ඩෙංගු වැළැක්වීමට නවීන තාක්ෂණික මෙවලමක් | සිළුමිණ

ඩෙංගු වැළැක්වීමට නවීන තාක්ෂණික මෙවලමක්

 දිනෙන් දින ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු කතාබහත් දිනෙන් දින අලුත් වන්නේ ඩෙංගු රෝගයේ අවදානම තවමත් පහව ගොස් නැති බැවිනි. මේ දිනවල පැවැති කඩින් කඩ ඇඳ හැලෙන වර්ෂාව මේ ඩෙංගු මාරයාගේ ව්‍යාප්තියට අපූරු තෝතැන්නත් සැපයෙන හෙයින් ඩෙංගු වලින් තොර පරිසරයක් අපේක්ෂා කිරිම අපට තරමක් උගහට කරුණක් වන්නේය. පසුගිය වසර යනු ඩෙංගු ව්‍යාප්තියේ අධි අවදානම් කාලයක් වූයෙන් අති විශාල පිරිසක් ඩෙංගු රෝගයට ලක්වූ අතර බහුතරයක් ඩෙංගු රෝගයෙන් මරණයට පත්වූ ඛේදනීය පුවත්ද ඇසූ යුගයක් විය. ඒ අතරින් වඩාත් කණගාටුදායක ප්‍රවෘත්තියක් වූයේ එම ඩෙංගු රෝගීන් අතරින් සියයට 30 ක් වැනි පිරිසක් පාසල් දරුවන් වීමය. එසේම බොහෝ දරුවන් පිරිසක් පසුගිය වසරේ අකාලයේ මරු වසඟයට ගියේ මේ භයානක ඩෙංගු වසංගතයේ භයානකකම හේතුවෙනි.

ඒ අමිහිරි අතීතය අපට අමතක නැත. අතීතය අමතක කර ජීවත් වන්නටද අපට නොහැකිය. අප ජීවත් විය යුත්තේ අනාගතය හැඩ ගසාගත යුත්තේ ඒ අතීත පාඩම්වලිනි. විමසිලිමත් වීම මෙන්ම දැනුවත්වීම එවන් කණගාටුදායක අත්දැකීම් නැවතත් අප කෙරෙන් පලවා හරින්නට සමත් වන්නේ ය. අප රටේ ඇති පාසල් දස දහසකට ආසන්න ප්‍රමාණයක වූ මිලියන 4.4 ක දරු පිරිසක් රැක ගැනීමේ භාරදූර වගකීම ඇත්තේ දෙමවුපියන් වන අප අතේ ය. ගුරුවරුන් වන ඔවුන් අතේය. රට වැසියන් වන සැම අතේය.

ඉතා සතුටුදායක කරුණක් වන්නේ අප මතකයෙන් තවමත් ඩෙංගු අවදානමට මුහුණ දීමේ ශක්තිය ගිලිහී නොයෑමය. රටේ සමස්ත පාසල් මේ අවදානම තවමත් අමතක කර නැත්තේ ය. වැස්ස ඇතත් නැතත්, ඩෙංගු වාර්තා වීම් ඇතත් නැතත් අපේ පාසල් පද්ධතිය තවමත් වෙහෙසෙන්නේ ඩෙංගුවලින් තොර පාසල් පද්ධතියක් පවත්වා ගැනිමටය. ඩෙංගු රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගන්නේ නම් දරුවාගේ ජීවිතය බේරා ගත හැකිවන්නා සේ ඩෙංගුවලින් තොර පාසල් පද්ධතියක් බිහිකරන්නේ නම් දරුවන් ඩෙංගු රෝගයෙන් මුදවා ගත හැකිබව මේ වන විට රටම අවබෝධ කරගෙන ඊට ක්‍රියාශ්‍රිලීව දායක වීම සතුටට කරුණකි. මන්ද ඩෙංගු මදුරුවා වැඩි වශයෙන් ක්‍රියාශ්‍රිලි වන කාලයේ දරුවන් වැඩිපුරම ගැවසෙන්නේ පාසල් පරිසරයේ වීමය.

