දේව කැමැත්තට මාත් කැමැති වුණා | සිළුමිණ

දේව කැමැත්තට මාත් කැමැති වුණා

දෛවයේ චණ්ඩ ප්‍රහාරයන්ට ලක්ව අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ ඇය, දෛවයේ සරදමට සරදම් කරමින් ජීවිතය අත් නොහළ සැබෑ වීරවරියකි.

 සිරි කුරුස පල්ලියේ අල්තාරෙට දාන රෙද්ද මහන්නේ මං. පස්සේ මම ඒ රස්සාවට පූර්ණ කාලය යොදවන එක නතර කළා. මට මෙහෙම දෙයක් වුණාට මං ආස නෑ කිසි කෙනකුට බරක් වෙන්න. හැමදේටම වඩා මං ආස නෑ මං අසරණයි කියලා මට දැනෙනවට. ඒක මහා අවාසනාවන්ත හැඟීමක්. මට ඒ ගැන අත්දැකීම් ති‍ෙයනවා. දැන් මගේ ප්‍රධාන රැකියාව බීඩි එතීම. එම්බ්‍රොයිඩර් කරන එක පාඩුයි. නූල් ගණන්. බීඩි ඔතනවා, බීඩිවලට ලේබල් අලවනවා, බීඩි මිටි බඳිනවා” ඈ ලේබල් ගසා විස්සේ බීඩි මිටියක් පෙන්වමින් කියයි.

ඈ නමින් නිලංගා ය. මුන්නක්කරේ කුරුස පල්ලිය ආසන්නයේ ජීවත් වන නිලංගාගේ ඇවිදීමේ හැකියාව අහිමිව යන්නේ ඇයට යන්තම් වයස අවුරුද්ද සම්පූර්ණ වනවාත් සමඟ ය. ඒ මීට වසර 38 කට පෙර ය. පෝලියෝ රෝගය ඇගේ දෛව ඉරණම වී දෙපා සම්පූර්ණයෙන් ම ක්‍රියාවෙන් විරහිත විය. මීගමු කලපුවෙන් ගලා ආ පිළී ගඳ මුසුවූ සුළං රොද ඉහමොළ පුපුරුවන තරම් වූ දැඩි තාපයට එරෙහිව දැඩි අරගලයක යෙදුණි. ‘නිකොලස් මනිවෙල් ඇන්ටනී’ අප ගමන් සහයකයාගේ අව්‍යාජ ළෙංගතුකම පාරිසරික ශුෂ්ක බවින් අප මිදවීමට තරම් ම ප්‍රබල විය. දීර්ඝ හැදින්වීම් නවතා අපි ඇයට සවන් දෙමු.

“මම උපන්නේ හැත්තෑ නමයේ. මගේ තාත්තා දෙමළ අම්මා සිංහල. මට භාෂා දෙකම කතා කරන්න පුළුවන්. අපේ පවුලේ අපි සහෝදර සහෝදරියෝ අටයි. මට අවුරුද්දක් වයස වෙද්දී මේ ලෙඩේ හැදිලා. ටික ටික තේරෙන වයස එන කොට මට දැනුණා, මම අනිත් ළමයින්ගෙන් වෙනස් කියලා. දුක හිතුණා. ඇඬුවා. හිත කැඩිලා තිබුණේ. කිසි බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඔහේ හිටියා” ඇගේ දෑස මද රක්ත වර්ණයට හැරෙනු ද එහි දිළිසෙන ද්‍රවයක් නළියනු ද දැක ගත හැකි වුවත් ඒ කඳුළු ගලාගෙන යාමට නම් ඈ ඉඩ නොදුන්නා ය.

“මෙහේ දෙමළ ඉස්කෝලෙට ගියා දෙක වසරට වෙනකං. පස්සේ මන්නාරම් ගියා. ඒත් යුද්දේ කරදර නිසා අයිත් මෙහෙට එන්න වුණා. තාත්තා ධීවරයෙක්. තිබ්බ ආර්ථික අමාරුකම් නිසා අපිට උගන්වනවා තියා අපේ බඩ පුරවන එකම තාත්තට ප්‍රශ්නයක් වෙලා තිබුණෙ. තාත්තා ඔරුව අරන් හැම තැනම පදිනවලු මාළු හොයන්න. ටිරෝන් කුමාර් මගේ පොඩි අයියා. එයා තමයි මාව උස්සගෙන හැම තැනම යන්නේ. අද මං ඉන්නෙත් එයා ළඟ.” කෙටියෙන් වුවත් ඇගේ ජීවන ගමන ඈ සවිස්තරාත්මකව අප හමුවේ තැබී ය.

ඇගේම වචන වලින් ඈ පැවසූ පරිදි කිසිදු බලාපොරොත්තුවකින් තොරව ඔහේ ගෙවුනු ජීවිතයට ජීවන ආශාව පැමිණෙන්නේ “මදර් ක්‍රිස්ටියන්” නම් පූජකවරිය ඇගේ ජීවිතයට මුණ ගැසීමත් සමඟ ය.

