අධිවේගී මාර්ගයේ ඉන්ධන ජාවාරම කොටු වූ හැටි | Page 2 | සිළුමිණ

අධිවේගී මාර්ගයේ ඉන්ධන ජාවාරම කොටු වූ හැටි

 “අයියා මාත් කරන්නෙ පස් කපන බිස්නස් එක... මටත් තියෙනවා පස් කපන මැෂින්... පස් අදින ලොරි කීපයක්ම... ඒත් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඩීසල් මිල.... බැරිද මටත් තෙල් ටිකක් දෙන්න”

“දෙන්න පුළුවන්... හැබැයි රෙඩි කෑෂ්...

අපි ණයට තෙල් දීලා හොඳ පරිප්පු කාලා ඉන්නෙ..”

“හරි... මං තෙල් දෙන්නම්... හැබැයි තෙල් ලීටර් 22ක් 23ක් තියෙන බූලියක් රුපියල් එක්දාස් පන්සීයයි.”

“ආ එහෙමද? කොච්චර ලාබද? ෂෙඩ් එකෙන් තෙල් ගහලා මේ බිස්නස් කරන්න ගියාම අපි අනාතයි.”

“එහෙමනම් මං දිගටම ඔයාගෙන් තෙල් ගන්නවා.”

“ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... මට ටිකක් තෙල් හොඳද කියලා බලන්න ඕනෑ... නැතුව ඉතින් සල්ලි දෙන්නත් බැහැනේ... දැනට මට ලීටර් පහක් දෙන්න..”

“එහෙනම් මේ රුපියල් පන්සීය තියාගෙන මට තෙල් ලීටර් පහක් දෙන්න.”

මාතර හම්බන්තොට ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ ජයට සිදුවූ ඉන්ධන ජාවාරමක් ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සූරියවැව, වල්සපුගල කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර කුලරත්න මහතා ඇතුළු කණ්ඩායම විසින් පසුගියදා කොටුකර ගනු ලැබිණ. තෙල් මිලට ගැනීම ගිය උපාය දූතයා වූයේ විශේෂ කාර්ය බළකා සාමාජිකයෙකි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස ඉදිවන මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ දිනවල ලහි-ලහියේ සිදුවෙමින් පවතී. එම ඉදිකිරීම් අතරේ මෙවැනි හොර ජාවාරම් ද වාර්තා වේ.

මේ පිළිබඳ කීප වතාවක්ම පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබුණත් නිසි වේලාව එනතුරු නිලධාරීහූ උකුසු ඇස් යොමා බලා සිටියහ. අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාගේ උපදෙස් අනුව එම මහා පරිමාණ ඉන්ධන ජාවාරම කොටුකර ගැනීමට සූක්ෂ්ම මෙහෙයුමක් දියත් කෙරිණි.

“අපිට තොරතුරක් ලැබුණා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල යොදවා තියෙන වාහනවලින් කෑමට නතර කර තිබෙන විටත් රාත්‍රියේදීත් ඉන්ධන හොරට අදිනවා කියලා. ඒ වගේම ඉන්ධන අඩු මුදලට සූරියවැව නගරයේ සිටින මුදලාලි කෙනෙකුට විකුණනවා කියලා.” සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාර කුලරත්න මහතා පැවසීය.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වාහනවලින් අදින ඩීසල් ලීටරයක් ජාවාරම්කරුවන් විකුණා ඇත්තේ රුපියල් 60 ක් 70ක් වැනි අඩු මුදලකටය.

“අපි ලොරියේ අංකයත් සමඟ උපාය දූතයා දැනුවත් කරලා තෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල්ද ඔහුට දුන්නා. අපේ කණ්ඩායමත් උපාය දූතයාත් සියලු සම්බන්ධතා දුරකථන මාර්ග ඔස්සෙ ඇතිකරගෙන තිබුණේ. මෙහෙයුම කළේ සූරියවැව හත්පහ හංදිය ගල්වැව මාර්ගයේදී. ඒ වගේම අපිට ලැබුණ තොරතුර අනුව සූරියවැව, ගල්වැව ප්‍රදේශයේ තෙල් ගබඩා කරන ස්ථානයත් වැටලුවා.”