“ ඩෙංගුවලින් මිදුණු පාසල් පරිසරයක් ඇතිකිරීම විදුහල්පතිවරුන් විදියට අපේ වගකීමක් වෙනවා. සෑම පාසලක්ම පාසල් නිවාඩුව අවසන් වී ආරම්භයත් සමඟම පාසල් පිරිසුදු කිරීම් දෙමවුපිය ගුරුවරුන්ගේ මෙහෙයවීමෙන් සිදුවෙනවා. හැම පාසලකම ඒ කටයුතු සාර්ථකයි. ඒ වගේම බොහෝමයක් පාසල්වල සෑම සති අන්තයකමත් මේ පිරිසුදු කිරීම් සිදුවෙනවා. ඒත් මේ පවිත්‍රතාව පවත්වා ගත යුත්තේ දරුවන් විසින්මයි. මේ නිසා ඩෙංගු අවදානමින් මිදුණු පාසල් පරිසරයක් ඇති කිරීමට දරුවන්ගේ දායකත්වය මෙන්ම දැනුවත්වීම ඉතා වැදගත්. ඇත්තමට දරුවෝ දැන් ගොඩාත් දැනුවත්. බොහෝමයක් පාසල් වල දරුවන් තමන්ගේ පාසල අපිරිසුදු කරගන්නේ නැහැ. බත් කොළ, විවිධ අපද්‍රව්‍ය මෙන්ම කුණු පාසල් පරිසරයේ දාන්නේ නැහැ. පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් විසින් නිරන්තරයෙන්ම ඒ ගැන සොයා බලනවා. දරුවන්ට අපේ යන හැඟීම තියෙනවානම් ඔවුන් තමන්ගේ පාසල ලස්සනටත් පිරිසුදුවටත් තියා ගන්නවා....“ ඒ විදුහල්පතිවරුන් කිහිප දෙනෙක් තමන්ගේ පාසල ගැන පැවැසූ අදහස්ය.

