හිතුමතයට ප්‍රතිජීවක බලාගෙනයි නැති ලෙඩ එ‍යි! | සිළුමිණ

හිතුමතයට ප්‍රතිජීවක බලාගෙනයි නැති ලෙඩ එ‍යි!

1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් පෙනිසිලීන් නම් ඖෂධය සොයාගැනීමත් සමගම බ්‍රිතාන්‍ය තුළ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ඇරැඹිණි. මෙයින් වසර 10 කටත් වඩා වැඩි කාලයකින් පසුව අර්නස්ට් චේන් සහ හොවාඩ් ෆ්ලෝරි විසින් ඇලෙක්සැන්ඩර් විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් දක්වන ලද අතර ඔවුන් විසින් පෙනිසිලීන්වල වඩාත් පිරිසිදු කරන ලද නිෂ්පාදනයක් සොයා ගත්හ. වර්තමානයේ දී සුළු රෝගයකට පවා ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට මිනිසුන් බොහෝ දෙනෙකු පෙළඹී තිබේ. එලෙස හිතුමතයට ප්‍රතිජීවක ඖෂධ ගැනීමේන් පවත්නා රෝගය උත්සන්න වී නොසිතන අන්දමේ ප්‍රතිවිපාක අත් වීදීමට සිදු වේ. ප්‍රතිජීවක ඖෂධ යනු මොනවා ද?,ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්නේ කුමන අවස්ථාවල කුමන හේතුන් නිසා ද? ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම සඳහා වයස් භේදයක් බලපානවා ද? යනාදී කරුණු පිළිබඳ කායික රෝග විශේෂඥ වෛද්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දනී වනිගතුංග මහත්මිය පළ කළ අදහස් මෙසේ ය.

ප්‍රතිජීවක ඖෂධ යනු මොනවා ද?

බැක්ටීරියා නැමැති කෂුදු ජීවියාගේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම‍ට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක යනුවෙන් හැඳින්විය හැකි ය.එනිසා ප්‍රතිජීවක භාවිතයෙන් බැක්ටීරියා‍ මගින් සෑදෙන රෝග වලට සුවයක් ලබාගත හැක.

ප්‍රතිජීවක ඖෂධ බැක්ටීරියාවක් මඟින් ඇතිවන ආසාදනයක දී ප්‍රතිකාර වශයෙන් මෙන් ම තෝරා ගත් අවස්ථාවලදී ඒ ඒ ආසාදන තත්ත්වයන් වළක්වා ගැනීම සදහා භාවිතා කරන ඖෂධ කාණ්ඩයකි. විෂබීජ ප්‍රභේද කිහිපයක් තිබේ. ඒවා නම් බැක්ටීරියා,දීලීර,වෛරස් සහ පරපෝෂිතයන් වේ. එහෙත් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනු ලබන්නේ බැක්ටීරියා ආසාදනයක් මඟින් ඇති වන රෝග සදහා පමණි. ඒ මන්ද යත් අනෙකුත් විෂබීජ ප්‍රභේදවලට ප්‍රති ජීවකවල ක්‍රියාකාරිත්වයක් නොමැති නිසා ය.

මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ වෛරසයක් මගින් සෑදෙන සෙම්ප්‍රතිෂ්‍යාව, සෙම්ගෙඩි, ඉන්ෆ්ලූවෙන්සාව,වෛරස් උණ,ඩෙංගු වැනි රෝගවලට ප්‍රතිජීවකයක් ලබාදීමෙන් කිසිදු සුවයක් නොලැබෙන බවයි.එසේ වෛරස වලින් සෑදෙන රෝග සඳහා ප්‍රතිජීවක ලබා දීමෙන් සිදු වන්නේ අයහපතක් පමණි. එසේ වන්නේ එවැනි අවස්ථාවල ප්‍රතිජීවක භාවිතා කිරීමෙන් ප්‍රතිජීවකවලට එරෙහිව ක්‍රියාකළ හැකි බැක්ටීරියාවන් ඇතිවිය හැකි බැවිනි.

ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ කිහිපයකට වෙන් කර ගැනීමට පුළුවන් නේද?

බැක්ටීරියාවේ විවිධ කොටස් තිබේ. එම විවිධ කොටස්වල ක්‍රියාකාරීත්වයට හානි කරන විවිධ ප්‍රතිජීවක ඖෂධ ද තිබේ. ඒ අයුරින් ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ වශයෙන් වෙන් කරනු ලබයි.

ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්නේ කුමන අවස්ථාවල කුමන හේතුන් නිසා ද?

