භාෂාවට සාහිත්‍යට කවදත් මුල්තැන දුන් සිළුමිණ සුරකිමු | Page 2 | සිළුමිණ

භාෂාවට සාහිත්‍යට කවදත් මුල්තැන දුන් සිළුමිණ සුරකිමු

 සිළුමිණට වසර 88 ක දීර්ඝ කාලයක් පසු කරමින් මේ දීර්ඝ ගමන පැමිණීමට හැකි වුයේ සිළුමිණටම උරුම වු අනන්‍යතාව රැක ගැනීමට හැකි වීම නිසාය.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති යුගයේ ආරම්භ වු සිළුමිණ ඒ ඒ යුගයන් පසු කරමින් ජනතාවගේ විඥානය වර්ධනය කිරීම සඳහා මේ දක්වා ඉටු කරන ලද ‍මෙහෙය සුළුපටු නොවේ.

සිළුමිණට ශත දහයේ විශ්ව විද්‍යාලය යන නම ලැබුණේ එහි පළවු ශාස්ත්‍රීය හා ඓතිහාසික අතිරේකය නිසාය. ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ අරමුණ වුයේ සිය පුවත්පත් මඟින් එකල පැවති බටහිර අනුකාරකවාදී මතවාදය මෙන්ම වරප්‍රසාද ලත් සමාජ පන්තියට සීමා වී තිබු අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කිරීමටය. මේ අරමුණ ඉටු කර ගැනීමට වැඩි දායකත්වයක් සිළුමිණ පුවත්පතින් ලැබිණි.

සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය ආරම්භ කළ සමාරම්භක කර්තෘ පියසේන නිශ්ශංක සූරීන් අපේ සංස්කෘතිය ඔප මට්ටම් කරමින් පාඨකයන්ට මෙරට මෙන්ම විදෙස් රටවල විවිධ ක්ෂේත්‍රයන්හි දැනුම ලබා ගත හැකි අන්දමින් සිළුමිණ සංස්කරණය කෙළේය. එය ඒ යුගයේ දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් භාෂාව මෙන්ම සාහිත්‍ය යන අංශයන්හි ප්‍රබෝධයක් ඇති කිරීමට හැකිවිය. කවීන් සඳහා වෙන්වුණු කවි පිටුව. ළමා පිටුව ක්‍රීඩා පිටුව මුලින්ම පළ වුයේ සිළුමිණ පුවත් පතේය.

වර්තමානය වන විට සෑම පුවත්පතකම පාහේ එම විශේෂාංග ඇතුළත් වෙයි. ඒ අනුව අදටත් වැදගත් වන එම විශේෂාංගවල පුර්වාදර්ශය සපයා ඇත්තේද සිළුමිණය.

සිංහල කවියට මේ කාල සීමාවේ සිළුමිණ ලබා දුන් අනුග්‍රහය විශේෂයෙන් සාකච්ඡාවට භාජනය කළ යුතුය. කවීනට සිය නිර්මාණ හෙළි දැක්වීමට ඉඩ ලැබුණ අතර නවක කවි කිවිදියන්ට ද සිළුමිණ දොරටු විවර කෙළේය.

කෙටි කතාව සිළුමිණ පාඨකයන් අතර ජනප්‍රිය සාහිත්‍යංගයක් බවට පත් කරමින් වර්තමානය වන විටත් කෙටි කතාවලට ඉඩ හසර ලබා දෙයි.

මුල් යුගයේ කමලා ළමා සමාජය මැයෙන් ළමයින් විසින් යොමුකරනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ ජනප්‍රිය අංගය සිබිල් වෙත්තසිංහ සංස්කරණය කළ පුංචි අපට ළමා පිටුව හා මේ දක්වා ම ළමයින් වෙනුවෙන් පළ වන ළමා පිටුවද අදත් එකසේ ළමයින් අතර ජනප්‍රියත්වය දිනා ගෙන ඇත.

වරින්වර ජනප්‍රියත්වයට පත්වන එහෙත් පාඨකයන්ගේ අවධානයේ නොරැදි මැකීයන ගුප්ත සිදුවීම් උලුප්පා දක්වමින් විශේෂාංග පළ කිරීමට සිළුමිණ කටයුතු නොකළ අතර පාඨකයන්ගේ බුද්ධියට මුල් තැන දීම සිළුමිණ එදා මෙදා තුර ඉටු කරන වගකීමය.

