
ලොව අන්ධ භාවයට පත්වූවන්ගෙන් බහුතරය ඇසේ සුද නිසා ඇතිවන අන්ධ බවින් පෙළෙති. මෙහි දී ශල්‍යකර්මයකින් නැවත පෙනුම ඇතිකර ගත හැක. අන්ධභව ඇති කරන රෝග අතරේ දෙවන තැන ගන්නා ග්ලෝකෝමාව නිසා ඇතිවන අන්ධ බව සදාකාලිකය. එනම් ප්‍රතිකාර මගින් නැතිවු පෙනුම නැවත ලබාගත නොහැක. ලොව පුරා මිලියන 4.5 ජනතාව ග්ලෝකෝමාව නිසා අන්ධ භාවයට පත්වී ඇති අතර, එම ප්‍රමාණය 2020 වනවිට මිලියන 11.2 දක්වා වර්ධනය වන බව ඇස්ත මේන්තු කර ඇත.
ග්ලෝකෝමාව මගින් ඔබගේ ඇසේ පෙනුම සොරාගන්නේ ඔබට එම රෝගය ඇතැයි දැන ගැනිමටත් පෙරසිටය. එය සිදුවන්නේ ඇස තුළ ද්‍රෘෂ්ඨි ස්නායුවට සිදුවන හානිය නිසා වන අතර, එය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැක. නමුත් මුල් අවධියේ දී හඳුනාගෙන ප්‍රතිකාර කිරිමෙන් ද්‍රෘෂ්ටි ස්නායුවට සිදුවන හානිය ඉන් ඔබ්බට නොයා අවම වීම හෝ නැවැත්වීම සිදුවේ. මේ නිසා මුල් අවධියේදි හඳුනා ගැනිම මගින් ග්ලෝකෝමාව නිසා සිදුවන අන්ධ භාවය වලක්වා ගත හැක.
ඔබගේ දෑස් අන්ධ කරන රෝගයකට විරුද්ධව සටන් කිරිමට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම වටී.
ග්ලෝකෝමාව යනු ඇසේ සිට මොලයට අප දකින දේ සංනිවේදනය කරන ද්‍රෘෂ්ටි ස්නායුවට ඇස තුළදි ක්‍රමයෙන් සිදුවන හානියයි. ඔබගේ ඇසෙහි පීඩනය පවත්වා ගැනිම සඳහා සංසරණ පද්ධතියක් ඇස තුළ ක්‍රියාත්මක වේ. ඇසෙහි මනා ක්‍රියාකාරිත්වය සඳහා එහි පීඩනය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනිම ඉතා වැදගත්ය. මෙම පීඩනය පවත්වා ගන්නා වතුර වැනි සංයුතියකින් යුත් තරලය නිපදවනු ලබන්නේ ඇසෙහි තාරා මණ්ඩලයට (ඇසේ බබා) පිටුපසින් ඇති සිලියරි දේහය නම් කුඩා අවයවයෙනි. එම අක්ෂි තරලය ඇසේ පිටුපස සිට ඉදිරිපස කොටසට ගලා යන්නේ ඇසේ බබා ලෙස අප හඳුන්වන සිදුර හරහායි. එසේ පැමිණෙන තරලය ඇසේ කණනිකාව හා තාරා මණ්ඩලය අතර ආනති කොටසේ ඇති පෙනේරයක් වැනි සිදුර තුළින් රුධිර පද්ධතියට ඇතුළ් වේ. ඇසේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනිම සඳහා සාමාන්‍යයෙන් එම තරලය නිපදවීම හා රුධිරයට සංසරණය කිරීම සමතුළිතව පැවතිය යුතුය. මෙම සමතුළිතතාව බිඳ වැටිමෙන් ඇසෙහි පීඩනය වැඩි වේ. ද්‍රෘෂ්ටි ස්නායුවට හානිකරන ප්‍රධානතම සාධකය වන්නේ දීර්ඝ කාලිනව ඇස තුළ පවත්නා අධික අක්ෂි පීඩනයයි. ඔබගේ ඇසේ පීඩනය හා අධි රුධිර පීඩනය යනු එකිනෙකට ස්වායත්ත වෙනස් රෝගයන් දෙකකි. එනම් අධි රුධිර පීඩනය ඇති අයට ඇසේ පීඩනය වැඩිවීම අනිවාර්්‍ය නොවේ. එමෙන්ම ඇසේ පීඩනය වැඩි පුද්ගලයින්ගේ අධි රුධිර පීඩනය තිබීම අනිවාර්්‍ය නොවේ. තවත් මිත්‍යා මතයක් වන්නේ ඇසේ පීඩනය පවත්වා ගන්නේ කඳුළුවලින් බවයි. ඉහත සඳහන් කළ අක්ෂි තරලය යනු කඳුළුනොවේ.
ග්ලෝකෝමාව ප්‍රධාන වශයෙන් වර්ග 4 කි.
1. Chronic Open Angle Glaucoma – මෙය වඩාත් බහුලම තත්ත්වයයි.
2. Acute Angle Closure Glaucoma –ඉතා කෙටිකාලයකින් වඩාත් තීවෘරව ඇති වන ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයයි.
