
පාසලේ පන්ති නායකයා වූ මා හට ශිෂ්‍ය නායක ධුරයක් හිමි වූයේ මා පාසලෙන් ඉවත් වන වසරේදීය. ඒ 1989 වසරයි. උදෑසන 6.45 වන විට කොළඹ පාසලට ගොස් පවරා ඇති කාර්යයන්හි නිරක වන්නට තිබූ නිසා උදෑසන අවදි වී පාර දිගේ ටික දුරක් දිව ගොස් වේගයෙන් ඇවිදිමින් පැමිණීම මාගේ දෛනික කාල සටහනේ වුණා. දිනක් අලුයම දිව ගොස් ආපසු හැරී පැමිණෙන්නට සූදානම් වන විටම මාළු ගෙන ඒමට ගිය අයකුගේ පාපැදියක ගැටීම නිසා මට එදා පාසල් යන්නත් බැරි වුණා. ඒ අදින් වසර 30කට පමණ පෙර මා ලද අත් දැකීමක්. ඒ අත්දැකීමට සමාන බොහෝ සිදුවීම් පසුගිය කාලයේ රටේ විවිධ තැන්වලින් වාර්තා වුණා. ශරීරයට නිසි පරිදි යෝග්‍යතාවක් නැති නිසා පාසල් දරුවන් උදෑසන රැස්වීම්වලදී ඇද වැටෙන්නටත් වුණා. අවාසනාවන්ත ලෙස පසුගිය වසරේ එවැනි දැරියන් දෙදෙනකුගේ ජීවිතත් අපට අහිමි වුණා.
යන්ත්‍ර සූත්‍ර මෙන් උදෑසන මහ මඟට බැස ගන්නා වැඩිහිටියන් යළි නිෙවසට එන්නේ අඳුරු වැටෙන විටයි. එතැන් සිට පසුදින කාර්යයට සිත යොමු කරන්නට හෝ තම දරුවන් ගෙන එන්නට ටියුෂන් පන්ති කරා යන්නට ඔවුන්ට සිදු වෙනවා. දරුවන් දැරියන්ද ඊට දෙවෙනි නැහැ. ටියුෂන් පන්ති ගොස් රාත්‍රියේ නිවෙස් කරා එන ඔවුන්ටත් කිසිදු ව්‍යායාමයක් නැහැ.
මේ නිසා පසුගිය කාලයේ දිගින් දිගටම දියවැඩියාව හෘදයාබාධ ඇතුළු රෝග රැසක් අපේ සමාජය වෙළා ගත්තා. මේ සම්බන්ධව සිදු කළ පර්යේෂණයන්ගෙන් හෙළි වූයේ සෑම පුද්ගලයන් තිදෙනකුගෙන් අයකුට දියවැඩියාව වැලදී හෝ ආසන්න තත්ත්වයක තිබෙන බවයි. මෙය ඉතාම භයානක තත්ත්වයක් බව තේරුම් ගැනීමෙන් අනතුරුවයි පාසල් දරු දැරියන්ට ක්‍රීඩාවට සම්බන්ධ වීම පිණිස නීති රීති පවා පනවන්නට සිදු වුණේ.
එහෙක් සියල්ල නීති රීති මඟින්ම කරන්න බැහැ. ආකල්ප වෙනස් කළ යුතු වෙනවා. ආකල්ප වෙනස් කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය වන යම් යම් පහසුකම් ලබා දිය යුතු වනවා. ව්‍යායාම කරන්නට පාසල් ගොස් දරු දැරියන්ට යම් පහසුකම් තිබුණත් වැඩිහිටියන්ට ඒ සඳහා ස්ථානයක් නැහැ. තිබුණත් ඒ මුදල් ගෙවා යා යුතු පෞද්ගලික ස්ථාන නිසා එයත් ජනතාවට ලොකු බරක් වුණා.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙනයි මීට වසර කිහිපයකට පෙර සිට ව්‍යායාම මංතීරු ආරම්භ කෙරුණේ.
ඒ ඇතැම් මංතීරු ජනතාවට ගමන් කිරීමට අපහසු ලෙසින් තැන් තැන්වලින් මංතීරුවල ගල් ගැලවෙන්නට වුණා. නඩත්තුව නිසි පරිදි නොකිරීම නිසා මංතීරු ජනතාවගෙන් ඈත් වන්නට ඉඩ තිබෙනවා.
