අන්තවාදයට එරෙහිව පෙරට පැමිණි සර්වදේශික දරුවෝ | Page 2 | සිළුමිණ

අන්තවාදයට එරෙහිව පෙරට පැමිණි සර්වදේශික දරුවෝ

 ක්‍රීඩාව යනු මහා සාගරයක් බඳුය. එය හරහා මිනිස් ජීවිතයට එක් වනදේ බොහෝය. ක්‍රීඩාවේ ප්‍රමුඛ අරමුණ නැතහොත් අධ්‍යාශය වනුයේ එයය. එනම් මූලිකවම දරාගැනීමේ හැකියාවක් සහිත මිනිස් පෞරුෂයක් ගොඩනැංවීමය. තමන්ට හිමි බොහෝ දේ අහිමිවන විට නොසැලී හිඳින්නට ක්‍රීඩාව හරහා ලබාගන්නා පෞරුෂය වැදගත්ය. එසේ හිමිවන පෞරුෂය විචිත්‍රවත් පෞරුෂයකි. ක්‍රීඩාව එලෙසය.

නමුත් වර්තමාන සමාජය තුළ ඇතැම් මාපියන් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන්නේ අල්ප මාත්‍ර කැමැත්තකි. කැමැත්ත දක්වන්නේ නම් ඇත්තේ වාණිජ්‍ය ජයග්‍රහණ පිළිබඳ අභිමතාර්ථ පමණි. මාපියන් තම දරුවන් ක්‍රීඩාව වෙත යොමු කරන්නේ මේ කියනු ලබන ප්‍රවණතා ගැන ඔවුන් දරනා හැඟීමත් සමගය. අයි.පී.එල්., බී.පී.එල්., බිග් බෑෂ් වේවා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාව දක්වා අවස්ථා නිර්මාණය වන ආකාරය ගැන ඔවුන් විමසිලිමත් වීම දක්වා මාපිය උනන්දුව හා දරුවන්ගේ උනන්දුව ලඝුවී ඇත්තේ යැයි අපට හිතෙන්නේ ඒ අයුරිනි.

එකී විචිත්‍රත්වය අපූරු පුරුෂාර්ථ ඇති මිනිසුන් සමාජයට එක්කරන්නේය. පසුගිය කාලයේ රටට වැදගත්. සමාජීය වශයෙන් තීරණාත්මක සිදුවීමක් අරභයා මැදිහත්වීමට ක්‍රීඩකයන් පෙරමුණ ගත් අවස්ථා කීපයක් අසන්නට ලැබුණේ එහෙයිනි. එහි සමීපතම සිදුවීම දිගන ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වුණේය. සිද්ධියට සම්බන්ධ අපූරු ක්‍රීඩක පෞරුෂය මතුව ආයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය ඇතුළු ක්‍රීඩකයන් පෙළකගෙනි. ජාතිවාදය, ආගම්වාදය එපායැයි කියන්නට ඔවුන් වහා පෙරමුණට ආහ. වර්ගවාදය වෙනුවට එක මවකගේ දරුවන් ලෙස එක රටක් තුළ දිවි ගෙවීමේ වැදගත්කම ඔවුන් ප්‍රකාශ කර තිබුණේය. එතැනින් නොනැවතී කුමාර් සංගක්කාර වැන්නවුන් වීඩියෝවක් ද නිකුත් කරමින් යූ ටියුබ් ඇතුළු සමාජ ජාලා හරහා ගැටුම් නවත්වන්නට පෙරමුණ ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. එය අපූරුය. සමාජයට බුද්ධි ගෝචර මැදිහත්වීමක් කළ හැක්කේ කවරාකාරයේ සමාජ ජීවින්ගෙන්ද? මෙහිදී අප ප්‍රශ්න කළ යුතුව ඇත. සැබැවින්ම එය සිදුකළ හැක්කේ සමාජය පිළිගන්නා මිනිසුන්ට පමණි. සමාජය ඇහුම්කන් දෙන මිනිසුන්ට පමණි. ඒ අතරින් ක්‍රීඩකයෝ ප්‍රමුඛ වෙති. සංගක්කාර, මහේල, සනත් ඇතුළු ක්‍රීඩකයන් පෙරට එන්නේ ඒ අයුරිනි. පවුරු බැඳිය යුත්තේ ජන හදවත් තුළය. එය සිදුකළ හැක්කේ රටම එක ලෙස පිළිගන්නා මිනිසුන්ට පමණි. ක්‍රීඩකයෝ එහි ප්‍රමුඛයෝ වෙති. ඔවුන් තුළ පක්ෂ දේශපාලනය නැත. පාට දේශපාලනය නැත. ඔවුන් මිහිකකගේ සාඩම්බර දරුවෝ වෙත්. එක් පවුලකට අයත් නොවන දරුවෝ වෙත්. සර්වදේශික දරුවෝ වෙත්. සංගක්කාර, මහේල සම්බන්ධයෙන් එය දිව නොපැටලී පැවසිය හැකිය. ඔවුන් දේශපාලනයට පැමිණීම පිළිකෙව් කරන්නෝ වෙති.

