පාතාලයේ ඝාතන රැල්ලක් | සිළුමිණ

පාතාලයේ ඝාතන රැල්ලක්

 හිරු බැස යමින් අඳුර වැටීගෙන එද්දී කඩුවෙල, මාලඹේ විජය කුමාරතුංග මාවත අසල ඇවිදින මංතීරුවට එකා දෙන්නා ඇදී එන්නෙ සුපුරුදු පරිදි දෛනිකව සිදුකරන ව්‍යායාම සඳහායි. සෑම දිනෙකම ඇවිදින මංතීරුවට ව්‍යායාම කිරීමට පැමිණෙන රොෂාන් ප්‍රේමලාල් පසුගිය 25 වැනිදානම් එලෙස ව්‍යායාම කිරීමට පැමිණියේ සති දෙකකට පමණ පසුවයි. කළු පැහැති ප්‍රාඩෝ රථයෙන් බැස රොෂාන් ඇවිදින මංතීරුවට පිවිස ව්‍යායාම කිරීමට සැරැසුණා පමණි.

විදුලිවේගයෙන් ඇදී ආ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු යතුරුපැදියෙන් බැස රොෂාන්ගේ අසලට ගොස් මි.මි. 9 වර්ගයේ පිස්තෝලයකින් එල්ල කළ වෙඩි පහර කීපයකින් රොෂාන් බරපතළ තුවාල ලැබීය. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ අසල පිහිටි පොලිස් මුරපොළේ සිටි පොලිස් නිලධාරින් විසින් රොෂාන්ව නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කරන විටදීත් මියගොස් සිටියේය. එලෙස ඝාතනය වූ රොෂාන් ඉකුත් තුන් මස තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි හෙවත් පාතාල කල්ලි අතර ගැටුම් නිසා ඝාතනය වූ 15 වැන්නා ලෙස පොලිස් පොත්වල සටහන් විය.

හිඹුටාන බැංකු හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 46 හැවිරිදි අප්පු තන්ත්‍රි ආරච්චිලාගේ රොෂාන් ප්‍රේමලාල් ප්‍රචලිතව සිටියේ පොලී රොෂාන් යන නමිනි. තිදරු පියෙකු වන රොෂාන් පොලියට මුදල් දීම සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා ප්‍රකටව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. කොන්ත්‍රාත් ව්‍යාපාර, බර වාහන ආනයනය කොට අලෙවි කිරීම ඇතුළු ව්‍යාපාර රාශියක් සිදුකළ රොෂාන්ගේ ජීවිතයේ ඇතුළාන්තයනම් එතරම් යහපත් නොවන බවක් වාර්තා වේ.

දැනට රටින් පැන කලක සිට ඩුබායිහි සිටින බවට සැක කරන අංගොඩ ලොක්කාගේ හිතෛෂියකු ලෙස ද රොෂාන් ගනුදෙනු කර තිබේ. අංගොඩ ලොක්කාට ඇති පදම් කප්පම් ගෙවූ ඔහු ඒ සමයේ ලොක්කාගේ ‘හයිය’ ගෙන වෙනත් පාතාල කණ්ඩායම්වලට එරෙහිව ද කටයුතු කර තිබෙන බවට ද සැලවේ. එම නිසා මේ ඝාතනය අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම විරුද්ධ පාර්ශ්වය වන කළුතර එතනමඬලදී බන්ධනාගාර බස් රථයට එල්ල කළ ප්‍රහාරයේදී මියගිය රණාලේ සමයාගේ කල්ලියේ ඝාතනයක්ද යන්න ගැනත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය කීවේය. ඒ, මේ ඝාතනය පසුගිය 19 වැනිදා අතුරුගිරිය ගල්වරුසාව පාරේදී ඝාතනය වූ සමයාගේ ගෝලයකු වූ පොඩි සුදුවාගේ ඝාතනයට එකට එක කිරීමක් ලෙසද සැක කරන හෙයිනි. එසේම රොෂාන් මෑත කාලයේදී අංගොඩ ලොක්කා ඉල්ලු කප්පම් නොගෙවා සිටි නිසා අංගොඩ ලොක්කාගේ ගෝල-බාලයන්ගේ ගොදුරක් වූවාද යන්නත් පොලිස් පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇස යොමු වී තිබේ.

එහෙත් මේ ඝාතනය ගැන පරීක්ෂණ මෙහෙයවන නුගේගොඩ විශේෂ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර ඇතුළු පිරිසගේ පරීක්ෂණ කටයුතු වෙනතකට යොමු කළේ රොෂාන්ගේ මව විසින් පසුගිය 26 වැනිදා මුල්ලේරියාව පොලීසියට කළ පැමිණිල්ලක් නිසාවෙනි. ඇයගේ පැමිණිල්ලෙන් තම පුත්‍රයාගේ ඝාතනයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තෙ රොෂාන්ගේ බිරිය බව සඳහන් කොට ඇත.

