
රටේ ශාසනික සාහිත්‍ය ක්ෂේත්‍රය බැබළවීමට ජාතියේ පිනට පහළ වූ අපවත්වී වදාළ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි උපත ලැබුවේ ඌව පරණගම දවුල්දෙන නම් සුන්දර ගම් පියසේදීය. වීර කැප්පෙටිපොළ පරපුරින් පැවත එන ආලෝක මුදියන්සේලාගේ කවුරාල උපාසක මහතාගේ සහ ගජනායක මුදියන්සේලාගේ කිරි මැණිකේ මාතාවගේ ආදරණීය පුත්රුවනක් ලෙස 1915 දෙසැම්බර් මස 31වැනි සිකුරාදා උපත ලද පින්වත් කුලදරුවාට ආලෝක මුදියන්සේලාගේ සිරිබද්දන වශයෙන් නම් තැබුණි. පුතුන් සදෙනකු සහ දියණිවරුන් පස් දෙනෙකුගෙන් යතු පවුලේ නව වැනියා වුයේ කුඩා සිරිබද්ධන පිංවත් පුත්‍ර රත්නයයි.
සිය ආදරණීය දෙගුරුන්ගේ ඇල්ම, බැල්ම ඇතිව හැඳුණු වැඩුණු කුලසිරිත් හා ආචාර ධර්ම ප්‍රගුණ කළ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ, මැදවල මහා විද්‍යාලයෙන්ය. පාසල ඇරුණු පසු සවස් කාලය වැඩියෙන්ම ගත කළේ ඌමෑල ශ්‍රී සුදර්ශනාරාමයෙහිය.එහිදී ශ්ලෝක පොත් හා ගාථා කට පාඩම් කිරීම නිතැතින්ම පුරුද්දක් කරගෙන මේ පිංවත් කුමරුගේ සිත වඩාත් ඇඳී ගියේ පැවිද්ද කෙරෙහිය. ඒ අනුව වයස අවුරුදු 13 දී, දෙමවුපිය අවසරය ලැබ 1928 මාර්තු 08 වන බ්‍රහස්පතින්දා දින දවුල්දෙන ඤාණිස්සර යන නමින් උතුම් පැවිදි බව ලබාන්නා ලදි. මේ උතුම් පැවිද්ද ලැබුවේ සපුගොල්ලේ තපෝධනාරාම මුල මහා විහාරාධිපතිව වැඩ විසු අතිපුජ්‍ය ඌමෑලේ සිරි පියරතන උඩුකිඳ සංඝනායක මාහිමියන් වහන්සේගේ සහ අතිපුජ්‍ය ඌමෑලේ පඤ්ඤානන්ද නායක මාහිමියන් වහන්සේගේ ගුරුවර භාරකත්වයෙනි.
භික්ෂුවක් ලෙස දීප්තිමත් සාසනික, සාමාජීය සහ සාහිත්‍යමය සේවාවකට වාසනාව හිමි, මෙම ශිෂ්‍ය සාමණේර නම, පැවිද්දට අවැසි බණදම් සපුරාගෙන මද කලකට පසුව, ගුරුදේව ස්වාමීන් වහන්සේලා විසින් වැඩිදුර අධ්‍යාපනය සඳහා 1932 දී කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් කරන ලදි. විද්‍යෝදය පිරිවෙන් පරිශ්‍රයෙහි එවකට පිරිවෙන් පරිවෙණාධිපති, අතිගරු බද්දේගම ශ්‍රී පියරතන, අතිගරු කහවේ ශ්‍රී රතනසාර, වැලිවිටියේ සෝරත, පළන්නොරුවේ විමලධම්ම, වැලිපිටියේ පේමරතන, කළුකොදයාවේ පඤ්ඤාශේඛර, කුකුල්නාපේ දේවරක්ඛිත යන මහ පඬිවරුන් ඇසුරෙහි සිය පිරිවෙන් අධ්‍යාපනය ඉතා විශිෂ්ට ලෙස ලබාගත් අපේ මහනාහිමි, එවකට තරුණ භික්ෂුවක් ලෙස අවසාන පිරිවෙන් විභාගයෙන් සිංහල - පාලි - සංස්කෘත භාෂාත්‍රයන්ගෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබා ප්‍රථම ස්ථානය හිමිකර ගෙන දීප්තිමත්ම ශිෂ්‍යයාට පිරිනමන “ශ්‍යාමරාජ ත්‍යාගයද” සෙසු විෂයයන්ටද දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන විශේෂ ත්‍යාග ලබා ගැනීමට ද වාසනාව හිමිකර ගත්තේය. ප්‍රාචිණ විභාග වලින්ද විශිෂ්ට ලෙස සාමාර්ථය ලැබු දවුල්දෙන ඤාණිස්සර තරුණ භික්ෂුන් වහන්සේ ප්‍රචිණ විභාගයේ සියලුම විෂයයන්ගෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගත් නිසා වෛද්‍යශේඛර ත්‍යාගය සහ ශ්‍රීමත් ස්ටබ්ස් ලංකාණ්ඩුකාර ත්‍යාගයද හිමිකර ගත්තේය.
