“සිළුමිණ” පත් රැජන දක්වන හරිපාර.... අබිමන පත්කලාවේ ඔබමය වීර | සිළුමිණ

“සිළුමිණ” පත් රැජන දක්වන හරිපාර.... අබිමන පත්කලාවේ ඔබමය වීර

 අලුයම නැඟිට, සත දහයක් ගෙන අතට
සුළු නැති සොම්නසින් ගොස් මහ මඟ දෙසට
“සිළුමිණ” නැගණියන් මට මුණ ගැසුණු විට
මුළු ‍ලෝකයම අත්වූවා වැනි සතුට

විහිදා බලන විට පිටු නන් රස පිරුණ
සැමදා මනස කාගෙත් වන්නේ තුරුණ
නොමදා ජවෙන් බැබළෙන සුරු දිනෙන් දින
පරදා ලනු කෙසේ “සිළුමිණ” දෙන කරුණ

වියපත් නොවන හැමදා අලුතින් වෙසෙන
යහපත් ඔබ දැකුම හැමකෙනෙකුගෙම පින
කවදත් පුබුදු කොට පත්තර බලන මන
සිරිමත් රැජන වේමය ළබැඳි “සිළුමිණ

දන මන පසන් කළ නව පත්තර ආර
සනසන විටදි සපැමිණි ඉරිදා නෑර
“සිළුමිණ” පත් රැජින දක්වන හරිපාර
අබිමන පත්කලාවේ ඔබමය වීර

සිරිලක පුවත්පත් කලා දනව්වේ. සදා හරිත ක්ෂේම භූමියෙකැයි කියන විරුදාවලියට අත්‍යන්තයෙන්ම උචිත “සිළුමිණ” මගේ ජීවිතය හා සමඟ අවියෝජනීය ලෙස බැදී පවත්නා කීර්තිධර ප්‍රකාශනයකි.

ආයු කාලයට අනුව සලකා බැලීමේදී “සිළුමිණට” අසු අටයි. මා වෙසෙන්නේ මගේ අනුහය වන වියේ හෙයින්, “සිළුමිණ” මට වඩා අට අවුරුද්දකින් බාලයි. ප්‍රවෘත්ති පත්‍ර පිළිබඳව කතා - බහ කිරීමේදී, සාමාන්‍යයෙන් ව්‍යවහාරවන සම්මුතිය නම් පුවත්පත යන පදය ස්ත්‍රී ලිංගික සේ සැලකී‍මයි. ඉංගිරිසියෙහි “සිස්ටර් පබ්ලිකේෂන්ස්” යැයි යෙදේ. (සහෝදරියන් වන ප්‍රකාශන යන අරුත). ඒ අනුව “සිළුමිණ” මගේ නැඟණියකියි කිව හැකිය. මගේ යථා ජීවිතයේදී මට බාල සොහොවුරෝ, සොහොයුරියෝ නොමැත. ඒ නිසා මට “සිළුමිණ”බාල සෝයුරියක් - නැඟණියක් වැනිය. “සිළුමිණ” උපන්දා පටන්ම මගේ කුලුපග අයෙකු වූ නිසාත්, වැඩිහිටි දිවි පෙවෙතේදී “සිළුමිණ” හා සමඟ මා පැවැත්වූ හෘදයාංගම ඇසුර හා සම්බන්ධතා නිසාත්, අද පවා සිළුමිණ හා සමඟ සබැඳි සිටීම නිසාත්, සිළුමිණ මගේ නැඟණියකැයි හැඳින්වීම යථාරූපී යැයි මට සිතේ.

 

කමලා ළමා සමාජය

මගේ ලිපියක් ප්‍රථමවරට පළකළ ප්‍රසිද්ධ ප්‍රකාශනය සිළුමිණයි. එහි කමලා ළමා සමාජයට මා යැවු ලිපියක් පළ වන විට මගේ වයස 14 ක් පමණ විය. ඒ නිසා මගේ ඉතා පෘථුල මාධ්‍ය ජීවිතයට හා පුරා කියා අත් පොත් තැබුවෙත් සිළුමිණයි.

