
ලේක්හවුසිය ඉදිරියෙහි වූ රථයට අපි ගොඩ වැදුණෙමු. සුදෝ සුදු වතින් සැරසුණු තිදෙනක් දැනටමත් එහි අසුන්ගෙන සිටිති. ඒ අතර අප හොඳින් හඳුනන මුහුණු දෙකකි. මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු උපකුලපති සහ අපේ මේ ගමනට මූලික වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති දෙදෙන සුපුරුදු සුහද සිනාවෙන් අප පිළිගත්හ. ඉදිරි අසුනේ සිටියේ එතෙක් අප හඳුනාගෙන නොසිටි අපේ කතානායකයාය. ඔහු හඳුන්වා දීමේ වගකීම බාර ගත්තේ ගලප්පත්ති මහතා ය.
“මේ තමයි ශාන්තලාල් කොරතොට. මෙයාගේ නෝනා චූලනී කොරතොට. පවුලම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ ඉන්න ගමන් තමයි මේ වැඩේට මුලපුරලා තියෙන්නේ.“
සන්සුන් සිනාවකින් අප හා සුහද වුණු කොරතොට මහතා රියැදුරුට නුවර පාරට යන්නැයි උපදෙස් දී අපට සිය කතාව හෙළි කරන්නට විය.
“චූලනීගේ අම්මා බොහෝම සැදැහැවත් කෙනෙක්. අම්මගේ අවසන් කැමැත්තෙ තිබුණා කවදා හරි අම්මා වෙනුවෙන් පින්කමක් කරනවා නම් බුද්ධ ශාසනේටත් වැඩදායක වන, අපේ කාන්තාවන්ටත් පිහිටක් වන ආරාමයක් කරවන්න කියලා. අම්මා නැති වුණාට පස්සේ දේපළ දරුවන් අතර බෙදෙන කොට චූලනීට ඒ ඉල්ලීම ඉටු කරන්න ඕනෑ කියලා හිතුණා. මේ ආරාමයේ මුල එතැනයි.“
මා සාරාංශ කළ ඒ කතාව අටුවා ටීකා සමඟ පවසද්දී අපි නොදැනුවත්වම කොළඹට එතරම් නොදුරු කිරිඳිවැල නගරයට ළං වී සිටියෙමු. කිරිඳිවැල 19 කණුව ඉදිරියෙන් ඇති මිල්ලතේ පාරෙන් හැරී පිංගමුව දක්වා යන්නට රියැදුරුට උපදෙස් ලැබිණි. සරුසාර වෙල් යායවල්, එළවළු කොරටු, එතරම් උස් නොවූ කඳු බෑවුම් මත පේළියට දිස් වන රබර් වතු, පොල් වතු, අන්නාසි වතු මැදින් ඒ පාරේ සැතපුම් එකහමාරක් පමණ ඇදෙන අපට ඉලුක්ගොල්ල වත්ත ඇරඹෙන ස්ථානයේ කුඩා නාමපුවරුවක් දක්නට ලැබිණි. ‘පිළිසරණ දහම් සෙවණ භික්ඛුණී ආරාමය‘ එහි සටහන් විය. ඒ ඉදිරියෙන් වැටුණු ගුරු පාරේ කෙළවර සෙල්ලිපියක ආකෘතිය ඉදිරියේ රිය නතර කෙරිණි.
පෙර රජ දවස ආරාම පූජා කළ පින්වතුන්ගේ විස්තර ශිලා ලිපිවල සඳහන් වන අයුරින්ම මේ නූතන සෙල් ලිපියේද ආරාම පූජාවේ තොරතුරු ඇතුළත් කර තිබේ. ඉන් දකුණු පස ඝණ්ටා කුලුණකි. පියගැට දෙක තුනක් ඉහළින් ධර්මශාලාවද, ඉන් අනෙක් පස දාන ශාලාවද වෙයි. ඉහළටම දිවෙන පියගැට පෙළ දෙපස භූමියේ පිහිටීම අනුව විවිධ උස මට්ටම්වලින් පිහිටි ලැගුම් කුටි තුනක් දෑල දෙපස පිහිටා තිබේ. මුදුනත පිහිටන්නේ තුන්තරා බෝධීන් වහන්සේ වැඩ වසන ඉහළ මළුවයි.
එහි සිට හාත්පස නරඹන්නකුට අනන්තය දක්වා දිවෙන තුරුලතාවල නිල්ල හරුණු කොට කිසිත් ඇස නොගැටෙයි. මඳ නළ පවා හමන්නේ බට පඳුරුවල සිලිසිලියෙන් දැහැන් මිදෙන්නට ඉඩ නොතබන අයුරිනි. රැහැයියකුගෙන්වත් භාවනානුයෝගි මෙහෙණින් වහන්සේලාට හෝ ගිහියන්ට බාධාවක් නැති සෙයකි. ඉඳ-හිට ඇසෙන විහඟරාවය මේ මහා සංසාර සාගරේ අපේ අසරණ බව කියාපාන්නාක් වැන්න. ඒ නිස්කලංක බව හොඳින්ම ගැළපෙන්නේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම සඳහා සත්‍ය භාවනාවක යෙදෙන්නකුට පමණි. ඒ පරිසරය, මෙය තවත් එක් ආරාමයක් නොවේයැයි කොරතොට මහතා කී කතාවට සාක්ෂියක් වැන්න.
එවැනි ආකෘතියකට මේ පිහිටීම් සැලසුම් කළ හේතුව අපට විස්තර කළේ මේ ආරාමයේ භාරකාර මණ්ඩලයේ උපදේශක ධුරයද දරන මහාචාර්ය හෙට්ටිආරච්චිය.
“ආරාමයට ඇතුළු වන ඕනෑම කෙනකුට මේ මොන වගේ තැනක්ද, මෙහි හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් සෙල්ලිපියෙන් ලබා දෙනවා. ඝණ්ටා කුලුන මෙය ආගමික ස්ථානයක් බව වගේම එහි අවශ්‍යතා දායකයන්ට දැනුම් දෙන සන්නිවේදන උපායක්. ධර්මදේශනාවලට සවන්දීමට වගේම දන් පිරිනැමීමට පහසු වන පරිදි පහළ මළුවේ ඒ ශාලා දෙක පිහිනවා. සරල චාම් කුටි ජීවිතයේ සරලත්වය සහ තාවකාලික නවාතැන් පොළක ස්වරූපය දක්වනවා. ඉහළ මළුවට ගොඩ වන්නකුට ඍජුවම වැඩ ඉන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජයකින් රෝපණය කළ බෝධීන් වහන්සේ නමක්. එයට විශේෂ හේතුවක් තිබෙනවා. හෙළ දිවට ශ්‍රී මහ බෝධිය වැඩියේ කාන්තාවක් වන සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟයි. එය මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. අනෙක අපේ චිත්‍රවල සඟමෙත් මෙහෙණිය පාත්තරයක බෝධීන් වහන්සේ වැඩමවීම දක්වා තිබුණත් එය සංකේතයක් පමණයි. එය ගෙනා පාත්‍රය එතරම් කුඩා එකක් නෙවෙයි. එය රියන් නවයක් ඒ කියන්නේ අඩි දහතුනාමාරක් පමණ වටප්‍රමාණයකින් යුක්ත භාජනයක්. ගැඹුර අඩි හතහමාරයි. විෂ්කම්භය අඩි හතරහමාරයි. ඝනකම අඟල් අටක් වන රත්රන් කුට්ටියකින් නිර්මාණය කර තිබෙන්නේ. තරුණ හස්තියකුගේ හොඬය දැමිය හැකි තරමේ කටක් එයට තිබුණු බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා.
මේ චෛත්‍යය සැලසුම් කළේ රුවන්මැලි සෑයේ අනුරුවක් ආකාරයටයි. චෛත්‍යය බෝධිය වැඳීමෙන් පසු බුදු ගෙය නැමඳීමේ පිළිවෙළ අනුව මහමෙව්නාවේ සමාධි පිළිමය පිහිටන්නා සේ විවෘත කුටියක බුදුගේ පිහිටනවා. එයින් සිර වුණු ගතියකට වඩා නිදහස් හැඟීමක් වන්දනාකරුට ලැබෙනවා. ඒ වගේම සිදුහත් කුමර උත්පත්තියේ මහාමායා දේවිය අල්ලාගෙන සිටි බව කියන සැබෑ ඉන්දීය සල් ගස් වර්ගය තමයි මේ තිබෙන්නේ.“ හෙට්ටිආරච්චි මහතා බුදුගෙට දකුණු පසින් ළා පැහැයෙන් දලු ලා වැඩෙන ගසක් පෙන්වා පැවසුවේය.
