
උපන් දිනය?
1948 ජූලි 15
* උපන් ගම?
රඹුක්කන හේවාදිවෙල
* උප්පැන්නයේ නම?
සිංහලගේ නිමල් ගුණසේකර
* දෙමවුපියෝ?
පියා ජේමිස් පියසේන, විදුහල්පතිවරයෙක්. මව එස්ටර් සෝමාවතී, රජයේ හෙද නිලධාරිනියක්.
* සහෝදර සහෝදරියෝ?
සහෝදරයෝ දෙකයි සහෝදරියෝ තිදෙනයි.
* මුලින් ම අකුරු කළේ?
හේවාදිවෙල සී.එම්.එස්. විද්‍යාලය
* පසුව?
කුරුණෑගල මලියදේවය
* පාසල් අධ්‍යාපනයෙන් පසු?
රජයේ කලායතනයෙන් ගාන්ධර්ව විභාගය සමත් වෙනවා.
* ඔබ පාසල් වියේදීම සංගීතයට පෙම් බඳින්න පටන් ගන්නේ ගෙදර වටපිටාව බලපාල ද?
ඔව් කිව්වොත් නිවැරැදියි! අපේ අම්මට හොඳට ගීත ගායනය කරන්න පුළුවන්. ඒ ආභාෂය මගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් බලපෑවා.
* එතකොට පියා?
එයාට ගීත ගායනයේ හැකියාවක් තිබුණේ නෑ. මගේ මව කතෝලික පල්ලියේ ගීත ගායනය කැර තිබුණා.
* පියාගේ ආගම?
ඔහු බෞද්ධ. දෙන්න ආගම් දෙකක නිසා අපට ආගමක් නැතිව ගියා.
* ඔබ පාසල් අවධියේ කෙබඳු චරිතයක් ද?
සංගීතයට වගේ ම අධ්‍යාපනයේ හැකියාව මට තිබුණා. හැමදාම මා පන්තියේ පළමුවැනියා හෝ දෙවැනියා... ආ තව දෙයක් කිව යුතුයි.
* කියන්න?
ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරයන් මගේ පන්තියේ. ප්‍රවීණ සංගීතවේදී ටී.එම්. ජයරත්නයන් අපට වඩා පන්ති දෙකක් ඉහළින් සිටියා.
* ඔබ ජීවිතය අරඹන්නේ සංගීතවේදියකු හැටියට?
නෑ! ඔබ වැරැදියි.
* එහෙනම්?
මගේ පළමු රැකියාව ගුරු වෘත්තිය.
* කොහෙද පාසල?
කැකිරාවේ ගල්කන්ද විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස මට පත්වීමක් ලැබුණා. ඒ 1972 වසරේ.
* සංගීතයට පෙම්බැඳි, සංගීතය හැදෑරූ ඔබ ඉංග්‍රීසි ගුරුවරයකු බවට පත්වෙනවා?
ඔව්! 1972 සිට 1976 වෙනකල් ම. එම පාසලේ සේවය කළා. එතකොට මගේ මාසික වැටුප රුපියල් දෙසිය විසි පහයි.
* පසුව?
1976 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වාද්‍ය ශිල්පීන් බඳවා ගන්නවා කියා පුවත්පත් දැන්වීමක් දැක මා එයට ඉල්ලුම් කළා.
* එතකොට ගුරු වෘත්තිය?
මගේ ගීත තිබුණේ සංගීතයට වාද්‍ය ශිල්පීන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී මා කොළඹට එනවා.
* මොකක්ද ඔබේ වාද්‍ය භාණ්ඩය වුණේ?
වයලීනය
* රජයේ සේවයෙන් ඉවත් වෙනවා?
ඉවත් වෙනවා පමණක් නොවෙයි. වාදක මණ්ඩලයේ රැකියාව ස්ථිර එකකුත් නොවෙයි.
* ජීවිතයේ විශාල අවදානමක් ගන්නවා?
ඔව්! මා වාදක මඬුල්ලේ නායකයා දක්වා ඉහළට ගියා. වසර විසි අටක් එහි සේවය කළා. නමුත් කිසි දිනක ස්ථිර සේවයේ හිටියේ නෑ!
* ඇයි?
අපේ ජීවිතත් ස්ථිර නැති එකේ මොන ස්ථිර සේවයක් ද? (සිනා)
* ගුවන් විදුලි වාදක මඬුල්ලට එකතු වෙන විට කවුද එහි නායකයා?
