නෙත වසඟකරන රැම්සා | සිළුමිණ

නෙත වසඟකරන රැම්සා

කුරුලු රෑන්
තුරු හිස් මත ද
මඩවගුරු මත ද,
මහුදු දිය මත ද,
ඉගිලෙමින් පිහිනමින්
රටා මවන අයුරු

නිදහසේ දැක ගැනීමට ඔබටත් වන්කාලෛ රැම්සා භූමියට යා හැකිය.

කුරුල්ලන් මිනිස් නෙත සිත වශී කරන සත්ව විශේෂයකි. උන්ගේ ඇවැතුම් පැවැතුම් පියාසර රටා මියුරු නාදය මිනිස් සිත ආනන්දයෙන් පුරවයි. පරිසරයේ රමණීයත්ත්වය වර්ධනයට පක්ෂීහු උපකාරී වෙති. අප වෙසෙන පරිසර පද්ධතියේ නිරෝගී භාවය වෙසෙන පක්ෂී ගණත්වය අනුව තීරණය කළ හැකි බව පරිසර විද්‍යාඥයින්ගේ අදහසයි.

බඩගිනිකාරයන්ගේ ගමනාන්තය ලෙස හැඳින්වෙන වන්කාලෛ ශ්‍රී ලංකාවේ භූවිෂමතාව හා වෙනස් පරිසර පද්ධතීන්ට හොඳම සාධකයකි. මන්නාරම දිස්ත්‍රික්කයේ වන්කාලෛ තෙත් බිම කුරුල්ලන් ගේ අභය භූමියක් සේ සැලැකේ. පුලියතිව්, තිරුකේශ්වරම්, පල්ලිමුනෛ, වන්කාලෛ හා මන්නාරම් දූපතට යාබද මුහුදු තීරයෙහි මේ රැම්සා අභය භූමිය පිහිටා ඇත. වියළි කලාපයේ කටු පදුරු සහිත තෘණ භූමි සහ ජල පෝෂක වැටි, මුහුදු තෘණ පාත්ති, කඩොලාන, නොගැඹුරු මුහුද ආශ්‍රිත තෙත් භුමිය, ලුනු වගුරුබිම් වැලි වැටි, කලපු ආදී පරිසර පද්ධති කිහිපයක් සහිත මේ භූමිය කුරුල්ලන්ගේ වාසයට අතිශයින් යෝග්‍ය වේ. ඉහළ ජෛව විවිධත්වයකින් යුතු විශේෂිත පරිසර පද්ධතිය කුරුල්ලන්ගේ වාසයට වර්ගයා බෝකර ගැනීමට උපකාරී වේ. වාර්ෂිකව සංක්‍රමණය වන කුරුල්ලන් විශේෂ ගණනාවක් සඳහා මේ උද්‍යානය සුරක්ෂිත ජීවමාන වාසස්ථානයකි.

ශීත ඍතුවට මුහුණ දීම සඳහා සැතපුම් දහස් ගණනක් ගෙවා එන මානව නොවන සංක්‍රමණිකයන් මිලියන දහස් ගණනක් වන්කාලෛ තෙත් බිම කරා ආහාර සොයා පැමිණෙති. මේ බඩගිනිකාරයන්ට මේ භූමියෙහි ඓතිහාසික හෝ මුල්‍යමය අගනාකම් අැවැසි නැත. අවශ්‍ය වන්නේ රැකවරණය හා ආහාර පමණි. ඒවා සිතු ලෙස රැඳි මේ භූමියට වසර දහස් ගණනක් තිස්සේ පැමිණෙන මේ පක්ෂීන් මෙහි මාස කිහිපයක් වෙසෙමින් තම සහකරුවන් සමඟ පෙමින් වෙලෙමින් සිට බිජුලා පැටවුන් ලැබ උන් උස් මහත්කොට ගෙන මේ භූමියෙන් නික්ම යන්නේ ඊළඟ ශීත ඍතුව තෙක් ආයුබෝවන් වන්කාලෛයි කියමිනි. රංචු වශයෙන් මේ රැම්සා භූමියට පැමිණෙන කුරුල්ලෝ රංචු ලෙසම පිටව යති. මේ අතර දුර්ලභ පක්ෂීහුද වෙත්. තාර­ාවන් විශේෂ, රතුපැහැ නළා පිඹින්නා, කළු කුරුල්ලා, ෆ්ලෙමින්ගෝ, ළිහිනි වර්ග, බ්ලැක් හෙඩ්, උකුස්සන් විශේෂ, හා පෙලිකන් වර්ග මේ කුරුල්ලන් අතර වෙසේ. ලංකාවේ කුරුල්ලන් වර්ග 503ක් දක්නට ඇත. මේ රැම්සා භුමියෙහි 2017 වසරේදී පමණක් කුරුලු විශේෂ 433ක් වාර්තාවී තිබේ. ඉන් 26ක් ලංකාවට ආවේනික කුරුල්ලන් වේ.

