
උත්තර දෙන්නේ ජයමාල් ය. මල්ලිට එරවිල්ලක් යොමු කරන ගමන් ශ්‍රීමාල් හෙමිහිට කියන්නේ වචන කීපයකි. “අනේ නෑ අම්මේ අම්මා දන්නවානෙ ඔයාගෙ ලොකු පුතාගෙ හැටි.. බොරු වියදම්.. සෝබන.. මොකවත් නෑ.. හා.. ඔය ප්ලෙන්ටිවලට වඩේවලට තෝසෙවලට.. තමා ... ඉතින් තනියෙන් කන්නත් බෑනෙ අම්මේ අපි හතර දෙනෙක් ඉන්නේ.. එකට.. අපි හරි එකතුයි...!”
“හා.. පුතේ ඉන්නකො.. මං මේ සැරේ ටිකක් සල්ලි වැඩිපුර දෙන්නංකො... පාඩම් කරද්දි නිදිමරනකොට ළමයින්ට බඩගිනි වැඩිනෙ..” අපේ අම්මා නම් දේවතාවියක් ම තමා ශ්‍රීමාල්ට හිතෙයි. “මොකක්ද අම්මේ මල්ලි ගැන කියාගෙන ආවේ...?”
ශ්‍රීමාල් අයියාත්, ජයමාල් මල්ලීත් කාමරය දෙක වෙන්න සිනාසෙයි. හයියෙන් කතා කරන කතා කාටවත් පැහැදිලි නැත. ඒ තරමට ඒවා වේගවත් ය. හරියට විනෝද සමය වගේ ය. කැම්පස් එකේ කථා ගැන කියද්දී ජයමාල්ට හිනාව නවත්වන්ට බැරි තරම් ය. ඒ තරමට උද්යෝගයකි.
“මගේ රූමයො ටික නම් හරිම ජොලි මල්ලි.. අපේ උදාර කියල යාළුවෙක් ඉන්නවා මෑන් නාට්‍යකරයා. හැම තිස්සෙම නාට්‍යකෑලි රඟපාන එකමයි වැඩේ.. මිනිහා උදේට නැගිටින්නෙත් නාට්‍යක් රඟපාගෙන.. මාර දෙබස් ඌ කියන්නෙ.. අපි හිනා කාලා මැරෙනවා!”
‘හරි ජොලි අයියෙ.. ඉස්කෝලෙ කාලෙට වඩා ෂෝක් නේ...”
“ෂෝක් නම් තමයි.. ඒත් මල්ලි.. මේ සැරේ ටිකක් වැඩිපුර පොකට් මනි ගෙනියන්න වෙනවා.. පව්.. බං.. උන්ට සල්ලි නෑ (ෂ්.. ඒවා අම්මලා එක්ක කියනවා නෙවි හරිද?) උන්ව නඩත්තු කරන එකත් ලේසි නෑ මල්ලි.. කොයි වේලේත් කෝඩෙ ගහලා ඉන්නේ.. හහ්හා...”
“නියමයි අයියෙ.. ඔයා එහෙනං දැන් උන්ගෙ වීරයා වෙලා ඇති.. හා.. අයියට කියන්න බැරි වුණානෙ..”
එතකොටම කාමරයට ආවේ නිර්මලා මැණිකේ ය.
“ඔව්.. ඔව්.. අයියාටත් කියන්න දැන් මලයාගෙ හපන්කම් ගැන කිව්වෙ නැද්ද තවම...?”
අම්මාගේ පැමිණීම අයියා මලෝ දෙදෙනාගේ ම මුහුණු වෙනස් කළේ ඉබේට ම ය. ඊළඟට නිර්මලා මැණිකේ ලොකු පුතාගේ ඇඳුම් බෑගය අස්කරයි. නහයට ද ළං කර මූණ හකුළයි.
“මේ ඔක්කෝම හෝදන්න දාන ඒවා නේද පුතා...”
“ඔහොම තියන්න අම්මේ.. මං ඕවා අස්කරගන්නම්. අම්මා කරදර වෙන්න එපා!”
