35 ට වැඩි ද? වසරකට වරක්වත් ප්‍රෙෂර් මැන ගන්න | Page 2 | සිළුමිණ

35 ට වැඩි ද? වසරකට වරක්වත් ප්‍රෙෂර් මැන ගන්න

අධික රුධිර පිඩනය (High Blood Pressure) යනු කුමක් ද?

පුද්ගලයෙකුගේ සාමාන්‍ය යෙන් තිබිය යුතු ප්‍රමාණයට වඩා රුධිර පීඩනය වැඩි වීම වේ.කෙනෙකු බිය වූ විට, කේන්ති ගිය විට, ව්‍යායාමවල යෙදුණු විට,රුධිරයේ පීඩනය වැඩි වේ.එය සාමාන්‍ය තත්ත්වයකි.එවැනි අවස්ථාවල රුධිර පීඩනය මැනීමේන් පලක් නැත. රුධිර පීඩනය යන රෝග තත්ත්වයේ දී පුද්ගලයා සැහැල්ලුවෙන් විවේකීව සිටින විටත් රුධිර පීඩනය වැඩිවීමක් සිදු වේ.එම නිසා අධික රුධිර පීඩනය තිබෙනවාදැයි බැලීමට නම් සැහැල්ලුවෙන් වාඩි වී විනාඩි කිහිපයක් සිටීමෙන් පසු රුධිරය මැන බැලිය යුතු වේ.එමෙන් ම එම වැඩි වීම අවස්ථා කිහිපයක දී මැන බලා දිගටම පවතින්නේ යැයි තහවුරු කර ගත යුතු ය.

පුද්ගලයෙකුට තිබිය යුතු සාමාන්‍ය රුධිර පීඩනය කොපමණ ද?

සාමාන්‍ය වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය මිලි මීටර ( mmhg ) 120/80 ට අඩු විය යුතු ය.මෙහි රුධිර පීඩනය මනින විට කොටස් 02 ක් මනිනු ලබයි.ඉන් හෘදය සංකෝචනය වන විට පීඩනය ( Systolic Blood Pressure) ) ඉහළ අගයක් ගන්නා අතර හෘදය විස්තාරණය වන විට පීඩනය ( Diastolic Blood Pressure) ) පහළ අගයක් ගනී.සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර පීඩනය මිලි මීටර ( mmhg ) 120/80 ට අඩු විය යුතු ය.මෙම ( Systolic Blood Pressure) ) අගය 140 ට වැඩි වුවහොත් හෝ ( Diastolic Blood Pressure) ) 90 ට වැඩි වුවහොත් අධික රුධිර පීඩනය ඇති බවට සැළකේ.

පීඩනය ඇති වීමට බලපාන හේතු මොනවා ද?

පුද්ගලයෙකු වයසට යන විට , රුධිර වාහීනීවල බිත්ති ඝනකම වේ. එම නිසා රුධිර වාහීනී තුළ පීඩනය වැඩි වේ. සාමාන්‍යෙයන් රුධිර පීඩනය වැඩි වීමට බලපාන්නේ මෙම හේතුවයි. මෙයට ජනමය බලපෑම, ශරීරය තරබාරු වීම හේතු වේ. වයසත් සමග ඇති වන මෙම තත්ත්වය ඖෂධ මගින් වෙනස් කළ නොහැක. නමුත් පීඩනය අඩු කිරීම පමණක් ඖෂධ මගින් කළ හැකි ය. එම නිසා වයසත් සමග ඇති වන අධික රුධිර පීඩනය සදහා දීර්ඝ කාලීන ඖෂධ ගැනීම කළ යුතු ය.

මීට අමතරව, මානසික පීඩනය සහ වෙනත් හෝමෝන වර්ගවල රෝගී තත්ත්වයන් , වකුගඩු ක්‍රියාකාරීත්වයේ ඇති වන රෝග, නිසා ද අධික රුධිර පීඩනය ඇති වේ.

“ White Coat Hypertension “ ( සුදු කබා රුධිර පීඩනය ) යනු කුමක් ද?

සමහර පුද්ගලයින් රෝහලක් ‍වෙත යන විට හෝ රෝහල් කාර්යයමණ්ඩලය දුටු විට නැතහොත් රුධිර පීඩනය මනින විට,ඇති වන බිය නිසා , ඔවුන්ගේ රුධිර පීඩනය වැඩි වේ. එය රෝගී තත්ත්වයක් නොවේ.බොහෝ විට එම රෝගීන් අනවශ්‍ය ලෙස ඖෂධ භාවිතයට පුරුදු වේ. මේ සඳහා කළ යුත්තේ නිවසෙහි දී රුධිරය මැන ගැනීම හෝ පැය 24 ක රුධිර පීඩන රටාව මැනීම ය. ( 24 hour ambulatroy blood pressure monitoring ) කර ගැනීම ය. අපට හමුවන රුධිර පීඩනය ඇතියි යන්න කියන බොහෝ තරුණ තරුණියන්ට ඇත්තේ මේ තත්ත්වයයි.

