
උදයංග වීරතුංග පසුගිය රජය සමයේ අවුරුදු අටකට වැඩි කාලයක් එක දිගට එක් රටකම තානාපතිවරයකු ලෙස කටයුතු කළ බලවත් චරිතයකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති හිතෛෂියකු ද වන උදයංග එකී වසර අටකට වැඩි කාලය තුළ රුසියාවේ මෙරට තානාපතිවරයා ලෙස කටයුතු කරමින් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයකටම මැදිහත් වූ කෙනෙකු ලෙසද සැලැකේ.
ඒ සමයේ ශ්‍රී ලංකා රජය රුසියාවට අවට රටවල් සහ යුක්රේනය වැනි රටවල් සමඟ කළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බොහෝමයකට තානාපති තනතුරෙන් ඔබ්බට ගොස් ඍජු මැදිහත්කරුවකු ලෙස ද උදයංග සම්බන්ධ වී කටයුතු කළ බවට හෙළිදරව් විණි. එසේම ශ්‍රී ලංකා රජය යුක්රේනය සමඟ ගනුදෙනු කරමින් සුප්‍රකට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට උදයංග ඍජුවම දායක වූ චරිතයක් ලෙස පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
2006 වර්ෂයේදී සිදුවූ එම ගනුදෙනුවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 4ක් මිලදී ගැනිණි. එම මිලදී ගැනීමේදී සිදුවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලට අදාළව උදයංග වීරතුංග ප්‍රබල සැකකරුවෙකු ලෙස නම් කර තිබිණි.
එසේම තවත් එවැනි යානා තුනක් හා මිග් 23 යානයක් අලුත්වැඩියා කිරීමකට අදාළ ගනුදෙනුවකින්ද බරපතළ මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට උදයංගට එරෙහිව චෝදනා එල්ල වී ඇත. තවද රුසියානු තානාපතිවරයාව සිටියදී උදයංග එල්ටීටීඊයෙන් අල්ලාගත් අවිආයුධ යුක්රේන කැරැලිකරුවන් අතට පත්කිරීම සම්බන්ධයෙන්ද චෝදනාවන්ට ලක්විණි. එලෙස චෝදනා රැසක් එල්ල වෙද්දී ඔහු යටතේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී මියගිය නොයෙල් රණවීර නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් ද ඔහු ගැන සැක පහළ වී තිබිණි.
එවැනි චෝදනා රැසකට සැකකරුවකු වන උදයංග මෙරට රජයට කට්ටි පනිමින් රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තිබූ රාජ්‍යතාන්ත්‍රික භාවය එලෙසම පාවිච්චි කොට රට-රටවලට යමින් සැපවත් ජීවිතයක් ගත කළේය. 2016 වර්ෂයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ කළ සංචාරයකදී එතුමා ඉබරකි ප්‍රාන්තයේ සුකුබා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ දේශනයකදී පසෙකින් උදයංගද සිටින අයුරු රූපවාහිනී මාධ්‍යවලින් පුන පුනා පෙන්වීය.
එලෙස කටයුතු කරමින් මෙරට අධිකරණය මඟ හරිමින් සිටි උදයංගගේ ගුවන් ගමන් බලපත්‍රය තහනම් කරමින් පසුගිය වසරේ ජුනි 30 දා මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කළේය.
එසේ වරෙන්තු නිකුත් කර සිටියදී උදයංග වීරතුංග අදාළ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කරමින් විදෙස් රටවල සැරිසරන බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කිරීම්ද කළේය.
ඒ අනුව මෙරට අධිකරණය මඟ හරිමින් සිටි උදයංග පසුගිය පෙබරවාරි 04 දා ඩුබායි හරහා වෙනත් රටකට යාමට උත්සාහ ගැනීමේදී ඩුබායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්විණි. ඒ මොහොතේදී ඩුබායි බලධාරීන් උදයංගගේ විදෙස් ගමන් බලපත්‍රය, පදිංචි ස්ථානය සහ දුරකථන අංකය ඇතුළු තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව මුදාහැර තිබිණි. පසුව එම නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී අදාළ ලිපිනයේ උදයංග වීරතුංග පදිංචිව නොමැති බවට සහ ලබාදුන් දුරකථන අංකය ක්‍රියා විරහිත කර ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා ඔහු පලාගොස් සැඟව සිටින සැකකරුවකු ලෙසට නම් කර මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. ඒ බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
එලෙස කටයුතු සිදු වෙමින් තිබියදී පසුගියදා අන්තර්ජාතික පොලීසියට යැවීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමට අනුව උදයංගට එරෙහිව නිකුත් කළ අන්තර්ජාතික රතු නිවේදනය අනුව ඔහුව පසුගිය 26 වැනිදා ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් උදයංග වීරතුංග නමැති සැකකරුවා මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අප කළ විමසීමකදී පැවැසීය.
මීට පෙර අවස්ථා කීපයකදීම මෙරට මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරමින් තමන් වරදක් කර නැති බවත්, අවශ්‍ය ඕනෑම මොහොතක පරීක්ෂණ සඳහා සහාය වන බව කී උදයංග මහතාට තම නිරවද්‍යතාව ඔප්පු කිරීමට ‘නියම’ අවස්ථාව දැන් උදාවී තිබේ.