ඔවුන් සමාජය තීරුවලට බෙදන්නෝ නොව සමාජයේ විවිධ ජන තීරු ඒකාබද්ධ කරන්නෝය. එහෙයින් මෙම අවස්ථාවේ ඔවුන් සිදුකරන ප්‍රකාශ අතිශය වැදගත්ය. එවැනි ප්‍රකාශයක් සඳහා ඇහුම්කන් දීමට තරම් ජන සමාජයද ගවේෂණශීලීය. එය හොඳින් තේරුම්ගෙන කටයුතු කරන්නට තරම් සංගක්කාරලා පෙරමුණට පැමිණීම අගය කළ යුතුය. එමගින් ඔවුන් සතු ගරු කටයුතු චරිත ලක්ෂණ විද්‍යාමාන වන බව පැහැදිලිව කිවයුතුය. තවමත් එදා මෙන්ම නොවෙනස්ව මිනිසුන් මෙවැනි ක්‍රීඩක චරිතවලට ආදරය කරන්නේ එහෙයිනි.

තිස්වසරක පාපකාරී සිවිල් යුද්ධයක් මායිම් දරුවන් වූ අප අසූ තුනේ කළු ජූලියෙන් සමාජය කළු කිරීමේ වගකීම සඳහා දැන් අවකාශ ලබාදිය යුතු නැත. ඒ සඳහා පෙරමුණ ගැනීමට අප ඉදිරියට ආ යුත්තේ එහෙයිනි. සංගක්කාරලා, මහේලලා මෙන්ම කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සනත්ලා ඇතුළු ක්‍රීඩකයන් රැසක් පෙරට විත් ඇත්තේ එහෙයිනි. දැන් අපි කළ යුත්තේ ඔවුන් සමඟ අවංකව අත්වැල් බැඳ ගැනීමය. ඔවුන් ඉදිරියේ තබා ජන පවුරු බැඳීමය. සංගක්කාරලාගේ ප්‍රකාශ සියලු තරාතිරමේ ජන සමාජයීය චරිත ඉක්මවා ප්‍රබල පණිවුඩයක් සමාජ ගත කරන බව අපගේ පිළිගැනීමය. ඒ මන්දයත් ඔවුන් බෙදී වෙන්වීම සඳහා කටයුතු කළ පුද්ගලයන් නොවේ.

අවසන් වශයෙන් අප තේරුම් ගත යුතුව ඇත්තේ මුදල් වෙනුවෙන් නොව ක්‍රීඩාව සඳහා දුවා දරුවන් එක්කළ යුත්තේ පුළුල් අරමුණු සහිතව බවය. ජීවිතය උගෙනීමට බවය. ක්‍රීඩාංගණයක් විවෘත කර, පාසලක් විවෘතකර සැබෑ සමානාත්මතාව කුමක්දැයි සමාජයට තේරුම්කර දිය යුතු වේ.

ක්‍රීඩාව, ක්‍රීඩා පෞරුෂ නිර්මාණය කිරීම සම්බන්ධවය. වහ වහා එය සිදුකළ යුතුව තිබේ. එවිට හෙට නැතත් අනිද්දා සිට අපට රටක් වශයෙන් ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකිය. අභිමානනීයව, බෙදීමකින් තොරව අවංකව පෙනී සිටිය හැකිවන තුරු ඇත. සියලු දෙනා මේ සම්බන්ධයෙන් වහ වහා අවධානය යොමුකළ යුතුව ඇතැයි අපි කියන්නේ එහෙයිනි. අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමු. එනම් නිදහස ඇත්තේ මිනිසා තුළය. විමුක්තිය ඇත්තේ ඔහු සතුවමය. එය වෙනස් කළ හැක්කේ, වැඩිදියුණු කළ හැක්කේ මිනිසාටම පමණි. ඒ අනුව ජීවිතය සිපිරි ගෙයක් කරගැනීම හෝ සුරපුරයක් කරගැනීමේ හැකියාව ඇත්තේ ඔහුටමය. ක්‍රීඩාව ඒ වෙනුවෙන් යොදාගත හැකි ප්‍රබල මෙවලමකි. අප එසේ කියන්නේ ක්‍රීඩාව තුළින් සංගක්කාරලා, මහේලලා වැනි ජාතිය පිළිගත්, ජාතික හැඟීම තේරුම්ගත් මිනිසුන් දැකිය හැකි බැවිනි. දිගන සිදුවීම සමඟ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් නිකුත්කළ ප්‍රකාශ වලින් ඒත්තු ගැන්වුණේ එයය.

 

Comments