සිළුමිණ පත හා සමඟ එහි උපතේ පටන් මා ඇති කොට ගත් දිගු සබඳතාව, “නිල” බැඳීමක් බවට පත්වුයේ 1949 යේ මාර්තු මාසයේ දීය. මා ලේක්හවුස් ආයතනයේ කතු මඬුල්ලට බැදී අදට අවුරුදු හැට නවයකි.

ලේක්හවුස් හි නිල ජීවිතයෙන් වැඩි කලක් මා ගත කළේ “සිළුමිණ” සමඟයි. සිංහල ඉංගිරිසි පුවත්පත්වල /ලේඛන කාර්යයන්හි යෙදෙමින් මා ලේක්හවුස් ආයතනයෙහි ගත කළ නිල ජීවිතය කෙළවර වුයේ.1982 කේ දීය. ඒ වන විට මම “නවයුගය” කතෘ පදවියෙහි සිටියෙමි.

ලේක්හවුස් ආයතනයෙන් ඉවත්ව එදා අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ භාරයේ පැවති මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක පදවියෙන් පටන් ගත් නව දිවි පෙවෙත, අද වන තෙක්ම විවිධ මං පෙත් ඔස්සේ චාරිකාවක යෙදේ. මම වරක් ශ්‍රේෂ්ඨ ආතර් සී ක්ලාර්ක් සෘෂි වරයාගේ නවීන තාක්ෂණය පිළිබඳ කේන්ද්‍රීය ආයතනයේ මාධ්‍ය උපදේශකවරයා වීමි.

මේ සියල්ල මා පවසන්නේ, ඒ සා පෘථුල වගකීම් සම්භාරයක් මැද්දේ මා හැම විටම සිළුමිණට සම්බන්ධ වී සිටි බවත්, සිටින බවත්, ලේඛන ගත කරන අගයෙනි මා ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගත් බවක් කිසි විටෙක ප්‍රකාශයට පත් වූයේ නැත.

සිළුමිණ හා සමඟ මා නිලවශයෙන් සබඳතා පැවැත් වු යුගයේදී විවිධ සංස්කාරකවරු, ඒ පුවත්පතේ නියමුවන්ව සිටියහ. මීමන ප්‍රේමතිලක, ඩෙන්සිල් පීරිස්, එස්. සුබසිංහ, ධර්මපාල වෙත්ත සිංහ ආදී සංස්කාරකවරු මගේ සිතට එති.

ශත දහයේ විශ්ව විද්‍යාලය.

මේ හැම දෙනෙකුගේම අධීක්ෂණය යටතේ “සිළුමිණ” පුවත්පත එදා ශත දහයේ විශ්ව විද්‍යාලය යැයි ලැබු උපහාරය, එන්න එන්නම බැබළුනේය.

සිළුමිණ පුවත්පතේ උදාරත්වයට හේතු කාරවු ලේඛක පරපුරක් එදා එයට දායකත්වය සැලසුවේය. මා දන්නා කාලයේ. දොඩම්පෙ ගම, ජී.ටී.වික්‍රමසිංහ, පර්සි ජයමාන්න ආදීන් මෙන් සුමනා සපරමාදු ලේඛිකාවද සිළුමිණ කතු මඬුල්ල හෙබවුහ.

මා එදා විශේෂ අවධානය යොමු කළේ සිළුමිණෙහි සම්භාවනීය අංශයක් වූ “ඓතිහාසික අතිරේකය”දෙසටයි. එහි එදා පළවු ලිපි මාලාව, විශ්ව කෝෂයක පරිච්ඡේදය බඳුවිය.

ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් අන්තර්ජාතික විද්‍යා සංග්‍රහය සඳහා සපයන ලද විශේෂඥ මත ධාරී ලිපි පවා මම එතුමන්ගේ අවසරයෙන් සිළුමිණ උදෙසා අනුවාදය කළෙමි.

