
ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු මස 20 වැනිදාට යෙදී තිබිණි. මුඛ සෞඛ්‍යය රැක ගැනීම තුළින් සුවපත් දිවියක් අත්පත් කර ගැනීම මෙවර තේමාව විය. පුද්ගලයාගේ ගෘහස්ථ සුවය සඳහා මුඛයේ නිරෝගී බව හේතු වෙයි. කුඩා කාලයේ පටන්ම යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු හුරු වීමෙන් මුඛ සෞඛ්‍ය රැක ගත හැකිය. ලංකාවේ දරුවන් අතර බහුලතම රෝගය දත් දිරා යාමයි. මෙරට අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 65% කගේ දත් දිරා ගොස් තිබේ. අවුරුදු 12 ක් වයස ළමුන්ගෙන් 40% ක් දත් දිරා යාමේ රෝගයට ගොදුරු වී සිටිති. පෞද්ගලික පාසල් හා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ළමුන් වැඩිපුර පැණි බීම හා පැණි රස ආහාරයට ගැනීමෙන් ඔවුහු දත් දිරා යාමේ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී ඇතැයි දන්ත සේවා අධ්යක්ෂ ඕ බස්නායක මහතා පවසයි.
දත් රෝග අතරින් වඩාත් භයානක වන්නේ මුඛ පිළිකාවය. මුඛ පිළිකා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට තිදෙනෙක් මිය යති. පිරිමින් අතර සුලභම පිළිකාව මුඛ පිළිකාවය. දිනකට බුලත්, පුවක්, දුංකොළ, හුණු ආශ්රිත නිපැයුම් නිසා මුඛ පිළිකාව ඇතිවේ. වතු කම්කරුවන්, වාහන රියැදුරන්, ඇතැම් සංඝයා වහන්සේ මෙන් ම ඇතැම් තරුණ පිරිස් ද වැඩියෙන් බුලත්විට හා දුම්කොළ භාවිතා කරති. ඔවුනට මුඛ පිළිකා අවධානම වැඩිය. බුලත්විට හා දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතයෙන් වැළකීම මුඛ පිළිකාවෙන් වැළකීමට ඇති හොඳම පිළියමය.
යහපත් මුඛ සෞඛ්‍යයයක් පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් දිනකට දෙවරක් රාත්‍රී සහ උදේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් යොදා හොඳින් දත් මැද පිරිසුදු කළ යුතුය. සෑම ප්‍රධාන ආහාර වේලකට පසුවම දත් මැද පිරිසුදු කළ හැකි නම් වඩාත් හොඳය. දරුවන්ගේ දත් පිරිසුදු කිරීම් කිරි දත් එන අවදියේ සිටම ඇරඹිය යුතුය. පැණි රස ආහාර පාන ගැනීමෙන් පසු හොඳින් මුව සෝදා හැරිය යුතුය. මුඛය සුවපත්ව තබා ගැනීමෙන් නිරෝගී සුපිරිසුදු දත් දෙපෙළක් හිමි වීමට මෙන්ම නිරෝගී භාවයට ද හේතු වේ. ඒ සඳහා මුඛයේ පවිත්‍රතාව මෙන්ම යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීමද අවශ්‍ය වේ. ඒ සඳහා දන්ත සෞඛ්‍ය අංශය විසින් ඉදිරිපත් කරන ලද උපදෙස් මෙසේය.
යහපත් මුඛ සෞඛ්‍යයක් හා සාමාන්‍ය සෞඛ්‍යයක් සඳහා සෞඛ්‍යවත් ආහාර අනුභවය
යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා එළවළු, පලතුරු, කැල්සියම් හා ප්‍රෝටීන් බහුල ආහාර (ධාන්‍ය, මාලු, කරවල, කුකුළු මස්, බිත්තර, මේදය අවම සත්ව මාංශ, චීස්, කිරි, යෝගට්, මීකිරි සහ පලා) ගැනීමට හුරු වන්න.