ගවේෂණාත්මක ලිපි පළ කිරීම අතින්ද සිළුමිණට හිමි වන්නේ මුල් තැනකි.

භාෂාව හා සාහිත්‍ය නාට්‍ය වැනි විෂයන් මුල් කැර ගනිමින් ශාස්ත්‍රීය වාද විවාද පැවැත්වීම එදා ජනප්‍රිය විශේෂාංගයක් tවු අතර සංවාදාත්මක ස්වරූපයෙන් පැවැති මේ වාද මඟින් ඒ ඒ ලේඛකයන් දරන මතවාද අවබෝධ කැර ගත හැකි විය.

එම සංවාදවල විකාශයක් ලෙස ගවේෂණාත්මක ලිපි හඳුන්වාදිය හැක.

අතීත තොරතුරු බිඳක කෙටි සටහනකින් පසු සිළුමිණ පුවත්පතේ මා සේවය කළ කාල පරිච්ඡේදයේ අත හිත දුන් කතුවරු ගැන මතකයට නැගුණි.

මෙරට පුවත්පත් කලාවේ මහ ගෙදර ලෙස හැඳින්වෙන ලේක්හවුස් ආයතනය පිහිටි ඩී. ආර්. විජයවර්ධන මාවත ඔස්සේ ඇවිද එන මට එම විසල් ගොඩනැගිල්ලේ සෙවණ ලබමින් මා ගත කළ දශක හතරකට ආසන්න කාලය සිහිපත් වෙයි.

ආධුනික වාර්තාකරුවකු ලෙස ජනතා පත්‍රයෙන් සේවය ආරම්භ කළ මට සිළුමිණ පුවත්පතට මුලින්ම සම්බන්ධවීමට අවස්ථාව ලැබුණේ 1980 වසරේ එඩ්මන්ඩ් රණසිංහ මහතා කර්තෘ පදවියට පත් වූ අවධියේය.

එක් සතියක සිළුමිණ පත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස මා සැපයු පුවතක් තෝරා ගැනීම මට අදහාගත නොහැකි කරුණක් විය. එකල ප්‍රධාන පුවතේ සිරස චිත්‍ර ශිල්පියකු අතින් නිර්මාණය විය. එම පුවත සැකසෙන අන්දම දෙස බලා සිටි ආකාරය මට අද මෙන් මතකය. එඩ්මන්ඩ් රණසිංහ මහතා එදා මට හොඳ අවවාදයක් දුන්නේය.

‘හැකි තරම් කාර්යාලයෙන් බැහැර ගොස් ප්‍රවෘත්ති සපයා ගන්න. එවිට හොඳ ප්‍රවෘත්ති සොයාගත හැකියි.’

එකල ජනතා කතු පදවිය හෙබවු ඩී.එෆ්. කාරියකරවන මහතා 1981 වසරේ ජනතා පත්‍රයට අමතරව සිළුමිණ පත්‍රයේ ප්‍රධාන කතුවරයා වශයෙන් පත්වීමත් සමඟ සිළුමිණ පත්‍රය සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවිය.

මගේ දෙවැනි සිළුමිණ කතුවරයා වු කාරියකරවන මහතා ආධුනික මාධ්‍යවේදීන්ගෙන් එක් දෙයක් බලාපොරොත්තු විය. ඒ නිවැරැදි ව්‍යාකරණයට අනුව ලිවීමයි. ලිවීමේ පමණක් නොව කතා කරන භාෂාවේත් ව්‍යාකරණයක් ඇති බව පෙන්වා දුන් කාරියකරවන මහතා මගේ පත්‍රකලා ජීවිතයේ ගුරුවරයාය. කාරියකරවන මහතාගෙන් ගුරූපදේශ ලබාගත් මාධ්‍යවේදීන් විවිධ පුවත්පත්වල ඉහළ තනතුරු දරන බව අද අප අතර නැති එතුමාට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය.

මගේ තෙවැනි සිළුමිණ කතුවරයා බන්දුල ශ්‍රී සරත්චන්ද්‍ර මහතාය. උදේම සිළුමිණට එන සරත්චන්ද්‍ර මහතා කතුවරයාගේ කුටියේ දොරටුව විවෘත කර කර්තෘ මණ්ඩලයට පිවිස නඟන ප්‍රශ්නයක් විය.

