
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉතිහාසය විජය රජුගේ කාලය දක්වාම අතීතයට සම්බන්ධ වේ. එතරම්ම දීර් ඝ ඉතිහාසයක් නැතත් මුස්ලිම් ජාතිකයන් ද ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනක් මෙරට ජීවත්ව සිටි බව පැහැදිලි වේ. මුස්ලිම් ජාතිකයන් අනෙක් සියලු ජාතීන් හා එක්ව සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වූ බවට පැහැදිලි සාධක තිබේ. ආගම ඇදහීම් අතරින් එක් එක් රටවල යම් යම් සුළු ආකාරයෙන් වෙනස්කම් තිබුණද ඉස්ලාම් දහම කිසි විටෙක අනෙකා පරයා නැඟී සිටීමට අනුදැන වදාළ ආගමක් නොවේ.
ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවැති කාලයේදී පවා ලාංකික කියන හැඟීම මිස මුස්ලිම් ජාතිය ලෙස හැඟීමක් මොවුන්ට තිබුණේ නැත. රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා නොතකා මුස්ලිම් ජාතිකයන් එදා සිට අද දක්වාම කටයුතු කළ බවට මෙරට ඉතිහාසයේ දැක්වේ. ඕලන්ද යුගයේදී යම් කිසි කරුණක් උදෙසා එක් සිංහල යුව රජකු ඕලන්දවරුන් විසින් ලුහු බැඳ ගොස් තිබේ. එහිදී පැන ගිය රජු දරුවකුට කිරි දෙමින් සිටි මුස්ලිම් මවක ළග සැඟ වී ඇත්තේ වෙනත් සැඟවෙන්නට ස්ථානයක් නොතිබූ නිසාය.
ඕලන්දකරුවන් පැමිණ රජු ගැන විමසුවත් ඇය පවසා ඇත්තේ තමන් දරුවාට කිරි දුන්නා මිසක එවන් අයකු නොදුටු බවයි. ‘බොරු කියා තිබුණහොත් මරණ දඬුවම ලැබෙන බවට තර්ජනය කරද්දීත් ඇය පවසා ඇත්තේ එවැන්නකු නොපැමිණි බවයි. ඕලන්දකරුවන් රජු සොයමින් ඔබ මොබ ගිය අවස්ථාවේදී රජු එතැනින් වෙනත් ස්ථානයකට පලා ගොස් තිබේ. ක්ෂණයකින් ඒ බව දැනගත් ඕලන්දකරුවන් දරුවාට කිරි දුන් මුස්ලිම් ජාතික කාන්තාව කඩුවලින් ගෙල සිඳ ඝාතනය කර ඇත. රජු එම ස්ථානයට පසුව පැමිණෙන විට මියගිය කාන්තාවගේ රුධිරය හෙවත් ලේ දැක මේ ‘මා රැක දුන් ලේ‘ යනුවෙන් පවසා තිබේ. මා රැක දුන් ලේ - මරක්කලේ හෙවත් මරක්කල යනුවෙන් පසු කලෙක මුස්ලිම් වරුන්ට ඇමැතීමට පැමිණ ඇත්තේ ඒ අනුවය.
සිංහල මුස්ලිම් ජාතික සමගිය එතරම් ඈත අතීතයට දිව යන්නකි.
වසර 30ක කාලයක් අපි යුද්ධයෙන් දුක් වින්දෙමු. ත්‍රස්තවාදී ප්‍රශ්නය වැඩි වශයෙන්ම පැන නැගුණේ භාෂා ප්‍රශ්නය උඩය.
උතුරේ ධාවනය වූ වාහනවල ‘ශ්‍රී‘ අක්ෂරයේ පවා තාර ගෑමට හේතු වූයේ මේ භාෂා ප්‍රශ්නයයි. මේ නිසා සිංහල ජනතාව සමඟ එක්ව ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුම් සෙවූ දෙමළ පුරවැසියන් පවා ඝාතනය කිරීමෙන් පැහැදිලි වූයේ භාෂාවේ අත්‍යවශ්‍යතාවක් ත්‍රස්තවාදීන්ට තිබූ බවයි. දොරේ අප්පා මහතා ඝාතනය වසර 40කටත් පෙර සිටම සිදු වූවාක් මෙන් පසු කාලීනව අමිර්තලිංගම් මහතා සහ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයත් කියා පෑවේ මේ පැහැදිලි සත්‍යයයි.