එදින සිදුකළ මෙහෙයුමේදී 34 හැවිරිදි විජිත කුමාර සහ 32 හැවිරිදි බුද්ධික චාමර යන සැකකරුවන් දෙදෙනා සමඟ තෙල් ලීටර් පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකිවිය. ඒ අතර ලීටර් 217ක් පුරවන ලද යකඩ බූලි 60ක්ද විය. ඊට අමතරව සුදු පැහැති බොල්රෝ වර්ගයේ කැබ් රථයක් සමඟ තෙල් ජාවාරමට අවැසි උපකරණ මෙන්ම තෙල් මිලදී ගත් අය සමඟ කළ ගනුදෙනුවල තොරතුරු ඇතුළත් සටහන් පොතක්ද සොයා ගැනිණි.

රුපියල් ලක්ෂ ගණනක තෙල් අත්අඩංගුවට පත්වීමත් සමඟින් මේ ජාවාරමේ 'මුදලාලි' යැයි කියාගන්නා තැනැත්තාට දෙලෝ රත් වී ඇත. ඒ හොරට පන්නන තෙල් එකතු කොට ඔහු ඇතැම් දෙනාට ලබා දී ඇත්තේ ණයට නිසාය. ඒ අනුව ඔහුට මේ හොර තෙල් ජාවාරමෙන් රුපියල් ලක්ෂ 45කට වැඩි ප්‍රමාණයක් ලැබිය යුතුව ඇතැයි පැවසේ.

“ඒ මුදලාලි කියන තැනැත්තා ආව අපිව හම්බ වෙන්න... ඔහු කිව්වා මං මෙච්චර ණයයි... ඔය ගමන මම තෙල් ෂෙඩ් එකෙන් අරගෙන හරි මේ වෙළෙඳාම කරනවා... නැත්නම් මගේ ගනුදෙනුකරුවන්ගෙන් මට එන්න තියෙන මුදල් ගන්න බැරි වෙනවා කියලා.”

එදින කළ වැටලීමේදී ස්ථාන දෙකෙන්ම අත්අඩංගුවට පත් තෙල් ප්‍රමාණය ලීටර් 15000කට ආසන්න ප්‍රමාණයකි. එක් දිනකදී ලක්ෂ ගණනක් වටිනා මෙතරම් තෙල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ නම් මේ ජාවාරම හරහා මොනතරම් තෙල් ප්‍රමාණයක් හොර පාරෙන් පන්නන්ට ඇද්ද? එය රටේ ජාතික ධනය වැනසීමක් නොවේ ද?

ඊට අමතරව අධිවේගී මාර්ගයෙන් පන්නන ඉන්ධන එක්රැස් කරනා ඇඹිලිපිටියේ තිබූ තවත් මහා පරිමාණ අනවසර ඩීසල් ගබඩාවක් මෙන්ම කිලෝ 7000කට වැඩි යකඩ තොගයක් සහිත ලොරියක්ද පොලිස් විශේෂ කාර්ය බළකා බාරයට ගැනිණි. එහිදී චීන ජාතිකයකු සමඟ තවත් පුද්ගලයෙක්ද අත් අඩංගුවට පත්වීය.

නීති විරෝධි ජාවාරම් රැසකම හවුල්කරුවකු වන 'මුදලාලි' යැයි හඳුන්වන මේ පුද්ගලයා මීට පෙරද කීපවතාවක්ම පොලිස් පොතේ නම සටහන් වූ පුද්ගලයෙකි. මේ ජාවාරම්කරු මීට පෙරද හම්බන්තොට වරායෙන් හොර පාරෙන් ඉන්ධන ලබාගෙන අත්අඩංගුවට පත්ව හම්බන්තොට පොලීසිය විසින් අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබූ පුද්ගලයෙකි. පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට, ගාල්ල කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරි කේ.එන්.එන් ප්‍රනාන්දු හා හම්බන්තොට ප්‍රාදේශිය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි එම්.එල්.ආර් චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ මඟපෙන්විම යටතේ සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඒ.පි.පි කුමාර කුලරත්න සමඟ පො.සැ 34376 රංජිත්, පො.සැ 7194 රණසිංහ, පො.කො 70814 රාජපක්ෂ, පො.කො 75918 චතුරංග, පො.කො 86968 සංජිව යන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් වැටලීම් සිදු කෙරිණි.

අමිල මලවිසූරිය

Comments