
ඔස්ට්‍රේලියාවේ ඇබොරොජිනියස්වරුන්ගේ ක්‍රිකට් කණ්ඩායම් දෙකක් එක්සත් රාජධානියේ සංචාරයක යෙදෙන්නට නියමිත ය. මීට වසර 150කට කලින් මෙවැනි සංචාරයක් පැවැත්වුණු අතර එය නම් මිනිසත්බවට නිගාදුන් තරගාවලියක් විය.
ඔස්ට්‍රේලියාවේ ඇබොරොජිනියස්වරුන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ලබන මාසයේදී එක්සත් රාජධානියේ සංචාරයක යෙදෙන්නට නියමිත ය. බැලූ බැල්මට එය ඒ හැටි බරක් පතළක් නැති ප්‍රවෘත්තියකි. එසේ වුවත් ඔස්ට්‍රේලියාවේ ආදිවාසික ජනයා මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නියැලෙන්නට ඒ මහත්වරුන්ගේම රටට හෙවත් එක්සත් රාජධානියට සේන්දුවීම නමැති කාරණය දිගහැර බැලූ විට ඒ පසුපස විශාල කතන්දරයක් තිබේ. ඒ කතන්දරය පටන් ගන්නේ සුදු මහත්වරුන්, ඔස්ට්‍රේලියාව දණ්ඩන ජනපදයක් හෙවත් “පීනල් කොලනියක්” කරගත් තැනෙණි.
18 වන සියවසේදී පමණ ඔස්ට්‍රේලියාව දණ්ඩන ජනපදයක් බවට පත් කරගත්තේ මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපා රාජ්‍යය කිහිපයකි. ඒ අනුව පළමුවෙන් ම එහි පිටත් කෙරුණේ යුරෝපා අපරාධකරුවන් ය. යුරෝපීයයන් ඒ අන්දමට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වනවිට ඔස්ට්‍රේලියාව නිජ බිම කරගත් ස්වදේශිකයන් පිරිසක් එහි විසූ බැව් අප අමතක කළයුතු නැත. එම ස්වදේශිකයන් එහි ජීවත්වෙමින් සිටියේ වසර 40,000කට අධික කාලයක සිට ය. මෙකී ස්වදේශික ජන කොටස් අතර ඇබොරොජිනියස්වරුන්ට හිමි වන්නේ සුවිශේෂ තැනෙකි. යුරෝපීයන් ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වීමත් සමඟම එහි විසූ ස්වදේශික ජනයාගේ ජන ජීවිතයට කණ කොකා හඬන්නට පටන් ගත්තේය. සෙසු ස්වදේශික ජන කොටස්වලට තම නිජබිම්වල අයිතිය ගිලිහී යෑම, ඒ අතර සිදුවුණු මහා කාලකන්ණිකම ය. පිටදේශක්කාර යුරෝපීයයන් සිදුකරන නොයෙක් ආකාරයේ හිංසා ද ඔවුන්ට ඉවසන්නට සිදු විණ. ඒ ඔස්සේ ස්වදේශිකයෝ, “කලින් වාසය කළ අයගේ” තත්ත්වයට හෙවත් ආදිවාසික තත්ත්වයට පත්වෙමින් සිටියහ.
එවන් පසුබිමක හිටි අඩියේම වාගේ ඇබොරොජිනියස්වරුන්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් එක්සත් රාජධානියේ සංචාරයකට සූදානම් කෙරිණ. සංචාරය යෙදී තිබුණේ 1868 මැයි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළයි. එය, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් බැව් නොකිවහොත් අඩුවකි. විදේශ සංචාරයක යෙදුණු මුල්ම ක්‍රීඩා කණ්ඩායම් අතරට මේ කියන ක්‍රිකට් කණ්ඩායමත් ඇතුළත් විණ. ඉන් පෙර ලෝ පුරා ක්‍රිකට් සංචාර තුනක් පමණක් සිදුව තිබුණු බැව් සඳහන් වේ. එපමණක් නොව ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ජාතික මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් කරළියට පැමිණෙන්නේ ද එයින් දස වසරකට පසුව ය.
