සාමයේ නගරයට ගිනි තැබූ හනුමන්තලා කොටු වෙති | Page 2 | සිළුමිණ

සාමයේ නගරයට ගිනි තැබූ හනුමන්තලා කොටු වෙති

 මහනුවර කලක පටන් ප්‍රචලිතව පැවැතියේ සාමයේ නගරය ලෙසිනි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සමාජයට යම් උදාහරණයක් දීමට අවශ්‍යයවූ විට ආගමික නායකයින්, දේශපාලනඥයින් මෙන්ම විද්වතුන් නිදසුනට ගත්තේ මහනුවරය. ශ්‍රී දළදා මාලිගාවත්, පුල්ලියාර් කෝවිලත්, මීරාමක්කම් පල්ලියත් මහනුවර නගරය තුළ පිහිටා තිබෙන්නේ නෙකට මීටර 100 කටත් වඩා අඩු දුරකිනි. මෙයට විසි වසරකට පෙර ශ්‍රී දළදා මාලිගාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙත්දී බෞද්ධ ජනතාව කිසි විටෙකත් ඉන් කිපී දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල කරන්නට පෙලඹුණේ නැත. එම අවස්ථාවේ මහනුවර දෙමළ ජනතාව හා මුස්ලිම් ජනතාවද සිංහල බෞද්ධ ජනතාව හා එක්ව දුක බෙදා ගත්හ. මහනුවර මුස්ලිම් ජනතාව හා බෞද්ධ ජනතාව අතර සුරැකී පැවැති සහෝදරත්වයේ බැඳීම මහචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි අපවත්වූ අවස්ථාවේ මුස්ලිම් ජනතාව කළ කී දෑ ඇසුරෙන් වටහා ගත හැකිය. මහනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිටට රැස්ව ඔවුන් බෙල්ලන්විල අනුනාහිමි වෙනුවෙන් ශෝකය පළ කරමින් පැවසුවේ උන්වහන්සේ ජාතික සමඟිය ගොඩ නැගීම සඳහා කරන ලද කාර්යය අගය කරන බවයි.

අතීතයේ පටන් සුරැකී පැවැති ඒ සිංහල හා මුස්ලිම් සහෝදරත්වයේ බැමි කැඩී ගියේ එක මොහොතකිනි. තමන්ගේ ජාතියේ පැවැත්ම වෙනුවෙන් සෙසු ජාතීන් විනාශ කළ යුතුය යන සංකල්පයේ පිහිටා ක්‍රියාකළ සුළු පිරිසක් සාමයේ නරගයට ගිනි ඇවිලුහ. ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් එදා එල්.ටී.ටී.ඊ සංවිධානය අපේක්ෂා කළේ සිංහල බෞද්ධයින් කුපිත කර මහනුවර දෙමළ ජනතාවට ඔවුන් ලවා ප්‍රහාරයක් එල්ල කරවීමය. ඒ ඔස්සේ රටපුරා සිංහල, දෙමළ ගැටුම් නිර්මාණය කරමින් තමන්ගේ ඉලක්කය වෙත යන්නට එල්.ටී.ටී.ඊ ය ගත් වෑයම අසාර්ථක වූයේ සිංහල ජනතාව එයින් කුලප්පු නොවූ බැවිනි.

තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරිවුම් හල අසලදී පසුගිය 22 දින බීමත් මුස්ලිම් ජාතිකයින් සිව් දෙනෙකු අතින් පහර කෑමට ලක්වූ බව කියන අම්බාල පුවක්ගහදිවෙල පුස්ගෝවිට පදිංචි හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකු වන එච්. බී. කුමාරසිංහ මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූයේ ඉකුත් 02 දිනය. මෙම පහර දීමට සම්බන්ධ බවට අනාවරණය වූ සිවු දෙනා අතරින් එක් අයෙකු සිද්ධිය වූ දිනට පසුදින තෙල්දෙණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් දින දෙකකට පසු තවත් දෙදෙනෙකු පොලීසියට බාර වූහ. අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය උනන්දු නොවන බව කියමින් ප්‍රදේශවාසීහු නොයෙක් වර පොලීසියට දෝෂාරෝපණය කළහ. කුමාරසිංහගේ මරණය සිදුවූ දින එම පුද්ගලයාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් නමුත් ඒ වන විටත් පොලීසියේ පරීක්ෂණ සම්බන්ධව තරමක කුකුසක් ප්‍රදේශවාසීන් තුළ මතුව තිබිණි. මියගිය කුමාරසිංහගේ දේහය පුස්ගෝවිට ග්‍රාමයට රැගෙන යන අතර තුර කිසියම් පිරිසක් ප්‍රධාන මාර්ගයේ ටයර් පුලුස්සා විරෝධතාවක් දක්වා තිබූ අතර එය ජාතිවාදී ගැටුමක් ඇති වීම සඳහා වන පෙර නිමිත්තක් බව හඳුනාගත් බුද්ධි අංශ ඒ පිළිබඳ ඉහළට වාර්තා කර තිබිණි. අවසන් කටයුතු සිදුවූ දින අලුයම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් ගිනිබත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 24 දෙනකු අත්අඩංගුවට ගැනීමට තෙල්දෙණිය පොලීසිය ක්‍රියාකළේ මේ අතර තුරය. ඉන් ප්‍රකෝපවූ පිරිස් එම පිරිස නිදහස් කරන ලෙස පොලීසියට බල කරමින් තෙල්දෙණිය නගරයේ නොසන්සුන් ලෙස හැසිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වීමය.

පොලීසියේ ඇස යොමුව තිබුණේ තෙල්දෙණිය හා මියගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරුණු ප්‍රදේශය වෙතය. කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි මහනුවර මහිංයංගණ ප්‍රධාන මාර්ගයේ එක පෙළට කිලෝ මීටර 10 ක පමණ දුරකට විහිදී ගිය බලගොල්ල, දිගන, කෙන්ගල්ල නගර වලට පස්වරු 1.00 ට පමණ කඩා වැදුණු 2000 ක පමණ පිරිසක් පොලු රැගෙන මුස්ලිම් පල්ලි, ව්‍යාපාරික ස්ථාන, නිවාස හා යානවාහන වලට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඒවා ගිනිබත් කරන්නට වූහ. පැය දෙකක පමණ කාලයක් තුළ මුස්ලිම් ජාතිකයින්ගේ යැයි හඳුනාගත් සියලු දේ ගිනිබත් කළ ඔවුන් ජීවිත හානි සිදු නොකිරීමට වග බලා ගෙන තිබිණි. මෙය ඉතා සංවිධානත්මකව එල්ල කළ ප්‍රහාරයක් බව එමගින් පෙනීයයි. මුහුණු අවාරණය කරගත් තිස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙයට නායකත්වය දී තිබිණි. මියගිය කුමාරසිංහගේ නිවස හා දිගන නගරය අතර කිලෝ මීටර 30 කට වැඩි දුරක් පවතින අතර මෙම ප්‍රහාරය සඳහා එක්ව සිටි පිරිස ගම්වාසීන් නොවන බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. එකවර අති විශාල පිරිසක් පොලු රැගෙන දියත් කළ මෙම ප්‍රහාරය වැළැක්වීමට ආරක්ෂක අංශවලට හැකියාවක් නොලැබුණු අතර දිගන නව නගරයේ වෙළෙඳ ස්ථාන රැසක් පොලීස් නිලධාරීන් සිටියදීම ගිනිබත් කිරීමෙන් එය පැහැදිලි වෙයි.

දිගන නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි මෙම ප්‍රහාර කටුගස්තොට, අඹතැන්න, පූජාපිටිය, මඩවල, මැණික්හින්න, අලදෙණිය, සෙනරත්ගම, අඹතැන්න, යටියාවල, මුල්ලේගම, පූජපිටිය, උල්ලදු පිටිය, අකුරණ, වත්තේගම ආදී ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්තවූ අතර ඇඳිරි නිතිය පනවා හෝ එම ගැටුම් පාලනය කිරීමට පොලීසියට නොහැකිවූ ස්වභාවයක් දක්නට ලැබිණි. ගැටුම්වලින් සිංහල තරුණයෙකු හා මුස්ලිම් තරුණයෙකුට දිවි අහිමි වූ අතර තවත් 10 දෙනකු පමණ තුවාල ලැබ තිබිණි. නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස් දියත් කළ ප්‍රහාර හේතුවෙන් මුස්ලිම් පල්ලි, නිවාස හා ව්‍යාපාරික ස්ථාන 200 කට වැඩි සංඛ්‍යාවක් ද වාහන 50කට වැඩි සංඛ්‍යාවක්ද විනාශවී තිබූණි.

