
ඇස් කන් නාස් හෝ මුවක් නොමැතිව, කොටින්ම කිවහොත් මුහුණක් හෝ නොමැතිව රෝහල් සයනයක ඔහේ වැතිර සිටීමට සිදුවුවහොත් ඔබට කුමක් සිතේද? ජෙරොම් හාමොස්ට ද මුහුණ දීමට සිදු වූයේ එවන් ඉරණමකයට. මෙලොව සිටියත් නොසිටියාක් වැනි වූ ඒ දින කීපය ඔහුට කල්පයක් බඳු විය. ජෙරොම් ප්‍රංශයේ පැරිස් නුවර රෝහල් සයනයක මාස දෙකක් තිස්සේ වැතිර සිටියේ ඔහුගේ මුහුණට සරිලන මුහුණක් ලැබෙනතුරුය. අවසානයේ ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවී ලොව දෙවරක් මුහුණු බද්ධ කිරීම් සිදු කළ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වීමට ද ඔහුට වරම් ලැබිණි. එම මුහුණු බද්ධය සිදුකර තෙමසකට පසු ප්‍රථම වරට පසුගියදා ජෙරොම් මාධ්‍ය හා කතාබහ කළේය.
“මට දැන් වයස අවුරුදු 43ක්. ඒත් මට දැනෙන්නේ මං අවුරුදු විස්සකින් තරුණවෙලා වගෙයි.” ඔහු ප්‍රංශ රූපවාහිනියට පැවසුවේ එලෙසිනි. දැන් ප්‍රංශ මාධ්‍ය ජෙරොම් හඳුන්වනුයේ ‘මුහුණු තුනක් සහිත පුද්ගලයා’ ලෙසිනි.
උපතින්ම ලද ජාන විකෘතියක් නිසා විරූපී මුහුණක් තිබූ ජෙරොම් ප්‍රථම වරට මුහුණු බද්ධ කිරීමේ සැත්කමකට බඳුන් වූයේ 2010 වසරේදීය. එහෙත් වසර හයක් ගතවෙද්දී ඔහුගේ සිරුරින් අලුතින් බද්ධ කළ මුහුණ ප්‍රතික්ෂේප කෙරෙන ලකුණු පහළ විය. ඒ සමඟම වෛද්‍ය විශේෂඥයන් කළ පරීක්ෂණවලදී හෙළි වූයේ අලුතෙන් බද්ධ කළ මුහුණ නිසා ජෙරොම්ගේ මුහුණේ හෝ සිරුරේ කොතැනක හෝ හමේ පිළිකා හට ගැනීමේ අවදානමක් මතුව ඇති බවයි. එතැන් පටන් ජෙරොම්ට දහසකුත් එකක් වෛද්‍ය පර්යේෂණවලට ලක්වීමට සිදු විය. ඒ අතරතුරදී ජෙරොම් එක්තරා කාලසීමාවක් තිස්සේ ප්‍රතිජීවක ඖෂධ සඳහා ද යොමු කෙරිණි. ඔහු ඒ සියල්ලටම ඉවසීමෙන් යුතුව මුහුණ දුන්නේය.
“ජෙරොම්ට තිබුණේ පුදුමාකාර ධෛර්යක්. මෙවැනි ඛේදනීය අවස්ථාවක ඔහු වෙත වු අධිෂ්ඨනශීලීභාවයත් ඉවසීමේ ශක්තියත් අප පුදුමයට පත් කළා.” යැයි සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ නිර්වින්දන වෛද්‍යවරයා වූ බර්නාඩ් චෝලේ බීබීසියට පැවසීය.
කෙතෙක් ප්‍රතිකාර කළද දිගින් දිගටම ජෙරොම්ගේ සිරුර අලුත් මුහුණ ප්‍රතික්ෂේප කරද්දී අලුත් මුහුණ ගලවා දැමීමට අවසානයේ වෛද්‍යවරු තීරණය කළහ. ඒ අනුව ජෙරොම්ගේ අලුත් මුහුණ පසුගිය නොවැම්බරයේදී ඉවත් කෙරිණි. මුහුණක් නොමැති ජෙරොම් එතැන් පටන් පැරිසියේ ජෝර්ජ්ස් පොම්පිඩෝ රෝහලේ සයනයකටවී බලා සිටියේ තමන්ට ගැළපෙන අලුත් මුහුණක් ලැබෙනතුරුය. ඔහුට බද්ධ කළ හැකි දෙවැනි මුහුණ ලැබුණේ 22 හැවිරිදි තරුණයකුගෙනි. එහෙත් ඒ මුහුණ බද්ධ කිරීමට පෙර වෛද්‍යවරු ජෙරොම් රුධිර පරීක්ෂණ ගණනාවකට ලක් කළහ. එසේ කළේ දෙවැනි වරටද බද්ධ කරන මුහුණ ජෙරොම්ගේ සිරුර විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම වැළැක්වීමටය. අවසානයේ පසුගිය ජනවාරි මාසයේ දී ජෙරොම්ගේ දෙවැනි මුහුණ බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කරනු ලැබීය.
“එකම මුහුණට දෙවරක් බද්ධ කිරීම් කළ හැකිබව මේ සැත්කමෙන් වඩාත් තහවුරු වුණා. දැන් එය පරීක්ෂණ මට්ටමෙන් බැහැර දෙයක්” යැයි ජෙරොම්ගේ මුහුණු බද්ධය සිදු කළ මහාචාර්ය ලොරෙන්ට් ලැන්ටිරෙයි පවසයි.