ආහාරයට ඇතුළු කර ගන්නා සීනි ප්‍රමාණය හැකිතරම් අවම කරන්න. සෞඛ්‍යසම්පන්න වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට පරිභෝජනය කළ හැකි උපරිම සීනි ප්‍රමාණය සීනි තේ හැඳි 6 කි. සියලු ම ආහාරවලට එකතු කරන ලද සීනි මෙයට ඇතුළත් වේ. උදාහරණ: කේක්, බිස්කට් හා පැණිබීම.
කෘත්‍රිම ලෙස සකස් කළ ආහාර වෙනුවට ස්වභාවික ආහාර භාවිතයට සෑම විට ම හුරුවන්න.
ප්‍රධාන ආහාර වේල් අතරතුර දී සෞඛ්‍යයට හිතකර නොවන අතරමැදි ආහාර නිතර නිතර ගැනීමෙන් වළකින්න. ඔබ අතරමැදි ආහාරයක් ලබා ගන්නේ නම් සෑම විට ම එය පලතුරක්, එළවළුවක්, චීස්, යෝගට්, ඇට ව ර්ග යනාදී සෞඛ්‍ය සම්පන්න තේරීමක් විය යුතු ය. දිනකට ලබාගන්නා උපරිම අතරමැදි ආහාර වේල් ගණන 2 කට සීමා කරන්න.
ටොෆි, බිස්කට්, කේක්, බනිස් හා පේස්ට්‍රි වැනි ආහාර වර්ග දත් මතුපිට ඇලෙනසුලු වේ. මුඛයේ ඇති බැක්ටීරියා එම ඇලෙනසුලු ආහාර මත ක්‍රියා කොට සාදන අහිතකර අම්ල, ඒවා කෑමට ගෙන බොහෝ වේලාවකට පසුව වුව ද දත්වලට හානි සිදු කරයි.
පැණි බීම / කාබනීකෘත බීම වර්ග ගැනීමෙන් හැකිතාක් වළකින්න. නැවුම් පලතුරු කෑමේ දී කැබලි ලෙස ගැනීම වඩාත් යෝග්‍ය වේ. පලතුරු යුෂ ලෙසම ගැනීමට අවශ්‍ය නම් එයට සීනි එකතු කිරීමෙන් වළකින්න.
ඔබගේ පිපාසය සංසිඳුවා ගැනීමට සුදුසුම පානය පිරිසුදු ජලයයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.
දිනකට ජල අවශ්‍යතාව
පෙර පාසල් අවධිය (අවු. 1 - 5) : මි.ලී. 750 - ලී. 1.0
ප්‍රාථමික පාසල් අවධිය (අවු. 6 - 10) : ලී. 1 - 1.5
යොවුන් විය (අවු. 10 - 19) : ලී. 1.5 - 2.0
වැඩිහිටි විය (ශරීර බර කි.ග්රෑ./30): මි.ලී. 750 - ලී. 1.0
ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයන්හි ක්‍රියාකාරීත්වය
දත් දිරායාම වළක්වා ගැනීම සඳහා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් අනිවාර්යයෙන් ම භාවිතා කරන්න.
දන්තාලේප තුළ ඇති ෆ්ලෝරයිඩ් දත් දිරායාම තුන් ආකාරයකින් වළක්වයි.
(1) දත මත සක්‍රිය ලෙස කැල්සියම් ලවණ තැන්පත් වීමේ වේගය වැඩි කිරීමෙන් හා දත මතුපිටින් කැල්සියම් ලවණ ඉවත් වීමේ වේගය අඩු කිරීමෙන්.
(2) දත් මතුපිට කැල්සියම් ෆ්ලෝරෝඇපටයිට් සංයෝගය සෑදීමෙන් එනැමලය ශක්තිමත් කොට ආම්ලික භාවය වැඩි වීමෙන් දතට සිදුවන හානි වළක්වා ගනී.
(3) ෆ්ලෝරයිඩ්වල බැක්ටීරියා නාශක ශක්තියක් ඇත.