මෙම ජාතිවාදී ප්‍රහාරයන්ට යොමුවූ පිරිස ඒ සඳහා හේතු පාදක කරගත්තේ වික්‍රමසිංහගේ මරණයයි. දිස්ත්‍රික්කය පුරා ජාතිවාදී ගිනිදැල් පැතිර යමින් තිබියදී අප වික්‍රමසිංහගේ නිවෙසට ගියේ ඔහුගේ අවසන් කටයුතු සිදුකර දින දෙකකට පසුය. ඒ වන විටත් ඔහුගේ දෙමවුපියන් සිටියේ සිදුවීම් මාලාව පිළිබඳ වික්ෂිප්තවය. එච්.ටී. ගුණසේන ඔහුගේ පියාය. තම පුතු අහිමි වීමේ සොවින් තැවෙමින් සිටි ඔහු මෙසේ අදහස් දැක්වීය.

"මගේ පුතා මැරුණා. මම හිතුවේ නැහැ මේ මරණය නිසා මෙච්චර විපතක් රටේ ඇති වෙයි කියලා. පුතා අපිව දාලා ගියේ නොහිතපු විදිහටයි. මුළු පවුලටම වියදම් දුන්නේ එයා. එයා නැතිවුණ එක මුළු පවුලටම පාඩුවක්. තෙල්දෙණියේ ඉන්ධන පිරවුම් හළ අයිති මහත්තයාගේ ඒජන්සියක රියදුරෙක් විදිහට එයා වැඩ කළා. කිරි පිටි ඩිලිවරි අරන් යන වාහනයක පුතා වැඩ කරන්නේ. අපි නීතියෙන් තමයි සාධාරණත්වය බලාපොරාත්තු වෙන්නේ. සිද්ධ වෙන දේවල් ගැන අපිට හිරිම කණගාටුයි. මගේ පුතා මුස්ලිම් අය සමඟ ඉතා ළඟින් ආශ්‍රය කළා. තෙල්දෙණිය ඉන්ධන පිරවුම් හළ ළඟදී තමයි එයාට කට්ටියක් ගහලා තිබුණේ. මරණයත් එක්ක ගොඩක් අය ගෙදරට ආවා. අපි අඳුරන්නේ නැති අය ගොඩක් ඒ අතර හිටියා. දැන් ඉතින් අපි තනිවෙලා ඉන්නේ. දරුවා නැතිවුණේ අපිට. මේ පුතාගේ දරුවන් දෙදෙනාගෙන් එක් කෙනෙක් අබාධිතයි. අපිට තිබෙන ප්‍රශ්න ඒවායි. අපේ පුතාගේ මරණය නිසා මේ වගේ කලබල ඇති වෙයි කියලා අපි හීනෙන්වත් හිතුවේ නැහැ. අපි කියන්නේ මේ ගැටුම් නතර කරන්න කියලයි. පුතාගේ මරණය නිසා රටේ ලොකු විනාශයක් වෙනවා නම් ඒක විය යුතු දෙයක් නොවෙයි."

දිගන නගරය කේන්ද්‍ර කර ගනිමින් බලගොල්ල හා කෙන්ගල්ල දක්වා එල්ලවූ ප්‍රහාරයෙන් ගිනිබත්වූ නිවෙසක සිරවී මුස්ලිම් ජාතික තරුණයෙක් මිය ගියේය. විසි හත් හැවිරිදි සම්සුදීන් අබ්දූල් භාෆික් නමැති එම තරුණයාගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ 06 වැනි දින පෙරවරුවේය. ඔහු දුරකතන අලෙවි සැලක සේවය කළ අයෙකි. ඔහුගේ මරණයෙන් වික්‍රමසිංහගේ පියා මෙන්ම ඔහුගේ පියාද කම්පාවට පත්ව සිටියහ. ඔවුන් දෙදෙනා සිංහල හා මුස්ලිම් ලෙස හඳුනා ගත්තද දෙදෙනාගේ සිත්හි උපන් වේදනාවේ වෙනසක් නොමැති බව හැඟී ගියේ දෙදෙනාම දැක්වූ අදහස් සංසන්දනයෙනි.