බැක්ටීරියා මගින් ඇතිවන රෝග සදහා ප්‍රතිජීවක භාවිතා කෙරේ. උදාහරණ ලෙස ශ්වසන පද්ධතියේ, මුත්‍රා පද්ධතියේ සහ සමේ බැක්ටීරියා නිසා ඇතිවිය හැකි ආසාදන සදහන් කළ හැක.වෛරස් නිසා ඇතිවන ආසාදන තත්ත්වයන්වලදී ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකරයි. තව ද වෛරස්වලට එරෙහිව ප්‍රතිජීවක ක්‍රියා නොකරන බැවින් ඒවා භාවිතා කිරීමෙන් කිසිදු පලක් නැත.

ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම සඳහා වයස් භේදයක් බලපානවා ද?

නැත. ඕනෑම වයසක පුද්ගලයෙකුට බැක්ටීරියා ආසාදනයක් ඇති වූ විට ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමට පුළුවන.

කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට සහ වැඩිහිටි පුද්ගලයින්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ කෙලෙස ද?

කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට සහ වැඩිහිටි පුද්ගලයින් යනාදී සෑම පුද්ගල කොට්ඨාසයකටම ප්‍රතිජීවක ඖෂධ ලබා දේ.ගිලින පෙති, වශයෙන් , සමේ තුවාල ආසාදන තත්ත්වයක් නම් මතුපිට ආලේප කරන ක්‍රීම් වර්ගයක් ලෙස ද, එසේත් නැත්නම් ඉන්ජෙක්ෂන් ලෙස ද ලබා දේ. විශේෂයෙන් කුඩා දරුවන්ට සිරප් එකක් ලෙස ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කරයි.

සුළු රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම එතරම් සුදුසු වන්නේ නැත. රෝගී තත්ත්වය බරපතළ තත්ත්වයෙන් වැඩි නම් ඉන්ජක්ෂන් එකක් ද සුළු රෝගී තත්ත්වයක් නම් සිරප් එකක් හෝ ගිලින පෙති ලබා දීම සිදු කරනු ලැබේ. ඉන්ෂක්ෂන් එකක් වශයෙන් ලබා දෙන ප්‍රතිජීවක ඖෂධය ශරීරයේ තිබෙන ලේවලට ගමන් කර බැක්ටීරීයා ආසාදනය පවතින ශරීර අවයවය වෙත ගොස් එම බැක්ටීරියාව විනාශ කිරීම සිදු වේ.බැක්ටීරියා ආසාදන තත්ත්වයෙහි බරපතළකම අනුව, සහ රෝගය තිබෙන ස්ථානය අනුව ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ කේසේද යන්න තීරණය කරනු ලබයි.

ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ කෙසේද?

වෛද්‍ය උපදෙසකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම කිසිසේත්ම සුදුසු වන්නේ නැත. ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදේශයක් නොමැතිව පාරිභෝගිකයාට ලබා නොදීම ශ්‍රී ලංකාවේ පවතින නීතියකි.රෝගියාට තිබෙන බැක්ටීරියා ආසාදන තත්ත්වය, එම රෝගියාට තිබෙන වෙනත් රෝග( නිදන්ගත රෝග, බෝ නොවන රෝග, ආසාත්මිකතා ) යනාදිය පිළිබවද සොයා බලා ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අනිවාර්ය වේ.

තව ද වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකින් අනතුරුව ලියා දෙනු ලබන ඖෂධ වර්ගය නිසි කාල සීමාව තුළදී නිසි මාත්‍රාවෙන් ගත යුතු ය. නිසි කාල සීමාවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ලබා දෙන ඖෂධය නොගත යුතු ය. එසේ ඖෂධ භාවිතා කිරීමෙන් රෝගය නිසි පරිදි පාලනය කිරීමට නොහැකි වේ. එමෙන් ම ඇතැම් අවස්ථාවලදී පවතින රෝගය වෙනස් වීම ද සිදු වේ. තව ද වෙනත් කෙනෙකුට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ ප්‍රතිජීවක ඖෂධ නොගත යුතු ය.

ප්‍රතිජීවක ඖෂධ දිර්ඝකාලීනව ගැනීමෙන් සිදු වන බලපෑම කුමක් ද?

දීර්ඝ කාලිනව ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකළ යුතු ය.දීර්ඝ කාලීනව යම් පුද්ගලයෙකුට ප්‍රතිජිවක ඖෂධ භාවිතා කිරීමට ලබා දෙන්නේ කලාතුරකිනි. ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ කෙටි කාලයකට ය. සාමාන්‍යෙයන් දවස් 3 සිට සති 2-3 දක්වා කාලයක් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමට නිර්දේශ කරනු ලබයි. එය තීරණය කරනු ලබන්නේ රෝගියාගේ රෝගී තත්ත්වය අනුව ය. උදාහරණයක් ලෙස දවස් 5 ක් පමණක් ගත යුතු ඖෂධය එම දවස් ප්‍රමාණයට වඩා වැඩියෙන් ගැනීමෙන් ප්‍රතිජීවකවලට විරුද්ධව ක්‍රියාකරන බැක්ටීරියා ප්‍රමාණය වැඩි වී අතුරු ප්‍රතිඑල ඇතිවේ.එම නිසා වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රතිජීවක ඖෂධය ඒ කාල සීමාවේදී ඒ මාත්‍රාව අනුව ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ය. නිර්දේශිත ඖෂධය ඒ කාලසීමාවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ගැනීම නොකළ යුතු ය. එයින් රෝග පාලනයක් බලාපොරොත්තු විය නොහැකි ය.

