අපේ යාළු විහඟටයි නංගිටයි පුංචි ගෙයක් හදමු! | සිළුමිණ

අපේ යාළු විහඟටයි නංගිටයි පුංචි ගෙයක් හදමු!

 මේ කන්තලේ අධ්‍යාපන කලාපයේ අතිදුෂ්කර හුදෙකලා පාසලක් වන තඹලගමුව ජයපුර විද්‍යාලයේ සිසුන්ගේ අධිෂ්ඨානයකි‍. ඒ වෙනුවෙන් විදුහල්පති ගුරු මණ්ඩලය පාසල් ප්‍රජාව එක්ව 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන විහඟ නෙත්සර ශිෂ්‍යයාට ගෙයක් සෑදීමේ කටයුතු ආරම්භ කොට ඇත. විහඟ ශිෂ්‍යාගේ පියා ඔවුන් අතැහැර ගොස්ය. නංගි (3) සහ මව සමඟ විහඟ අන්සතු නිවෙසක කුඩා කාමරයක කාගේවත් පිළිසරණක් නොමැතිව ජීවත් වේ. මවට රැකියාවක් නැත. ඉගෙනුමට අවශ්‍ය පහසුකම් ගුරුමණ්ඩලය එක්ව විහඟට සපයා දී තිබේ. මේ පිළිබඳව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ ශ්‍රීපති මහත්මියට සැල වීමෙන් පසු පාසල ආසන්නයේ හිස් ඉඩමකින් පර්චස් 15ක් ලබා දීමට පියවර ගත්තාය. මේ සත්කාර්යය පිළිබඳ අදහස් දක්වන විදුහල්පති කේ ඩී විජේපාල මහතා මෙසේ කීය:

"පාසල් සංවර්ධන කමිටුව සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළා. කමිටුවේ අනුමැතිය ඇතිව අපි මේ වැඩේ කරනවා. අපිට හුඟ දෙනෙක් ආශීර්වාද කළා. ගල්මැටියාව සිරිධම්ම හිමියන්ගේ ආශීර්වාද අනුශාසනා පරිදි මේ නිවෙස තැනීමේ කටයුතු අපි ආරම්භ කරනවා. උදවු කරන්න කැමැති අයට අපි ආරාධනා කරනවා."

මේ වන විටත් තඹලගමුව පොලීසිය මේ කටයුත්තට සහාය වීමට කැමැත්ත පළ කර තිබේ. තිස්සපුර යුද හමුදා කඳවුරටත් සිවිල් ආරක්ෂක බළකායටත් මේ සත්කාර්යයට සහභාගි වීමට ඇරියුම් කිරීමට නියමිතය. ළමයි 30 දෙනකු පමණ ඉගෙනුම ලබන මේ දුෂ්කර පාසලේ දරු කැල තමන් සමඟ එකට ඉගෙනුම ලබන සහෝදර ශිෂ්‍යයකුට නිවෙසක් තනා දීමට ඉදිරිපත් වීම විශේෂයෙන් අගය කළ යුතුයි. විහඟගේ මවගේ බැංකු ගිණුම් අංකය: 82320445, ලංකා බැංකුව, තඹලගමුව. වැඩි විස්තර සඳහා 0714471923. 

Comments