
ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ආනයනික ඉන්ධන මත යැපෙන රටකි. අපේ රටේ කිසිදු ඉන්ධන නිෂ්පාදනයක් සිදු නොවන නිසා එතෙරින් තෙල් නැව් එන තෙක් කට ඇරගෙන සිටින්නට අපට සිදුව ඇත. තෙල් නැව් ප්‍රමාද වීම නිසා මැත කාලයේදී අපට සිදුවූ ඇබැද්දිය තවම අමතක නැත. එසේම බාල තෙල් ආනයනය කර රථවාහන අතර මඟ ඇන හිටි අවස්ථාවන්හිදී රට පුරාම ඇති වූ ඉන්ධන හා වාහන අර්බුදයද අපට හොඳින් මතක තිබේ. ‘විටෝල්‘ සමාගමෙන් ආනයනය කරන ලද ඒ ඉන්ධන යොදා ධාවනය කරන ලද මෝටර් රථවල එන්ජින් පවා අකර්මන්‍ය වීම නිසා රජයට වන්දි ගෙවීමට පවා සිදු විය.
පසුගිය කාලයේ ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළේ ඉහළ යාමක් දක්නට නොවූ නිසා මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති නොවීය. එහෙත් මේ වන විට ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් ඇති නිසා ඉන්ධන පමණක් නොව ගෘහස්ත හා වාණිජ ගෑස් මිල පවා ඉදිරියේදී ඉහළ යන බවට අනාවැකි දැන් සිටම පළ කළ හැකි ය.
2015 වසර වන විට ඇමරිකන් ඩොලර් 49.49ක්ව තිබු බොරතෙල් බැරලයක මිල 2017 වසරේදී ඇමරිකන් ඩොලර් 54.95ක් වූ අතර 2018 වසර වන විට බැරලයක මිල ඇමරිකන් ඩොලර් 63.07ක් දක්වා ඉහළ නැඟ ඇත. එය තවත් ඉහළ නඟිමින් තිබෙන බවද මේ වන විට වාර්තා වේ.
ඉන්දියන් තෙල් සමාගම හෙවත් අයි ඕ සී මේ වන විටත් ඉන්ධන මිල ඉහළ දමා ඇත. මීට පෙර අවස්ථාවලදීත් අයි. ඕ. සී. ඉන්ධන මිල ඉහළ දමා ටික දිනක් ගිය විට සිපෙට්කෝ හෙවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කරන ලදී.
ඉන්ධන මිල ඉහළ යාමටත් පෙර සිටම මඟී ජනතාවට රිදෙන ආරංචියක් මතු විය. ඒ අද (අප්‍රේල් 01) සිට දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි වන බවට ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දීමත් සමඟය.
එහෙත් දුම්රිය ගාස්තු ඉහළ නඟින්නේ 15%කින් පමණක්ම නොවේ. ඇතැම් විට ඊට වඩා වැඩි ප්රතිශතයකින්ද ඇතැම් ගාස්තු අවස්ථා ඉහළ යනු ඇත. ඒ ආසන්න රුපියල් පහට හෝ දහයට වැටයීම සිදු කෙරෙන නිසාය. රුපියල් 15ක ගාස්තුව 15%කින් වැඩි වූ විට නව ගාස්තුව රුපියල් 17.25ක් වුවත් එය එසේ සිදු නොවනු ඇත. එය ඇතැම් විට රුපියල් 15ම හෝ ඇතැම් විට රුපියල් 20 දක්වා හෝ ඉහළ යනු ඇත. එය පොදුවේ බැලූ විට දුම්රිය දෙපාර්තමේන්තුවට 15%ක් වුවද ජනතාවගෙන් ඇතැම් අයට ගාස්තු වැඩි නොවීමක් මෙන්ම ඇතැම් අයට 25%ක් වැඩි වීමක්ද විය හැකිය.
එසේම ඉන්ධන මිල වැඩි වූ සැණින් සිදුවන අනෙක් ප්‍රධාන සිදුවීම වන්නේ බස් ගාස්තුව අනිවාර්යෙන්ම ඉහළ දැමීම සඳහා වන ඉල්ලීමයි. මේ වන විටත් ජූලි මාසයේ සිට බස් ගාස්තු වැඩි කර ගන්නට බස් සංගම් දත කට මැද ගනිමින් සිටී.
ඉන්ධන මිල වැඩි කළහොත් ජනතාවගේ බඩට තවත් පහර වදිනු ඇත. ඉන්ධන මිල ඉහළ ගිය සැණින් තේ කෝප්පයේ ලූනු ගෙඩියේ සිට මිල ඉහළ යනු ඇත. ඒ මිල ඉහළ යන්නේ ඉන්ධන මිල ඉහළ යාම අනුව නොව පාරිභෝගිකයින් ගසා කෑ හැකි උපරිමයට යටත්වය. පාරිභෝගිකයන් රැක ගැන්මට පාරිභෝගික අධිකාරියක් වෙතත් එයින් පාරිභෝගිකයින් රැක ගන්නා බවක් නම් පෙනෙන්නට නැත.
ඉන්ධන මිල වැඩි කළ විට පාරිභෝගියන්ට ගසා කන රටේ අනෙකුත් දොරටු වසා දමන්නේ නම් මෙහි වාසිය ජනතාවට ලැබෙනු ඇත.
එහෙත් එවැන්නක් සිදු නොවීම අපට කනගාටුවට කරුණකි.
