නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

දුරු රට අවුරුද්ද

ඇය සිය සැමියා ද, සිඟිති දියණිය ද සමඟ ඉතාලියේ වසන්නී ය.

බක් මහ උදා විය. අවුරුදු සුවඳ ඇයගේ මතකයට ආවේ ය.

අවුරුද්දට කැවිලි ටිකක් හැදීමේ ආසාව ඇගේ සිත තුළ ජනිත විය.

කැකුළු සහල් ටිකක් ඇය සතු වුවද එය කොටා ගන්නා ක්‍රමයක් ඇයට හිතා ගැනීමට බැරි විය.

‘අපි අවුරුද්දට කැවිලි ටිකක් හදමුද? හාල් ටික පිටි කර ගන්ඩ ක්‍රමයක් තමයි නැත්තෙ. ග්‍රයින්ඩරයක් අරගෙන දෙන්ඩ පුළුවන්ද?’ ඇය සැමියාගෙන් ඇසුවා ය.

සැමියා ඇය දෙස බලා මොහොතක් කල්පනා කළේය. ග්‍රයින්ඩරයක් මිලදී ගැනීමට නගරයට යා යුතු ය. නගරයට සෑහෙන දුරක් තිබේ. ඊට රාජකාරියෙන් බැහැර කාලයක් සොයා ගත යුතු ය. ඒ වෙනුවෙන් මුදලක් ද සූදානම් කර ගත යුතු ය.

‘ලබන මාසෙ අරන් දෙන්නම්’ ඔහු තැන්පත් හඬින් කීවේ ය.

‘ලබන මාසෙ අරගෙන හෙට අනිද්ද අවුරුද්දට කැවිලි හදන්නෙ කොහොමද?’ ඇයට නෝක්කාඩුවක් කියැවිණ.

ඔහු රාජකාරියට ගියේ ය.

ඇය හිතුවිල්ලට වැටුණා ය.

හදිසියේ ම ඇයට අපූරු කල්පනාවක් ආවේ ය. ඇය සිය සිඟිති දියණියගේ අතකින් අල්ලා ගෙන ගෙයින් එළියට බැස්සා ය.

ඇය ඉදිරියේ වූයේ සුවිසල් වත්තකි. දෙදෙන ඒ හරහා එහි කෙළවරට ගියහ.

වත්ත අවසන් වූයේ ගඟකිනි. ගං ඉවුරේ නොයෙක් හැඩයේ කළු ගල් විය. ඇතැම් ඒවා දිය පහරට වැදී රවුම් වී තිබිණ.

ඉන් රවුම් දිගැටි ලොකු ගලක් තෝරා ගත් ඇය එය සෝදා ගොඩට ගත්තා ය. අනතුරුව එය උකුලේ තබාගෙන දියණිය ගේ අතින් අල්ලා ගෙන ආපසු නිවෙසට ආවා ය.

ඇය සිටියේ උද්‍යෝගයෙනි. ගල යළි යළිත් සෝදා පිරිසුදු කර ගත් ඇය මොහොතක් එහි හැඩ බැලුවා ය. ඇගේ දෙතොලෙහි ද අමුතු හිනාවක් මතු විය.

ඉන් පසු සහල් පෙ‍ඟෙන්නට දැමූ ඇය තම සුපුරුදු වැඩකටයුතුවල යෙදුණා ය.

පැය කිහිපයකට පසු සහල දියෙන් බේරා ගත් ඕ ඉන් ටික ටික ගෙන අර ගලෙන් අඹරා ගත්තා ය. සැලකිය යුතු වේලාවකදී මුළු සහල ම අඹරා ගැනීමට ඇයට හැකි විය.

දවල් අහර ගන්නට සැමියා එන විට ද ඇය යෙදී සිටියේ මේ කාර්යයේ ය.

‘මොකක්ද බබා ඔයා ඔය කරන්නෙ?’ ඔහු තරමක පුදුමයෙන් ඇසුවේ ය.

‘මං ග්‍රයින්ඩරයක් හදා ගත්ත’ ඇය ඇඟට පතට නොදැනී කියා දැමුවා ය.

‘ෂෝක්! අපි දැන් කමුද? මට යන්ඩ තියනව’ ඔහු සිනාසුණේ ය.

ලංකාවේ සිංහල අලුත් අවුරුද්ද ඉතාලියේ ඔවුන් ගේ නිවෙසට ද උදා විය.

උදා අහරින් පසු ඇය විශේෂ අතුරුපසක් මේසය මත තබා තාත්තාටත්, දූටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! යි පැතුවා ය.

එහි වූයේ ඇය විසින් පෙර දිනෙය් පිළියෙල කොට රහසේ සඟවා තබන ලද හැඳි කැවුම් (රත්නපුර ප්‍රදේශයේ අවුරුදු කැවිල්ලකි) සහ දොදොල් ය.

මේ කතාව ඇය අපට කීවේ වීඩියෝ ගත කරන ලද අවුරුදු කැවිලි ද පෙන්වමිනි.

ඈ දිරිය ඇගැයූ මම ඇය ඉහළින් පැසසීමි.

මේ අලුත් අවුරුද්දේ මා ඇසූ හොඳ ම කතාව එය යි.

වටද්දර තල්ගහහේනේ අයිරානි සේනානායක මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


ගැමි බර

නගරයක මාවතකි.

දෙපස කඩසාප්පු ය.

මගීහු යති. එති.

මවක්, පියෙක් සහ දියණියක් සෙනඟ අතරින් මතු වූහ.

මව චීත්තයක් හා හැට්ටයක් හැඳ සිටින්නී ය.

පියා සරමක් හා කමිසයක් හැඳ ඇත.

දියණිය හැඳ සිටියේ හිර කොට ගවුමකි.

මවගේත්, පියාගේත් දෑත්හි බඩු මලු ය.

දූගේ අතේ ජංගම දුරකථනයකි.

මාපියෝ පාර අයිනේ නැවතී බර බිම තබා මොහොතක් ගිමන් හැරියහ.

දියණිය නැවතී, ආපසු හැරී, දුරකථනය ඔබන්නට වූවා ය.

‘දුවේ, මින් එකක් ඔයත් ගත්ත නං ගමන පහසුයි. ඉක්මනට ගෙදර යා ගන්ඩ පුළුවනි’ මව කීවා ය.

‘අනේ අම්මෙ මට ඕව උස්සගෙන යන්ඩ ලැජ්ජයි!’ ඇය ගත් කටට ම පිළිතුරු දුන්නා ය.

මට හිනා ගියේ ය.

හලාවත, එම්.ඩබ්ලිව්. අනුර ශාන්ත පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments