
ඇඳුම් අඳින්නේ විළි වසා ගැනීමට ය . එහෙත් ' නිරුවත් වානරයා ' නම් සුප්‍රකට කෘතිය රචනා කළ මානව විද්‍යාඥ ඩෙස්මන් මොරිස් ඇදුම් ගැන කියන්නේ පුදුම කතාවකි . ඔහුට අනුව මිනිසා මුලින් ම කෙළේ කොළ අතු යනාදියෙන් තම රහස්තැන් වසා ගැනීම ය . ඇඳුම එතැනට පමණක් සීමා විය . රහස් තැන් පමණක් වසා ගත්තේ විළි වසා ගැනීමට නොව ඒ තැන් කෙරෙහි විරුද්ධ ලිංගිකයාගේ වැඩි අවධානය යොමු කැර ගැනීමට ලු ! සත්ත්ව පරිණාමය සහ අනුවර්තනය ආශ්‍රිත සාක්ෂි සාධක සම්භාරයක් ඉදිරිපත් කරන ඔහු තම මතය තර්කානුකූලව තහවුරු කරයි . ඇතැම්විට ඔබ ඒ මතය නො පිළිගන්නවා විය හැකිය .
හොඳයි නිකමට හිතන්න අද අප ඇදුම් අඳින්නේ හුදෙක් විළි වසා ගැනීමට පමණක් ද ? එහෙම නම් මේ තරම් නානා ප්‍රකාර විසිතුරු මෝස්තර විලාසිතා මොකට ද ? විළි වසා ගැනීමේ ප්‍රාථමික වුවමනාවට වඩා ඇඳුමේ සමාජ හා මනෝ විද්‍යාත්මක භාවිතය ඉහළට ම එසවී තිබෙන්නේ අන් කිසිවක් සඳහා නොව අනෙකා ඉදිරියේ ආකර්ශනීය ලෙස පෙනී සිටීමට ය . ඩෙස්මන් වියතාගේ මතය අන් කවරදාටත් වඩා අද ඉතා හොඳින් තහවුරු වන්නේ ඇස ගැටෙන ඇදුම් විලාසිතාවල ඇති අනෙකාගේ නෙත් පැහැර ගන්නා අංග එන්න එන්න ම වැඩිවෙමින් තිබෙන නිසා ය .
මේ ඇඳුමට විවිධාකාර වර්ණ රටා එක්වේ . අනෙකා ඉදිරියේ වඩාත් ආකර්ශනීය ලෙස පෙනී සිටීමට ඔබ ඉතා ආශාවෙන් තෝරා ගන්නා ඇඳුමේ වර්ණය මගින් ඔබේ මානසිකත්වය ද අනාවරණය වේ .බටහිර මනෝ විද්‍යාව විසින් මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන ඇති තොරතුරු විස්මිත ය . ඔබ කොතරම් ආශා කළ ද ඔබ තෝරා ගන්නා වර්ණය ඔබට ගැලපෙනවා ද ? මෙය විසඳා ගැනීමට පෙරදිග මෙන් ම අපරදිග ද එකලෙස භාවිතයට ගත් වසර දහස් ගණනක් පැරණි සූත්‍රයක් තිබේ . එමගින් ඔබේ මිතුරු වර්ණය සහ සතුරු වර්ණය හඳුනාගත හැකිය .
මිතුරු වර්ණය සහ සතුරු වර්ණය සොයන්නේ උපන් ලග්නය අනුව ය .