ඉන්ධන මිල මේ වන විටත් වෙනස් නොකර තබා ගෙන සිටීම හරහා රජයට විශාල පාඩුවක් දරන්නට සිදුව ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් සුදර්ශන ජයවර්ධන මහතා පෙන්වා දෙයි.
ඒ මහතා පවසන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විටත් මිල ඉහළ නොදමා තිබෙන්නේ ඛනිජ තෙල් මිල අඛණ්ඩව පවත්වාගෙන යාමේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කරුණු පිණිස බවයි. මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117ක් වන නමුත් ඒ මුදලට පෙට්‍රල් ලබා දීමෙන් සංස්ථාවට රුපියල් 14.69 ක පාඩුවක් සිදුවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 128ක් වන නමුත් ඒ මුදලට ලබා දීමෙන් සංස්ථාවට රුපියල් 9.32ක පාඩුවක් සිදුවන බවද ඔහු පවසයි. මේ වන විට ලෝක වෙළෙඳ පොළේ මිල හා සසඳන කඛ භූමිතෙල් ලීටරයක මිල සාමාන්‍ය වශයෙන් රුපියල් 88.63ක් වන නමුත් සංස්ථාව භූමිතෙල් ලීරයක් ජනතාවට දෙනු ලබන්නේ රුපියල් 44.00කට බවත් ඒ මහතා පෙන්වා දෙයි. ඒ ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරයක් වශයෙනි.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110.00කට අලෙවි කළද එයින් සංස්ථාවට රුපියල් 9.49ක පාඩුවක් වන බවත් ජයවර්ධන මහතා පවසයි.
එසේම රුපියල් 95.00කට ලබා දෙන ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් සංස්ථාවට රුපියල් 14.32ක පාඩුවක් සිදු වන බවද ඔහු පෙන්වා දෙයි.
පසුගිය වසරේ දී (2017) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල්. පෙට්‍රල්, ගුවන් යානා තෙල් දැවි තෙල් ඇතුළු පිරිපහදු නිෂ්පාදන මෙට්‍රික් ටොන් 3167612250 ක් හෙවත් ආසන්න වශයෙන් මෙට්‍රික් 17ක් පමණ ආනයනය කර බෙදා හැර ඇත. ඒ සඳහා එතෙරට ගෙවා ඇති මුදල ඇමරික්න ඩොලර් 1536870494.97 ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 23825ක් පමණ වේ.
එමෙන්ම බොරතෙල් ද මෙට්‍රික් ටොන් 1499395ක් ආනයයනය කර ඇති අතර ඒ සඳහා ඇමරික්න ඩොලර් 654135179.58ක් ගෙවා ඇත. ඒ සියල්ල පිරිපහදු කිරීම සඳහාද තවත් විශාල පිරිවැයක් දරන්නට සිදුව ඇත.
මේ වන විට ගුවන් යානා ඉන්ධන ඉල්ලුම දිනකට ලීටර් මිලියන 1.6ක් වන අතර එය 2020 වසරේදී මිලියන 2 ක් දක්වා ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ. වසර 2030 දී එය ලීටර් මිලියන 3.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කටුනායක ගුවන් තොටුපොළේ ඉන්ධන ගබඩා සංකීර්ණයේ සැපයුම් නළ පද්ධතිය නවීකරණය කර පුළුල් කිරීමටද මේ වන විට කටයුතු කර ඇත. ඒ ඉන්ධන ගබඩා කර ගැනීමට පියවරක් වශයෙනි.
එසේම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණය වේගවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ සියල්ල සඳහාද සංස්ථාවට විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. ඉන්ධන මිල වැඩි නොකර මේ කටයුතු සිදු කිරීම සංස්ථාවට විශාල ගැටලුවක් ඇතත් ඉන්ධන සහනාධාරය දිගින් දිගටම ලබා දීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඉන්ධන මිල වැඩිවීම වැළැක්වීම සඳහා රජය විසින් ඉන්ධන මත පනවා ඇති තිරුබදු අඩු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා වන රුපියල් 35ක බද්ද රුපියල් 12ක් දක්වාත් ඩීසල් ලීටරයක් සඳහා වූ රුපියල් 15ක බද්ද රුපියල් 4ක් දක්වාත් අඩු කෙරෙනු ඇත.
එසේම සංස්ථාවට පාඩුවක් නොවන ලෙස ඉන්ධන මිල සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වූ මිල සූතුයටද ඇමැතිවරයා හරස් කැපීම නිසාද සංස්ථාවට යම් අර්බුදයක් සිදුව ඇත. කෙසේ හෝ මේ අවස්ථාවේදී රජය විසින් ඉන්ධන මත පනවන ලද බද්ද අඩු කිරීම ජනතාවට විශාල වාසියක් වනු ඇත. එසේ නොවුවහොත් පාන් පෙත්තේ සිට සියලු භාණ්ඩවල මිල ඉහළ නංවාලීමට එය හේතු සාධකයක් කර ගන්නට කුට වෙළෙඳුන් බලා සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.කෙසේ වුවත් ඉන්ධන මිල ඉහළ නංවා නොදැමීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම සඳහා වන ස්ථිර ක්‍රමවේදයක් සඳහා පියවරක් ගැනීම ඉතාම කාලෝචිත බව පෙන්වා දිය යුතුය.
තාරක වික්‍රමසේකර