සිළුමිණ කතු වැකිය ලිවීම, සිළුමිණෙහි මා ලද වරප්‍රසාද අතර ප්‍රධාන තැනක් ගනී.

බෙනසික්ට් දොඩම්පෙගම - මීමන ප්‍රේමතිලක දෙ යාළුවන්ගේ චාරිකා සටහන් එදා සිළුමිණේ පාඨක ජනතාවගේ හද දිනු එක් ප්‍රධාන අංශයක් වුයේය.

සිබිල් වෙත්තසිංහද , “සිළුමිණ” කර්තෘ මණ්ඩලය ආශ්‍රිතව සිටි ප්‍රවිණයන්ගෙන් කෙනෙකි.

“ඔබ්සර්වර්” පුවත්පතේ කර්තෘත්වය සුවිශිෂ්ටාකාරයෙන් ඉසිලු ඩෙන්සිල් පීරිස් සංස්කාරක වරයා සිළුමිණට ජගත් ඥානය හා ලෝකාවබෝධය ගෙන එන්නට විශේෂ ප්‍රයත්නයක් දැරුවා.

“ඒකා වේරිය” නම් ශ්‍රී ලංකාවේ බේත් පැළෑටියෙන්. අපරදිග ලෝකය ඉතාම ජනප්‍රිය ශක්ති කාරක ඖෂධයක් නිර්මාණය කිරීමේ කථාව, ඩෙන්සිල් පිරීස් කතුවරයාගේ අනු දැනීමෙන් මා විසින් සපයන ලද එක් ලිපියකි.

විශ්ව කෝෂය

“ඓතිහාසික අතිරේකය” ඇවෑමෙන් නවීන දැනුම් සම්භාරය පාඨක අතට පමුණුවනා විශේෂ අංශයක් එස්.සුබසිංහ කතුවරයාගේ සමයෙහි සිළුමිණට එකතු විය. ඒ අංශය භාරව සිටියේ තනිවම “විශ්වකෝෂයක්” සකස් කරන පර්සි ජයමාන්න පර්යේෂණ ලේඛකයායි.

ආරම්භයේදී (1930 පටන් 1950 දක්වා) සිළුමිණ මුද්‍රණය කරන ලද්දේ, සම්ප්‍රදායික තාක්ෂණයෙනි.

එහෙත්. සිළුමිණ අලෙවිය. නොසිතූ තරමට ව්‍යාප්ත වනවිට පාලක මණ්ඩලය විසින් ( වෙසෙසින්ම ඩී. ආර්. විජයවර්ධන මහතා විසින්) නවීනතම මුද්‍රණ ක්‍රමයක් ලේක්හවුස් ආයතනයට හඳුන්වා දෙන ලදි. ඒ යන්ත්‍රය”ක්‍රැබ්ට්‍රී” රෝටරි නම් වුයේය. එදා එයට අයත්ව තිබුණ ශිඝ්‍ර මුද්‍රණ වේගය, ශ්‍රී ලංකාවේ, ප්‍රකාශන ක්ෂේත්‍රයට “ප්‍රාතිහාර්යයක්” බඳු විය.

කෙමෙන්, සිළුමිණේ ව්‍යාප්තිය, ක්‍රැබ්ට්‍රී යන්ත්‍රයටවත් ඔරොත්තු දිය නොහෙන තරම් විය.

ඒ වෙනුවට, අද ලේක්හවුස් ආයතනයේ භාවිතා වන “ෆලයි පේස්ටර් ඕෆ්සෙට්” රෝටරිය පිහිටුවන ලදි.

එය ශ්‍රී ලංකාවේ පුරෝගාමී මුද්‍රණ තාක්ෂණික විකාශනයක සංකේතයක් වේ.

 

වාරික පුවත්පත් කලාව

“සිළුමිණ” ලංකාවේ වාරික පුවත්පත් කලාවේ සමාරම්භ ප්‍රකාශනයකි.

