑ ප්‍රියශීලි අයට කරදරයක් ඇති නොවන ලෙස සිටිය යුතු යැයි. භාර්යව, ස්වාමියා ඔබට බෙහෙවින් ආදරය කරනවා. ඒ අයට හිරිහැරයක් නොවන්න ජීවත් විය යුතුයි. පවුල් සංස්ථාව තුළ හොඳින් ජීවත් වීමට නම් ප්‍රිය වචන කතා කළ යුතුයි; ප්‍රිය ඇසින් බලන්න ඕනෑ. මේ දේවල් නොපිළිපැද්දත් පිරිහෙනෙවා. බුද්ධ කාලයේ සිටි ලිච්ඡවි රජදරුවන්ට බුදුන් වහන්සේ අපරිහානීය ධර්ම හතක් ‍‍දේශනා කළා. ඒවා ලිච්ජවී අපරිහානී ධර්ම කියා සඳහන් වනවා. නිතර රැස්වීම, සමඟිව නැඟී සිටීම, අලුත් නීති නොපැනවීම, පරණ නීති කඩ නොකිරීම, මහලු අයට සත්කාර කිරීම, කුලදරුවන්ට බලහත්කාරකම් නොකිරීම, පූජ්‍ය පක්ෂය ආරක්ෂා කිරීම වැනි ධර්මතා අනුව මේ රාජ්‍යයේ ස්ථාවරත්වය රැකුණා. අජාසත් රජතුමාට අවශ්‍ය වුණා මේ වජ්ජි රාජ්‍යය අල්ලගන්න. විශාල සේනාවක් ඒකරාශි කරලා අන්තිම මොහොතේ බුදුරදුන්ගේ අදහස දැනගන්න තම මහඇමැතිවරුන් දෙදෙනා වන වස්සකාරට සහ සුනීතට බුදුන් හමුවී එන්න කියුවා. ඒ දෙන්නාත් බුදුන් වහන්සේ බැහැදකින්න ගිහින් රජු ලිච්ඡවීන් අල්ලාගන්නයි යන්නේ කිව්වා. බුදුහිමියන් මෙහිදී ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසීමක් කළා ලිච්ඡවීන් අපරිහානී ධර්ම රකිනවාද කියා. උන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කිව්වා ලිච්ඡවීන් අපරිහානී ධර්ම රකින බව. බුදු හිමියන් දේශනා කළා ලිච්ඡවීන් ඒ ධර්ම රකින තාක් කිසිවකුට ඔවුන් යටත් කරගත නොහැකි බව. මගධ මහඇමැතිවරුන් ආපසු පැමිණ මේ පිළිබඳව අජාසත් රජුට කිව්වා. අජාසත් රජු යුද්ධයට යන සූදානම නවතා ලිච්ඡවී රාජ්‍යයට චරපුරුෂයන් යවා මේ රාජ්‍යයේ මිනිසුන්ගේ සමඟිය බිඳුවීමට, සැකය ඇති කිරීමට කටයුතු කළා; සමඟියෙන් සිටි මිනිසුන් කේළාම් කියමින් බිඳුවන්න පටන්ගත්තා. ඒඅය අතර සැකය පැතිරීම නිසා සමඟිය නැති වීමේන් පසු ඒ රජ්‍යය අල්ලාගැනීමට අජාසත් රජුට ලෙහෙසියෙන්ම හැකි වුණා.

‘අප අවට සිටින සියලු දෙනා අප පිළිබඳවද කතා කරන්නේ?’ කියා සැකය උපදවාගෙන එකිනෙකා විමසාගැනීමට යෑමෙන් සමඟිය නැති වන්න පුළුවන්. එසේ තමා පිළිබඳ කතා කළත් එය තමාට අදාළ නැහැ. අනෙක් අතට අප කථා කරන පුද්ගලයාගෙන් අප බලාපොරොත්තු වන පිළිතුරු ලැබෙන්නේ නැති නම් අපි සිතනවා අදාළ පුද්ගලයා බොරු කියනවා කියා. අනුන්ගේ ඕපාදූප සොයන්න ගියොත් තමා පිරිහීමයි සිදු වන්නේ. කෙනකුට නින්දා අපහාස කරමින් හෙළා දකිමින් කතා කරන සැම විටම දූෂණය වන්නේ තමාගේ සිතමයි. එයට හේතුව එසේ සැකයක් හටගත්තා වූ තැන්වලදී ඒ සැකය නැති කරගත යුතුයි සැකය නිසා අවසානයේ අපේ සිතට බය ඇති වනවා. සැකය යනු බයක්මයි. මට මේ අනුන්ගේ කතාබහින් අපකීර්තියක් ඇති වෙයිද? මට නින්දාවක් ඇති වෙයිද? කියා හිතේ බයක් හට ගන්න පුළුවන්. ඒ අවස්ථාවලදී සිතන්න: මේ කතාබහ කිසි සේත් මට අදාළ වන්නේ නැහැ. කේළාම් කියන්නේ, කේළාම් අසන්නේ වගේම අනුන්ට අපහාස නින්දා කරන්නේත් ඔවුන්ගේ ජීවිතවල ඇති අඩුවක් නිසා බව. එසේ සිතා ඔවුන්ට අනුකම්පා කරන්න.