සෝමදාස ඇල්විටිගලයන්
* ඔබ වාද්‍ය ශිල්පියෙක් හැටියට සහභාගි වුණ ප්‍රථම ගුවන් විදුලි ගීතය?
දයාරත්න හා අමරා රණතුංග යුවළ ගායනා කරන රාධා ක්‍රිෂ්ණා රාම සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි කියන ගීතය
* සංගීතවත් කළේ?
සරත් ද අල්විස්
* මේ වයලින් වාදන ශිල්පියා රටක් වසඟයට ගත් ගායකයෙකු වීමේ කතාව කියන්න?
ඒක මහ අපූරු සිදුවීමක්
* ඒ අපූරු සිදුවීම තමයි මා ඔබගෙන් ඇසුවේ?
එක් ජ්‍යෙෂ්ඨ ශිල්පියෙකු නිසා මා ගායකයකු වුණා කියලා ලියන්න. හැබැයි ඒ ශිල්පියා අද මගේ ළෙන්ගතුම මිත්‍රයෙක්.
* ඒ කතාව පසෙකින් තබමු. ගායනා දිවිය ඇරඹෙන්නේ කොහොමද කියා මා ඇසුවොත්?
ඔබේ ආයතනයේ (ලේක්හවුස්) හිටිය නිමල් ජූලිගේ කියලා මගේ හොඳම මිත්‍රයෙක්.
* ඉතිං?
ඔහු කිව්වා දවසක් නිමල් උඹ සින්දු කීපයක් කරපන් මම උදව් කරන්නම් කියලා. ඔහු සින්දු දෙකකුත් ලියල දුන්න.
* මොනවද ඒ?
ආවාට තිබුණත් නිසසල සඳ මත හා නංගිලාට වාසි බෝ අගේ...!
* එක් රැයකින් මේ ගීත ජනප්‍රිය වෙනවා?
ඔව්! ඔය කාලේ සරල ගී නවතා දමා තිබුණේ. ඉතිං ගීත හඳලා ගිහින් දුන්නම ගුවන් විදුලියෙන් පරීක්ෂා කරලා ප්‍රචාරය කරනවා.
* ඔබ මේ ගීත දෙක ගායනා කරල ගිහින් දුන්නා?
නෑ! ගීත දෙකක් නොවේ ගීත හතරක් සහිත කැසට් එකක්.
* එතකොට අනෙක් ගීත දෙක ලිව්වේ?
එකක් සිළුමිණේ හිටපු කතුවරයෙක් වූ ප්‍රවීණ ලේඛක කරුණාදාස සූරියආරච්චි, අනෙක මම.
* සංගීතවත් කළේ?
මම! මේ ගීත ජනප්‍රිය වෙලා සෑහෙන කල් යනතුරු ගුවන් විදුලියේ සමහර අයවත් දැනගෙන හිටියේ නෑ ගායනය කරන්නේ කවුද කියලා.
* මුලින්ම මේ ප්‍රචාරය වුණේ?
1982 දී.
* ඔබේ ගායනා දිවියේ රස මුසු තැන් එමට ඇති එකක් දෙකක් මතක් කළොත්?
ආ... මේ සිදුවීම මා ගායනා ක්ෂේත්‍රයට ආ අලුත දෙමටගොඩ ප්‍රසංගයක් සඳහා මා වේලපහින්ම එතනට ගියා. ගිහින් කිව්වා මා අහවලා කියලා.
* ඊට පස්සෙ?
කෙනෙක් මා ඇදලා අරගෙන ආ... එන්ඩ... එන්ඩ දොරේ කියලා මාව කාමරයකට අරගෙන ගියා ගිහින් කියනවා දොරේ... දැන් දෙකක් ඇන ගන්ඩ ඊට පස්සේ අඹරන්න පුළුවන් කියලා.
* හරිම අකරතැබ්බයක්?
අකරතැබ්බයක්ද කියන්නේ, මාව ෆුල් හොල්මන්වෙලා ගියා.
*කොහොමද මෙතැනින් ගැලවුණේ?
එතකොටම එම්.එස්. ප්‍රනාන්දු එතනට ආවා. ඔහුට තේරුණා මා පත්වී සිටින තත්ත්වය. ඔහු කිව්වා ගණන් ගන්න එපා මෙහේ භාෂාවයි හැසිරීමයි ඔහොම තමයි කියලා.
* මෙම සිදුවීම තුළ තව කතාවක් තිබෙන බව පෙනෙනවා. එදා ප්‍රසංග සංවිධායකයෝ කලාකරුවන්ට ආගන්තුක සත්කාර කරන්න ළෙන්ගතුව සිටිය කියා?