කඩවත අධිවේගී පිවිසුම් මාර්ගය ඉතා කාර්ය බහුල ප්‍රදේශයක්. දවල් රෑ නැතිව වෙනසක් නැතිව මේ ප්‍රදේශයේ වාහන ගමනාගමනය සිදු වෙනවා. මහර ආසනය කේන්ද්‍ර කර ගත් අධිවේගි පිවිසුම් මාර්ගය අසල ව්‍යායාම මංතීරුවක් ආරම්භ කරන්න යෝජනා වුණා. මෙතරම් කලබල ප්‍රදේශයක මොන ව්‍යායාම මංතීරුද? ඒ වන විටත් ‘සිවු මංසල‘ නමින් කඩවත අධිවේගී පිවිසුම හදුන්වා තිබුණේ මධ්‍යම අධිවේගයත්,කොළඹ පිටත වටරවුම් මාර්ගයත් සම්බන්ධ වන නගරයක් බවට පත් වූ නිසා හා කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් දක්ෂිණ අධිවේගයට හා කොළඹ - කටුනායක අධිවේගයට ගමන් කළ හැකි නිසා.
මේ සිවුමංසල අසල මංතීරු ස්ථාපිත කිරීම ඇතැම් අය විහිළුවක් ලෙස එකල දැක තිබුණා. එහෙම වුණත් කඩවත ඇල්දෙණියේ සිවුමංසල අසල ස්ථාපිත කෙරුණු ව්‍යායාම මංතීරුව මංතීරුවකට පමණක් සීමා කෙළේ නැහැ. එවකට මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ වත්මන් මුදල් හා ජනමාධ්‍ය සහ මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සංකල්පයක් මෙන්ම බලවත් ප්‍රයත්නයක් යටතේ මේ ව්‍යායාම මංතීරුව සහිත කලාපය 'සුවත උයන නමින් ' ස්ථාපිත කිරීමට කටයුතු යෙදුණා. එය ව්‍යායාම මංතීරුවක් පමණක් වුණේ නැහැ. පරිසරය රැක ගනිමින් සොබා සෞන්දර්යය තවත් අලංකාර කරමින් ඉඳි කරන ලද අලංකාර පරිපූර්ණ ව්‍යායාම කලාපයක් වුණා.
එහි ඇවිදින මංතීරුවට අමතරව ව්‍යායාම උපකරණවලින් සමන්විත ගෘහස්ථ ව්‍යායාම මධ්‍යස්ථානයක්ද ඇතුළත් වනවා. ගෘහස්ථ මධ්‍යස්ථානයේ එකවර 7 දෙනකුට ව්‍යායාම කළ හැකි වෙනවා. ඊට අමතරව එළි මහනේ තවත් ව්‍යායාම උපකරණ සහිත පොදු ස්ථානයක් තිබෙනවා. කුඩා දරුවන්ට ක්‍රීඩාවෙන්ම ව්‍යායාම කළ හැකි ස්ථාන වෙනමම සකස් කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ කුඩා දරුවන්ගේ ක්‍රී භූමිය ‘පොළා පනින‘ (ස්පොන්ච්) ලෙසින් සකස් කර තිබීමයි. මේ නිසා කුඩා දරුවන්ට වැටීමෙන් හානි වන්නෙ නැහැ. එසේම දරුවන් වෙනුවෙන් වෙනම ළමා උයනක් තිබෙන නිසා නිවසේ කුඩා ඉඩකඩක සිර වී සිටින දරුවන්ට මෙහිදී ඇති පමණට විනෝද වන්නට පුළුවන්.
අවශ්‍ය පරිදි දිග ඇදෙමින් සිට ගනිමින් ව්‍යායාම කරන්නට ඉඩ කඩ වෙනමම සකස් කර තිබෙනවා.
දෙපසකින් ඇවිදින මංතීරුව විහිදෙනවා. ඇවිදින මංතීරුව මිටර් 1200ක් හෙවත් කිලෝමීරයක් සහ මීටර් 200ක් දුරට විහිදෙන අතර දෙතුන් වරක් එහි ඇවිද උදෑසන කාර්යාල කරා යන ජනතාව මෙන්ම අලුයම පැමිණ දුව පැන ඇවිදිමින් යන දරු දැරියන්ද සිටිනවා. මේ සියලු දෙනා සිදු කරන්නේ තම සෞඛ්‍ය රැක ගැන්ම පිණිස කරනු ලබන ක්‍රියාදාමයක්.