# මේෂ ලග්නයට රතු වර්ණය ජයගෙන දෙන අතර සුදු සහ කහ පැහය මිතුරු වේ .නිල් සතුරු ය .
# වෘෂභ ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ නිල් මිතුරු ය .
# මිථුන ලග්නයට කොළ පැහැය ඉතා සුබ වේ . සුදු සහ නිල් මිතුරුවේ . කහ පැහැය සතුරු ය .
# කටක ලග්නයට සුදු ඉතා සුබය . කහ සහ රතු පැහැය මිතුරු ය . විචිත්‍ර වර්ණ අසුබ ය .
# සිංහ ලග්නයට තැඹිලි පැහැය ජයගෙන දෙන අතර සුදු සහ කහ මිතුරු ය .
# කන්‍යා ලග්නයට කොළ පාට ඉතා සුබය. සුදු සහ විචිත්‍ර වර්ණ මිතුරු වේ . කහ පාට අසුබ ය .
# තුලා ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ කොළ මිතුරු ය . තැඹිලි පාට සතුරු ය .
# වෘශ්චික ලග්නයට රතු ඉතා සුබය . තැඹිලි වර්ණය මිතුරු ය .
# ධනු ලග්නයට කහ පැහැය ජයගෙන දෙන අතර සුදු , සහ නිල් මිතුරු ය .කොළ පැහැය සතුරුය .
# මකර ලග්නයට නිල් පැහය ජයගෙන දේ . සුදු ,කොළ සහ විචිත්‍ර වර්ණ මිතුරු ය .රතු පාට සතුරුය .
# කුම්භ ලග්නයට නිල් පැහැය සුබවේ . සුදු සහ රතු වර්ණ මිතුරු ය .විචිත්‍ර වර්ණ සතුරුය .
# මීන ලග්නයට කහ පැහැය ඉතා සුබය . සුදු රතු සහ නිල් මිතුරුය .කොළ පැහැය සුබ නැත .
විශේෂයෙන්ම මැණික් වර්ග සහ ආභරණ පැළඳිමේදී මේ සූත්‍රය නොතකා හැරීම බලවත් වරදකි . එහෙම වෙන්නේ ඇයි ? ඉහත දැක්වෙන වර්ණ සූත්‍රය සකස් කැර තිබෙන්නේ නිකං සෙල්ලමට නොවේ . ඒ සඳහා පදනම් වූ සිද්ධාන්තය තේරුම් ගත්විට ඔබට එහි ඇති අවදානම ද පසක්වනු ඇත.
සෑම පුද්ගලයෙකුට ම තම ඉටු දෙවියන් මෙන් පිහිටවන ග්‍රහයෙක් සිටී . ඔහු ලග්නාධිපති හෙවත් පාලක ග්‍රහයා ලෙස හදුන්වමු . සෑම අනතුරකින් ම ජන්මියා ගලවා ගනිමින් ද පෝෂණය කරමින් ද හැකි සෑම ආකාරයකින් ම ජීවිතය උසස් කරමින් ද පාලක ග්‍රහයා සෙනෙහෙවන්ත පියෙකු මෙන් ක්‍රියා කරයි . ඒ කටයුතුවලට අවහිර කරන ග්‍රහයෙක් ද සිටී . ඔහු බාධක ග්‍රහයා ලෙස හැඳින්වේ . ජන්මියාගේ සෑම කටයුත්තකට ම බාධා අවහිර ඇති කිරීම ඔහුගේ කාරිය වේ . දැන් මෙතැනට වර්ණ සම්බන්ධ වන්නේ මෙසේ ය . සෞරග්‍රහ මණ්ඩලයේ වර්ණ සංකේතවත් කෙරෙනුයේ ග්‍රහයන් ගෙනි . හිරුගේ ආලෝකය එක් එක් ග්‍රහයා විසින් පරාවර්තන කරනු ලබන්නේ තමාට ආවේණික වර්ණයකිනි. සඳු සුදු පැහැයට අධිපතිනිය වේ . ඇය හිරු කිරණ පරාවර්තනය කරනුයේ සුදු පැහැයෙනි . ඒ අනුව බුධ කොළ පැහැය ද කුජ රතු පැහැය ද සිකුරු විචිත්‍රවත් පැහැයෙන් ද සෙනසුරු තද නිල් පාටින් ද ගුරු කහ පැහැයෙන් ද ආලෝකය පරාවර්තනය කරයි . යම් කෙනෙකු තම බාධක ග්‍රහයාට අයත් වර්ණයෙන් යුත් මැණික් හෝ එබඳු පාෂාණ හෝ ලෝහ වර්ග හෝ පැළදීම මහින් සිදුවන්නේ පාලක ග්‍රහයාට සහ තමාට එරෙහි කිරණ විශාල වශයෙන් කැඳවා ගැනීම ය . විශේෂයෙන්ම මැණික්වලට එබඳු කිරණ ඇදී එන්නේ කාන්දමට ඉදිකටු ඇදී එන්නාටත් වඩා දහස් ගුණයක වේගයෙනි . එහි විපාකය ඔබ සිතනවාට වඩා බිහිසුණු ය . කරන කියන වැඩ කඩාකප්පල් වීම පමණක් නොව දරුණු රෝගාබාධවලට පවා ගොදුරු වන්නට සිදුවේ .