එසේ නමුත් මුහුණු බද්ධ කිරීම්හි කල්පවතින කාලය කෙතෙක්ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි යැයි පවසන හාවඩ් විශ්වවිද්‍යාලයේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු මුහුණු බද්ධ කිරීම් ද වකුගඩු බද්ධ කිරීම් මෙන් වසර 10ක් හෝ 15ක් පමණ කල් පැවතිය හැකි යැයි පවසති. ඒ කෙසේ වුවද අලුතින් මුහුණක් ලැබ සතුටින් ඉපිළෙන ජෙරොම්,
“මං මගේ පළමු මුහුණත් එක්වරම පිළි ගත්තා. ඒත් මගේ සිරුර එය ප්‍රතික්ෂේප කළා. මේ දෙවැනි මුහුණත් සමඟ මට අනන්‍යතාවක් තියෙනවා යැයි හිතෙනවා” යැයි පවසන්නේය.
මුහුණු බද්ධ කිරීමේ සැත්කම් අතරින් දැන් ප්‍රංශය පෙරමුණේ සිටී. එය තවදුරටත් තහවුරු වන්නේ ලොව පළමු මුහුණු බද්ධය සිදුවූයේද ප්‍රංශයේ බැවිනි. 2005 වසරේදී එම පළමු මුහුණු බද්ධය සිදු කළේ උතුරු ප්‍රංශයේ ඉසබෙල් ඩිනොයර් නමැති කාන්තාවටය. ඇගේ මුහුණ කිසිවකුටවත් බැලිය නොහැකි අන්දමින් විකෘති වූයේ ඇගේ සුරතල් බල්ලා මුහුණට පැන සපා කා මුහුණ ඉරා දැමීම නිසාය.
ප්‍රංශයේ ආමීන්ස් රෝහලේදී ඇයට අලුතින්ම මුහුණක් බද්ධ කරනු ලැබීය. පැය 15ක් තිස්සේ සිදු කෙරුණු එම සැත්කමේදී ඉසබෙල්ට මොළය මැරුණු කාන්තාවකගේ නාසය, මුහුණ හා නිකට ඇතුළු පටක ත්‍රිකෝණයක් බද්ධ කරනු ලැබීය.
“ඒ මුහුණ මගේත් නොවෙයි. මට මුහුණ පරිත්‍යාග කළ කාන්තාවගේත් නොවෙයි. දිනපතා කණ්ණාඩියෙන් මුහුණ බලද්දී සැමවිටම මේ ඉන්නේ කවුදැයි හිතා ගන්න බැරිව මා බලා ඉන්නවා.” යනුවෙන් සැත්කමෙන් වසර තුනකට පසුව ඉසබෙල් පවසා තිබිණ.
එදා මෙදාතුර වෛද්‍යවරුන් වකුගඩු, අක්මා සහ හෘද බද්ධ කිරීමේ සැත්කම් සිදු කළද මුහුණකට අලුත් මුහුණක් සවි කිරීම වෙනස්ම කාර්යක් විය. මන්ද එය පුද්ගලයකුගේ අනන්‍යතාව හා බද්ධ වූ කාරණාවක් බැවිනි. එමෙන්ම අනෙකුත් අවයව බද්ධ කිරීම් හා සාපේක්ෂව බලද්දී මුහුණු බද්ධය රෝගියාගේ දිවි බේරා ගැනීම සඳහා සිදු කෙරෙන්නක්ද නොවේ. මෙනිසා මුහුණු බද්ධ කිරීමේ සැත්කම් දිගින් දිගට සිදු කිරීමට ආචාර ධර්ම හරස් විය.
එසේ වුව බල්ලා සපා කෑමෙන් විකෘතිව ගිය ඉසබෙල් ගේ මුහුණ දුටු තමාට ඇය වෙනුවෙන් යමක් කළ යුතුමය යැයි හැඟී ගිය බව සැත්කම සිදු කළ මහාචාර්ය වෛද්‍යවරයා පැවසීය.
2005 ප්‍රථම මුහුණු බද්ධයෙන් පසු ඊට සමාන මුහුණු බද්ධ කිරීමේ සැත්කම් 15ක් ලොව පුරා සිදු විය. එසේම 2010 දී ස්පාඤ්ඤයේදී පුද්ගලයකුට සම්පූර්ණ ඉන්ද්‍රියයන් සහිත මුහුණක් ද බද්ධ කෙරිණි. එහෙත්, ඉසබෙල්ගේ මුහුණ බද්ධ කිරීමේ සැත්කමෙන් වසර 10කට පසු 2015දී ඇගේ තොල් සීතලට ගල් වූ ස්වභාවයක් පළ වන්නට විය. ඒ ඇගේ සිරුරෙන් ද අලුත් මුහුණ ප්‍රතික්ෂේප කරමිනි. අවසානයේ 2016 වසරේදී ඉසබෙල් මිය ගියේ දෙආකාරයේ පිළිකා රොගී තත්ත්වයකට ගොදුරු වීමෙනි.
(බීබීසී සහ ප්‍රංශ පුවත් ඇසුරෙනි)
සේමාලි කැල්ලපත