ශ්‍රී ලංකාවේ සුලභව භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ සහ ඒවා අනවශ්‍ය ලෙස භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ තත්ත්වයන් පිළිබඳව සඳහන් කරන්න.

වෛද්‍යවරයා විසින් පුද්ගලයාට තිබෙන රෝගයේ ස්වභාවය අනුව ලබා දිය යුතු ප්‍රතිජීවක ඖෂධය තීරණය කරනු ලබයි. යම් පුද්ගලයෙකුට ආසාත්මිකතාවන් තිබෙනවා නම් ඒ බව වෛද්‍යවරයාට අනාවරණය කළ යුතු ය. එමෙන් ම පුද්ගලයාගේ ශරීරයේ තිබෙන වෙනත් රෝගාබාධ පිළිබඳව ද විස්තර කළ යුතු ය.උදාහරණ වශයෙන් විශේෂයෙන් පෙනිසිලීන් කාණ්ඩයේ ඖෂධවලින් ආසාත්මිකතා ඇති වීම පෙන්වා දීමට පුළුවන.

ප්‍රතිජිවක ඖෂධ සම්බන්ධයෙන් සමාජයේ පවතින මිත්‍යා මතවාද මොනවා ද?

සෙම්ප්‍රතිෂ්‍යාවක් ඇති වූ විට ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකළ යුතු ය. ඒ මන්ද යත් සෙම්ප්‍රතිෂ්‍යාව ඇති වන්නේ වෛරස් ආසාදනයක ප්‍රතිඑලයක් වශයෙනි.එම නිසා වෛරස් ආසාදනයකදී ප්‍රතිජීවක ඖෂධ ක්‍රියා කිරීමක් සිදු නොවේ.

ඇතැම් පුද්ගලයින් උණ ඇති වු විට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්න යැයි ඉල්ලා සිටී. උණ යනු රෝගයක ලක්ෂණයක් පමණි. එම නිසා උණ තත්ත්වයකදී ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම සුදුසු නොවේ.වෛද්‍යවරයෙකු හමු වී රෝග තත්ත්වය පිළිබද සියලු තතු හෙළි කොට ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ය. එසේ නොමැතිව හිතුමතයට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම නොකළ යුතු ය.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී කළ යුතු සහ නොකළ යුතු දෑ මොනවා ද?

වෛද්‍යවරයා නිර්දේශ කර තිබෙන ඖෂධ ඒ කාල සීමාවේදී අන්වාර්යයෙන්ම ගත යුතු ය. රෝග ලක්ෂණ සුව වු පසු ඖෂධ භාවිතය අවසන් කිරීම නෙකළ යුතු දෙයකි. තමන්ට යම් රෝගීතත්වයක් ඇතිවිට එම රෝග ලක්ෂණම ඇති පවුලේ සාමාජිකයෙකුගේ ඖෂධ භාවිතා කිරීමට පුරුදු වීම ද නොකළ යුතු ය.

ප්‍රතිජීවක ඖෂධ පමණට වඩා භාවිතය හේතුවෙන් ඉතා පහසුවෙන් සුව කළ හැකි රෝග පවා මාරාන්තික විය හැකි බව ජගත් සෞඛ්‍ය සංවිධානය (World Health Organization ) ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

අපි භාවිතයට දෙනු ලබන ප්‍රතිජිවක ඖෂධවලට විරුද්ධව කියා කරන බැක්ටීරියා වැඩි වී තිබේ.එවිට බැක්ටීරියා නිසා ඇතිවන ආසාදන වලදී අපට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට අසීරු වේ.

පළමුවෙන්ම ලෝකයට ඉදිරිපත් කළ ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙනිසිලින් වේ.ඉන් පසු බොහෝ ප්‍රතිජීවක ඖෂධ වර්ග ලෝකයට හඳුන්වා දුනි. එහෙත් 2000 වර්ෂයෙන් පසු අලුතින් ලෝකයට හදුන්වා දෙන ප්‍රතිජීවක ඖෂධ වර්ගවල අඩු වීමක් දක්නට ලැබේ. එම නිසා වෛද්‍යවරයෙකු නිර්දේශ කරන ප්‍රතිජීවක ඖෂධ ප්‍ර වේශමින් ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ය.

මදාරා මුදලි‍ගේ

Comments