මේ වන විටත් පාසල් දරුවන් ඩෙංගු අවදානමින් මුදවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්ව විද්‍යාලය, සිංගපුපූරුවේ ‘නැන්යෑංග්‘ තාක්ෂණ විශ්ව විද්‍යාලය මෙන්ම මොබිටෙල් ආයතනය එක්වී පාසල් දරුවන් අතරින් ඩෙංගු තුරන් කිරීමේ විශේෂ මොබිටෙල් ඇපයක් හෙවත් 'DenguFreeChild' (ඩෙංගු රෝගයෙන් මිදුණු දරුවෙකු) නමින් ජංගම දුරකතනය හරහා බාගත (download) හැකි විශේෂ ඇපයක් හදුන්වා දී ඇත. මෙම ඇපය මඟින් තම දරුවෙකුට හෝ තම පාසලේ සහෝදර ගුරුවරියකට හෝ ගුරුවරයෙකුට ඩෙංගු රෝගය හෝ උණ තත්ත්වයක් පවතියි නම් එය පාසලට වාර්තා කිරීමේ හැකියාව පවතියි. “ මෙය අපි විසින් හදුන්වා දුන් සමාජ සත්කාරයක් . පාසල හා දෙමවුපියන් අතර සිදුවන මෙම හුවමාරුවෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් වෙනවා, ඒ ඒ පාසලේ ඩෙංගු රෝගින් වාර්තා වීම් ගැන. ඒ අනුව ආසාදිත ප්‍රදේශයට ගොස් අදාළ ක්‍රියාමාර්ග ගන්නට, මදුරු කීටයන් විනාශ කරන්නට මෙන්ම ආසාදිත දරුවන්ට මෙන්ම අවදානම් පාසල් පරිසරයන්ට පිළියම් සකසන්නටත් මෙමඟින් හැකියාව සැලසෙනවා. සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ වලින් අනුමත මෙම ඇපය සෑම දෙමවුපියකුටම තම මොබිටෙල් ජංගම දුරකතනය හරහා බාගත හැකි අතර ඒ මඟින් තම දරුවන්ගේ රෝගී තත්ත්වයන් ගැන පාසල දැනුවත් කළ හැකියි. මේ නිසා හැකි ඉක්මනින් ඩෙංගු ව්‍යාප්තවීම් වළක්වා ගත හැකි අතර ආසාදිත දරුවන් බේරා ගැනීමේ හැකියාවත් පවතිනවා....“ ඒ මොබිටෙල් ආයතනයේ අදහසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට මේ පිළිබඳව පාසල් ප්‍රධානීන් මෙන්ම දෙමව්පියන් දැනුවත් කිරිම් ආරම්භ කර ඇති අතර විධිමත්ව පාසල් පිරිසුදු කිරීම්ද අධීක්ෂණය කරමින් පසුවෙයි. “ දෛනිකව වතුර රැදෙන තැන් මෙන්ම දරුවන්ගේ සෙල්ලම් මිදුල, වැසුණු වැසිකිළි, ඉදිකරන ගොඩනැගිලි, විද්‍යාගාර මෙන්ම අවදානම් යැයි සැක සිතෙන තැන් පිරිසුදු කරන ලෙස අපි නිරන්තරයෙන්ම කලාප කාර්යාල හරහා පාසල් ප්‍රධානීන් දැනුවත් කරනවා. මෙම පිරිසුදු කිරීම් පාසල්වල දින දෙකෙන් දෙකට සිදුවිය යුතුයි. ඒ වගේම අපි පාසල් බලධාරීන්ට දැනුම් දුන්නා දරුවන්ගේ පංති කාමර අවට දාස්පෙතියා, සේර, මදුරුතලා වැනි පැළෑටි වවන ලෙස. ඒ වගේම අපි පාසල්වලට කියා තියෙනවා, නිතරම පංති කාමර ආලෝකය වාතාශ්‍රය ලැබෙන පරිදි දොර ජනේල විවෘත කර තබන ලෙස. ඒ වගේම දෙමවුපියන් පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම් එක්ව පාසල් පරිසරය පිරිසිදු කිරීම් කළ යුතුයි. ඒ වගේම උණක් හැදුනොත් දරුවන් පාසල් එවන්නට එපා. ඒ සියලු තොරතුරු පාසලට දැනුම්දීමට මොබිටෙල් ආයතනයෙන් හදුන්වා දුන් ඇපය භාවිතා කරන ලෙස අපි දෙමවුපියන්ගෙන් හා පාසල් වලින් ඉල්ලා සිටිනවා. දෙමවුපියන් තම උණක් වැලඳුණු දරුවන්ගේ තොරතුරු මේ හරහා දැනුම් දෙනවා වගේම ගුරුවරුන්ටත් තම හිතවත් ගුරුවරුන්ගේ අසනීප තත්ත්ව මේ හරහා පාසලට ලබා දෙන්නට පුළුවන්. මෙය තවමත් බොහෝ පාසල් වල ක්‍රියාත්මක වී නැහැ. ඒ නොදැනුවත්කම නිසා. නමුත් මෙය ඉතා හොඳ කාලෝචිත දෙයක්. මේ නිසා අපි විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලන්නේ තමන්ගේ පාසලේ දෙමවුපියන්ව මේ ගැන දැනුවත් කරන්න කියා. ඒ වගේම මේ ක්‍රමවේදය මඟින් පාසලක පවතින සෞඛ්‍ය ගැටලුවක් අපිට පහසුවෙන් හදුනා ගන්න පුළුවන් වෙනවා...“ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා (පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශය) රේණුකා පීරිස් මහත්මියයි.

“ ඇත්තෙන්ම මෙය හොඳ ක්‍රමයක්. ඒත් අපි තවමත් මේ ගැන දන්නේ නැහැ. එසේ වුවත් අපි අපේ කලාපයේ සෑම පාසලක්ම ඩෙංගු පරීක්ෂා කිරිම් කරනවා. සෑම පාසලකටම ඒ සඳහා වෙන්වූ සංවර්ධන නිලධාරියෙකු පත්කර තියෙනවා. ඒ අනුව අපි සතියකට වතාවක් ඩෙංගු වලින් තොර පාසලක් බවට සහතිකයක් දෙනවා. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නිතරම විදුහල්පතිවරුන්ට මඟ පෙන්වීම් ලබා දෙනවා. කොහොම වෙතත් මේ දේවල් දරුවන් අතින්ම කරවන්නයි අපි උත්සාහ කරන්නේ. දරුවන්ට තමන්ගේ පාසල සුද්ද පවිත්‍ර කරගැනීමේ හැඟිම් ලබා දිය යුතු නිසා අපේ කලාපයේ දිනපතා මේ පාසල් පිරිසුදු කිරීම් කරවන්නේ දරුවන් අතින්..“ ඒ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි.