යට කී ඇබොරොජිනියස්වරුන්ගේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වුණේ ඔස්ට්‍රේලියාවේ ජර්ඩ්වඩ්ජාලි, ගුන්ඩ්ට්ජ්මරා සහ වොට්ජොබලුක් යන නම්වලින් එදා හැඳින්වුණු ප්‍රදේශ කිහිපයක අය ය. මේ ප්‍රදේශ අද අයත් වන්නේ එරට වික්ටෝරියා ප්‍රාන්තයටයි. දහ හතර දෙනකුගෙන් සැදුම් ලත් ඇබොරොජිනියස්වරුන්ගේ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නේ චාල්ස් ලෝරන්ස් නමැති සුද්දෙකි. මෙවන් පසුබිමක අදින් වසර 150කට පළමුව 1868 මැයි 13 වැනිදා - මේ කණ්ඩායම ලන්ඩන් නුවරට සේන්දු වූහ. කණ්ඩායමට ඇතුළත් වුණු ක්‍රීඩකයන් දහහතරදෙනාට තිබුණේ ඇබොරොජිනියස් සංස්කෘතියට අනන්‍යය දිගු නම් ය. සුදු ජාතිකයන්ගේ දිව උලුක්කුවට හේතුවන ඒ නම් අතහැර පහසුවෙන් උච්චාරණය කළ හැකි නම් ලබා ගන්නට මේ ක්‍රීඩකයන්ට බල කෙරිණ. ඒ නිසා බුල්චනාච්ට, බුලොකි කියාත් ජුන්ගුන්ජිනැනුකේට ඩික් - අ - ඩික් කියාත් නම් වෙනස් කරගන්නට සිදුව තිබුණේය. නම් තැබීමේ මංගල්‍යයේ ප්‍රතිඵලයක් හැටියට ඇබොරොජිනියස් ක්‍රිකට් කණ්ඩායමේ හිටියේ ජොනී, බුලොකි, ඩික් - අ - ඩික්, සන්ඩොවුන්, කින්ග් කොලේ, ජොනී කුසෙන්ස්, රෙඩ් කැප්, ට්වොපෙනී, චාර්ලි ඩුමාස්, ජිමි මොස්කිටෝ, ටයිගර්, පීටර් සහ ජිම් ක්‍රෝ යනුවෙන් අලුතින් බවුතිස්ම කරනු ලැබූ පිරිසකි.
කණ්ඩායම ලන්ඩනයේදී පළමුවෙන්ම තරගයකට මුහුණ දුන්නේ මැයි 25 වැනිදා ය. තරගය, ඕවල් ක්‍රීඩාංගණයේදී විසි දහසකට අධික නරඹන්නන් පිරිසක් ඉදිරියේදී පැවැත් විණ. ඇබොරොජිනියස්වරුන්ගේ පළමු ක්‍රිකට් තරගය, එක්සත් රාජධානියේ මාධ්‍යවේදීන්ට එදා තලුමර මරා රසවිඳිය හැකි හොඳ මාතෘකාවක් වූයේය. මාධ්‍ය වාර්තා බහුතරයකට විෂයය වී තිබුණේ ඇබොරොජිනියස්වරුන්ගේ ක්‍රිකට් හපන්කම් නොව, සුද්දන්ගේ බඩ කණපිටට පෙරළවන්නට හේතුවුණු පෙනුම ය. වෙනස් විදිහකට කිවහොත් සුද්දන්ට තරම් ලස්සන ශරීර ස්වභාවයක් ඇබොරොජිනියස්වරුන්ට නැති නිසා තරගය බැලූ සුද්දන් තුළ හටගත් බඩදඟලන අප්පිරියාව සහ ඔක්කාරයයි.
“ද ටයිම්ස්” පුවත්පත සිය වාර්තාවේ එක් තැනෙක සඳහන් කර තිබුණේ මෙවැන්නකි.
“... ඔවුන්ගේ කොණ්ඩය සහ රැවුල දිග ය. ඔවුන්ගේ හම කළු පැහැයෙන් යුතු ය. හුඟදෙනකුට තිබුණේ ඉතා පුළුල්ව විහිදුණු නාස්පුඬු ය. කෘෂිකාර්මික වැඩ නිසා වන අකුල්වල හැදී වැඩී තිබුණත් යුරෝපීය පදිංචිකරුවන් නිසා මේ මිනිස්සු ශිෂ්ට සම්පන්න වී සිටියහ. එමෙන්ම ඉංග්‍රීසි භාෂාවට සෑහෙන දුරට හුරුවෙමින් සිටියහ. ...” යනුවෙනි.