“කොල්ලෝ මොනවද අද හොඳම ප්‍රවෘත්ති?”

සෑම දිනකම සරත්චන්ද්‍ර මහතා නඟන මේ ප්‍රශ්නය අපි සෑම දිනකම බලා‍පොරොත්තුව සිටියෙමු. ගැමි රස කතා මැයෙන් සරත්චන්ද්‍ර මහතා ලියු කතා මාලාව එකල ඉතා ජනප්‍රිය විශේෂාංගයක් විය.

මගේ සිවුවැනි සිළුමිණ කතුවරයා ඩී. සී. කරුණාරත්න මහතාය. ප්‍රවෘත්ති පිළිබඳ සුවිශේෂි අවධානයක් යොමු කළ කරුණාරත්න මහතා පළ වන සෑම පුවතක්ම ජනතා විශ්වාසය ඇති විය යුතු ඒවා ලෙස ලියන්නැයි උපදෙස් දුන්නේය.

කරුණාරත්න මහතා අතට පත්වන ප්‍රවෘත්ති කපා කොට සකස් කරන ආකාරය අපුරුය. කරුණාරත්න මහතාගේ ලේඛන රටාව පසුව ප්‍රවෘත්ති සංස්කාරකයකු ලෙස කටයුතු කරන කාලයේ මාහට බෙහෙවින් උපකාරි විය.

සිළුමිණ පුවත් පතේ දෙවරක් ප්‍රධාන කතු පදවියද උපදේශක කර්තෘ පදවිය ද හෙබවු තිලකරන්න කුරුවිට බණ්ඩාර මහතා මගේ පස්වැනි සිළුමිණ කතුවරයා ය.

විශේෂාංග ලිපි සංස්කරණය කෙරෙහි මා වැඩි වශයෙන් යොමු වුයේ ඒ අවධියේය. දේශීය ව්‍යාපාරිකයන් හා ඔවුන් ව්‍යාපාර ගොඩනැංවු ආකාරයත් විස්තර කරමින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ අතිරේකයක් ආරම්භ කිරීමට එවකට සභාපතිවරයා වූ බන්දුල පද්මකුමාර මහතා තීරණය කළ විට ඒ සඳහා අප යොමු කෙළේ කුරුවිට බණ්ඩාර මහතාය.

‘සල්පිල’ ව්‍යාපාරික අතිරේකය එදා ඉතා ජනප්‍රිය මට්ට‍මට ගෙන ඒමට එය හැඩ වැඩ කරන්නට දැක්වු සහාය විශේෂයෙන් සඳහන් කළ යුතුය. ‘කතුවරයෙක් ළඟ සෑම විටම අතිරේක පත්‍රයක් සුදානම්ව තිබෙන්න ඕනෑ’ මේ ඔහු මට දුන් එක් උපදේශයකි. කුමන හේතුවක් හෝ ලිපියක පමාවක් ඇති වන අවස්ථාවකදී ඒ උපදෙස ඉතා වැදගත්ය.

කරුණාරත්න අමරතුංග මහතා මගේ සය වැනි සිළුමිණ කතුවරයාය. ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංග ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වැදගත්වන උපදෙස් මෙන්ම යෝජනාද අපට ලබා දුන් අමරතුංග මහතාට ඉපැරැණි සිදුවිම් ගැන හොඳ මතකයක් තිබිණි.

රටේ දේශපාලනය ගොඩ නැගෙන ආකාරය, කොටස් වෙළෙඳපළ, මුල්‍ය අංශ කෘෂිකර්මාන්තය ආදි අංශ ගැන අමරතුංග මහතාගේ විශේෂ අවධානය යොමු විය.

කරුණාදාස සුරියආරච්චි මහතා මගේ සත්වැනි සිළුමිණ කතුවරයාය 2014 දිවි මඟෙන් සමුගත් කසුරි මහතා වඩාත් දස්කම් පෑවේ තීරු ලිපි සඳහා ය.