මේ දිනවල කඩින් කඩ ඇඳ හැලෙන වර්ෂාපතනය ඩෙංගු මඳුරුවාට අපූරු තොතැන්නක් සපයන්නේය. මේ වන තෙක් ඩෙංගු රෝගීන් 17,589 දෙනෙක් රෝගීන් ලෙස වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු රෝග පාලන ඒකකය පවසන්නේය. එහෙත් පසුගිය වසරේ මේ ප්‍රමානය තුන් ගුණයකින් වැඩිවී ඇත්තේ ය. තවමත් කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව,රත්නපුර, කෑගල්ල,නුවර, යාපනය, කල්මුණේ, කුරුණැගල මෙන්ම පුත්තලම යන පළාත් වල ඩෙංගු අවදානම පවතින බව ජාතික ඩෙංගු රෝග පාලන ඒකකය පවසයි. මේ නිසාවෙන් නැවතත් පරිසර පිරිසිදු කිරීමේ ඩෙංගු මර්දන ශ්‍රමදාන පැවැත්වේ. “ තවමත් ලොකු අවදානමක් නැහැ කියන්න බැහැ. අවදානම කොයි වෙලාවේ හෝ වර්ෂාවත් සමඟ මතුවෙන්න පුළුවන්. ඒ අවදානම දරුවන්ටත් තියෙන නිසා පාසල් පිරිසුදු කිරීම් නොනවත්වාම කරන්න කියලයි අපි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර තියෙන්නේ. සෑම පාසල් 10 කටම අපි එක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යොමුකර තියෙනවා.

ඔහු විසින් තමාට අදාල පාසල්වල තත්ත්වය අධීක්ෂණය කළ යුතුයි. ඒ පරීක්ෂා කිරීම් වලින් අනතුරුව තමන්ට අයත් පාසල් පිළිබඳව වාර්තාවක් ඔහු විසින් අපට ලබා දිය යුතුයි. තමන් කියන දේ ඒ පාසල් ඇසුවේ නැතිනම් අවසානයේ නඩු මාර්ගයට යාමේ හැකියාවත් තියෙනවා. නීති තදයි . මේ නිසා යම් පාසලක සෞඛ්‍ය ප්‍රශ්නයක් පවතින්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවීමෙන් ඒ ප්‍රශ්නය නිරාකරණය කරගත හැකියි. තම දරුවාට තද උණ, ඇඟපත රිදුම, හිසරදය, ඇස් යට කැක්කුම,රතු ලප, වමනය,මස්පිඩු වේදනා ඇත්නම් ඒ ඩෙංගු රෝගයේ ලක්ෂණ විය හැකියි.

තද උණ දින දෙක තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය උපදෙස් මත සම්පූර්ණ රැධිර පරීක්ෂණයක් කරගත යුතු වෙනවා. එසේම දිගින් දිගටම මෙවැනි රෝගලක්ෂණ මතුවේනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. කෙසේ වෙතත් අපි ඉල්ලි සිටින්නේ පාසල් දරුවන් වෙනුවෙන් හදුන්වා දුන් 'DenguFreeChild' ඇපය හරහා දරුවන්ගේ තොරතුරු පාසල් ගත කරන ලෙසයි. එය අපිට උපකාරි වනවා පාසල් දරුවන් මේ උවදුරෙන් බේරා ගන්නට....“ ඒ ජාතික ඩෙංගු රෝග පාලන ඒකකයේ අදහසයි.

රටේ දරුවන් දැයේ අනාගතයේ නිර්මාතෘවරුන්ය. ඒ දැයේ දරුවන් රැකගන්නට කුඩා මදුරුවෙකු හා සටනකට යන්නට දැන් අපට සිදුව ඇත්තේය. එහෙත් අප අතින් කළ යුතු දේ නොපිරිහෙලා අප ඉටු කරන්නේ නම් මේ සටන ජය ගැන්මට අපට අපහසු නැත. අප අතින් බිම වැටුණු ටොෆි කොළයකින් ඩෙංගු මදුරුවකු බිහිවීමේ පසුබිමක් ඇත්තේ නම් අපට හිතන්නට කරන්නට යමක් ඇත්තේය. අප කළ යුත්තේ ඉතා සුළු දෙයකි. එනම් අප අවට, අප දරුවාගේ අවට පරිසරය ගැන අප මනා අවබෝධයකින් පසුවීමයි.

(ඡායාරූප - අන්තර්ජාලයෙනි)
සුභාෂිණී ජයරත්න

Comments