ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ අවුරුදු උත්සව දෙකක් | සිළුමිණ

ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ අවුරුදු උත්සව දෙකක්

සිංහල දෙමළ මුස්ලිම් 5000කගේ සහභාගිත්වයෙන් වැව් නිමාවේ අවුරුදු උලෙළ

රජරට වාරි කර්මාන්ත නිමා වූයේ උතුරු පළාතේ ආරම්භය වූ වවුනියාවෙන්. වැව් නිමාව හෙවත් වවුනියාව අතීතයේ සිටම සිංහල දෙමළ හා මුස්ලිම් සියලු ජනතාව සහයෝගයෙන් දිවි ගෙවූ නගරයක් වුණා. මේ නගරයේ තිබූ සහෝදරත්වය බිඳී ගියේ ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී යුද්ධය ආරම්භ වෙලා සෑහෙන කාලයක් ගියාට පසුවයි. යුද්ධය පවතිද්දී වුවත් වවුනියාව ගාමිණී මහා විද්‍යාලය මෙන්ම මඩුකන්ද දළඳා විහාරයේ පිරිවෙනත් එදා සියලු දෙනා අතර ජනප්‍රිය ස්ථාන දෙකක් බවට පත්ව තිබුණා. එපමණක් නොව නගර මධ්‍යයේ තිබු බෝධි දක්ෂිණාරාමයත් මේ ආගමික සමඟිය වඩවන ස්ථානයක් බවට පත්ව තිබුණා. එහෙත් ත්‍රස්තවාදීන් අවරන්තුලාව බෝම්බ පිපිරීම මෙන්ම මඩුකන්දට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමත් මහකච්චිකොඩියට එල්ල වු කොටි ප්‍රහාර නිසා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර සබඳතා දුරස් වුණා. මේ නිසා වවුනියාවේ දකුණ ප්‍රාදේශීය සභාව සිංහල ජනතාව වෙනුවෙන් සහ වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව දෙමළ හා මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙන් කෙරුණා. මේ නිසා ජනතාව අතර සුහදත්වය තවත් ඈත් වුණා.

බෙදී වෙන්ව තිබුණු මේ ජනතාව එක් තැන් කරන්නට පසුගිය දශකයකට ආසන්න කාලයක් තිස්සේ විවිධාකාර ව්‍යාපෘති සුහදතාවන් ඇති කළා. එහි විශේෂතම අවස්ථාවක් පසුගියදා සිදු කළා. ඒ සඳහා මුල් වී කටයුතු කරනු ලැබුවේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහත්වරුන්ය.

සිංහල දෙමළ හා මුස්ලිම් මේ සියලු දෙනාම එක් කර ප්‍රථම වරට බක් මහ උලෙළක් වවුනියාවේදී පවත්වනු ලැබුවා. වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පවත්වන ලද මේ අවුරුදු උත්සවය පසුගිය වසර 30කට අධික කාලයක් තුළදී එහි පවත්වන ලද විශාලතම උත්සවය බවට පත් වුණා. මේ අවස්ථාවට වවුනියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සම්බන්ධ වුණා. ආගමික වතාවත් සිදු කිරීම සඳහා බෞද්ධ කතෝලික හින්දු පූජකවරු මෙන්ම ඉස්ලාම් මෞලවිවරුන්ද සහභාගි වි සිටියා. මේ අවුරුදු උත්සවය ජාතින අවුරුදු උත්සවයකටත් වඩා වැදගත් වුණේ සියලු ජාතීන් එක්ව පවත්වන ලද අවුරුදු උත්සවයක් නිසයි.

විශේෂයෙන්ම මේ අවුරුදු උත්සවයේ පිළි ගැනීම් සිංහල දෙමළ හා මුස්ලිම් යන ජන වර්ග තුනෙහිම දූ දරුවන් තම තමන්ගේ සංස්කෘතිකාංග විදහාපාමින් සිදු කිරීම විශේෂත්වයක් වුණා. එමෙන්ම අවුරුදු උත්සවයේ පැවැති සංස්කෘතිකාංග අතර ලිස්සන ගහේ නැඟීම කොට්ට පොර බනිස් කෑම ඇතුළු තරග ඉසව් රැසක් පැවැතුණු අතර මෙහි පැවැති ගැමි ගෙදර සියලු ජාතික දූ දරුවන්ගෙන් සැදුම්ලත් වීමද විශේෂත්වයක් වුණා.