ශ්‍රීමාල්ට බය හිතුෙණ් ඇඳුම් බෑගයේ ඇති දිනපොත අදීවි කියන කුකුස ය! ඒකෙ තියෙන සංකල්පනා දැක්කොත් නම්...? ජයමාල්ට හිනා ය. ඔහු අයියා දිහා බලන්නේ හීනියට උපහාස හිනාවක් දාගෙන ය. ඊළඟට අම්මා ශ්‍රීමාල්ගේ මුදල් පසුම්බිය අරියි. ඇගේ ඇස් විශාල වෙයි.
“කෝ.. පුතේ.. මේකෙ සතයක්වත් නෑනේ.. අන්තිම සතේට හිදිලානෙ..!”
“මෙයාට බර වියදම්.. ලු අම්මේ.. බර වියදම්..!”
උත්තර දෙන්නේ ජයමාල් ය. මල්ලිට එරවිල්ලක් යොමු කරන ගමන් ශ්‍රීමාල් හෙමිහිට කියන්නේ වචන කීපයකි.
“අනේ නෑ අම්මේ, අම්මා දන්නවානෙ ඔයාගෙ ලොකු පුතාගෙ හැටි.. බොරු වියදම්.. සෝබන.. මොකවත් නෑ.. හා.. ඔය ප්ලෙන්ටිවලට වඩේවලට තෝසෙවලට.. තමා ... ඉතින් තනියෙන් කන්නත් බෑනෙ අම්මේ අපි හතර දෙනෙක් ඉන්නේ.. එකට.. අපි හරි එකතුයි...!”
“හා.. පුතේ ඉන්නකො.. මං මේ සැරේ ටිකක් සල්ලි වැඩිපුර දෙන්නංකො... පාඩම් කරද්දි නිදිමරනකොට ළමයින්ට බඩගිනි වැඩිනෙ..”
අපේ අම්මා නම් දේවතාවියක් ම තමා ශ්‍රීමාල්ට හිතෙයි.
“මොකක්ද අම්මේ මල්ලි ගැන කියාගෙන ආවේ...?”
ඊළඟට ශ්‍රීමාල් මාතෘකාව වෙනස් කළේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ය.
එවෙලේ ජයමාල් හීන් සීරුවේ කාමරයෙන් පිටව යන්නේ හොර බළල් සෙයියාවෙන් යැයි ශ්‍රීමාල්ට හිතෙද්දී ම අම්මා කතාව පටන් අරගනියි.
“පුතා දන්නෙ නෑ.. පුතේ දැන් මල්ලි ඉස්සර හිටපු දරුවා නෙමේ. හුඟක් වෙනස් වෙලා. කතාබහ විතරක් නෙමේ ගති පැවතුම් පවා හරිම අමුතුයි. එයා අපේ වලව්වල වැඩිහිටියො එහෙම ගානක් ගන්නෙම නෑ. අපේ අයට එයා හිනාවෙනවා.”
නිර්මලා මැණිකේ පොඩිපුතාගේ යහන මත වාඩිවෙයි.
“මේ බලන්න මේ ළමයගෙ ඇඳක හැටි. නැගිට්ටම ඇඳ ගසලා කොට්ට හදලා පොරවන ඒවා නවල දාන එක වෙන කාට හරි දාලා ඇඳන් හිටපු සරමත් පිට්ටුවක් වගේ හලලා දාලා ඔහේ යනවා.”
“ඕවා නම් ඉතිං සාමාන්‍ය දේවල්නෙ අම්මෙ. මට ඇහුණේ මේ මොකක්හරි ගෝරියකට පැටලිච්ච කතාවක් අප්පච්චි කියනවා.”
“ඔව් ළමයො ඒකත් ඇත්ත. ඒ නම් මල්ලි ගහගන්න ගිහිල්ලා තියෙන්නෙ.. කවුදෝ එකෙක් කිව්වලු මහ කටකැඩිච්ච කතාවක් වලව්වල හාමුලාගෙ පැටිකිරියවල් ගැන.. ඒක හින්ට් එකක් ගානට අරගෙන තමා මල්ලි පැටලිලා තියෙන්නෙ..”
