මේ ගමන ආවේ මොකටද කියා මට හිතුණා | Page 2 | සිළුමිණ

මේ ගමන ආවේ මොකටද කියා මට හිතුණා

 එදා තම සිත්වල පැන නැඟි ඒ අභියෝගාත්මක සිහිනයට පණ දෙන්නට ඔවුන් දෙදෙනා අත්වැල් බැඳ ගත්තේ එකටය. ඇය ඒ සිහිනයට පණ දෙද්දී ඔහු සිය අවසන් කඩඉමේදි නොසිතූ අභියෝගයකට මුහුණ දුන්නේය. ජිවිතයේ එක් වතාවක් පමණක් හිමිවන එවරස්ට් තරණය නිමා කරන්නට මීටර් 448 ක් පමණ තිබියදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජොහාන් පීරිස්ට එවරස්ට් තරණයට අවස්ථාව අහිමි විය. එවරස්ට් තරණයේ රන් පිටුවක් පෙරළිමට සූදානමින් සිටි ජොහාන් සිය සිතුවිලි වෙනස් කරමින් පහළට රූටද්දි ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් තරණයේ ශ්‍රි ලාංකික වාර්තාවක් තබන්නට සමත් වූවාය. ඒ 2016 වසරේ වෙසක් පුර ලබද්දීය.

පරාජයේ අභියෝගය කරට ගත් ජොහාන්ට අනතුරුව ගෙවී ගිය වසර දෙකක් වැනි කෙටි කාලය තම ජීවිතයේ තවත් අභියෝගාත්මක වසරක් වූයේ එවරස්ට් කඳු තරණයේ සිහිනය ඔහුගේ සිතෙන් පහ නොවූ නිසාය. 2018 මැයි මස 22 වැනිදා නේපාල වෙලාවෙන් පාන්දර 5.55 ට ජොහාන් නැවතත් එවරස්ට් කඳු මුදුන තරණය කළේ ශ්‍රි ලංකාවේ ධජය ලොව උසම කඳු මුදුනේ දෙවැනි වරටත් ලෙළ දෙවමිනි. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් ජොහාන් ඇතුළු පිරිස එවරස්ට් කඳු තරණයේ අවදානම් පල්ලම් බසිමින් සිටිති.

එවරස්ට් කඳු නැඟීම මෙන්ම බැසීමද ඉතා සීරුමාරුවට කළ යුතු දෙයකි. කිසිදු විවේකයක් නොගෙනම දැඩි ජීවිත අවදානමක් දරා ගෙන එවරස්ට් කඳු මුදුනේ සිට බේස් කෑම්ප් දක්වා ජොහාන්ට බැසීමට පැය 50 ක පමණ කාලයක් ගතවන අතර ඔහු හා සන්නිවේදනය කළ හැක්කේද ඉන් අනතුරුව බව වාර්තා වෙයි. එතැන තරමක විවේකයකින් පසු නේපාලයේ වූ ලුක්ලා ගුවන් තොටුපළින් ඔහු කත්මන්ඩු දක්වා පැමිණීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. ඔහු ජූනි පළමුවැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

ජොහාන් මෙන්ම ජයන්ති කඳු නැඟීමේ අති දක්ෂයෝය. ලංකාවේ ඔවුන් හා සම හැකියා ඇත්තවුන් විරල බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ජොහාන්ගේ පියා මිල්රෝයි පීරිස්ය. මව සෙල්වින්ය. ජොහාන් ඒ පවුලේ බාල පුත්‍රයාය. ජොහාන්ට ශිරන්ත නමින් සහෝදරයෙක්ද ශාමිලා අමරසිංහ නමින් සහෝදරියක්ද වෙති. කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ අධ්‍යාපනය හැදෑරූ ජෙහාන් කුඩා කල සිටම විනෝදයට කඳු නැඟීමට පුරුදු පුහුණු වූයේය.