ඔබ භාවිත කරන දන්තාලේප පැකට්ටුවේ ඇති ලේබලය හොඳින් පිරික්සා බලා එහි අවශ්‍ය ප්‍රමාණයට ෆ්ලෝරයිඩ් (1000 ppm to 1500 ppm) අඩංගුව ඇත්දැයි තහවුරු කරගන්න.
නිසි පරිදි ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය
ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් අනිවාර්යයෙන් ම භාවිත කළ යුතු ය.
- වයස අවුරුදු 3 දක්වා - දන්තාලේප තුනී පටලයක්
- වයස අවුරුදු 3, 6 දක්වා - මෙම ප්‍රමාණය කඩල ඇටයක ප්‍රමාණය දක්වා ක්‍රමයෙන් වැඩි කරන්න.
- වයස අවුරුදු 6 හෝ ඊට වැඩි - කඩල ඇටයක ප්‍රමාණය
දත් මැදීමෙන් පසු කෙළ ගැසීමට දරුවා හුරු කරවන්න. දන්තාලේප ගිලීමෙන් දරුවා වළක්වා ගන්න.
දරුවාට වයස අවුරුදු 8 පමණ වන තෙක් දෙමවුපියන් හෝ රැකබලා ගන්නන් විසින් දරුවාට දත් මැදීමට උපකාර කළ යුතු අතර එය අධීක්ෂණය කළ යුතු ය.
දත් මැදීමෙන් පසු මුඛය සෝදාහැරීම අවශ්‍ය නොවේ. කෙළ ගැසීම වඩාත් උචිත වේ. කෙළ ගැසීමෙන් පසු මුඛයේ රැඳෙන ෆ්ලෝරයිඩ් දන්තාලේප සුළු ප්‍රමාණය මඟින් ඔබගේ දත්, දිරා යාමෙන් ආරක්ෂා කරයි. මුඛය නොසෝදා සිටීමේ දී යම් අපහසුතාවක් දැනේ නම් ජලය ඉතා ස්වල්පයකින් එක් වරක් පමණක් මුඛය සෝදා හරින්න.
ජලයේ ෆ්ලෝරයිඩ් අධික ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් වුව ද ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කළ යුතු ය. වයස අවුරුදු 8 ට අඩු දරුවන් සඳහා නිසි ප්‍රමාණයට දන්තාලේප භාවිත කළ යුතු ය.
දන්ත ෆ්ලෝරෝසියාව වළක්වා ගැනීම
භූගත ජලයෙහි ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය 1ppm ට වඩා අධිකව පවතින ප්‍රදේශවල දන්ත ෆ්ලෝරෝසියාව සඳහා අවදානමක් ඇත. එම ප්‍රදේශවල භූගත ජලය (ගැඹුරු ළිං හා නළ ළිං) පානයට හා ආහාර පිසීමට යොදා ගැනීමෙන් දත් වර්ධනය වන කාලයේ දී (උපතේ සිට අවු. 8 දක්වා) දන්ත ෆ්ලෝරෝසියාව ඇති විය හැකි ය. නමුත් ෆ්ලෝරයිඩ් අයන වැදෑමහ හරහා ගමන් නොකරන බැවින් ගැබිණි සමයේ දී එම ජලය භාවිතයට ගැනීමෙන් නූපන් දරුවාගේ වැඩෙන දත්වලට අවදානමක් නැත.
- ඔබ භාවිත කරන ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය පරීක්ෂාකර ගැනීමට ඔබගේ ප්‍රදේයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ හෝ ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලයේ සහාය ලබා ගත හැකි ය.
- ඔබගේ ජල ප්‍රභවයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අධික නම් එම ජලය පානයට හා ආහාර පිසීමට භාවිත නොකරන්න. එහෙත් මෙම ජලය පිරිසුදු කිරීමට, සේදීමට හා නෑමට භාවිත කළ හැකි ය.
- ෆ්ලෝරයිඩ් ෆිල්ටරයක් මඟින් පෙරා එම ජලය පානයට හා ආහාර පිසීමට භාවිත කළ හැකි ය.