මේ සැකය පිළිබඳව බුදුන් වහන්සේගේ උපදේශයක් තියනවා. වනාන්තරයේ ඉන්න භික්ෂුවකට යම් බියක්, තැති ගැන්මක් ඇති වුව හොත් ඒ බය ඇති වු ඉරියවුවෙන්ම සිතිය යුතුයි: මොකක්ද මේ බිය ඇති වන්න හේතුව? කියා. එසේ සිතා අනෙත් ඉරියවුවට පෙර ඒ සිටින්නා වූ ඉරියවුවෙන්ම විසඳාගත යුතුයි. මේ උපදේශය අපට ආදේශ කරගත යුතුයි. යම් පුද්ගලයකු ඔබ ගැන කතා කරනවා ඇති කියන සිතිවිල්ල ඔබේ සිතට පැමිණි විට ඒ වෙලාවේම එය තමන්ගේ සිතින්ම විසඳාගත යුතුයි. නැත් නම් ඒ සැකයේ නිමාවක් වන්නේ නැහැ. ඒ නිසා මේ සැකය පිළිබඳව මෙසේ සිතිය යුතුයි: “සැකයක්, සැකයක්...“ ඒ මෙනෙහි කිරීම තුළ ඒ අවස්ථාවේම සැකය නැති වී යනවා. එසේ නැති නම් “විචිකිච්ඡා නීවරණයක්, විචිකිච්ජා නීවරණයක්...“ යනුවෙන් සිතිය යුතුයි. අන්න ඒ සිතිවිලේම එය නැති කරගත හැකියි. ඒ සැකය දරුණු සැකයක් නම් “සිහි වෙනවා, සිහි වෙනවා... අමතක කරමි, අමතක කරමි“ කියා සිතන්න අවශ්‍යයි.

සැකය පිළිබඳ කථා කිරීමේදී විනය පිටකයේ තිබෙනවා ඉතා හොද ශික්ෂාපද දෙකක්. මේවා හඳුන්වන්නේ අනියත ශික්ෂාපද ලෙසයි. ඔබට යම් කෙනකුගේ හැසිරීමක් පිළිබඳ සැකයක් ඇති වෙන‍වා. එක්කො වැරදි හැසිරීමක හැසිරුණාද? එසේත් නැත් නම් කායික ස්පර්ශවල යෙදුණාද? අසභ්‍ය ආකාරයට කතාබහ කළාද? මේ අාකාරයට සිතා සැක උපදින්න පුළුවන් කියා බුදුන් වහන්සේ සඳහන් කර තිබෙනවා. ‍එලෙස සැක හිතුණු පුද්ගලයා තමා සැක කරන ඒ පුද්ගලයාට මේ පිළිබඳ සදහන් කරනවා. මෙලෙස සැක කරමින් අනෙකාට චෝදනා කරන තැනැත්තා සෝවාන් පලයට වත් පත් නොවූ කෙනකු නම් ඒ පිළිබඳ කලබල නොවිය යුතුයි. එයට හේතුව සෝවාන් පලයට වත් නොපැමිණි පුද්ගලයා බොරු කියන්නකු විය හැකියි. නිගමනයකට එන්න පෙර සිතන්න අවශ්‍යයි අදාළ කෙනා තමාගේ විශ්වාසවන්තයකු වුවත් බොරු නොකියන කෙනකු වුවත් මේ අවස්ථාවේ සැකය නිසා බොරුවක් කියනවා විය හැකියි, කියා. අප ඒ පුද්ගලයා කොතෙක් විශ්වාස කළත් සැකය නිසා කියන දෙයක් විශ්වාස නොකළ යුතුයි. ඒ නිසා අනියත ශික්ෂාපදවලින් දෙන උපදේශයක් වඩා වටිනවා.

සැකය දුරු කරගැනීමට සැකය හටගන්න හේතුව කුමක්ද කියා අප සිතිය යුතුයි. මමත්වය තමයි සැකය ඇති වීමට ප්‍රධාන හේතුව. ඒ මමත්වය අඩු කරන්න පුළුවන් නම් සැක-සංකා අඩු කරගන්න පුළුවන්. අපේ ශරීරය වෙන් කරලා බැලූ විට මම කියලා කෙනෙක් නැහැ. ගිහි ජීවි‍තයක් ගෙවන කෙනකුට වුවත් මම කියනවා 'යෝනිසො මනසිකාරය' ඇති කරගන්න කියා. නුවණින් මෙනෙහි කළ යුතුයි. “මේ සියලු ශරීරයම මම නොවෙයි, මගේ ආත්මය නොවෙයි.“ සියලු ශරීරයේ අංග දෙස බලමින් මෙසේ මෙනෙහි කරන්න. මනසට එන සියලු සිතිවිලි ගැන එසේ සිතන්න. ඕනෑම අවස්ථාවක මෙය කළ හැකියි. මෙය තමන්ගේ ජීවිතේ චිත්ත පරිවර්තනයක් ඇති කරනවා නියතයි. මමත්වය අඩු කරගැනීමට හැකි වනවා සේම ඒ මඟින් අනාත්ම සංඥාවක් ඇති කරගැනීමටත් හැකි වෙනවා. එවිට 'මම' ගැන ඇති වන සියලු සැක කටයුතු දේවල් නැති වෙනවා. සැකයක් ඇති වීමට කේළාම්ද බොහෝ ප්‍රබල ලෙස බලපානවා. ඒත් නුවණින් කල්පනා කර බැලුවොත් යමකු කේළාම් කියන්නේ තමන්ගේ අඩුවක් වසාගැනීම, තව කෙනකුගෙන් ලාභ සත්කාර ලබාගැනීම අරමුණු කරගෙන බව අපට පෙනෙනවා. ඒ අප නිසා එවැනි පුද්ගලයන් කෙරෙහි අනුකම්පා කළ යුතුයි. සැකයෙන් තොරව ජීවත් වන්න මේ අවබෝධයත් ප්‍රධාන හේතුවක් වනවා.

ඡායාරූපය - සරත් පීරිස්

Comments