මහ කැලයේ ගණන්කාරයා | සිළුමිණ

මහ කැලයේ ගණන්කාරයා

ශ්‍රී ලංකාවේ වනාන්තරවල හමුවන දරුණුතම සත්වයා ලෙස සැලකෙන්නේ වලසා ය. සාමාන්‍යයෙන් කැලයේදී හමුවුව හොත් බේරී යෑමට අපහසු සතකු ලෙස ද සැලකේ. සතුරා දු‍ටු විට දෙපයින් හිට ගන්නා වලසාගේ පහර දීම සිදුවන්නේ මුහුණ ප්‍රදේශය ඉලක්ක කරගෙන ය.

අර්සිඩේ (Ursidae) කුලයට අයත් වලසා ලංකාවේ වියලි කලාපීය මෝසම් වනාන්තරවල වාසය කරන සුවිශේෂ ක්ෂීරපායි සත්වයෙකි. වලසාගේ වාසස්ථාන හමුවනුයේ ඉන්දියානු උප මහද්වීපයෙනි. ශ්‍රී ලංකාවේ හමුවන උපවිශේෂයක් වන Melursusursinusinornatus මෙරටට ආවේණික වන අතර මොවුන් ඉන්දියාවේ ද දක්නට ලැ‍බේ.

ඝන ලොම්වලින් වැසීගිය කළු කබාය වලසාට සුවිශේෂ හැඩයක් ගෙනදෙයි.මේ වලසුන්ගේ සිහින් හැඩය,දිගැති ඝන ලොම් වලින් වැසී ගිය කබාය,දීප්තියෙන් අදුරු හොම්බ සහ සුදු පැහැති නහය හේතුවෙන් මොවුන් ආසියානු කළු වලසුන්ට වඩා සුවිශේෂ වේ. වැඩිහිටි පිරිමි සතෙක් බරින් කිලෝග්රෑම් 130 ක් ද, ගැහැනු ස‍තෙක් කිලේග්රෑම් 110 ක් දක්වා ද සාමාන්‍යයෙන් වර්ධනය වන මොවුන් උරහිස දක්වා උස සෙ මී 60-90 පමණ වෙති.

මිනිස් ක්‍රියාකාරකම් අවම වියළි කලාපීය මෝසම් වනාන්තරවල පිහිටි යාල, විල්පත්තු, කුමන සහ වස්ගමුව යන ජාතික උද්‍යාන වලදී වලසුන් දැක ගැනීමට හැකි අතර කැලෑවේදී මොවුන්ගේ දුර්ලභ දැකීම නිසාම වැඩි සංචාරක ආකර්ෂණයට හේතු වී ඇත.

ස්වාභාවික වනාන්තරයක දී වසර 12ක් පමණ ජීවත් වන වලසා වයස අවුරුදු තුනේදී ලිංගික පරිණතිය ලබයි. වැලහින්න දින 210ක ගැබ් කාලයකින් පසු ගස් බෙනයක, ගල් ගුහාවක් තුළ,සාමාන්‍යයෙන් පැටවුන් එකකු,දෙදෙනකු හෝ කලාතුරකින් තිදෙනකු බිහි කරයි.

වැඩි වශයෙන් වේයන් ආහාරයට ගන්නා වලසා ඊට අමතරව මී වද ආහාරයට ගැනීමට ද ප්‍රියතාවක් දක්වයි.ගස් නැගීමේ ශූරයන් වන මොවුන් වීර සහ පලු වැනි පලතුරු කෑමට ද ඉතා ප්‍රිය වන අතර සතුන් දඩයම් නොකරන මුත් මැරුන සතුන් ආහාරයට ගනී.

වලසුන් සම්බන්දයෙන් ජනවිශ්වාස රැසක් පවතී. ඒ කැලයේදී මිනිස් හූ හඬකට සමාන හූ හඬක් ඇසුනොත් ඒ පසුපස නොයා යුතු ය. ඒ වලසාට ද මිනිසකු මෙන් හූ හඬ නිකුත් කළ හැකි බැවිනි. එමෙන් ම කැලයේදී හමුවන මිනිස් පා සටහන් ඔස්සේ කැලයට නොයා යුතු බවද කියන්නේ වලසාගේ පා සටහන් ද මිනිසාගේ පා සටහන්වලට සමාන හෙයිනි.

ඡායාරූප - විල්පත්තු සමූහ

Comments