නිර්මලා මැණිකේ කියන්නේ සුසුමක් හෙළමින් ය.
“ඒ වුණාට මල්ලිට ඉස්කෝලෙ හරි කවුරු හරි යම් යම් දේවල් කියලා තියෙනවා පුතේ.. වලව් පෙළපත්වල අය ගැන.. අවකල්කිරියාවල් ගැන..”
“අවකල්කිරියා ඉතිං.. වලව් කට්ටියම විතරද කරන්නෙ ඕවා ලෝකෙ රටේ හැමතැනම කෙරෙන - කෙරිච්ච ඒවානෙ අම්මෙ...”
ශ්‍රීමාල් කියන්නේ අම්මාව සන්සුන් කරන්ට හිතාගෙන ය. නමුත් කාමරයෙන් එළියට යන්නට හදන ගමන් ඔහු හිත යට සැඟවිලා ඇති ප්‍රශ්නය මතු කරයි.
“අම්මෙ ඒක නෙමේ.. මොකක්ද දැන් සුදු නැන්දගෙ වැඩේට වෙන්නෙ අම්මේ.. සමන්ති අක්කාව මුණගස්සනවලුද එයාට?”
නිර්මලා මැණිකේ නැගී සිටියේ පුදුම වෙමිනි. මේ ළමයාට මේවා කාගෙන් ආරංචි වෙලාද? ඒ අතරේ විල්ප්‍රඩ් හාමුගේ කටහඬ ඇසේ.
“මැණිකේ.. මෙහාට ආවානං..! ඕං.. සුදු මැණිකෙ නංගිලා මෙහේ එනවලු හැන්දෑවට...!”
“ආ... අප්පච්චි.. මිලින්ද අයියත් එනවද එහෙනම්...”
ශ්‍රීමාල් ගේ කටහඬේ උනන්දුව විල්ප්‍රඩ් හාමුට ඇල්ලුවේ නැත.
“ඇයි... මොකෝ... ඔච්චර හදිස්සිය.. ආ ළමයො?”
“ඔය මිලින්ද ළමයා නිතර පුතාට කතා කරනවද පුතේ...?”
අප්පච්චිගේ ප්‍රශ්නය ඒක ය. නිර්මලා මැණිකෙත් ඒ ප්‍රශ්නයට උනන්දු ය.
“ඇයි අප්පච්චි එහෙම අහන්නෙ...?”
ශ්‍රීමාල් ඇසුවේ පුටුවෙන් නැගී සිටිමින් ය. එය ප්‍රශ්නයකට වඩා අමනාප ප්‍රකාශයකිනි.
“ආස්සරේ කරද්දි ඔය නෑදෑයො වුණත් ගාණකට මිම්මකට ආස්සරේ කරන්න ඕනෑ පුතේ. නැත්නම් ඒකෙ නරක ප්‍රතිඵල තමා අපට ලැබෙන්නෙ.”
“ඉතිං මොකක්ද අප්පච්චි ඔය කතාවේ තේරුම? ඔය රත්නපුරේ වලව්වෙ කට්ටිය ඒ කාලෙ ඉඳන් ම අපි ළඟින් ම ආස්සරේ කරනවානෙ. ඒ පාර අප්පච්චිට එයාලත් එපා වුණාද? අනික ඒ ඩග්ලස් මාමා අපේ අම්මගෙ එක්කුස උපන් අයියා! මිලින්දලා සමන්තිලා අපේ සහෝදරයො..!”
ශ්‍රීමාල් එහෙම කියාගෙන යද්දි විල්ප්‍රඩ් හාමුට කට උත්තර නැත! තොලකට වෙව්ල වෙව්ලා බස්තම බිමට ඇනගෙන ආලින්දයෙන් මිදුලට බසියි. ඔහු මිදුලේ හාල් කමින් සිටි පරෙවියන්ටද දෝස්මුරයක් දැම්මේ ය.