ඔහු ලියු තීරු ලිපි, කතු වැකි හා විශේෂාංග වැඩි හරියක් මුලින්ම කියවන්නට ලැබුණේ මටය. සංවේදී රචනා ශෛලියකට උරුමකම් කී කසුරි මහතා කවිපද බැඳුම් සඳහා ද උපන් හපන්කම් පෑ ගැමිකමට ආදරය කළ රසවතෙකි. රංජන් අමරත්න මහතා මගේ අටවැනි සිළුමිණ කතුවරයාය. ඔහු සිළුමිණ කතු පදවිය දැරුවේ මාස කිහිපයකි. විශේෂාංග රචනයෙහි දක්ෂය. දේශපාලනය සාහිත්‍ය මෙන්ම විදෙස් සාහිත්‍ය ඇතුළු බොහෝ විෂය පරාසයන් කෙරෙහි ඔහුගේ දැනුම විහිදි තිබිණි. සාර්ථක ලිපියක් යනු පාඨකයාට දැනෙන්නක් විය යුතු යැයි ඔහු නිතර නිතර කීවේය. එය ඔහුගේ තේමා පාඨය යැයි මම හඟිමි.

සුන්දර නිහතමානි ද මැල් මහතා මගේ නව වැනි සිළුමිණ කතුවරයාය. නව සංකල්ප කෙරෙහි විශේෂ උනන්දුවක් දැක් වු සුන්දර මහතා කතුවැකි ලිවීමේදී ඔහුටම ආවේණික භාෂා ශෛලියක් භාවිත කළේය. විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ රසකතා රැසක් ඔහු සතුව තිබිණි.

ලක්ෂ්මන් පියසේන මහතා මගේ දහවැනි සිළුමිණ කතුවරයාය. මුද්‍රිත පුවත්පත් අන්තර්ජාල සංස්කරණ හා පුවත්පත් වෙබ් අඩවි බවට පත් වන අවධියක සිළුමිණ මුල් පුටුවට පැමිණි පියසේන මහතා වෙබ් යුගයේ නව තාක්ෂණය ගැන උනන්දුව යොමු කරන්නෙකි.

රූපවාහිනි මාධ්‍ය, සමාජ වෙබ් අඩවි, පෞද්ගලික ගුවන් විදුලි නාළිකා පුවත්පත් පසු කර ගෙන ඉදිරියට යෑමට මේ යුගයේ උත්සාහ දරමින් සිටී මෙවන් අවධියක සිළුමිණ මෙහෙයවීම ඒ මහතාට ඇති අභියෝගයයි.

මුද්‍රිත පුවත්පතක් ලෙස සිළුමිණ සතුව ඇති වටිනාකම පෙන්වා දීම සඳහා පියසේන මහතා සිළුමිණ සංස්කරණයේදී නව ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇතැයි අලුතින් සිළුමිණ හැඩ වැඩ වන ආකාරයෙන් පෙනී යයි.

ගෙවී ගිය කාල පරිච්ඡේදයේ අප සමඟ කටයුතු කළ හිතවතුන් ගැන මතකයට නැගෙන විට ලැබෙනුයේ සතුටකි.

බ්‍රයන් ගෝමස් ධර්මසිරි ගමගේ, සුනිල් දයා අල්විස්, පෝද්දල ජයන්ත, මෙන්දක අබේසේකර, සරත් පෙරේරා, ආචාර්ය රංජිත් ඇල් අබේවික්‍රම, අනුර බණ්ඩාර රාජගුරු, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍ර ශ්‍රී සෝමසිරි, තිස්සකුමාර කරුණාසේකර, රවි රත්නවේල්, නන්දන වීරසිංහ, ගුණසිංහ හෙට්ටිආරච්චි, දෙනගම සිරිවර්ධන, රෝහණ වෙත්තසිංහ ඉන් කිහිප දෙනෙකි.

සිළුමිණ කර්තෘ මණ්ඩලයේ දැනටත් සේවය කරන වැඩි දෙනෙකුගේ නම් ද මේ ලැයිස්තුවට ඇතුළත්විය යුතුය.

සිළුමිණ ලේක්හවුස් ආයතනයේ පුවත්පත් අතර මුල් තැන ගන්නා පුවත්පතයි. 88 වැනි උපන්දිනය සමරන සිළුමිණට අපගේ සුබ පැතුම් හිමිවෙයි.

සිළුමිණ තව තවත් ජනප්‍රියත්වය ලබමින් දිගුකල් දිනේවා!යි අපගේ ප්‍රාර්ථනයයි.

 පාලිත ධර්මරත්න

Comments