වන්කාලෛ අවට වෙරළේ සහ සාමුද්‍රික පරිසර පද්ධතියේ මත්ස්‍ය විශේෂ 60කට අධික සංඛ්‍යාවක් වෙසේ. දුර්ලභ ගණයේ මසුන් රැසකගේ වාසභූමිය වන මේ රැම්සා පරිසර පද්ධතිය ඉතා කුඩා මාළු විශේෂ සඳහා රැකවරණය හා පෝෂණය සපයයි. ක්‍රිස්තු පූර්ව 6වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 13වැනි සියවස දක්වා සක්‍රීයව පැවැති ඉපැරැණි මාන්තායි හෙවත් මාතොට වරාය භූමිය තුළ වන්කාලෛ අභය භූමිය පිහිටා ඇත. වන්කාලෛ පුර්ව ඓතිහාසික ජනාවාස පිහිටි භූමියක් ලෙස පුරාවිද්‍යාඥයෝ හඳුනා ගනිමින් සිටිති. සාමකාමී පරිසරය තුළ වන්කාලෛයි අවට මේ වන විට ස්ථිර ජනාවාස ගොඩනැගෙමින් පවතී.

විවිධ සංස්කෘතික දර්ශනයන්ගෙන් පෝෂිත සම්ප්‍රදායික සංස්කෘතික උරුමයන් රැඳි බිමක් ලෙස මන්නාරම හැඳින්විය හැකිය. සිලාවතුර මුතු කිමිදීමට ද මාන්තායි වරාය, ආදම්ගේ පාලම, ඉන්දියාව හා බැඳුණු ප්‍රේමණීය හා ත්‍රාස්‍යජනක කතාන්තර රැසක් මන්නාරම හා බැඳී පවතී.

2008 සැප්තැම්බර් 09 වැනි දා වන්කාලෛ අභය භූමියක් ලෙස නම් කොට ගැසට් කර තිබේ. මෙහි භූමිය හෙක්ටයාර් 4839 වේ. කොළඹ සිට මීගමුව පුත්තලම පාරේ කි.මී. 255ක් ගෙවා වන්කාලෛ කුරුලු පාරාදීසයට ළඟාවිය හැකිය. නැති නම් අනුරාධපුරට පැමිණ මැදවච්චියේ සිට පැය දෙකක් තුළ මන්නාරම දෙසට ගමන් කරද්දී වන්කාලෛ හමුවේ.

කුරුලු රෑන් තුරු හිස් මත ද මඩවගුරු මත ද, මහුදු දිය මත ද, ඉගිලෙමින් පිහිනමින් රටා මවන අයුරු නිදහසේ දැක ගැනීමට ඔබටත් වන්කාලෛ රැම්සා භූමියට යා හැකිය. එහි ඇති ශුෂ්ක කටුක දේශගුණික තත්ත්වයන් ඔබ පීඩාවට පත් කරනු ඇත. එහෙත් භාවනාවකින් මෙන් සිත සනසා ගැනීමට කුරුල්ලන්ගේ ගමන් රටා පියාසර රටා මියුරු හඬ ඔබට උදවු වනු ඇත. කුරුල්ලන් දැක ගැනීමට ඔබ යායුත්තේ අළුයමෙහි ය. නැතනම් සැඳෑසමයෙහි ය.

එහි වෙසෙන ජනයා කුරුල්ලන් සලකන්නේ ඔවුන්ගේ දිවියේ කොටසක් ලෙසය. කුරුල්ලන්ගේ පැමිණීම ප්‍රමාද වීම, පැමිණීම අඩුවීම, කාලගුණික දේශගණික විපර්යාසයන් හේතුවෙන් සිදුවන බව ඔවුහු දනිති. අහිංසක මිත්‍රශීලි ප්‍රියශීලී මන්නාරම් වැසියන්ගේ සතුටට බාධා නොකොට ඔබටත් මේ දිනවල කුරුල්ලන් නැරඹීමට හැකියාව තිබේ. මේ සංචාරක පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙන කාලයයි.

සේයාරූ- විමල් කරුණාතිලක

Comments