''පුතාට සිංහල යාළුවෝ ගොඩක් ඉන්නවා. මුස්ලිම් අයට කට්ටියක් ගහනවා කියලා ආරංචි වෙනකොට මමයි නෝනයි පුතාලා දෙන්නයි හිටියේ ගෙදර. පොලීසිය කිව්වා ගෙවල් ඇතුළෙම ඉන්න එළියට එන්න එපා කියලා. අපි ඔවුන් කී දේ විශ්වාස කළා. නෝනා ආබාධිතයි. එයාට ඇවිද ගන්න අමාරුයි. මමත් බයිපාස් එකක් කරලා ඉන්නේ. එක පාරටම කට්ටියක් ගෙට කඩාගෙන පැනලා ගිනි තිබ්බා. අපිට එළියට පලයව් කිව්වා. මම නෝනා අරන් එළියට ආවා. ලොකු පුතා ගින්දරට අහුවෙලා හොඳටම පිච්චිලා. එයා ගෙයින් එළියට පැන්නේ ගින්දර එක්කමයි. දැන් එයා නුවර 11 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ගින්දර එක්කම ගෙදර සොල්දරේ කඩාගෙන වැටුණා. දුමෙන් පැත්තම වැහිලා ගියා. පොඩි පුතාට එළියට එන්න බැරි වුණා. එයාගේ බොඩි එක හොයා ගත්තේ පහුවදා. අපි අහිංසක මිනිස්සු. කාටවත් වරදක් කරලා නැහැ. අපි මුස්ලිම් වුණේ උපතින්. සිංහල කෙනෙක් ළඟ ඉපදුණානම් අපි බෞද්ධ. මියගිය සිංහල තරුණයාවවත් එයාට ගහපු මුස්ලිම් අයවත් කවුද කියලා අපි දන්නේ නැහැ. කවුරු කළත් මිනිස්සු මරණ එක වැරදියි. එකට ඉන්න අපි මේ විදිහට ගහ මරා ගන්නේ ඇයි. අපේ මුස්ලිම් අය බොහෝ දෙනෙකුට තියෙන්නේ සිංහල වාසගම්. ඒ කාලේ අපේ අය විවාහ වෙලා තියෙන්නේ සිංහල කාන්තාවෝ එක්ක. අපේ ජාතිය වෙනස් වුණාට ලේ එකයි. එක පැත්තකින් අපි නෑදෑයෝ. ඇයි මෙහෙම වෙන්නේ.'' මියගිය සම්සුදීන්ගේ ගේ පියාවන ෆයාස් සම්සුදීන් එසේ ප්‍රකාශ කළේ සිදුව තිබෙන විපත දරාගත නොහැකි වේදනාවකිනි.