“ද ඩේලි ටෙලිග්‍රාෆ්” පුවත්පත ඇබොරොජිනියස්වරුන් හඳුන්වා දී තිබුණේ “ස්වදේශික වනචාරීන්” හැටියට ය. එම වාර්තාවේ සඳහන් වුණු කාරණාවලට අනුව ඇබොරොජිනියස්වරුන් රාත්‍රිය තරම් කට්ට කළු ය.
ක්‍රිකට් පිටියට බට ඇබොරොජිනියස්ලාගේ නාස් කුහරවල දිග පළල සහ හමේ කළු පාට ගැන කතා කිරීම සුද්දන්ගේ සුදුකමට සහ උත්තමකමට සරිලන “ෆර්ස්ට් ක්ලාස්” වැඩක් නොවිණ. එය ඔවුන්ගේ “ෆර්ස්ට් ක්ලාස්” තුච්චකමේ පිළිබිඹුවක් බැව් ඇඟවෙන කතාවක් පර්යේෂක ආචාර්ය ග්‍රෙග් ඩිමොරේ පසු කලෙක සඳහන් කර තිබිණ. ආචාර්ය ග්‍රෙග් පවසන්නේ එදා මේ සංචාරය සංවිධානය කෙරුණේම සල්ලි උත්පාදන අරමුණෙන්යැයි කියා ය. ප්‍රේක්ෂකයන් ක්‍රිකට් නරඹනු වෙනුවට මේ අමුතු වනචාරින් දෙස බලමින් ලජ්ජා නැතිව රසයක් වින්ද බව ග්‍රෙග් නොවලහා පවසයි.
ඇබොරොජිනියස්වරුන්ගේ හයමස් ක්‍රිකට් සංචාරයේ අමතක නොවන තැන් ඕනෑ තරම් ය. ඔවුන්ගේ සංචාරයට තරග 47ක් ඇතුළත් විණ. එයින් තරග දාහතරකදීම ඔවුහූ සුද්දන්ට රිදෙන්නට ගසා ජයපැන් බිවූහ. තවත් තරග දහහතරකදී ඔවුහු සුද්දන්ගෙන් මදි නොකියන්නට කා පරාජය වින්දහ. තරග 19ක්ම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් පෑවේ උනාර්රිමිනි හෙවත් ජොනී මුලග්හ් ය. ඔහු ලකුණු 1698ක් රැස්කළා මදිවාට විකට් 245කුත් ලබාගත්තේ ය. ජොනීගේ මේ දස්කම් සුද්දන් රිස්සුවේ නැත. එකල පළමු පෙළ බ්‍රිතාන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජෝර්ජ් ට්‍රන්ට් තරගයක විවේක කාලයේදී ඔලොක්කුවට මෙන් ජොනීට පන්දු කිහිපයක් එල්ල කර තිබිණ. “මම එවෙලේ පන්දු යැව්වේ හොඳ පිතිකරුවකුට නොවෙයි” කියමින් ජෝර්ජ් තම අසමජ්ජාති වැඩය පසුව සමාජ ගත කළේය. මේ සංචාරයේදී කින්ග් කෝලේ ක්ෂය රෝගයට ගොදුරුව මිය ගියේය. කින්ග්ගේ දේහය ලන්ඩන් නුවරදීම මිහිදන් කෙරිණ. සන්ඩොවුන්ද ජිම් ක්‍රෝද අගෝස්තුවේදී අසනීප වූයෙන් ආපසු හැරී ගෙදර ආහ.
ඇබොරොජිනියස්වරුන්ගේ ක්‍රිකට් ගැහිල්ලට එදාට වඩා අද මානුෂික මුහුණුවරක් එකතු වී තිබේ. එනිසා ඔස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමටත් ඔවුහූ මේ වනවිට එකතුවෙමින් සිටිති. කෙසේ වුවත් ලබන මාසයේදී එක්සත් රාජධානියට යන ඇබොරොජිනියස් ක්‍රිකට් කණ්ඩායම් දෙක සියවස් එකහමාරක යටගියාව ලෝකයට යළිත් සිහිපත් කරවන්නට සූදානමින් සිටින බව වාර්තා වේ.
BBC ඇසුරෙනි