කොරතොට මහතා මේ සැලැස්ම කළ ආකාරය අපට පැහැදිලි කළේය...
“වරලත් ගෘහනිර්මාණ ශිල්පිනියක් වන ශාමිකා ද සිල්වා මේ සැලැස්ම භාවනානුයෝගීව වෙසෙන ඕනෑම කෙනකුට ගැළපෙන අයුරින් අපට නොමිලේ නිර්මාණය කරලා දුන්නේ. ඒ වගේම පැරණි ගෘහනිර්මාණ ක්‍රම සහ උපාංග මේ සඳහා යොදාගත්තා. අපේ උත්සාහයට සහායක් වශයෙන් ඇය තවත් රුපියල් ලක්ෂයකුත් පරිත්‍යාග කළා. ඒ ඇරුණාම නිමල් වෙත්තමුනි මහත්මයා ලක්ෂ එකහමාරක් පරිත්‍යාග කළා. සමහර ගම්වාසීන් සිමෙන්ති කොට්ටයක් වගේ දේවලිනුත් ශ්‍රමයෙනුත් උදවු කළ අවස්ථා තිබුණා. ඒ ඇරෙන්න මේ ආරාමය සම්පූර්ණයෙන්ම ලක්ෂ අනූවකට වැඩි වියදමක් දරලා අපි කළේ මේ රටේ කාන්තාවන්ට අවශ්‍ය මොහොතක පැමිණ භාවනා කටයුතු වැනි ආධ්‍යාත්මික ක්‍රියාකාරකම්වල යෙදෙන්න අවස්ථාව සලසන්න. ඒ වගේම මේ රටේ නැති වී ගිය මෙහෙණි සස්න ඇති කිරීමට හැකි නම් බුද්ධ ශාසනයට කළ හැකි ලොකුම සේවයත් එය බව අප විශ්වාස කරනවා."
පිළිසරණ දහම් සෙවණ භික්ඛුණී ආරාමයේ අධිපතිනී බදුල්ලේ සුබෝධී මෙහෙණින් වහන්සේ ඒ මතයට තවත් කරුණු එක් කළහ...
"මම අවබෝධයෙන් මහණදම් පුරන්න ආ කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කණු 4ක් මත ලක්බිමේ බුදු සසුන පිහිටුවිය යුතු බවයි. දැන් එය තිබෙන්නේ කණු තුනක් මත. ඒ නිසා රංගිරි දඹුලු, කෑගල්ල ගලිගමුව නැව්ගල අන්තර්ජාතික භික්ෂුණී සංගමය, හොරණ දෙකඳුවල භික්ෂුණී මධ්‍යස්ථානය වැනි ස්ථානවලින් විශාල වශයෙන් භික්ෂුණීන් පිරිසක් බිහි කර තිබෙනවා. භික්ෂූන් වහන්සේලා විනය ධර්ම 227ක් පුරනකොට අපි 311ක් පුරලයි සසුන පවත්වාගන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා අවබෝධයෙන් මේ සසුනට එන අවුරුදු 22ත්-55ත් අතර කාන්තාවන්ට මූලික වශයෙන් තමන්ගේ භාවනා කටයුතු ආදිය පිළිබඳ අවබෝධයක් ලබාගන්න ආරාමයේ වැඩසටහන්වලට සහභාගී වන්න ආධ්‍යාත්මික ගමන පෝෂණය කර ගන්න කියලා."
අප එහි යන විට කෑගල්ල නැව්ගල අන්තර්ජාතික ශාසනාලෝක භික්ෂුණී සංගමයේ සභාපතිනී, තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණින් වහන්සේද වැඩම කර සිටියහ. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිණියක ලෙස දෙකඳුවල දහම් පුහුණු භික්ෂුණි ආයතනයේ මෙහෙණිවරුන් සඳහා ගුරු උපදේශනයේ යෙදෙති.