‘සිංහල තරුණයාට ගහලා දැනට රිමාන්ඩ් කරලා ඉන්න සැකකාර මුස්ලිම් තරුණයෝ මත්ද්‍රව්‍යවලට ඇබැබැහිවූවන්. ඒ අය පිට පළාත්වලින් ඇවිත් මේ පැත්තේ පදිංචි වූ අයයි. මේ වගේ අය හැම ජාතියකම ඉන්නවා. ඔවුන් සමාජයට පිළිලයක්. නොහික්මුණු හතර දෙනෙක් කළ වරදට ඇයි සමස්ත මුස්ලිම් ජනතාවටම දඬුවම් දෙන්න හදන්නේ. වැරැදි කරපු අයට නීතියෙන් දඬුවම් දිය යුතුයි. අපි කියන්නෙත් ඒකයි. අපි ඔවුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඔවුන් කරන වැරදි අල්ල ගෙන අපි ගහ මාර ගන්න එක හරිද? මේවා නිසා අපි රටක් ලෙස ආපස්සට යනවා.'' දිගන පදිංචි ව්‍යාපාරිකයෙකු වන ඒ.හමීඩ් මහතා පවසයි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියෝ ''මියගිය සිංහල තරුණයාගේ ගම් පළාත කිට්ටුව තමයි වේඬරුව ගම තිබෙන්නේ. මම උපන්නේ එහෙයි. ඒ පළාතේ සිංහල හා මුස්ලිම් දෙපිරිස සාමයෙන්, සහයෝගයෙන් ජීවත් වෙනවා. මුස්ලිම් ව්‍යාපාරිකයෝ ළඟ සිංහල අය සේවය කරනවා. මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ කඩවලින් සිංහල අය බඩු ගන්නවා. මේ සමගියට තමයි මේ ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ. මේ ගැටුම මේ විදිහට ගියොත් රටට විශාල අප කීර්තියක්. තිස් අවුරුද්දක් අපි මේ වගේ ප්‍රශ්නයකින් බැට කෑවා. ලාංකික සමාජය නැවතත් ඒ වගේ තැනකට යන්න නොදී රැක ගැනීමේ වගකීම සියලු ජාතීන්ගේ වගකීමයි.''

උඩිස්පත්තුව වේරකැටිය ජිනරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කීනපැලැස්ස ඥානිස්සර හිමියෝ ''මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයින්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕන. මේ මරණයට අති විශාල පිරිසක් සහභාගී වුණා. නමුත් අද මේ පවුල තනිවෙලා. මේ දරුවාගේ මරණය උස්සගෙන පිරිසක් මේ රටේම පිරිසකට හිරිහැර කරනවා. දැන් සිංහල තරුණයනුත් ඝාතනය වුණා. මේක ඉවරයක් නොවුණොත් මහ විනාශයක් වෙලා තමයි නතර වෙන්නේ.''

මුස්ලිම් ජාතිකයින් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් හානි සිදුවූ බව කියන විහාරස්ථානය සොයා ගොස් එහි වැඩවාසය කරන මුල්ලේගම පියරතන හිමියන් හා අපි කතා කළෙමු. උන්හන්සේ පැවැසුවේ විහාරස්ථානයට ගල් ප්‍රහාරයක් එල්ලවූ බවයි. එය කවුරුන් විසින් එල්ල කළේද යන්න පිළිබඳව නොදන්නා බවද උන්වහන්සේ කීහ.

ෆේස් බුක් ඔස්සේ විවධ අසත්‍යය ප්‍රචාර ගෙන යමින් මෙම ගින්නට පිදුරු දමමින් තිබියදී රජය මැදිහත්ව තාවකාලිකව ඒ සඳහා පිවිසුම් අවස්ථා අවහිර කළේය. මේ ඔස්සේ ගිය අසත්‍යය ප්‍රචාරවලින් කැලඹුණු පිරිස් ඒකාරාශීවී තැනින් තැන ප්‍රහාර දියත් කිරීම නිසා පොලීසියට ඒවා පාලනය කිරීමටද නොහැකි වන තත්ත්වයක් මතුව තිබිණි. රටේ නීතියක් තිබිය යුතුය. ඒ නීතියට ජනතාව ගරුකළ යුතුය. නීතියට ගරු නොකරන පුද්ගල පිරිසක් පසුගිය කාලයේ බිහිව තිබූ බවට උදාහරණය රැසක් පසුගිය කාලය තුළ දක්නට ලැබිණි. උද්ඝෝෂණ පෙළපාළි අතරතුර පොලීසිය ඊට එරෙහිව ලබා ගන්නා අධිකරණ නියෝග උද්ඝෝෂකයින් තුට්ටුවකට මායිම් නොකර ඒවා ඉරා දමන තත්ත්වයක් දක්නට ලැබිණි. මාධ්‍ය ඔස්සේ මේවා ප්‍රචාරය කිරීමෙන් නීති කැඩීම බිය වීමට හේතුවක් නොවන බවට මතයක් සමාජ ගතව තිබිණි. මහනුවර පොලිස් ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේ එය පැහැදිලිව දක්නට ලැබිණි. ඇඳිරි නීතිය පනවා තිබියදී එය තුට්ටුවකට මායිම් නොකර විවිධ පුද්ගලයෝ ප්‍රහාර දියත් කළහ. ඇතැම් මුස්ලිම් පිරිස් ආරක්ෂක අංශවලට චෝදනා කරන්නේ ඔවුන් ඉදිරිපිටදී ජාතිවාදීන් තමන්ට ප්‍රහාර එල්ල කළ බව කියමිනි.