“මගේ මල්ලි මුලින්ම කඳු නගින්න පුහුණු වුණේ මගේ තාත්තා එක්ක. මගේ තාත්තා බාහිර ක්‍රියාකාරකම්වලට ගොඩාක් කැමැති නිසා මල්ලිත් එයට යොමු වුණා. එයා මුලින්ම තාත්තා එක්ක නකල්ස් නැග්ගා. එයා කුඩා කාලේ සිටම කිසි දෙයකට බය නැහැ. පොඩි කාලේ අපි කිතුල්ගල ගිහින් නාද්දි මල්ලි වතුරේ ගහගෙන ගියා. තාත්තා තමයි එයා ගල් දෙකක් අතර හිරවෙලා ඉඳිද්දි බේරගෙන තියෙන්නේ. එයාගේ ඒ අවදානම් වැඩ අපේ මතකයේ හැමදාම තියෙනවා. ඉන්පසුව මල්ලි එවරස්ට්, හිමාලයේ අයිපන්ඩ් පීක්, නේපාලයේ ඉම්ජා, ටැන්සානියාවේ කිලිමන්ජරෝ වගේ කඳු ගොඩක් තරණය කළා. එයාට ජයන්ති මුණ ගැසුණේ අයිලන්ඩ් පීක් කඳු තරණයේදි. තාත්තගේ ආසාවක් තිබුණා මල්ලි එවරස්ට් නඟිනවා දකින්න. ගිය වතාවේ මල්ලිට එවරස්ට් නඟින්න බැරිවුණේ එයාගේ ඔක්සිජන් සිලින්ඩරයේ ප්‍රශ්නයක් නිසා. එදා එයා අන්තිම මොහොතේදි හිත හදාගෙන ආපසු පහළට ආවා. ඒ ගිහින් ඇවිත් මාසයක් යද්දි අපේ තාත්තා මැරුණා. මේ නිසා මල්ලිට ඕන වුණා තාත්තගේ බලාපොරොත්තුව කොහොම හරි ඉටු කරන්න. එයා මේ ගමනේ භයංකරත්වය දැන ගත්තත් එයාගේ හිතේ ධෛර්යය ඕනෑවට වඩා තිබුණා. එයා මේ අවුරුදු දෙකේම කළේ පුහුණුවන එකයි. එයා හොඳ සූදානමකින් අප්‍රේල් 4 වැනිදා ලංකාවෙන් නේපාලය දක්වා ගියා. කලින් දවසේ එයාට ගෙදරට නෑයෝ හැමෝම එකතු වුණා. ගුවන් තොටුපළට යනකම්ම යාළුවෝ එයා තනි කළේ නැහැ. මල්ලි ලංකාවෙන් යද්දි ජයන්ති ලංකාවේ හිටියේ නැහැ. ඒත් හැම වෙලාවේම මල්ලිට ජයන්තිගේ සහාය ලැබුණා. බේස් කෑම්ප් එකට ගිහිනුත් මල්ලි විටින් විට අපිට කතා කළා. නිතර නිතර මෙහි දුෂ්කර බව දැනුම් දුන්නා. අන්තිමට කතා කළේ මේ මාසේ 17 වැනිදා හවස. කාලගුණය යහපත් නිසා කලින් නඟින්න උපදෙස් දුන් බවත් කීව්වා. එතැනින් පස්සේ අපිට තවමත් මල්ලි ගැන තොරතුරක් නැහැ. එයා බේස් කෑම්ප් එකට ආ පසුවයි නැවතත් අපිට කතා කරන්නේ.” ජොහෑන්ගේ සොහොයුරිය ශාමිලා පැවසුවාය. සොහොයුරාගේ කටහඬ ඇසෙන තෙක් ඇය බලා සිටින්නීය.

එවරස්ට් කඳු මුදුන තරණය කඳු නගින්නන්ගේ එකම සිහිනයයි. එහෙත් එය ජීවිතය පරදුවට තබා යායුතු ගමනකි. නේපාලය හා ටිබෙටයට මායිම්ව පිහිටි හිමාලයා කඳුයායේ පිහිටි එවරස්ට් කන්ද නඟින්නට නේපාල රජයෙන් විධිමත් අවසරයක් ගත යුතුය. එසේ රජයෙන් වසරකට බලපත්‍ර ලබා දෙන්නේද සීමිත ප්‍රමාණයකට පමණි. ඒ අවසරය දෙන්නේද විධිමත් කඳු නඟින්නන්ගේ මාර්ගෝපදේශක සහාය ලබා ගතහොත් පමණි. ඒ මේ ගමනේ ඇති දැඩි අවදානම හේතුවෙනි. එවරස්ට් තරණය කරන්නන් වසර 30ක කාලයක් පුරාවට මාර්ගෝපදේශකත්වය ලබා ගෙන ඇත්තේ ජාත්‍යන්තර කඳු නැගීමේ මාර්ගෝපදේශක ආයතනයෙනි. එවරස්ට් තරණයේදී මිය ගිය අය බොහෝ ය. අයිස් මත විනාශ නොවී පවතින එවැනි මළ සිරුරු එවරස්ට් තරණය කරන්නවුන්ට සුලබ අත්දැකීම්ය. 1924 ජූනි 8 වැනිදා එවරස්ට් කඳු මුදුනට ආසන්න වූ ජෝර්ජ් මැලරි හා ඇන්ඩෘ අර්වින් හිටි හැටියේ අතුරුදන් වූයේ කඳු මුදුනට නඟින්නට පෙරද නැද්ද යන දෙගිඩියාවෙන් වසර කිහිපයක් ගත වෙද්දී මැලරිගේ මළ සිරුර හිම අතරින් සොයා ගත්තේ අඩි 26755 ක් තරම් වූ උසකිනි.