එහෙත් පුවත්පත මුද්‍රණයට යන විටත් පොලීසියට ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමට හැකියාවක් නොතිබුණේ රොෂාන්ගේ මරණ කටයුතු අවසන්ව නොතිබු නිසායි.

රොෂාන් සහ බිරිය අතර කලක සිටම හැලහැප්පීම් තිබී ඇත. මුදල් පොලියට දීම සම්බන්ධයෙන්ද එතරම් මනාපයකින් නොසිටි ඇය ඔහුගේ සල්ලාල ජීවිතය නිසාද මහත් සේ පීඩා විඳිමින් ජීවත්වූ බවටද වාර්තා වේ. ඇය විසින් ගිය වර්ෂයේ දිනෙක තම පුත්‍රයාගේ පපුවට පිහියකින් ඇන ඝාතනයට තැත් කිරීමට උත්සාහයක් දරා ඇති බවට ද රොෂාන්ගේ මව මුල්ලේරියාව පොලීසියට පවසා ඇත. එම සිදුවීම සමථයකට පත් කරගෙන බිරිය සමඟ ජීවත් වුවත් ඒ වෙනුවෙන් පවතින නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතින බවත් සැලවේ.

අනතුරුව බිරිය රොෂාන්ගෙන් දුරස්ව ජීවත්වී ඇති බවද සැමියාගෙන් නඩත්තු මුදලක් අයකර ගැනීමට නඩුවක්ද ගොනු කර තිබිණි. කෙසේ හෝ ඇය විවාහයෙන් වෙන් නොවී රොෂාන්ගේ දේපොළ අත්කර ගැනීමට තම පුත්‍රයා මෙසේ ඝාතනය කරන්නට ඇති බවටත් රොෂාන්ගේ මව පොලීසියට ප්‍රකාශ කර තිබේ.

රොෂාන්ගේ මවගේ එම පැමිණිල්ලත් සමඟ මේ ගැන පරීක්ෂණ පුළුල් කරමින් අතුරුගිරිය, මුල්ලේරියාව පොලිසී ඇතුළුව මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවමින් සිටී. මේ ඝාතනය ගැන එලෙස පරික්ෂණ කටයුතු වෙනතකට යොමු වුවත් අංගොඩ ලොක්කා කෙරෙහි තිබෙන සැකය බැහැර කළ නොහැකි බව පරීක්ෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායම්වල මතය විණි. එලෙස පරීක්ෂණ කටයුතු පැති කිහිපයකින් සිදුවෙද්දී මේ ඝාතනයට අංගොඩ ලොක්කාගේ කල්ලියේ ඉහළ දායකත්වයක් තිබෙන බව පොලිස් බුද්ධි අංශ සැක පහළ කරයි.

පසුගියදා සිදුවූ ඝාතන කීපයක්ම පිටරට සිට මෙහෙයවා ඇති ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා යනු පොලීසියට අත්‍යවශ්‍යම අපරාධකාරයෙකි. පාතාල ලෝකයේ බිහිසුණුම ඝාතන සිද්ධිය වූ 2017 පෙබරවාරි 27 දා සමයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන අපරාධකරුවා ලෙස අංගොඩ ලොක්කා සැලැකේ. නවගමුව, අතුරුගිරිය, මුල්ලේරියාව පෙදෙස්වල කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙමින් ජීවත්වූ අංගොඩ ලොක්කා සමයාගේ ඝාතන ප්‍රහාරයත් සමඟින් තවත් අපරාධකරුවකු වන ලඩියා සමඟ සූක්ෂ්ම ලෙස ඉන්දියාවට පැන ගියේ මන්නාරම් මුහුදු තීරයේ පේසාලේ සිට බෝට්ටුවක නැඟී තමිල්නාඩු මුහුදු තීරයට යාත්‍ර කරමිනි. ඉන්දියාවේදී

චෙන්නායි ගුවන් තොටෙන් ඩුබායි බලා යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වූ මේ අපරාධකරුවන් දෙපළ සූක්ෂ්ම ලෙස ඉන්දිය අත්අඩංගුවෙන්ද පැන ගොස් මේ වන විට ඩුබායිහි, මාකඳුරේ මධුෂ්, කෙසෙල්වත්තෙ දිනුක වැනි පාතාල කල්ලි නායකයන් සමඟ සිටින බවට වාර්තා වේ. මාකඳුරේ මධුෂ් ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගැනීමට ඉතාලියට පැනගොස් ඇති බවටද සැක පහළ වේ.

එසේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෝ දසදෙනෙකු පමණ පිටරටවල වෙසෙමින් මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, මිනිස් ඝාතන සිදුකිරීම් මෙහෙයවන බවට පොලිස් බුද්ධි අංශවල උකුසු ඇසට හසුවී තිබේ. එලෙස පිටරට සිට අපරාධ මෙහෙයවන අය අතර කිඹුලාඇළේ ගුණා, කොස්ගොඩ සුජී වැන්නන් ඉන්දියාවේද, තවත් ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් එංගලන්තයේද, එස්ටීඑෆ් නදුන් ලෙසින් ප්‍රකට පාතාල සාමාජිකයා ඉතාලියේද සිටින බවයි.

මේ අතර පසුගිය 27 වනදා රාත්‍රී 9.00ට පමණ මාලිගාවත්තෙ අලාමා ඉක්බාල් නමැති අතුරු මාර්ගයේදී ඝාතනය වූ 25 හැවිරිදි නිප්පු නොහොත් සාවුල් හමීඩ් නමැත්තා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් බව පොලීසිය පැවැසීය. එම ඝාතනයටද පරීක්ෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායම්හි සැකයට භාජනය වී තිබෙනුයේ මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් සිදු වූවක් බවයි. ඒ නිප්පුගේ දුරකථනයට ලැබුණු ඇමැතුම් පරීක්ෂා කිරීමේදී හෙළිවූ ආකාරයට අවසානයට ඔහුගේ දුරකථනයට ඇමැතුම් රාශියක්ම ලැබී ඇත්තේ ඩුබායිවලින් නිසායි.

ඒ අනුව පෙබරවාරි 16 වැනිදා අලුත්කඩේදී ඝාතනය වූ ‘ඩ්‍රොප් මී’ කුලී රථ සේවාවේ හිමිකරු වූ මොහොමඩ් රිස්කාන් නමැති මධුෂ්ගේ ව්‍යාපාරික හිතවතාගේ ඝාතනයට එරෙහිව මධුෂ්ගේ කල්ලිය කළ තවත් ඝාතනයක් ලෙසද මෙය සැක කරයි.

නිප්පු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වූවෙක් බවත් ඔහු මාලිගාවත්තේ පදිංචිය වෙනස්කොට වරකාපොළ ප්‍රදේශයේ ජීවත් වෙමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම්හි නිරත වී ඇත. නිප්පු ඝාතනය වන මොහොතේ ඔහු සමඟ තවත් පුද්ගලයෙක් සිටි බවත් එම පුද්ගලයා පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. එසේ මේ නිප්පු නමැත්තා කෙනෙකුගේ උගුලකට හසුව මාලිගාවත්තට පැමිණ අතුරු මාර්ගයේ රැඳී සිටින මොහොතේදී මි. මි. 9 පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරන ලද බව පොලීසියේ සැකයයි.

කුඩු පාතාලයේ තිඹිරිගෙය ලෙස සැලැකෙන මාලිගාවත්තෙ පසුගිය කාලයේ කුඩු රජා ලෙස කටයුතු කළේ කුඩු ලාල් නමැත්තාය. ඔහුගේ ප්‍රධානතම ගෝලයා වූ 39 හැවිරිදි දොන් නුවන් උදයංග ගුණවර්ධන නොහොත් ‘කුඩු නුවන්’ නමැත්තා ද පසුගිය 25 දා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් විසින් කඩවත, ඉහළ කරගහමුණ ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගැනිණි.

මොහු කලක සිටම සිය ගම් ප්‍රදේශය වූ මීතොටමුල්ලෙන් අතුරුදන් වී සිට ඇති අතර මත්කුඩු ජාවාරම්වලට අමතරව මිනිස් ඝාතන කිහිපයකම සැකකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි. එසේම හිටපු ඇමැතිවරයෙක් වූ මර්වින් සිල්වා සමඟ රූපවාහිනි සංස්ථාවට කඩාපැන එහි සේවකයන්ට පහර දීමටද ඍජුවම සම්බන්ධ වූවෙක් ලෙස ‘කුඩු නුවන්’ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

කෙසේ හෝ ගිය සතිය අවසන් වන විට අපරාධ කල්ලි අතර බල අරගලය නිසා පසුගිය මාස තුනට සිදුවූ 16 වැනි මිනිස් ඝාතනයද සිදුවී හමාරය. මෙලෙස මහමඟ කිසිදු බියකින් තොරව ආයුධ සමඟ ගමන් කරමින් වෙඩි පත්තු කිරීම් සාමාන්‍ය අහිංසක සිවිල් පුරවැසියන්ගේ ජීවිතවලට මොනතරම් බිය උපදවනසුලු කරුණක් ද? එම නිසා මෙවැනි පාතාලයන් හුරතල් කරන සියලු දෙනාටම එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කොට හිස ඔසවමින් පවතින ආයුධ සංස්කෘතියට ඉක්මනින්ම ‘තිත’ තැබීමට රජය ඇතුළු වගකිවයුතු සියලු දෙනා කඩිනම් පියවර ගත යුතුය.

අමිල මලවිසූරිය

Comments