තැලසීමියාව තුරන් කිරීමේ ජාතික වැඩසටහන මැයි 08 සිට | Page 3 | සිළුමිණ

තැලසීමියාව තුරන් කිරීමේ ජාතික වැඩසටහන මැයි 08 සිට

ලෝක තැලසීමියා දිනය මැයි මස 08 වැනිදා ට යෙදී තිබේ. ශ්‍රී ලංකාවෙන් වසරකට නව තැලසීමියා රෝගීන් 80 – 100ක් පමණ හඳුනා ගනු ලැබේ.

මෙරට ජනගහනයෙන් 4%න් පමණ තැලසීමියා රෝග වාහකයන් වන බව කුරුණෑගල රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ සහ තැලසීමියා ඒකකය භාර වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා පවසයි.

මෙරට ළමා ජනගහනයෙන් 30%- 40% අතර ප්‍රමාණයක් රක්ත හීනතාවෙන් පෙළෙති.

දරුණු ජානමය රක්ත හීනතා රෝගයක් වන තැලිසීමියාව ජීවිත කාලය පුරාම රුධිරය හා විශේෂ ප්‍රතිකාර ලබා දිය යුතු රෝගයකි.රක්තහීනතාව සහ තැලසීමියා රෝග ලක්ෂණ සමාන වන හෙයින් තැලසීමියාව නිසියාකාරව හඳුනාගැනීම ඉතා වැදගත්වන බවද වෛද්‍ය බණ්ඩාර පවසයි.

එක් තැලසීමියා රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා රජයට වසරකට රුපියල් මිලියන දහයක් වැය කිරීමට සිදුවන හෙයින් තැලසීමියා රෝගීන් බිහිවීම වළක්වා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ‍බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි.

‍ ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් පසුගිය දා කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍යවරු උක්ත කරුණු අනාවරණය කළහ.

උපතින්ම ඇතිවන, රුධිරයේ රතු රුධිරාණුවල හි‍මොග්ලොබින් නිපදවීමේ ඌනතාවක් නිසා හටගන්නා තැලසීමියාව පාරම්පරිකව දෙමවුපියන්ගේ ජාන මඟින් දරුවනට වැලදේ තැලසීමියාවෙන් වැළකීමට ඇති හොඳම ක්‍රමය රෝග වාහකයන් දෙදෙනෙකු අතර විවාහයෙන් වැළකීමය. විවාහයට පෙර සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් කර ගැනීමෙන් තැලසීමියා රෝග වාහකයකුද යන්න හඳුනා ගත හැකිය.

වයඹ, උතුරු මැද, මධ්‍යම හා ඌව පළාත්වලින් ජාන සහිත පුද්ගලයින් වැඩිපුර වාර්තා වේ. විශේෂයෙන්ම පෙර කල මැලේරියා‍ රෝගය පැතිර ගිය පළාත්වලින් තැලසීමියා රෝග වාහකයින් වැඩියෙන් හඳුනා ගනු ලබන බව වෛද්‍ය දයානන්ද බණ්ඩාර පවසයි.

දරුවකු ඉපදී මාස 4 – 6 ක් පමණ ගතවන විට තැලසීමියා රෝග ලක්ෂණ මතුවේ. දරුවාගේ ඇඟ කහ පැහැති වීම, ඇස් කහ පැහැ ගැනීම, ලේ අඩු වීම, වර්ධනය අඩාළ වීම හා ක්‍රියාශීලී බව අඩු වීම වැනි ලක්ෂණ තැලසීමියා රෝග ලක්ෂණ විය හැකිය. රක්ත හීනතාවෙහි රෝග ලක්ෂණ ද මීට සමාන වන හෙයින් ඉහත රෝග ලක්ෂණ පළ කරන දරුවන් වේ නම් වහාම සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් මඟින් නිශ්චිතවම රෝගය ඇත්දැයි හඳුනා ගත හැකි බවද වෛද්‍ය බණ්ඩාර පවසයි. කුඩා කාලයේදීම රෝගය හඳුනා ගත් විට නිසි ප්‍රතිකාර හා රුධිර ලබා දීමෙන් දරුවාගේ ආයු කාලය වර්ධනය කර ගත හැකි බවද වෛද්‍යවරයා කියයි. Fall blood count සහ Blood Picture පරීක්ෂණය මඟින් රෝගය හඳුනා ගත හැකි අතර H P LC පරීක්ෂණය මඟින් වාහක තත්ත්වය තහවුරු කළ හැකිය. රජයේ සෑම ප්‍රධාන රෝහලකින්ම මෙම පරීක්ෂණ නොමිලේ සිදු කරගත හැකිය. 

 

Comments