
පසුගිය දා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන අතරම දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් විය. රට පුරා විවිධ දහම් පාසල් වල සිසුන් ඉහළ කුසලතා දක්වද්දි වැලිකඩ හිරගෙදර දහම් පාසලේ ද ප්‍රතිඵල විශිෂ්ට විය.
මමත්, ඔයාලා වගේම හිරකාරයෙක්. මෙහෙ ඉන්න හිරකාරයෝ පොදු සමාව ඉල්ලනවා. නිදහස් වෙන්න මං මාවත් හොයනවා. චක්‍රලේඛන එනතුරු බලන් ඉන්නවා. අපේ ඉල්ලීම් ඔක්කෝම තියෙන්නේ හිරගෙදර. අපි ගැන බාහිර සමාජය දැනුවත් විය යුතුයි .අපි දැන් පුනරුත්ථාපනය වෙලා ඉන්නේ. අපිව නිදහස් කරන්න කියලා අපි ඉල්ලීමක් කරමු. මම ඔබට නිවැරදිව දැනුම ලබා දෙන්නම්. විර්යය හා අධිෂ්ඨානය තිබෙන මිනිසුන් තම ඉලක්කය කරා යනවා.” ගුරුවරයා බොහෝ ගැඹුරු හඬින් තමා ඉදිරියේ ඉන්න සිසුන්ට පවසයි
සිසුන් ගුරුවරයා දෙස බලා ඉන්නේ ඔහුට සම වැදුන ලෙසිනි..පෙර දින හිර ගෙදර දී ඇසුන ඒ හඬ ඒ කතා ගොන්න තවමත් හද කොනිති ගසයි එවන් මොහොතක;
“මෙවර මොනවද ලියන්නේ?”
ළඟ හුන් යෙහෙළියක විමසන්නේ කුහුලිනි.
“හිරගෙදර දහම් පාසල ගැන ”
“හිරගෙදර කොහෙද දහම් පාසල්, හිර ගෙදර ඉන්නේ මංකොල්ලාකාරයෝ, හොරු, මිනී මරුවෝ කොටින් ම කිව්වොත් හිරගෙදර ඉන්නේ අපරාධකාරයොනේ”ඇය මට සමච්චල් සිනාවක් පෑවා ය.
ඇත්ත; හිරගෙදර දහම් පාසල ගැන කියූ පමණින් කෙනෙකුට එසේ සිතීම වරදක් නො වේ. නමුදු අප බාහිරින් දකින දෙයට වඩා දෙයක් මේ සෑම කතාවකම පිටුපස ඇත.
රැඳිවියෝ පොහෝ දිනවල සිරගෙදර පන්සල් වාට්ටුවේ සිල් සමාදන් වෙති.(දැන් පන්සල් වාට්ටුව නවීකරණය වෙමින් තිබේ) සතියේ දිනෙක භාවනා වැඩ සටහන් වල නිරත වෙති. ඉරිදාට දහම් පාසල් යති. ඒ රැඳවියන්ගේ අමතර වැඩසටහන්ය.
ජීවිතයේ සියල්ල අහිමි වී නොම්බරයක් බවට පත් වී සිපිරි ගෙදරට එන රැඳවියන්ට බෙලෙක් පිඟාන, කෝප්පය, ජම්පරය , නිදියන්න ඇතිරිල්ලක්ආදි වූ සිමීත බඩු මුට්ටු කිහිපයක් පමණක් හිමිය. පෝලිම් වලින් තොර කිසිවක් නැති මහ උළු ගෙදර ඇත්තේ වැඩපාටි පමණි. අතීතයේ නම් රැඳවියන් ට කිරීමට ඕනෑතරම් බර වැඩ තිබිණි. නමුදු දැන් ඇත්තේ බරවැඩ නොව දෑතේ කර්මාන්තය.
“ හිර කරුවෝද මනුෂ්‍යයෝය.” කියමන සැබෑ කරන්නට නම් රැඳවියන්ට බොහෝ සුබසාධන කටයුතු සිදුවිය යුතුය. හිරගෙදර විවිධ වැඩසටහන් අතර වන ඉරිදා දහම් පාසලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. හිර ගෙදර ඕනෑ තරම් සම්පත් තිබේ. ඒ සම්පත් ප්‍රයෝජනයට ගෙන බොහෝ දේ කළ හැකිය.
උස්තාප්පවලින් වටව , බාහිර ලෝකයෙන් ඈත්ව සිටියද මිනිසුන්ගේ හැකියාවන් සඟවන්නට බැරිය. එ උත්සාහය හා ඕනෑකම ඇත්නම් මිනිසෙකුට යා හැකි දුර බොහෝය.
වැලිකඩ හිරගෙදර දහම්පාසල ඇරඹෙන්නේ මීට වසර තුනකට පෙරය. පළමු වසරේ සිට ධර්මාචාර්ය පංතිය දක්වා පන්ති පැවැත් වේ. වැඩිහිටි රැඳවියෝ දෙසියක් ඉගෙනුම ලබති. . පාසලක්, දහම් පාසලක් සාර්ථක යැයි කියන්නට නම් එහි සිසුන්ගේ ප්‍රතිඵල සාර්ථක විය යුතුය.
මේ ඔවුන්ගේ සාර්ථකත්වයේ කතාවයි. වැලිකඩ බන්ධනාගාරයේ ශ්‍රී සුචරිතෝදය දහම් පාසලේ දහම්පාසල් අවසාන විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව විස්සකි. සිසුන් විසි දෙනාගෙන් දහනව දෙනෙකු විශිෂ්ට ලෙස දහම් පාසල් අවසාන විභාගය සමත් වූහ.