මේ ව්‍යායාම කලාපයේ අලංකාර ජලාශයක් ඉඳි කර ඇති අතර ගෘහස්ථ ව්‍යායාම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ජලාශයට මුහුණ දිය හැකි ලෙස ජලාශය අයිනේම ඉඳි කර ඇති බව පෙනෙන ලෙසින්. කෙතරම් කලබලකාරී වුවද ඈතින් ඇහෙන වාහන ශබ්දයක් ඇරෙන්නට තමන්ගේ පාඩුවේ ව්‍යායාම කර ගත හැකි ස්ථානයක් ලෙස මේ ව්‍යායාම මංතීරුව සහිත සුවත උයන හඳුන්වා දෙන්න පුළුවන්.
අලංකාර ජලාශය අවසන් වනවාත් සමඟම කුඹුරු යායකි. එහි ගොයම් පැළ වැවෙන කාලයටත් අස්වනු නෙළන කාලයටත් හමන ගැමි සුවඳ රජරට අඩවිය සිහි කරන අතර ‘සිවු මංසල‘ වැනි නාගරික ස්ථානයක සිටින බවක් ද නොදැනේ.
කෙත් වතු මුසුව හමා එන මඳ සුළඟත් සමඟ ව්‍යායාමයේ නිරත අය පින් දෙන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍යය රැක ගැන්ම උදෙසා ලබා දුන් මේ අනර්ඝ සම්පත සිහි කරමිනි.
මහර ආසනයේම ජනතාවගේ ගත සිත දෙකෙහිම සැනසීම උදෙසා ඉඳි කළ මේ ව්‍යායාම මංතීරුව සහිත ව්‍යායාම කලාපයට පිවිසෙන විට ව්‍යායාමය කරදරයක් සේ සලකන්නකුට වුවද එහි ගොස් අඩුම ගණනේ ව්‍යායාම මංතීරුවේ එක් වටයක් හෝ ගමන් කිරීමට සිතෙන්නේය.
මේ ගැන අවධානයෙන් සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ සුවත උයන අවට ප්‍රදේශයේ ජනතාව තම ඉඩම් පවා මේ සඳහා ලබා දී ඇති බවයි. වෙෙනකක් පවා තම ඉඩමෙන් පර්චස් 90ක් වාහන ගාල් කිරීම උදෙසා එක් අයකු විසින් ලබා දී ඇති බවත් අපට දැන ගන්නට ලැබුණා. අධි වටිනාකමක් ඇති රුපියල් කෝටි ගණනක වටිනාකමක් තිෙබන භූමි භාගයක් එසේ ලබා දී ඇත්තේ හිමිකරුටද මේ ස්ථානයෙ දියුණුවෙන් පසු පැමිණෙන ජනතාව සමඟ වෙළෙඳ කටයුතු කර ගැනීමේ පහසුව ඇති වන නිසයි. අනෞන්‍ය සුහදතාවයක් ලෙසින් සිදු කෙරෙන එවන් කාර්යයන් අප අගය කළ යුත්තේ අධිවේගී මාර්ග තැනිමට බඩම් ලබා ගැනීමේදී ලත් අත්දැකීම් නිසයි. ඒ අනුව බලනකල එවන් පරිතයාගයන් අප අගය කළ යුත්තේ එයින් සමස්ත ජනතාවටම සෙතන් සැලසෙන හෙයිනි. එසේම අවට ප්‍රදේශයේ මාර්ග පුළුල් කර ගැනීමට පවා තම ඉඩම් ලබා දෙමින් මේ ජනතාව සිදුකර ඇත්තේ ජාතික සේවයක්. එයින් අපට පැහැදිලි වන්නේ මේ ව්‍යායාම මංතීරු ප්‍රදේශය තමන්ගේම බවට පසක් කරගෙන එහි වටිනාකම තේරුම් ගෙන එය රැක ගැන්මට ප්‍රදේශයේ ජනතාව කටයුතු කරන බවයි. සතියකට දෙවරක් අනිවාර් යෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත්තේ අපේ රටේ බොහෝ විවෘත කිරීම් ඉන් පසුව වල් වදින තත්තවයකට පත් වන නිසයි. වාර්ෂිකව පවත්වන මහර වෙසක් කලාපය මෙවර පැවැත්වූයේද මේ ව්‍යායාම මංතීරු කලාපය ආසන්නයේමයි. එසේ වුවත් ජලාශයේ හෝ අවට ටොපි කොළයක්වත් දකින්න නැහැ. මෙහි නඩත්තුව එතරම්ම හොඳින් සිදු කෙරෙනවා.