දුටුමතින් හෝ ඇසට ප්‍රිය නිසා හෝ අන් කෙනෙකු අනුකරණය කරන මෝස්තරයට හෝ මැණික් , පාෂාණ , සහ ලෝහ වර්ග සහිත ආභරණ පැළදීම අනතුරුදායක ය . සතුරු වර්ණයකින් යුත් ඇඳුමකින් ඇතිවන්නේ තාවකාලික සහ සුළු බලපෑමකි . එහෙත් සිරුරේ පැළඳිමට ගන්නා ආභරණ නිසා ඇතිවන බලපෑම දිගුකාලීන මෙන් ම බරපතළ ගණයට ද වැටේ . අහක යන විෂ ඝෝර සර්පයන් රෙද්ද අස්සේ දාගන්නවා යැයි කියන්නේ මෙවැනි අවස්ථාවලට ය . නිදසුනකට තුලා ලග්නහිමියෙකු ගතහොත් රවි ඔහුගේ බාධක ග්‍රහයා ය . රවිට අයත් තැඹිලි පැහැය පමණක් නොව තඹ ලෝහය සහ පද්මරාග නම් මැණික් වර්ගය ද ඔහුට විෂ සහිත ය . තුලාවට විචිත්‍ර වර්ණ මෙන් ම දියමන්ති සුදු මැණික් සහ රිදී ලෝහය ඉතා හිතකර වන්නේ එමගින් ඔහුගේ පාලක ග්‍රහයාවන සිකුරුගේ කිරණ ආකර්ෂණය බලවත්වන හෙයිනි. ධනුවට කොළ පැහැය ද පච්ච පසිංගල් මැණික් ද විෂ සහිත ය . ඔහුට සුබපල දෙන්නේ පුෂ්පරාග නම් කහ පැහැති මැණික් වර්ගය යි . මේ අනුසාරයෙන් ඔබේ ලග්නයට මිතුරු වර්ණ , මැණික් පාෂාණ සහ ලෝහ වර්ග හඳුනා ගන්න . සතුරු ඒවා ඉවත් කරන්න . එහි ප්‍රතිඵලය ඔබට ම පසක් කැර ගත හැකිය .
වෘශ්චික ලග්නයට හැර අනෙක් සියලු ලග්නයන්ට සුදු පැහැය සහ මුතු වර්ග මිතුරු වේ . සියලුම ලග්නවලට පොදුවේ කළු පැහැය සුබ වර්ණයක් ලෙස නො සැලකේ . විශේෂයෙන්ම කළු සහ එවැනි තද අඳුරු වර්ණ සහිත යට ඇඳුම් දුරින් දුරු කළයුතු නමුත් ඒ බව බොහෝ දෙනා නො දනිති . යටට කළු සහ අඳුරු වර්ණ අඳින ඇතැමුන් ඒ ගැන කියන්නේ හිනා යන කතාවකි . '... කළු ඇන්ඳහම ඉක්මනට කිළිටි වෙන්නේ නැහැලු..' නමුත් ඇත්ත කතාව වන්නේ සියලු වර්ණ අතරින් ඉතා ඉක්මනින් කිළිටි වන්නේ කළු වර්ණය යි . සිදුවන්නේ එය නොපෙනී ම පමණි . කළු සහ එවැනි අඳුරු වර්ණ ඉතා වේගයෙන් සහ මහ පරිමාණයෙන් ආලෝකය සහ තාපය ඇද ගන්නා අතර පරාවර්තන බලයෙන් ඉතා ම දුර්වල වේ . යටට අඳින කළු විෂ ගොඩක් වන්නේ එහෙයිනි .
අප ජීවත්වන්නේ පාට පාට ලස්සන ලෝකයක නමුත් ඒ පාට තෝරා ගත යුත්තේ යමක් කමක් දැනගෙන ය .
කේ. සී. ජේ. රත්නායක