- වැසි ජලය ටැංකිවලට එකතු කොට එම ජලය පානයට හා ආහාර පිසීමට භාවිත කළ හැකි ය.
දන්ත, මුඛ හා චක්ත්ර අනතුරු වළක්වා ගැනීම.
දත්වලට හෝ මුඛය හා මුහුණ ආශ්‍රිතව සිදු වන අනතුරකදී අනතුර ප්‍රමාණයෙන් සුළු වුව ද, මතුපිටින් නොපෙනුන ද දන්ත වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.
කිසියම් අනතුරක් හේතුවෙන් දතක හිස කොටසේ (දන්ත මස්තකය නම් සුදු පැහැති කොටසේ) කැඩීයාමක් සිදු වුවහොත් එම කැඩී ඉවත් වූ කොටස නැවතත් එම දතට ඇලවීමේ හැකියාවක් පවතී. ඔබ මෙවන් අනතුරකට ලක්වුවහොත් දතෙහි එම කැඩුණු කොටස වියළී යාම වැළැක්වීම සඳහා, දියර කිරි, සේලයින් වතුර හෝ රෝගියාගේ ම කෙළ ද්රාවණ්යක බහා වහා ම ළඟ ම පිහිටි දන්ත වෛද්‍ය සායනයකට රැගෙන යන්න.
කිසියම් අනතුරක් හේතුවෙන් ස්ථිර දතක් අර්ධ ලෙස ගැලවී ඇත්නම් එම සෙලවෙන දත ඉතා ඉක්මනින් හනුව තුළ ස්ථාවර කළ යුතු වේ. මෙවන් අනතුරක දී ඇති විය හැකි හානි අවම කිරීම සඳහා හැකි ඉක්මණින් දන්ත සායනයකට යොමු වන්න.
කිසියම් අනතුරක් හේතුවෙන් ස්ථිර දතක් සම්පූර්ණයෙන් ම ගැලවී ඉවත් වුවහොත් එම දත ආරක්ෂා කරගැනීම සඳහා නිසි පිළිවෙත් අනුගමනය කරන්න.
- විෂබීජ නාශක හෝ වෙනත් පිරිසුදු කාරක දියර යොදා එම දත සේදීමෙන් හෝ පිරිසුදු කිරීමෙන් වළකින්න.
- සෑමවිට ම ගැලවී ඉවත් වූ දතෙහි හිස කොටසින් පමණක් අල්ලන්න. මුල පෙදෙසින් ඇල්ලීමෙන් වළකින්න.
- අපද්‍රව්‍ය ඉවත් වීම සඳහා තත්පර 10 ක් ගලා යන පිරිසුදු නළ ජලයට අල්ලා සෝදා ගන්න.
ගැලවී ඉවත් වූ දත සාර්ථක ප්‍රතිඵල සඳහා හැකි ඉක්මනින් නැවත සිටුවීම අවශ්‍ය වේ. රෝගියාට හැකියාවක් ඇත්නම් දන්ත සායනයට පැමිණීමට පෙර ඉවත් වූ දත නැවත අස්ථි කුහරය තුළට සවි කර ගැනීමට උනන්දු කරවන්න.
මෙය කළ නොහැකි අවස්ථාවක දී ගැලවී ඉවත් වූ දත නැවුම් කිරි, සේලයින්, රෝගියාගේ කෙළ ද්‍රාවණයක හෝ රෝගියාගේ මුඛ කුහරය තුළ තබා හැකි ඉක්මණින් දන්ත වෛද්‍ය සායනය වෙත රැගෙන යන්න. (රෝගියා කුඩා දරුවකු නම් මුඛ කුහරය තුළ රැගෙන ඒමෙන් දත ශ්වාසනාලයේ හිරවීමට හැකියාවක් ඇත.)
අනතුර සිදු වී පැය 1/2 ක් ඇතුළත දී මෙම දත නියමිත ස්ථානයේ ම බද්ධ කිරීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි ය.
සාගරිකා
උපදෙස් - දන්ත සෞඛ්‍ය අංශය