“ෂිප්... වැදගැම්මකට නැති සත්තු...! මුන්ට කන්න දානවට වඩා හොඳයි... අනේ මගේ කට..!”
නිර්මලා මැණිකෙගෙ හිත පත්තුවෙලා ය. ඒ, ශ්‍රීමාල් පුතාගේ මුව බෙරිවීගෙන යන හැටි දැකලා ය. ඒ අතරේ ජයමාල් ද ආලින්දයට ආවේ මේ කතා බහ අහලා හිත කරදර කරගෙන ය. ඔහුට අයියා ගැන දුක ය.
“අයියෙ.. මෙහාට එන්න..!”
ඔහු අප්පච්චි දිහා හොරැහින් බලමින් අයියාට කතා කළේ ඒ නිසා ය. අයියාගේ ඇස්වල පිරිච්ච කඳුළු දැකලා ඔහුට හරිම කේන්ති ය. නමුත් එවිට ම වාගේ කන්ද උඩට දුම් පිඹගෙන පිඹගෙන ආවේ රත්නපුර හාමුලාගේ වාහනය ය.
දැන් ජන්තුවාට දොලෝ රත්වෙලාය. නොණ්ඩි කකුල පොළොවේ ගැසුවේ ඒක ය. බෙරිවෙච්ච මූණු ටික දැකලා රත්නපුරේ හාමුලට මොනවා හිතේවිද? එක අතකට කුමාර පුතා කියන්නා වගේ කා ගැනවත් කවුරුවත් හිතුවාට අපට මොකද ඕවා වලව් - වලව් හුටපට නෙවැ.. ඔහු එසේ සිතා හිත හදාගෙන කුස්සිය පැත්තට දුව ගියේ සිරියාට කාරණේ දන්වන්නට ය.
********
ජයතිස්ස ලහි ලහියේ ගෙදරට කෝල් එකක් ගත්තේ හිත ඇතුළෙන් ගැහෙමින් ය. චන්ද්‍රලතා ඇමතුම ගන්නට ආවේ මොන වෙලාවක හරි සිත පුපුරා යන ආරංචියක් ලැබේවිය යන සැකය ඔස්සේ ය.
“මේ චන්දරෝ ඇහුණය, ඕං හාමුලා ලෑස්ති වෙන්නේ සුදු මැණිකෙ හාමුට අපේ මේ සමන්ති හාමුව මුණිච්චං කොරන්න..”
“හා... එතකොට අනේ අපේ පුතා..? ඌට යන කල මොකක්ද... ඔයා එහෙම මේවට මැදිහත් වෙන්න එපා! අපි ඉවරයි දෙයියනේ..”
“කෑනුගහ හිටින් චන්දරෝ අපි කොහොමද ඉවර වෙන්නෙ.. උඹලගෙ ඔය හෑටෑව හින්දා තමයි හැමදාම ප්‍රශ්න..!”
චන්ද්‍රලතා කට වහ ගත්තේ කවදාවත් නැතිව ජයතිස්ස නැඟූ ඒ ගෝරනාඩුවෙනි. එක අතකට කමක් නෑ. විල්ප්‍රඩ් හාමුත් මේවාට මැදිහත් වෙනව නැතෑ. උන්දැ හරි අපේ පුතණ්ඩියව බේරගන්නෙ නැතැයි. චන්ද්‍රලතා ගේ මූණේ කපටි හිනාවක් ඇඳිලා යයි. මේ උප්පරවැට්ටි විලම්බෑසි ඔක්කොම දන්නේ විල්ප්‍රඩ් හාමුත් තමනුත් විතරමය. ඈට හිනාවක් පහළ වෙයි.
“අම්මෙ සමන්ති අක්කාව සුදු මැණිකෙ හාමුට මුණගස්සන්නෙ කොහොමද අම්මෙ.. මෙහේට ගෙන්නලාද... නැත්නම් වලව්වට ගෙන්නලාද?”
ලබන සතියට