ඒ සිසුන් දහනව දෙනා අතර විශිෂ්ඨයකු වන ගරුසිංහ සිය අත්දැකීම් පිළිබඳ මෙසේ පවසන්නේය.
“මම එළියේ ඉන්න කාලේ උපාධිධාරි ගුරුවරයෙක් ලෙස වසර ගණනාවක් කටයුතු කළ කෙනෙක්. මම බාහිර පන්ති කළා . ඇත්තම කිව්වොත් මට සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණා. නමුත් යම් කාන්තාවක සම්බන්ධ සිදුවීමක් නිසා මට සිරගත වෙන්න සිදු වුණා.” ගරුසිංහ තම අතීතය සිහිපත් කරන්නට වුයේය.
“මගෙ අම්මයි මමයි විතරයි ගෙදර ඉන්නේ. මම ගමට යනකොට පාරේ කවුරු හිටියත් මගේ වාහනයේ නංවාගෙන යනවා. ඇය මට හමු වුණෙත් එහෙම. අපි අතර කෙටි පණිවුඩ හුවමාරු වුණා. ඇය දවසක් අපේ ගෙදර ආවා හැන්දෑවක. එදා පෝය දවස. අම්මා සිල් ගන්න ගිහිල්ලා හිටියේ. අපේ ගෙදරදි අර කාන්තාවත් මමත් අතර කායික සබදතාවක් ඇති වුණා. ඉන් පසුව දහදොළොස් වතාවක් අපි හමුවෙන්න ඇති. මේ අතර මට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනාව. මම අර කාන්තාවට කිව්වා මම විවාහ වෙන්න යන බව. එය දැන ගත්ත දවසෙ ඇය තරහින් මගෙන් වෙන්වෙලා ගියේ. අර කාන්තාව පොලීසියට පැමිණිලි කරලා මම ඇය ට බලහත්කාරයෙන් අතවර කෙරුවා කියලා. මට දවස් දාහතරක් රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නට සිදුවුණා. ඉන් පසු ඇප ලැබුණා. නඩුව දිගින් දිගටම ඇහුණා. ඒ අතර මම විවාහ වුණා. මට දරුවෙක් ඉන්නවා. මේ සිද්ධිය වෙලා අවුරුදු අටකට පස්සේ තමයි මට අච්චු කළේ. මගේ බිරිඳ බොහෝම හොඳ කෙනෙක් . ඇය මාව බලන්න එනවා. තවත් අවුරුදු ගණනක් මට ඉන්න තියෙනවා. මම හිතා ගත්තා හිරගෙදර ඉන්න කාලය අපතේ යවන්න හොඳ නැහැ කියලා. ඒ නිසා මම දහම් පාසල් ගියා . අපට හොඳ ගුරුවරු ටිකක් ඉන්නවා. ඒ වගේම උගන්වන ගුරුවරු අතර රැඳවියොත් ඉන්නවා.දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරන්නේ අතුකෝරල ගුරුතුමා.”
ජීවිතේ විවිධ හැලහැප්පිම් වලට ලක්ව සිටින ගරුසිංහ විශේෂ චරිතයකි. ඔහු දහම් පාසල් අවසාන විභාගය සඳහා අනෙක් රැඳවියන්ට ද ඉගැන්නුවේ ඔහු ද අවසන් විභාගය සඳහා සුදානම් වන අතරේය. අවසාන විභාගය සමත් සිසුන් දහනව දෙනාගෙන් හොදම ප්‍රතිඵල හිමි වන්නේ ගරුසිංහටය.
“විභාග ප්‍රතිඵල දැන ගත්ත දවසේ මං ගරුසිංහ අයියව හොයාගෙන ගියා. අපි දහනව දෙනාම පාස් කියලා කිව්වම ගරුසිංහ අයියගෙ ඇස්වල කඳුළු පිරුණා. ඔහු අපට කිව්වා කැප කිරිමෙන් පාඩම් කරන්න කැමති නම් ධර්මාචාර්ය විභාගයත් ලියමු කියලා. ඔහු අපට පොරොන්දු වුණා අපි හැමෝම පාස් කරන වගකීම ඔහු ගන්නවා කියලා. අපි මේ ජයග්‍රහණය ලැබුවේ මාස හතරක් වැනි කෙටි කාලයක දී” රැඳවි බණ්ඩාර පවසන්නේ තම ගුරුවරයා ගැන භක්තියෙනි.
'හිරගෙදර එකෙකුට එකෙක් නැ; තනියම ආවානම් තනියම ඇදපල්ලා.' වැලිකඩ හිරගෙදරට පමණක් නොව ලංකාවේම හිරගෙවල් වලට පොදු කතාවකි ඒ. නමුත් තනියම පැමිණි ගමන , තනියම අදින්නේ නැතිව තම සහෝදර රැඳවියන්ට ද නිවැරදි මඟ පෙන්වමින් අධ්‍යාපනය ලබාදෙන්නට තරම් නිහතමානි ගුරුවරු මෙහි සිටිති. මේ සියල්ලන්ටම ඔවුන්ගේ ගමන යන්නට නම් නිලධාරින්ගේ සහාය ලැබිය යුතුය.
බන්ධනාගාර දහම් පාසලේ සාර්ථකත්වය ද එයම වේ.
(විශේෂ ස්තුතිය- වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක හා ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න යන මහත්වරුන්ට)