එවන් තත්ත්වයක් දැක දැකත් මුස්ලිම්වරුන් ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කෙළේ නැත. ත්‍රස්තවාදින් සමඟ එක්ව භාෂා ප්‍රශ්නය මත සිංහල ජනතාව සමග ගැටුම් ඇති කර ගත්තේ ද නැත. ත්‍රස්තවාදීන් සමඟ එදා මුස්ලිම් අය අත්වැල් බැද ගත්තා නම් මේ වන විට ශ්‍රී ලංකාව දෙකඩ වී තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබුණි. ඒ තත්ත්වය අවබෝධ කරගත් මුස්ලිම් සංවිධාන, මුස්ලිම් ආගමික නායකයන් විසින් එය මැඬ පැවැත්වීමට කටයුතු යොදන ලදී. රටේ කොතැනත් සිදුවන ආකාරයෙන් යම් යම් දේශපාලඥයන්ගේ මතවාදයන් ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් උතුරු හා නැඟෙනහිරද ක්‍රියාත්මක වන්නට ඇත. එය උතුරේ හෝ දකුණේ යැයි වෙනසක්ද නැත.
කෙසේ වුවත් මේ සියලු බාධක තර්ජන මැද මුස්ලිම් ජනතාව වසර 30ක්ම යුද්ධයත් සමඟ ඉතාම අසීරුවෙන් දිවි ගෙවූ බවද මෙහිදී පෙන්වා දිය යුතු වේ. ත්‍රස්තවාදී ක්‍රියා අනුමත නොකළ හෙයින් මුස්ලිම් ජාතිකයන් උතුරෙන් පලවා හරින්නට ත්‍රස්තවාදීහු කටයුතු කළහ. විශේෂයෙන්ම මන්නාරමේ දීර්ඝ කාලයක් පදිංචිව සිටි මුස්ලිම් ජනතාව මේ නිසා අනාථ කඳවුරුවලට ගාල් වූ බව රහසක් නොවේ.
අතැමුන් තමන් උන් හිටි තැන් සියල්ල අමතක කර දමා කල්පිටිය වැනි ප්‍රදේශවලට පැමිණ තිබුණි. කාත්තන්කුඩියේ පල්ලියක යාච්ඥා කරමින් සිටි මුස්ලිම් ජාතියන් 108 දෙනකු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ පුවතද මෙහිදී සිහි ගැන්විය යුතු වේ.
භාෂාව එකම හෙයින් ත්‍රස්තවාදීන් සමඟ එක් වූවානම් මුස්ලිම් ජනතාවට මේ කිසිදු කරදර බාධක සිදු නොවනු ඇත. එහෙත් ඒකීය ශ්‍රී ලංකාවක් යන වචනයට සියලු මුස්ලිම්වරුන් ගරු කිරීම ගැන මෙහිදී පෙන්වා දිය යුතු වේ.
අද ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් විවාහ කරගත් සිංහල පුරුෂයන් සිටින අතර සිංහල කාන්තාවන් විවාහ කරගත් මුස්ලිම් පුරුෂයන්ද සිටින බව අප අමතක නොකළ යුතු වේ.
පසුගියදා අම්පාරේ හා දිගනදී වූ සිදුවීම් දෙස සොයා බැලීමේදී අපට පෙනී යන්නේ සුළු සිදුවීම් අනිසි ලෙසින් දිගු කර ගෙන ඇති බවය.
අම්පාරේ සිදුවීමද කිසිදු ආකාරයක පදනමකින් තොරව වූවක් බව මේ වන විට රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව පෙනී යන්නකි.
එහෙත් අම්පාරේ සිදුවීමට වඩා දිගන ඇවිලුණු ගින්න ඉතා භයානකය. එතැන නොහොබිනා ආකාරයෙන් හැසිරුණු මුස්ලිම් තරුණයන් සිවු දෙනකුගේ ක්‍රියාවක් නිසා සිංහල පුද්ගලයකු මිය ගියේය. ඒ ක්‍රියාව කිසිවකු අනුමත කෙළේ නැත. පහර දුන් පුද්ගලයින් සිවු දෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඒ නීතිය අනව කටයුතු කරමිනි. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් කළ යුතු උපරිම දායකත්වය ලබා දෙන්නට කටයුතු කරමින් තිබුණි. මුස්ලිම් තරුණයන් පිරිසක් අතින් සිංහල අයකු මිය ගිය නිසා ඇති විය හැකි අනවශ්‍ය සිදුවීම් වළක්වා ගැනීම පිණිස විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ප්‍රමුඛ බෞද්ධ පිරිස් විසින් කටයුතු කර තිබුණි. එමෙන්ම මුස්ලිම් පිරිස්ද එකතුව අදාළ පුද්ගලයාට ලබා දෙන්නට වන්දි මුදලක්ද ඒ වන විටත් එකතු කර තිබුණි. ඒ අධිකරණයේ ලබා දෙන තීන්දුවට හෝ වන්දියට අමතරවය. මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ භික්ෂූන් වහන්සේ විසින් මනාව කරුණු අවබෝධ කර දීම නිසා මිය ගිය තැනැත්තාගේ ඥාති මිත්‍රාදීන් එය මනාව තේරුම් ගෙන තිබුණි. දේහය කිසිදු අනවශ්‍ය කටයුත්තක් සඳහා හෝ යොදා ගන්නට ඥාතීන් ඉඩ ලබා දී නොතිබුණි.