සිංහල සති අන්ත පුවත්පත් කලාවක් දැන නොසිටි ශ්‍රී ලංකාවට “සිළුමිණ” විසින් නව යුගයක් උදාකරන ලදි. ඒ ප්‍රකාශනය මුල් කාලයේ පටන් ම පාඨක අභිරුචිය වඩවන විශේෂාංග කෙරේ, අවධානය යොමු කළේය.

ළමා පාඨකයන් උදෙසා “මල්හාමි” නම් චරිතයක් ඉදිරිපත් කෙ‍රිණි. කමළා ළමා සමාජය ද එවැනි නවීකරණයක් විය.

මගේ ලේක්හවුස් වෘත්තීය සමයට පෙර සිළුමිණ භාරව සිටි මාර්ටින් වික්‍රමසිංහ වැනි විද්වත්තු, “සිළුමිණ” ශ්‍රී ලංකා සමාජයේ ස්ථාපිත සංස්කෘති හා කලාත්මක ආයතනයක් වන තැනට මුල් ගල් තැබූහ.

සමකාලීන ප්‍රශ්න පිළිබඳ විචාරාත්මක ලිපි ලේඛනවලට එහි වේදිකාවක් තැනිනි.

සිළුමිණ ඉතිහාසයේ අසු අට වස තුළ, ඒ පුවත්පත ආශ්‍රයෙන්, ජනප්‍රිය ලේඛක පරම්පාරාවක්, පාඨක සමාජය තුළට පිවිසියේය.

උපහාසාත්මක කථා ලියු ටී. ජී. ඩබ්ලිව් ද සිල්වා එවැන්නකි. එදා ශ්‍රී ලංකාවේ විද්වත් කතිකාවක් සඳහා ප්‍රථම වේදිකාව තනන ලද්දේ, “මයුර පාද” “බාසුරු” ආදී නම්වලින් ලිපි ලේඛන සැපයු විද්වතුන් විසිනි.

සිළුමිණ “අසු අටවන වියට පිවිසෙන මේ මොහොතේ ඒ ජාතික ප්‍රකාශනයේ නියමුවන් බවට පත්ව සිටින වර්තමාන සංස්කාරක සුවිශිෂ්ට පුවත්පත් කලාත්මක සම්ප්‍රදාය කෙරේ ඉමහත් ගෞරවයකින් සිය වෘත්තිය කාර්ය රටාවෙහි යෙදෙනු දැක්ම අතිශය ප්‍රසන්න අත් දැකීමක්.

අඛණ්ඩව ඉතා දිගු කලක් සිළුමිණ විසින් පවත්වාගෙන යන ලද “ඓතිහාසික අතිරේකය” පාඨකයන්ගේ බුද්ධිය කෙරේ දැක්වුණු අචල විශ්වාසකම සාධක වේ.

ගැඹුරු, විද්වත් ලිපි ලේඛන පවා ජනප්‍රිය කෘති බවට පත් කිරීමේ අපුරු ශක්තියක් සිළුමිණ සතුය.

ඒ නිසා, සිළුමිණේ අසූ අටවන වියේදී ඒ “කාන්තාව” සුරකින සංස්කාරක මණ්ඩලයට සුවිශේෂි ජාතික වගකීමක් පැවරෙන්නේය.

මේ ලබන යුගයෙදීත් “සිළුමිණ” අති ගෞරවනීය ඥාන ප්‍රබෝධයට ඉඩකඩ සලසන, ජන කාන්ත මාධ්‍ය වේදිකාවක් බවට පත් කිරීම ඔබ සතුය.

මගේ “සිළුමිණ” නැඟණිය වෙනුවෙන් එදා මෙන්ම අදත්, මා විසින් කළ හැකි හැම දෙයක්ම ඉටු කරමින් සිළුමිණ පාඨක ‍ලෝකය, අ‍ාලෝකයෙන් ආලෝකයට ගෙන යෑමේ භාරධූර කාර්යයට සදා සහාය සපයන්නට සැරසෙන බවත් ආශංසන පෙරටු සිතින් දන්වා සිටින්නෙමි.

Comments