ජාතික ධජය එසවීමෙන් ජාතික ගීය ගායනා කරමින් සහෝදරත්වය ඇතිව සිදු කළ මේ අවුරුදු උත්සවයේ බනිස් කෑමේ තරගය සඳහා සියලු ජාතික දූ දරුවන් සහභාගි වීමත් යුගල තරග සඳහා සිංහල - දෙමළ හෝ සිංහල - මුස්ලිම් දරුවන් සහභාගි වීමත් කැපි පෙනුණා. මේ අවුරුදු උත්සවයේ ප්‍රධාන දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කළත් ගුවන් හමුදාව නාවික හමුදාව සිවිල් ආරක්ෂක බළකාය මෙන්ම වවුනියාවේ ද්‍රවිඩ වෙළෙඳ සංගම්ද දායකත්වයක් ලබා දී සිදු කිරීම ජාතීන් අතර අනෞන්‍ය සහයෝගය වඩවන්නක් වුණා.

රාත්‍රියේ උතුරේ ප්‍රධානම ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන යාල් රාගම්ස් විසින් පවත්වන ලද සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණා. මේ සියලු කාර්යයන් සඳහා සිංහල දෙමළ මෙන්ම මුස්ලිම් සියලුම ජනතාව බොහොම උද්යෝගයෙන් සහභාගි වීම හොඳින්ම කැපී පෙනුණා.


ආදිවාසීන්ගේ සංස්කෘතික බක් මහ උලෙළ හෙන්නානිගලදී

හැම දෙයක්ම කාලයෙන් කාලයට වෙනස් විය යුතු බවටයි ලෝකයේම පිළි ගැනීම වෙලා තියෙන්නේ. ඒ න්‍යාය අපි හැමෝටම පොදු විය යුතු වනවා. අපේ ඉතිහාසයේ ආදිතමයන් ලෙසයි ආදි වාසීන් හෙවත් වැදි ජනතාව අපි හඳුන්වන්නේ. එහෙත් තම අනන්‍යතාව රැකගෙන වෙනස්වන පිරිසක් ලෙසින් ආදී වාසීන් අපට හඳුන්වා දෙන්න පුළුවන්.

මේ ආදි වාසීන් තම භූමි භාගය රැක දෙන ලෙස කලාන්තරයක් තිස්සේ ඉල්ලීම් කර තිබුණා. ඒ අනුවයි මහවැලි ව්‍යාපාරය යටතේම හෙන්නානිගල හා රතුගල ඔවුන්ට හිමි වුණේ.

එහෙත් මේ ජනතාව එක් තැනක කොටුවි සිටින්නටත් එමෙන්ම ඔවුන් ‍ කොටුකර තබන්නටත් බොහෝ දෙනා කැමැති වුණේ නැහැ. ඔවුන්ටත් අනෙක් ජනතාවට හිමි වරප්‍රසාද හිමි විය යුතු බවට කාලාන්තරයක් තිස්සේම කතා බමට ලක් වූ කරුණක්.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ හෙන්නානිගල ප්‍රදේශයේ දී ‘වන අරණ පදනම’ මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කළා. ඒ අවධානයේ එක් ප්‍රතිඵලයක් හැටියටයි පසුගියදා ආදිවාසීන් අතර දැවැන්ත අවුරුදු උත්සවයක් ප්‍රථම වරට පැවැත්වූයේ. ඇත්තෙන්ම මෙහිදී සමරනු ලැබුවේ අවුරුදු ක්‍රීඩාවන් හා සංස්කෘතික අංගයන්. එහි විශේෂත්වයක් ගත්තේ බොහෝ සංස්කෘතිකාංග ආදී වාසී ජනතාවටම උරුම වු ඒවා විමයි.

ආදීවාසින්ගේ ප්‍රධානී ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන්ගේ ඉල්ලීම හා උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගි වුණා. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් මේ අවරුදු උලෙළ සංවිධානය කර තිබුනේ තොප්පිගල බල සේනාධිපති කර්නල් රොෂාන් ජයමාන්න විසින්.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආදීවාසින්ගේ ප්‍රධානී ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ‘වන අරණ පදනමේ’ නිල වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවා. ඒ අනුව ඉදිරියේදී ආදි වාසින් පිළිබඳ තොරතුරු කඩිනමින් ලොව පුරා ප්‍රචාරය වනු ඇති. පාරම්පරිකව පැවත එන දේශීය සම්ප්‍රදාය, චාරිත්‍ර හා වාරිත්‍ර, පුරුදු, ආදීවාසින් පිළිබඳ තොරතුරු අනාගත පරම්පරාව වෙනුවෙන් උරුම කරදීමට ‘වන අරණ පදනම’ කැපවීමෙන් යුතුව ක්‍රියා කරමින් ඉන්නවා.

ආදීවාසි ප්‍රජාවේ විශාල පිරිසක් ඔවුන්ගේ සම්ප්‍රදායික ඇඳුමින් සැරසි දුණු හා ඊතල ආදිය සමඟ පැමිණ සිටීම මෙහි විශේෂිතම සිදුවීමක් වුණා.‍

Comments