එතැන සිදුව තිබුණේ මත් වතුර පානය කරන ලද තරුණයන් විසින් අනුවණකමින් සිදු කරන ලද නොමනා ක්‍රියාවක් බව පැහැදිලි වී තිබුණි. ඒ ගැන සියලු දෙනාම කනගාටු වූ බවද මෙහිදී පෙන්වා දිය යුතු වේ. සත්‍යය වටහා ගැනීම නිසා මේ ප්‍රශ්නය එතැනින් විසඳා තිබුණි.
එසේ වුවත් බාහිර පාර්ශ්වයක් විසින් දින කිහිපයකට පසුව මේ සිදුවීම මුල් කරගෙන ගැටුම්කාරී වාතාවරණයක් අරඹා ඇති බව පෙනී යයි. යම් අගතිගාමි බලවේගයක් මේ පිටුපස සිටිනා බවට ඉතා පැහැදිලිය. යම් දේශපාලන සංවිධානයක් හෝ වෙනත් පිරිසක් ඒ පිටුපස සිටියා විය හැකිය. ඔවුන්ගේ අරමුණ රට අස්ථාවර කිරීම හෝ ජාතිවාදී කලබල ඇති කිරීම හෝ විය හැකිය.
ඇත්තෙන්ම මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයකි. රට අරාජික කිරීමට අර ඇදීමකි. ජාතිවාදය ඇවිස්සීමකි.
දිවයින පුරා සිටින මුස්ලිම් ජනතාවගෙන් 40%ක් අධ්‍යාපනය ලබන්නේ සිංහල මාධ්‍යයෙන් බවත් අප සිහි තබා ගත යුතු වේ. ඔවුහු ඉතා හොඳින් සිංහල ජනතාව සමඟින් අධ්‍යාපනය ලබති. සිංහල ජනතාව සමඟ මිශ්‍රව කටයුතු කරති. කිසිදු ගැටලුවක් මතුව නැත.
යුද හමුදාවේ බුද්ධි අංශයේ හිටපු නායකයකු වූ මුතාලිෆ් කොළඹදී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ බව අපට අමතක නැත. එසේම විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරීන් ලෙසත් මුස්ලිම් ජාතිකයන් සිටින අතර යුද හමුදාවේ මුස්ලිම් බ්‍රිගේඩියර් වරුන් පවා මේ වන විටත් සේවයේ යෙදී සිටිති.
යම් යම් කාලවලදී ඇති වූ සුළු සුළු ගැටලු හැරෙන්නට සිංහල හෝ මුස්ලිම් ජනතාව අතර ගැටලු ඇති නොවුණි. 1915 දී පවා ඇති වූ කැරැල්ල ඇත්තෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ජාතික අසමඟිය පිණිස ඇති කරන ලද කැරැල්ලක් බව අප තේරුම් ගත යුතු වේ. ඒ තත්ත්වය එදා තේරුම් ගත්තානම් ඒ ගැටුම එදා ඇති නොවනු ඇත.
මුස්ලිම් ආගමිකයන් දවසකට පස් වතාවක් ආගම ඇදහිය යුතු වේ. පංච කාල සලාතය යනුවෙන් හඳුන්වන්නේ මේ ආගම ඇදහීමයි. පල්ලියේදී හිස නමා යළි සිරස ඍජු කිරීමේදී දෙපස සිටින දෙදෙනාගේ උරහිස් තම උරහිස් හා ගැටෙන සේ නැඟී සිටීමෙන් සහෝදරත්වය විදහා පානු ලැබේ. බුදු දහමේ සමානාත්මතාවය උගන්වා ඇති අයුරින්ම ඉස්ලාම් ආගමේද සමානාත්මතාව උගන්වා ඇත. එම නිසා ආහාර ගන්නා විශේෂ අවස්ථාවලදී හෝ උත්සවයකදී සවරානට සය දෙනකු එකතු වී ආහාර ගැනීම සිදු කෙරේ. තමන් සමඟ ආහාර ගන්නා අනෙක් පිරිස ඇතැම් විට තමන් නොදන්නා පිරිසක් විය හැකිය.