ශිෂ්‍ය අවදියේ, තමන් වහන්සේ අධ්‍යාපනය ලැබු කාලය තුළ නුගේගොඩ, කන්දවත්තේ, ශ්‍රී විජයවර්ධනාරාමාධිපතිව වැඩ විසු, කනංකේ සුමනතිස්ස නාහිමියන් සහ ජඹුරේගම පියරතන නාහිමියන් සිය ආරාමයෙහි නතර කරවාගෙන දුන් සහයෝගය අප මහානාහිමියන්ගේ මුල් කාලය, මතක් කරන සෑම අවස්ථාවකම මහත් කෘතවේදීව සිහිපත් කරනු ලැබු අවස්ථා එමටය. උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවටම, උත්තරීතර නිහතමානි බව, පිදිය යුත්තන් පිදීමේ ගුණාංගය සහ සරල බව සෑමවිටම ප්‍රදර්ශනය කළ සේක. නිලය, බලය, සහ ධනය නිසා හිස උදුම්මාගත් බොහෝ අය හමුවන අද සමාජයට මේ ගුණාංගය කදිම ආදර්ශයක් වන්නේය.
ශබ්ද ශාස්ත්‍රයෙහිද, ධර්ම විනයෙහිද, මහා කුසලතාවක් දැක්වු උන්වහන්සේ අධිශිල සංඛ්‍යාත උප සම්පදාව ලබාගත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පණ්ඩිතෝපාධිය ලබා බහුශ්‍රැත පඬිවරුවනක් ලෙස කීර්තිදරව වැඩ විසු, අතිපුජ්‍ය විදුරුපොළ සිරි පියතිස්ස මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1938 ඇසළ මස 19 වැනි අඟහරුවාදා දිනදීය. ඉන් ඉක්බිතිව, උන්වහන්සේ උපතින් ගෙනා වාසනාව හා උට්ඨානවීර්ය නිසා උපන්දිනාවූ චිත්ත ශක්තිය සහ ධනාත්මක සිතුවිලි දහරාවක් ක්‍රියාවට නැංවීම තුළින්, අතිගරු රාජකීය සුමංගල විද්‍යාවංශ දෛවී භාෂා විශාරද ෂඩ් භාෂා පරමේශ්වර (තොටගමුවේශ්‍රී රාහුල හිමිට පසුව බිහිවු) ජිනසාසන කීර්ති ශ්‍රී අග්ග මහා පණ්ඩිත ආචාර්ය ශාස්ත්‍රසුරී ආචාර්ය අතිපුජ්‍ය දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සමස්ත ලෝකවාසී උත්තරීතර සංඝ සමාජය තුළත්, දෙස් විදෙස් රාජ රාජ මහාමාත්‍යයන් අතරත් අති උත්තරීතර ගෞරවයක් උන්වහන්සේ වෙත ගලා ආවේය. උන්වහන්සේට පුදනු ලැබීය. එවන් උත්තරීතර ගෞරවයට හා පොදුජන ආදරයට පාත්‍ර වූ සංඝරාජවරු ලොව පහළ වන්නේ ඉතා කලාතුරකිනි. එයට සාක්ෂි වශයෙන් උන්වහන්සේ ස්වෝත්සාහයෙන්, සිය ප්‍රඥාවෙන්, බුද්ධියෙන් ලබාගත් දැනුම් සම්භාරය සීමා මායිම් නැති තරම්ය. මෙම දැනුම් සම්භාරය පදනම් කරගෙන උන්වහන්සේට පුදනු ලැබු මෙහි පහත සඳහන් ගෞරව නාම සහ උපාධි සම්භාරය සාක්ෂි දරණු ඇත. එනම් මෙසේය.
විද්‍යෝදය පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍යයා ලෙස “ශ්‍යාමරාජ”ත්‍යාගය හිමිකර ගැනීම, ප්‍රාචීන විභාගය ඉතා විශිෂ්ට ලෙස සමත්වීම නිසා “වෛද්‍යශේකර” ත්‍යාගය හිමිකර ගැනීම, ශ්‍රීමත් ස්ටබ්ස් ලංකාණ්ඩුකාර ත්‍යාගය හිමිකර ගැනීම, සාම රන් පදක්කම - ආසියානු බෞද්ධ සම්මේලනය මොන්ගෝලියාව, සංස්කෘත චක්‍රවර්ති - විද්‍යෝදය මහ පිරිවෙන, ග්‍රන්ථ විශාරද - ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගම, දෛවී භාෂා විශාරද -ශ්‍යමෝපාලී වංශික රෝහණ සංඝ සභාව, ජනාධිපති සම්මානය, භාෂාන්තර විශාරද ජිනසාසන කීර්ති ශ්‍රී මහෝපාධ්‍යය ෂඩ් භාෂා පරමේෂ්වර මහා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ එක්නැලිගොඩ පාර්ශ්වය, සංස්කෘතික සාහිත්‍ය සරස්වතී - අමරපුර සිරි සද්ධම්මවංශ, සාහිත්‍යශූරී - ඇමරිකානු කැලිපෝනියානු සංඝ සභාව. ඒ සමඟ 2002 වර්ෂයේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් උත්තරීතර මහානායක පදවියද. .අග්ගමහා පණ්ඩිත - බුරුම රජය මඟින් උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත උපාධිය ද උඩරට අමරපුර සාමශ්‍රී සංඝ සභාව මඟින් ත්‍රිපිටකචාර්ය හා මහෝපාධ්‍යය තනතුරුද පිරිනමන ලදී.