මුල්ලේගම විහාරස්ථානයකට පහරදුන් බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් කලබල වූ සිංහල තරුණ පිරිසක් එම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට පහර දීමට උත්සාහ කළේ පසුගිය 07 දිනය. එදින අත් බෝම්බයක් පුපුරා යෑමෙන් සිංහල තුරුණයෙකුට දිවි අහිමි විය. ගුණරත්න බණ්ඩා නමැති 29 හැවිරිදි ඔහු අඹතැන්න කළුතැන්නේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිය දෙවැනි දරු ප්‍රසූතියට සූදානම්ව සිටින්නීය. සිය නැගණියගේ පුතුගේ මරණය පිළිබඳ අදහස් දැක්වූ කේ. ඒ. මුතුමැණිකේ මෙසේ කීවාය.

''පුතා මේසන් වැඩ කරන්නේ. ගොඩක් එයා වැඩකළේ අකුරණ ටවුමේ මුස්ලිම් මුදලාලිලාගේ වැඩ. එයාට අවුරුදු පහක දරුවෙක් ඉන්නවා. දුවට තවත් දරුවෙක් හම්බවෙන්න ඉන්නේ. පුතා මැරුණේ 07 වෙනිදා. දුවට ළමයා ලැබෙන්න දින ළඟ නිසා 08 වෙනිදා පිරිතක් කියන්න ලෑස්ති වෙලා හිටියේ. ගමේ පන්සලට ගහලා කියලා ආරංචියක් 07 වෙනිදා උදේ අහන්න ලැබුණම පුතා කට්ටියත් එක්ක පන්සලට දිව්වා. ඒ ගියාට පස්සේ පුතා ගෙදර ආවේ මෙහෙමයි''

දිගන ප්‍රහාරයෙන් මියගිය මුස්ලිම් තරුණායාගේද මුල්ලේගම සිද්ධියෙන් මියගිය සිංහල තරුණයාගේද මරණවලින් පවුලේ සාමාජිකයින්ට දැනුණු වෙදනාවේ වෙනසක් නොමැත. ඔවුන් දෙදෙනාගේම දෙමව්පියන්ගේ දෑස් වලින් ඇද වැටුණු කඳුළුවල සිංහල හෝ මුස්ලිම් කියා වෙනසක් නොතිබිණි.

මහනුවර හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යත්ම ඒවා පාලනය කිරීමට 6880 ක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීමට රජය පියවර ගෙන තිබිණි. පොලීසියේ 3000 ක් යුද හමුදාවේ 2500 ක් පොලිස් විශේෂ කාර්ය බළකායේ 750 ක් නාවික හමුදාවේ 600 ක් හා ගුවන් හමුදාවේ 30 ක් මහනුවරට යොමුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම සිදුවීම් මාලාව පිටුපස සිට කුමන්ත්‍රණ කරමින් ජනතාව නොසන්සුන්කාරී කිරීමට සමාජ මාධ්‍ය හා වෙනත් මාර්ග ඔස්සේ යොමු කිරීම් කළ මහ මොළකරු ඇතුළු 10 දෙනකු අත්අඩංගුවට පත්වූයේ පසුගිය 08 දිනය. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පූජාපිටිය හා දිගන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අතරින් 08 දෙනකු පිට පළාත් වල සිට මහනුවරට පැමිණ සිටියවුන් බව අනාවරණය වී තිබිණි. මහනුවරදී අත්අඩංගුවට ගත් මෙම පිරිස කොළඹට රැගෙන ගොස් රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව
ඡායාරූප - ගාමීණී රණසිංහ 

Comments