ඔබ හරියටම හරි! අද ඇතැම් සංවිධායකයෝ අපි ප්‍රසංගයට ගියාට වාඩිවෙන්න පුටුවක් දෙන්න තරම්වත් නිහතමානී නෑ.
* සමාජය වෙනස් වෙලා?
ඔව්! අද තිබෙන්නේ ගනු දෙනුවක් පමණයි. අපි උඹට සල්ලි දුන්න ඇවිල්ල සින්දු කියල පලයන් ඉන් එහාට දෙයක් නෑ!
* ඔබ සින්දු සිය ගණනකට සංගීත නිර්මාණය කරල ඇති. ඒ වුවත් චිත්‍රපට පසුබිම් සංගීත නිර්මාණය කළ වගක් දැන ගන්න නෑ?
ඔව්! මා සංගීතය කළ චිත්‍රපට මෙතෙක් තිබුණේ නෑ. හැබැයි චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.
* මොනවද ඒ?
වෙන්ඩෝල් ආයතනය නිෂ්පාදනය කළ ‘ශ්‍රී වික්‍රම’ සහ ‘එකම රෑනෙ කුරුල්ල’ කියලා.
* ඔබේ ගීතවල සංගීතයත් ඔබේ?
නෑ! සියලු ගීතවල සංගීතය මගේ නෙවෙයි. රෝහණ වීරසිංහ, මර්වින් පෙරේරා සරත් දසනායක ආදී වශයෙන් මගේ ගීතවලට සංගීතය නිර්මාණය කැර තිබෙනවා.
* ආධුනික අවධියේ සිටි බොහෝ සංගීත ශිල්පීන්ට ඔබ අත හිත දුන් බව කියවෙනවා?
ඔව්! එහි සත්‍යතාවක් තිබෙනවා.
* නම් කීපයක් සඳහන් කළොත්?
ජානක වික්‍රමසිංහ, සෝමසිරි මැදගෙදර , කුවින්ටස් අධිකාරි වගේ අය.
* අද නව පරපුරේ ගීතය හා සංගීත ශිල්පීන් පිළිබඳ ඔෙබ් අදහස කියන්න?
අද සිටින ශිල්පීන් අපට සිතා ගන්නටත් බැරි තරමට ශිල්පීය වශයෙන් ඉහළම තැනක සිටිනවා. හැබැයි ඒ ශිල්පීය වශයෙන් පමණයි.
* එහේනම්?
අනුභූතීන් වශයෙන් හරයාත්මක වශයෙන් ඉතාමත් නිසරු තත්ත්වයකයි සිටින්නේ.
* ප්‍රවීණයන් වශයෙන් මේ තත්ත්වයට මේ පරපුර වගකිව යුතු නැතිද?
නෑ! මේ රටේ තිබූ සරල ජීවන පෙවෙත වෙනස් කළ කෘෂිකර්මය එපා කියපු විවෘත ආර්ථිකය ගෙනා උදවිය මෙයට වගකිව යුතුයි.
* මේ රටේ ටෙලිනාට්‍ය ගැන යමක් කියන්න?
අපේ රටේ ටෙලිනාට්‍ය කලාව කඩුල්ල ළඟින් නතර වුණා.
* ඒ කියන්නේ?
බලන්න! ප්‍රඥාව අවධි කරන නිර්මාණ අද බිහිවෙනවද? අවර ගණයේ නිර්මාණ හැම නාළිකාවකම වැහි වැහලා.
* ඔබේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකක් දැන ගන්න කැමැතියි?
මගේ බිරිය රේණුකා ද සිල්වා. ඇයගේ ගම මොරටුව විල්ලෝරවත්තේ.
* දරුවෝ?
මට දරුවන් සිවු දෙනකු සිටිනවා. පුතුන් තිදෙනයි එක දුවයි.
* ඒ අය මොනවද කරන්නේ?
ලොකු පුතා සචිත් හා දෙවැනි පුතා හස්මින් විවාහකයි. මට එක මිනිබිරියක සිටිනවා. ඇය ආන්‍යා ශලීලා. තෙවැනි පුතා හර්ෂ.
දියණිය?
ඇය රිද්මා තරංගනී ගුණසේකර. මේ වසරේ උසස් පෙළ කරනවා.
* ප්‍රවීණයකු ලෙස නව පරපුරට මොනවද ඔබට කියන්න තියෙන්නේ?
අනේ...! ආත්මාර්ථකාමී නම් වෙන්න එපා.
රම්‍යතිලක තල්පිට