අඩු වයසින් රුධිර පීඩනය ඇති විය හැකි ද?

වකුගඩුවල රෝග තත්ත්ව හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්, රුධිර වාහීනීවල වෙනස්කම් වැනි හේතු නිසා අඩු වයසින් රුධිර පීඩනය ඇති විය හැකි ය. නමුත් මෙම තත්ත්වයන් ඉතා දුර්ලභ ය.එහෙත් ප්‍රතිකාර නෙකළහොත් අනතුරුදායක ය.එම නිසා වයස අවුරුදු 40 ට අඩු අයට රුධිර පීඩනය ඇත්නම් ඔවුන් විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂණවලට බදුන් විය යුතු ය. රුධිර පීඩනයට ප්‍රතිකාර ගැනීම පමණක් ප්‍රමාණවත් නැත.

නිවසේදී රුධිර පීඩනය මැන ගැනීම නිවැරදි ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඩිජිටල් රුධිර පීඩන උපකරණය මගින් නිවසේදී තනිවම රුධිර පීඩනය මැන ගැනීමට පුළුවන.නමුත් මෙම උකරණය ඉතා සංවේදී නිසා එක අවස්ථාවක දී රුධිර පීඩන කියවීම් කිහිපයක් ගත යුතු ය.එහි දී අවසානයට ගන්නා කියවීම් නිවැරදි වේ.

අධික රුධිර පීඩනයේ රෝග ලක්ෂණ මොනවා ද?

සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නැත .රුධිර පීඩනය ඉතා ඉහළ අගයක් ගත් විට,හිස කැක්කුම වැනි තත්ත්වයන් ඇති විය හැකි ය.

අධික රුධිර පීඩනය නිසා ඇති විය හැකි තත්ත්වයන් මොනවා ද?

අධික රුධිර පීඩනය මගින් අතුරු ආබාධ ඇති වන්නේ එම පීඩනය කාලයක් පැවතීම නිසා ය.හෘදයාබාධ, අඝාතය( Stork ) වකුගඩු අක්‍රීය වීම,අධික රුධිර පීඩනය නිසා ඇති වන ප්‍රධාන ප්‍රතිඑල වේ.

අධික රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද?

වළක්වා ගැනීමට කළ හැකි දෑ සීමා සහිත ය. ශරීරයේ බර අඩු කර ගැනීම, ව්‍යායාම්වල යෙදීම,මානසික පීඩනය අඩු කර ගැනීම,අධික ලුණු භාවිතයෙන් වැළකීම,එළවළු පලතුරු ආහාරයට ගැනීම,මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, අදිය අධික රුධිර පීඩනය ඇතිවීම වළක්වා ගැනීමට කළ හැකි පියවර වේ.

අධික රුධිර පීඩනයෙන් යුක්ත පුද්ගලයෙකු සිදු කළ යුතු පරීක්ෂණ මොනවා ද?

අධික රුධිර පීඩනය හෘද රෝගවලට හේතුවක් නිසා හෘද රෝගවලට බලපායි.අනෙකුත් සාධක පරීක්ෂා කර අඩු කර ගත යුතු ය. එම නිසා රුධිරයේ සීනි, කොළෙස්ටරෝල් පරීක්ෂා කර ගත යුතු යුතු ය.වකුගඩු පරීක්ෂාවක් ( Serum Creatinie ) ප්‍රයෝජනවත් වේ.

අධික රුධිර පීඩනය සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද?

අධික රුධිර පීඩනය වයසත් සමඟ ඇති වන තත්ත්වයක් නිසා එය සුව කළ නොහැකි ය. නමුත් ඖෂධ මගින් පාලනය කළ හැකි ය.එම නිසා දිනපතා දීර්ඝකාලීනව ඖෂධ ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා විවිධ ඖෂධ වර්ග භාවිත කරයි. එකම පුද්ගලයෙකුට ඖෂධ වර්ග කිහිපයක් , භාවිතා කිරීමට සිදු වී ඇත.

වර්තමානයේ සිටින අධික රුධිර පීඩනය පවතින පුද්ගලයින්ට ඔබ දෙන පොදු උපදේශය කුමක් ද?

අවුරුදු 35 ට වැඩි පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව අධික රුධිර පීඩනය තිබේ ද?එයට හේතු මොනවා ද?යන්න පරීක්ෂා කරවා ගත යුතු ය. අධික රුධිර පීඩනය ඇති අයෙකු නම් නොනවත්වා නියම මාත්‍රාවෙන් ඖෂධ ලබා ගැනීම කළ යුතු ය.

මදාරා මුදලි‍ගේ

Comments