මුස්ලිම් පල්ලි තුළ සිදුවන කාර්යයන් සම්බන්ධයෙන් සිංහල කොමිසම ඉදිරියේ පැහැදිලි කිරීම් සිදු කර ඇත. ඒ අයුරින්ම විහාරස්ථානයන් තුළ සිදුවන කාර්යයන් සම්බන්ධයෙන්ද මුස්ලිම් ජනතාවද දැනුවත් කළ යුතු වේ. ආගමික ස්ථාන සම්බන්ධයෙන් අනෙක් ආගමිකයන් දැන ගැනීම මෙහිදී විශේෂයෙන්ම වැදගත් වේ. එවන් තත්ත්වයන් තුළදී ආගමික සහජීවනය ඇති වන බව තේරුම් ගත හැකිය. මේ ආගමික ස්ථාන දෙකම ජනතාවට විවර වන ක්‍රම සකස් කළ යුතු වේ. මුස්ලිම් ජාතිකයන් විහාරස්ථානයට ගොස් සිදු කළ යුතු වත් පිළිවෙත් සම්බන්ධයෙන් මනා දැනුමක් ලබා ගන්නේ නම් හා බෞද්ධයන් මුස්ලිම් පල්ලි සම්බන්ධව විස්තර දැන ගන්නේ නම් මේ අනවබෝධයන් බොහෝ දුරට වළක්වා ගත හැකි වනු ඇත.
රුවන්වැලි සෑයට කප්රුක් පූජා කිරීමේදී අවශ්‍ය කප්රුක් ප්‍රමාණය සිංහල බෞද්ධයන්ට වඩා ඇතැම් අවස්ථාවට මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් දැනගෙන කටයුතු කරන්නා සේ අනෙක් සිදුවීම් සම්බන්ධයෙන්ද මේ දැනුවත් වීම අවශ්‍ය වේ. විහාරස්ථානයෙන් ජනතාව යහමඟට යොමු කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීම් කළ යුතු වේ.
ආගමික නිදහස මනා ලෙසින් උදා කරගත හැක්කේ එවිටය. අද ඇතැම් මාධ්‍ය මඟින් පවා මේ තත්ත්වය අවබෝධ කර ගෙන ඇති බවක් නොපෙනේ.
මල්වතු මහා විහාරයීය මහ නාහිමියන් කුරුණෑගල ප්‍රදේශයේ බෞද්ධ ඉඩමක මුස්ලිම් ජාතිකයන්ට නිවාස තනා දී ඇත. එවන් සහෝදරත්වයක් දිගින් දිගටම පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ.
1983 වසරේ කළු ජූලිය අප අමතක නොකළ යුතුය. ඒ අහිමිරි අත්දැකීම එදා සිට 2009 වසර වෙනතෙක් පරම්පරා තුනකට පමණ ඉතාම ශෝකජනක වු බව අප අමතක නොකළ යුතු වේ. අපේ රට යුද්ධයෙන් බේරා ගත්තා සේම රටේ ඇති වන්නා වූ මෙවන් අමිහිරි සිදුවීම් වළක්වා ගැනීමට ක්‍රමවේදයක් ජනතා සිත් තුළ ඇති කළ යුතු වේ.
මුස්ලිම් ජනතාව ව්‍යාපාර මුල් කරගෙන ජීවත් වන පිරිසක් වන අතර මේ වන විට අධ්‍යාපනයෙන්ද ඔවුන් ඉහළට ගමන් කිරීම අරඹා ඇත. එසේ වුවත් මේ වන තෙක් උසස් අධ්‍යාපනයට වරම් ලබන සිසුන්ගෙන් මුස්ලිම් සිසුන් සිටින්නේ 7%ක් පමණකි.
මෙරට දියුණුවට මහත් කැපවීමක් කළ ටී.බී. ජායා මහතා පවසා ඇත්තේ පළමුව රට ගැන සිතා පසු කාලීනව අනෙකුත් අභ්‍යන්තර කටයුතු ගැන සිතා බැලිය යුතු බවයි. ඔහු පමණක් නොව සිද්ධි ලෙබ්බෙ වැනි අය මේ රටේ නිදහස වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළ බව අප අමතක නොකළ යුතුයි.
අප හොඳින් අවබෝධ කර ගත යුත්තේ අප යායුත්තේ කොතැනටද යන්නයි. 1983 යුගයට අප යළිත් රට ගෙන යනවාද? එසේත් නැත්නම් සමඟි සම්පන්නව රට තුළ සාමය ඇති කර ගෙන කටයුතු කරනවාද යන්න ගැන අය සිත්හි තබා ගත යුතු වේ.