“මදර් දෙවියෙක් වගේ. එතුමිය නිසා මගේ ජීවිතේ දෙවිදිහකට වෙනස් වුණා. එයා මට ජීවිතේ භාරගන්න වගේම ජීවිතේ ගොඩනඟන හැටිකියලා දුන්නා. මදර් මාව එයාලාගේ “නිසල දිය සෙවණ” මඩමට අරගත්තා. එයාලා මට ජීවත් වෙන්න අරමුණක් වගේම ක්‍රමයකුත් ඉගැන්නුවා. මං එතෙන්දි එම්බ්‍රොයිඩර් මැහුම් ඉගෙන ගත්තා. කොට්ට උර, බෑග්, ලේන්සු, මේස් ඔතන්න ඉගෙන ගත්තා. මට මුලින්ම රුපියල් 500 ක් පඩි හම්බුණා. මං ඒ පඩියෙන් අම්මට තාත්තට හැමෝටම තෑගි දුන්නා. සතුට කියන දේ මට හම්බුණා.” දෑත දෙපසට විහිදුවමින් මෙසේ කියන ඇගේ චලන ඇගේ සිත එළියට ඇද පෙන්වන්නාක් වැනි ය.

“දෙවියෝ දුන්න දේ භාරගත්තා දෙවියන් වහන්සේම මඟ පෙන්නුවා.” කුරුස ලකුණ පියාගේත්, පුත්‍රයාගේත්, ස්ප්‍රීතු සාන්තුගේත් නාමයෙන් සලකුණු කරමින් ඇය කීවා ය.

“සිරි කුරුස පල්ලියේ අල්තාරෙට දාන රෙද්ද මහන්නේ මං. පස්සේ මම ඒ රස්සාවට පූර්ණ කාලය යොදවන එක නතර කළා. මට මෙහෙම දෙයක් වුණාට මං ආස නෑ කිසි කෙනකුට බරක් වෙන්න. හැමදේටම වඩා මං ආස නෑ මං අසරණයි කියලා මට දැනෙනවට. ඒක මහා අවාසනාවන්ත හැඟීමක් මට ඒ ගැන අත්දැකීම් ති‍ෙයනවා. දැන් මගේ ප්‍රධාන රැකියාව බීඩි එතීම. එම්බ්‍රොයිඩර් කරන එක පාඩුයි. නූල් ගණන්. බීඩි ඔතනවා, බීඩිවලට ලේබල් අලවනවා, බීඩි මිටි බඳිනවා” ඈ ලේබල් ගසා විස්සේ බීඩි මිටියක් පෙන්වමින් කියයි.

“පුරුදු වෙන මුල් කාලේ ගොඩක් අමාරු වුණා ඇඟිලි තුඩු හුරුවෙලා තිබුණේ නූල් වලින් මල් ගොතන්න, හැඩ දාන්න.මං නූල් වලින් ගොතපු මල් මට සුවඳ දුන්නා. ඒත් මල්වලින් දුන්කොළ වලට, බීඩි කොළ වලට මාරු වුණාම ඒ සැර දරාගන්න අමාරු වුණා. හුස්ම ගන්න අමාරු වුණා. ඇඟලි තුඩු, නියකන්නි පුපුරු ගහන්න ගත්තා. ඒත් දුප්පත්කමට, බඩගින්නට ඒවා අදාළ නෑනේ මල්ලි” නිලංගක්කා ප්‍රශ්නයක් ඇසුවාද ප්‍රකාශයක් කළා ද යන්න දන්නේ ඇයයි.

“මේ රස්සාව ලේසි නෑ. රුපියල් හැටක් හොයන්න බීඩි දාහක ලේබල් අලවන්න ඕනෑ. බීඩි දාහක් එතුවොත් රුපියල් හයසීයක් හම්බ වෙනවා. කොළ දුන්කොළ අපට දෙනවා බීඩිය ඔතන්න අපි නූල් ගන්න ඕන.ලේබල් අලවන්න පාප්ප අපි හදා ගන්න ඕනෑ. මාසෙට අගයත් තියෙන පඩියක් ගන්න නම් අපි සෑහෙන්න වෙලාවක් මේකත් එක්ක ඉන්න ඕනෑ. එක විදිහට පැය ගානක් වාඩි වෙලා ඉන්න වෙනවා කොන්ද ඇඟිලි රිදෙනවා.” නිලංගා දෑතේ ඇඟිලි පිරිමදිමින් පවසයි.

දකුණු ඉන්දීය සම්භවයකින් පැවත එන බහුතරය දෙමළ භාෂාව කතාකරන මුන්නක්කරේ ගම්මානයට ඉහළින් සූර්යයා ටිකෙන් ටික මීගමු කලපුව දෙසින් බටහිර බලා ගමන් කරයි. මාස් අතු- කට්ට දැල්- ඉස්සන් දඩයමෙහි පිටත් වීමට නියමිත ධීවරයෝ කලපුව දෙසට ඇදෙති. අප නිලංගා සහෝදරියට සමුදිය යුතු ය. අවසන ඈ කියූ දෙයක් සිහි වෙයි.“දෙවියන් වහන්සේගේ කැමැත්තට මට මෙහෙම වුණා. ඒත් උන්වහන්සේ මාව අත ඇරියේ නැහැ. මම වැටෙන්නෙත් නෑ. ජීවිතය තව දුරයි අතහරින්නේ නෑ.” ඇගේ ප්‍රාර්ථනා දැල්වූ නෙත් යුග යළි යළිත් මට හෙමින්වේ සිහි ගන්වයි.“මිනිසකු විනාශ කළ හැකි ය. එහෙත් පරාද කළ නොහැකි ය.

චාමක වීරසිංහ

Comments