වරක් 2015 දෙසැම්බර් 31 වෙනිදා උන්වහන්සේගේ 100 වෙනි උපන්දින, උන්වහන්සේට වැද නමස්කාරදී දීඝායුෂ ප්‍රාර්ථනා කිරීමට හිමිදිරි උදෑසන උන්වහන්සේගේ ඉතා හිතවත් ද්‍රවිඩ මිත්‍රයකු සමඟ මම ගියෙමි. මෙදින උදෑසන හීල් දානය පිරිනැමුවේ එම මිත්‍රයාවු මනිමුත්තු මහතාය. දානය අවසානයේ පැමිණ සිටි සැමට ආශිර්වාද පිරිත් නුල් සුරත්වලට පැලඳවීමෙන් පසුව අපට ඉතා වටිනා උපදේශයක් දුන්නේය. මේ ඇත්තන් තේරුම් ගතයුතු කාරණාවක් තිබෙනවා. මොකක්ද ඒ, අභියෝග ඉදිරියෙහි අධෛර්යයට පත්වන්නට එපා. ඒ සියලු අභියෝග ජයගන්නම ඕනෑමයි. කුසලතා නැති අයට අභියෝග අවස්ථාවන් පමණක්ම වේ. කුසලතා ඇති අපට අභියෝග ජයග්‍රහණ රාශියක් ලබාදෙනවා.බලන්න ජීවිතයේ මුහුණ දෙන අභියෝග ජයගෙන කුසලතා පෙන්වු නිසා සංඝ සමාජය සහ ගිහි සමාජය මට ලබාදුන් ගෞරව සම්මාන කොපමණද? මේවා ඉදිරියේ මහා මානසික තෘප්තියක් ලැබු එක ඇත්ත. ඒවා ලබාදුන් සැමට මම නිහතමානීව පෙරලා කෘතවේදී වන්නෙමි. මගේ ඉදිරි කෙටි කාලය තුළ තව තවත් එළියක් ලබාදෙන්නයි මගේ වෑයම. ඒ නිසා මා ලබාගත් ගෞරව සම්මාන සියල්ලම ඇතුළත් කර මට ලස්සන “ලෙටර් හෙඩ්” එකක් මුද්‍රණය කරදෙන්න. මා මේවා “ලෙටර් හෙඩ්”එකට ඇතුළත් කිරීමට සිතා ගත්තේ, අපේ ඉදිරි පරම්පරාවල සාමාජිකයන්ට, එසේම නුපන් පරපුරට මේවා ආදර්ශයට ගන්න මාවතක් සාදා දෙන්න ඕනෑ නිසයි. නැතිව මගේ ලොකුකම පෙන්වන්න නොවේ කියා මද සිනහවක් පෑවේය. අපේ මහනාහිමි කොපමණ නිහතමානීද? දුරදර්ශීද?
මේ වදන් පෙළ කෙතරම් නිර්ව්‍යාජද? පරාර්ථකාමීද? විශිෂ්ටතම ආකල්ප උත්පාදනය වන්නේද යන්න පාඨකයාට හැඟෙනු ඇතැයි විශ්වාස කරමි. තමන් ගිය සාර්ථක ගමන් මග නුපන් පරපුරට දායාදකර ඔබත් එසේ සාර්ථක ගමනකට වාසනාව උදාකර ගනිත්වා යන උතුම් අපේක්ෂාව මේ තුළ ගැබ්ව ඇත.
දැනට වසරකට පෙර 2017 අප්‍රේල් 3 වැනි සඳුදා උදෑසන සිය ජීවිත ගමනේ 102 වසර පසුකරමින් සිටි අවධියේ අපවත්වී වදාළ සේක. දසක නවයක් තරම් වූ උන්වහන්සේගේ සාසන, සාමාජීය හා සාහිත්‍ය සේවා ඉතිහාසය තුළ දක්ෂ ගුරුවරුන් රාශියක් සිටින බව ගිහි සමාජයත්, භික්ෂු සමාජයත් තේරුම්ගෙන එම ගුරුවරුන් ආභාසයට පත්කරගෙන තම තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ ශ්‍රේෂ්ඨ වු පණිවිඩ රාශියක්, අත්දැකීම් රාශියක් අප වෙත තබා උන්වහන්සේ අපවත්වී වදාළ සේක. අති උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහානාහිමිට නිවන් සුව ප්‍රාර්ථනය කරමු!
දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