මේ වන විට අඩුම තරමින් පුද්ගලයින් 250 කට ආසන්න ප්‍රමාණයක් එවරස්ට් තරණයේදි මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එවරස්ට් තරණයේ හිතකර කාලය අප්‍රේල් සිට මැයි දක්වා ය. එවරස්ට් කඳු තරණයේ ආරම්භක ස්ථානය වන්නේ බේස් කදවුරයි. එය පිහිටියේ අඩි 17500 ක් පමණ උසිනි. ඉන් අනතුරුව කෑම්ප් 1, 2, 3 හා 4 දක්වා ඇත්තේ අති භයානක ගමන් මඟකි. ඉන් භයානක වන්නේ ඉහළට යත්ම ඔක්සිජන් හීන වී යෑමයි. ඩෙත් සෝන් හෙවත් මේ මරණීය කලාපයේදි ශරීරයේ අවයව කෙමෙන් මරණයට පත් වන්නට පටන් ගනීයි. අධික සීතල හේතුවෙන් ඇස් අන්ධවීම්, දැඩි ආබාධිත තත්ත්වයන් බොහෝමයක් සිදුවිය හැකිය. ඒ සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. දෙවැනි කෑම්ප් එකින් පසුව යම් ආකාරයෙන් අනතුරකට ලක්වුවොත් කිසිදු ගැලවීමක් නැත්තේ එම කලාපයේ ඔක්සිජන් හීනතාව නිසා ඊට ඉහළින් හෙලිකොප්ටරයක්වත් ගමන් කළ නොහැකි නිසාය. එවරස්ට් මුදුන තරණය මෙන්ම බැසීමද දැඩි අවදානම් වන්නේ එවරස්ට් සාර්ථකව තරණය කළ අයෙකු නොනවත්වාම කැම්ප් 2 දක්වා බැසිය යුතු නිසාය. ඒත් මේ වන විට ජොහාන් ඒ අවදානම සාර්ථකව පසුකර හමාරය.

“ජොහාන් එවරස්ට් සාර්ථකව තරණය කළ බව දැන ගත්තහම මට ඇති වුණේ ලොකු සතුටක්. එදා මීටර් 50 ක් පමණ තියෙද්දි ජොහාන් අමාරු තීරණයක් ගත්තේ. එයා ආපසු හැරී ගිය එක එදා මට වේදනාවක් වුණා. අපි දෙන්නම එදා ජිවිතයත් මරණයත් අතර අත්දැකීම් අවබෝධ කර ගත්තා. ඒ අත්දැකීම් අවබෝධ කරගෙන යෑම තවත් අභියෝගයක්. ඒ භයානක අත්දැකීම් එක්කයි ජොහාන් නැවත වරක් එවරස්ට් තරණය කරන්න හිත හදා ගත්තේ. ඇත්තටම එයා හරිම ධෛර්යවන්තයි. අද තමයි අපේ ජයග්‍රහණය සාර්ථක වුණේ. ජොහාන් ගේ මේ චාරිකාවට රටේ සියලුම දෙනා හවුල් වුණා. එවරස්ට් කන්දට එයා තබන සෑම අඩියකටම රුපියල් සියයකින් දායක වූ සියලු දෙනාට ස්තූතියි. මම දැන් ජොහාන් ලංකාවට එනකම් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි තවත් කන්දක් හොයා ගන්නවා. සමහරු හිතනවා අපි එවරස්ට් නැග්ග පසු නඟින්න වෙනත් කඳු නැහැ කියලා. ඒත් එහෙම නැහැ. එවරස්ට් ලෝකයෙන්ම උස වුණාට මේ හැම කන්දක් තරණයේදීම විවිධ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මේ නිසා ජොහාන් ආවහම අපිට ඉදිරියේදි තවත් කන්දක් තරණය කරන්න පුළුවන්” පළමුව එවරස්ට් තරණය කළ ජයන්ති කුරු උතුම්පාල අප හා පැවසුවාය.