"වර්තමානයේ භික්ෂුණී සාසනය පිළිබඳ කෙතරම් මතභේද තිබුණත්, සමාජය භික්ෂුණී සසුන පැවතිය යුතු බව පිළිගන්නවා. ඒත් අපට මූලික අයිතිවාසිකමක් වන අධ්‍යාපනය පවා ඉතා දුෂ්කරවයි කරගන්නට සිදුව තිබෙන්නේ. අප ථෙරවාදී උපසම්පදා ලැබුවේ තායිවානයේ ෆෝ ක්වෑන් ශාන් විහාරස්ථානයේ. බටගම මේධානන්ද නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මාස තුනක පුහුණුව ලබලා, ධර්ම විනය හදාරලා. අත්තුඩාවේ රාහුල හිමියන් තමයි අපේ උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කළේ. බුදු හිමියන් වෙනස් කමක් නොදැක්වූ කාන්තා මෙහෙණවරට එරෙහි නොවී මෙහෙණින් වහන්සේලාටත් මේ රටේ පුරවැසියකු ලෙස නිසි අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමට අවස්ථාව දෙන්න රජයේ අවධානය යොමු වේය කියා අප සිතනවා. එයින් මෙරට සමාජයට අපෙන් ලැබෙන දායකත්වය මීටත් වඩා ලබා දීමට, ශාසනයේ උන්නතිය සදහා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා."
ශාන්තලාල් කොරතොට මහතා අප කුටි තුන තුළ ඇති කාමර හය වෙත කැඳවමින් ඒවායේ පිටරැටියන්ට පවා උෂ්ණාධික කාලවලදී ඔරොත්තු දිය හැකි අයුරින් වායු සමනය කළ කර ඇති ආකාරය පෙන්වා දුන්නේය. දැනට අක්කර දෙකහමාරක පමණ පැතිර ඇති මේ අරමට භාවනාව සඳහා වැඩියෙන් සැදැහැවතියන් හෝ පැවිදි කාන්තාවන් යොමු වන්නේ නම් තමන් සතු ඉඩමෙන් තවත් කොටසක් සසුනට පූජා කිරීමට තරම් කොරතොට යුවළ දානමය චිත්තයෙන් යුතුය. ඔවුන් එසේ කරන්නේ සසර පුරුද්දකින්දැයි වරෙක සිතේ. එවිට මට මෙනෙහි වූයේ විමානවත්ථුපාළියේ පායාසිවග්ගයේ දුතිය උපස්සයදායක විමානයයි.
මුගලන් තෙරුන් විසින් එක් දිව්‍ය පුත්‍රයකුගේ බබළන සිරුර සහ විමානය දැක, මෙසේ විචාරනු ලැබීය: එම්බා දිව්‍ය පුත්‍රය පහ වූ වලාකුළු ඇති නුඹ කුසැ අන්තරීක්ෂයෙහි හිරු යම්සේ බබළමින් යේද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටි. තෝ දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කළෙහිද?
මමද මගේ බිරියද මිනිස්ලොවැ එක්තරා රහත්නමකට සෙනසුනක් පිදූම්හ. එමෙන්ම පහන් සිතැත්තාහු අහරද පැන්ද සකස් කොට මහත් දානයක් පිදූම්හ. එ් පිනෙන් මගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත්ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
ආරාම පූජාවේ මහත්ඵල මහානිශංස එබඳුය. එහෙත් කොරතොට යුවළ මේ ආරාමය මෙහෙණි සස්නට පූජා කොට ඇත්තේ කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තුව නොවේ. එය ඔහුගේ එක වදනකින් පැහැදිලි විය. "අපි මේ හැම දෙයක්ම කරන්නේ ශාසනයේ උන්නතිය වෙනුවෙන්. මෙතැන ක්‍රියාකාරිත්වය නිසි ආකාරයෙන් සිදු වන්න ගත්තාම මේ ආරාමයත් අපේ සිතින් අතහරින්න අපි සූදානම්."
සේයාරූ - තුෂාර ප්‍රනාන්දු
අරුණි මුතුමලී