ඉස්ලාම් ආගම තුළ කිසිදු විටක හිංසාවක් සිදු කළ යුතු බවක් හෝ ආගම බලෙන් පැටවීමක් හෝ දක්වා නැහැ. අනෙක් අයට හැකි පමණ උදවු උපකාර කළ යුතු බව ඉස්ලාම් දහමේ දක්වා ඇත. අල් කුරානයේ දක්වා ඇත්තේ ‘ඔබේ විශ්වාසයෙන් අඩක් ඔබේ මවුරට වෙනුවෙන් පුද කරන්න‘ යන්නයි. ආගමෙහි කිසිදු බලකිරිමක් නැත. (බකරා 2:256) දක්වා ඇත. එසේම ‘දෙවියන් පිළිබද විශ්වාස කරන්න සලාතය හා ඉවසීම මඟින් උපකාර පතන්න අල්ලාහ් ඉවසන්නන් සමගඟ සිටී‘ (153) දක්වා තිබේ.
යහපත් වචන හා සමාව දීම හිංසාවන් හා බැඳුණු දන් දීමට වඩා යහපත්ය. අල්ලාහ් ස්වයංපෝෂිත වූ ද සන්සුන් ස්වභාවයද ඇත්තාද වේ (263) අල්ලාහ් වෙළෙඳාම අනුමත කොට පොලිය තහනම් කොට ඇත. (275) අල්කුරානයේ මෙසේද චක්වා ඇත.
‘සාමකාමීව කටයුතු කරන කවර ආගමිකයෙක් හෝ වේවා ඔහුට උපකාර කිරීමත් යුක්ති ගරුකව කටයුතු කිරීමත් අපගේ යුතුකමයි‘
‘අපි එක පියකුගේ හා මවකගේ දරුවෝ වෙමු. ගෝත්‍ර හා වාර්ගික වශයෙන් බෙදී වෙන්ව සිටිමු. එය අප එකිනෙකා හඳුනා ගන්නටය. දෙවියන් ඉදිරියේ උතුම් වනුයේ භක්ති පූර්වකව කටයුතු කරන්නාය.
බුදු රජාණන් වහන්සේද දේශනා කර තිබෙන්නේද කෙනෙකුට උපකාර කිරීමේදී ඔහුගේ කුලගොත් ජාතිය ආදිය දෙස නොබලන ලෙසයි. බුදු රජාණන් වහන්සේ තමන්ට අසීමිත ලෙස කරදර බාධක පැමිණ වූ දෙව්දත් තෙරටත් වෛර නොකළා සේ නබි නායකතුමන් සම්බන්ධයෙන්ද එවන් උදාහරණ දැක්වීමට පුළුවන. එවන් එක් අවස්ථාවක් මෙසේ දක්වමු.
නබි නායක තුමා පල්ලියට යන ගමන් මඟ අසල ඉහළ බිමක සිටි කාන්තාවක් දිනපතාම නබි නායක තුමාට හිරිහැර බාධක වන සේ කුණු කසළ දමා ඇත. නබි නායක තුමා ඒ සම්බන්ධයෙන් කිසිදු වෛරයක් කෙළේ නැත. හදිසියේම නබි නායක තුමාට ඒ කාන්තාව දැක ගන්නට නොහැකි විය. එතුමා ඒ කාන්තාව සොයා ගියේය. ඇය රෝගීව සිටින බව දැන ගත්තේය. තමා බලන්නට ආවේ නබි තුමා බව දැනගත් කාන්තාව බොහෝ සේ වික්ෂෝප විය. කිසිවකුට හිරිහැර නොකළ යුතු බව නබි තුමාණන් ඇයට කාරුණිකව පැවසූ බවත් අපට දැන ගන්නට ඇත.
පසුගිය දිනවල රටේ සිදුවූ සිදුවීම් අප සියලු දෙනාටම මහත්ම වූ හානියක් ව්‍යසනයක් බව අප තේරුම් ගත යුතුය. රට තවත් ආර්ථික වශයෙන් පසුගාමී වනු ඇත. මේ වන විට ද රටට සංචාරකයන් පැමිණීම මෙන්ම ආයෝජන පැමිණීම සම්බන්ධයෙන්ද බාධක ගැටලු පැමිණ තිබේ. පළමුව රට ගැන සිතමු. දෙවනුවත් රට ගැන සිතමු. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් යැයි සිතමු. එවිට මේ ගැටලු කිසිවක් ඇති නොවේ.
තාරක වික්‍රමසේකර