ජොහාන් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුව වනවිට බේස් කැම්ප් දක්වා පැමිණ තිබීම ලංකාවාසීන්ට ඔහුගේ හිතවතුන්ට මෙන්ම දෙමවුපියන්ටද සතුටට කරුණක් විය. අඩි 17500 ක් උසින් ඇති බේස් කඳවුරේදී දුරකතන ඔස්සේ ජොහාන් හා සම්බන්ධ විමට අවස්ථාව උදා වූයේ සන්නිවේදන බාධා මධ්‍යයේය. මුලින්ම ජයග්‍රහණයේ සුබ පැතුම් ඔහුට එක්කළ අපි ඔහුගෙන් ආගිය තොරතුරු විමසුවෙමි.

“මම මගේ ජීවිතයේ ගත්ත අමාරුම තීරණය තමයි නැවතත් එවරස්ට් නඟින්න හිත හදා ගැනීම. ඒ භයානක අත්දැකීම් ලබන්න මට නැවතත් ඕන වුණේ නැහැ. ඒත් ලංකාවේ හැමෝම මේ වතාවේ මාත් එක්ක එක්වුණා. ඒ අයගේ අපේක්ෂාව වුණේ නැවතත් සිංහ ධජය එවරස්ට් කදුමුදුනේ ලෙළ දෙවීමයි. මෙවර ජයන්ති නැතිවීම මට ලොකු පාඩුවක් වගේම පාළුවක් වුණා. ඇය සිටියා නම් මට විශාල ශක්තියක්. ඒත් මම නැවතත් එවරස්ට් නඟින්න ගොඩාක් පුහුණු වුණා. වෙනස් වෙනස් විධිවලට පුහුණු වුණා. ගියවර අත්දැකීම් නිසා මට මේ ගමන ගොඩාක් පහසු වුණා වගේම අපහසු වූ අවස්ථාද තිබුණා. ඒ භයානක අත්දැකීම් නිතර නිතර මතක් වීම. සමහර වෙලාවට මට හිතුණා මම නැවතත් ආවේ ඇයි කියලා. මෙවර පළමු අදියරේත් දෙවැනි අදියරේත් මට හිම කුණාටුවලට දැඩිව අසුවෙන්න සිදුවුණා. කිලෝ මීටර 50 ක වේගයෙන් හුළං හමද්දි යාම අපහසු වුණා. අපිත් එක්ක ගිය සමහරු අනතුරුවලට ලක්වුණා. හතර දෙනෙක් මගෙ ඉස්සරහ මැරුණා. මේවා මට ලොකු අභියෝග වුණා. මරණීය කලාපයේදි මම දැනගෙන හිටියා මම මොනවද කළ යුත්තේ කියලා. නිතරම ඔක්සිජන් සිලින්ඩරය ගැන කල්පනාවෙන් හිටියා. මේ නිසා මම මේ අභියෝගය අමාරුවෙන් ජයගත්තා. ලංකාවේ කොඩිය ලෝකයේම උසම තැනට ගෙන යෑම ගැන අද මට ගොඩාක් සතුටුයි. මේ මොහොතේ බේස් කඳවුරේ කාලගුණය අයහපත්. මේ නිසා බේස් කඳවුර ආසන්නයේ ඇති ලුක්ලා ගුවන් තොටුපළේ සිට කත්මන්ඩු දක්වා ගුවනින් එන්නට බැරිවෙයි. එහෙම වුණොත් මට නැවත දවස් හතරක් පයින්ම පහළට බසින්න සිදුවෙනවා. කත්මන්ඩුවලට මා පිළි ගන්න ජයන්ති එනවා. දැන් අපි දෙන්නගේ ජය සාර්ථකයි.” හිමාල කඳුකරයේ සිට ජොහාන් අප හා පැවසීය.

අප රටේ ධජය නැවත වතාවක් ලොව මුදුනේ බැබළවූ ජයන්තිත් ජොහානුත් ජූනි පළමුවැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

සුභාෂිණි ජයරත්න

Comments