ළමා උයනක්ද සහිතව ඉඳි කර ඇති මෙහි නඩත්තුව සිදු කරන්නේ සිවිල් ආරක්ෂක බළකාය සහ පහත්බිම් ගොඩකිරීමේ මණ්ඩලයේ පිරිස් විසින්. තණකොළ නිසි පරිදි කපා නඩත්තු කරමින් සිදු කෙරෙන මෙහි අලංකාරය රැක ගන්න තවත් පිරිසක් කටයුතු කරන බවත් අපට පෙනී යනවා. ඒ අවට ප්‍රදේශවාසීන් සහ ව්‍යායාම සඳහා පැමිණෙන ජනතාවයි.
සුවත උයන ජනතා අයිතියට පවරන ලද්දේ පසුගිය වසරේ පෙබරවාරි මස 06 වැනිදායි. එසේ වුවත් අද විවෘත කළාක් මෙන් එහි නඩත්තුව සිදු කර ඇති ආකාරය ප්‍රශංසනීයයි. යුද හමුදාව විසින් සුවත උයනේ ළමා උද්‍යානය තනනු ලැබුවා. එයත් ඉතාම විශිෂ්ට ලෙස නිමවා තිබෙනවා.
අපි මේ සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය සහ මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසා සිටියා.‘ජනතාවට රෝහලක් හා සමාන ස්ථානයක් ලෙසින් අප මෙය විවෘත කෙළේ. මේ කාර්යයට දායකත්වය ලබා දෙන සියලු ආයතනවලට අප ස්තුතිය පළ කළ යුතු වෙනවා. මෙහි ප්‍රධාන අරමුණ විය යුත්තේ පිරිසිදුකමයි. ඕනෑම දෙයක් පවිත්‍රව තබා ගන්නා තෙක් එයට පැමිණෙන ජනතාව වැඩි වෙනවා වගේම ඒ අය එම ස්ථානයට ප්‍රිය කිරීම නිසා එහි සාර්ථකත්වය දිගටවම පැවතෙනවා. මේ ව්‍යායාම මංතීරුව වගේම ව්‍යායාම සඳහා සකස් කර ඇති සියල්ලම අපේ කියන සංකල්පයෙන් බලන්න කියන ඉල්ලීමයි මට කරන්න තියෙන්නෙ'
ඇමැතිවරයාගේ කතාව පිළිපදින්නට අපට හැකිනම් ඕනෑම අභියෝගයක් ජය ගැන්මට අපට හැකි වනවා. අපේ යන පොදු හැඟීම ඇත තුරු කිසිවකුට අප යටත් කරන්න බැහැ. ඒ වගේම කිසිදු පොදු දෙයකට හානි වන්නේ නැහැ. ව්‍යායාම කිරීමට තැනක් නොතිබූ මහර කඩවත රාගම පාර ගණේමුල්ල පාර ගෝනහේන ඇතුළු ප්‍රදේශ රෙැසක ජනතාවට දැන් ඒ සඳහා උපරිම පහසුකම් ඇති තැනක් නොමිලේම හිමිව තිබෙනවා. බස් රථයකින් හෝ පාපැදියකින් හෝ පැමිණ ව්‍යායාම කිරීමට සම්බන්ධ වෙන්නන පුළුවන්. අප කළ යුත්තේ මෙහි වටිනාකම අවබෝධ කර ගැනීමයි. මෙහි ඉදිරි කටයුතු ප්‍රාදේශීය සභාව විසින්ද කරනු ලබාවි. අප කළ යුතු වන්නේ ආරක්ෂා කර ගැනිමයි. අවට කිසිදු ස්ථානයක සුවත උයන වැනි ව්‍යායාම උයනක් නොමැති බව වටහා ගෙන අපටමඒ සම්බන්ධයෙන් ආදරයෙන් කටයුතු කරන්නේ නම් ඒ සහනය අපට හැමදා ලබා ගන්නට පුළුවන්.
සේයාරූ - විමල් කරුණාතිලක හා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
තාරක වික්‍රමසේකර