3. Secondary Glaucoma –ඇසේ වෙනත් රෝග තත්ත්වයන් නිසා ඇතිවන ග්ලෝකෝමාව
4. Congenital Glaucoma –උපතින්ම ඇතිවන ග්ලෝකෝමාව - මෙය කලාතුරකින් දක්නට ලැබේ.
නොදැනුවත්වම ඔබගේ දෑස් අන්ධකරන බහුලවම පවතින skOpen Angle Glucoma සඳහා අවදානම ඇත්තේ කාටද?
ග්ලෝකෝමාව ඕනෑම අයෙකුට ඇතිවිය හැකි වුවද වඩාත් අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ඇත.
1. ඔබගේ වයස අවු.40 ට වැඩිනම් ග්ලෝකෝමා අවදානම ඇත. අවු. 60 වන විට එම අවදානම වඩාත් වැඩිවේ.
2. පවුලේ අයෙකුට ග්ලෝකෝමාව ඇත්නම් ඔබටද එම අවදානම ඇත. ඔබගේ ඇස් වහාම ග්ලෝකෝමාව සඳහා පරික්ෂාකර ගත යුතු අතර, පවුලේ අනෙක් අයද අක්ෂි පරික්ෂාව කරගත යුතු බව දැනුම්වත් කිරීම මැනවි. විශේෂයෙන් ඔබට අවු. 40 ට වැඩිනම් හා පවුලේ අයෙකුට ග්ලෝකෝමාව ඇත්නම් අක්ෂි පරික්ෂාව වාර්ෂිකව කළ යුතුය.
3. අවිදුර ද්‍රෘෂ්ටිකත්වය - දුර නොපෙනිම හෝ කුඩාකල සිට ඒ සඳහා උපැස් යුවලක් භාවිත කරන පුද්ගලයින් ග්ලෝකෝමා අවදානම ඇති කණ්ඩායමකි.
4. ඔබගේ ඇසට අනතුරක් සිදුවී ඇත්නම් ඔබටත් ඒ අවදානම ඇත.
5. දීර්ඝ කාලීනව ස්ටෙරොයිඩ නම් ඖෂධ වර්ග භාවිත කරන අයටද ග්ලෝකෝමා අවදානම ඇත. ස්ටෙරොයිඩ නමි ඖෂධය හතිය, හන්දි කැක්කුම (Arthritis)නෙප්‍රොටික්සින්ඩ්‍රෝමි වැනි තත්ත්වවලදි දීර්ඝකාලිනව භාවිත කෙරේ.
6. දියවැඩියාව ඇති අයටද, ග්ලෝකෝමා අවදානම ඇත.
ඔබ ඉහත එක් කණ්ඩායමකට හෝ කණ්ඩායම් කිහිපයකට ඇතුළත් වේ නම් වහාම ග්ලෝකෝමාව සඳහා ඔබගේ ඇස් පරික්ෂා කරගත යුතුය. මෙම ග්ලෝකෝමාවේ ඇති භයානකත්වය නම් දෘෂ්ටි ස්නායුවට වඩාත් දරුණු ලෙස හානි වන තෙක් කිසිම රෝග ලක්ෂණයක් බොහෝවිට නොමැති වීමයි. ඇසෙහි කැක්කුම හෝ පෙනුම අඩුවීම වඩාත් දරුණු අවස්ථාව වන තෙක් දැන ගන්නට නොලැඛේ.
ග්ලෝකෝමා තත්ත්වය වර්ධනය වීමේදි ක්‍රමයෙන් ඔබගේ පෙනුම පරාසය අඩු වී වඩාත් තීවුර අවස්ථාවේදි සිදුරක් තුළින් ලෝකය දකින්නාක් මෙන් පෙනේ. වයස අවු. 40 වන විට ඇතිවන–පෙනිම දුර්වලවීම ඇත්නම් ග්ලෝකෝමාව සඳහා ඇස් පරික්ෂාව කරගැනීමට වඩාත් උචිත කාලය එයයී.
ඔබගේ ඇස් පරික්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රෝහලකින් කරගත හැක. ජාතික අක්ෂිරෝහල, ඕනෑම ශික්ෂණ රෝහලක, ඕනෑම මහ රෝහලක සමහර මුලික රෝහල් මගින් ඔබගේ අක්ෂි පරික්ෂාව කරගත හැක. සමහර පෞද්ගලික රෝහල්වලද අක්ෂි පරික්ෂා පහසුකම් ඇත. වෛද්‍යවරයා විසින් ඔබගේ ඇසේ පීඩනය හා ඇස තුළ දෘෂ්ටි විතානය පරික්ෂාව කරනු ලබයි. ඉන්පසු අවශ්‍ය වුව හොත් රෝග නිර්ණය හා රෝගයේ අවධිය හඳුනාගැනිමට තවත් පරික්ෂණ කරනු ඇත.
HVF නම් දෘෂ්ටි පරාසය පෙන්නුමි කරන පරික්ෂණය බොහෝ රෝහල්වල භාවිත කරයි. මෙමගින් ඔබට නොදැනුවත්ව තිබු ඔබේ ඇසෙන් නොපෙනෙන පරාස මුල් අවධියේදි හඳුනා ගත හැක. මෙම පරික්ෂණය රෝගය හඳුනා ගැනිමට හා පාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනිමට වැදගත් වේ. නව තාක්ෂණයත් සමඟ හඳුන්වා දුන් පරිඝණක ආශ්‍රිත OCT නමි පරික්ෂණය මගින් ඇසෙහි සෛල ස්තරවල ද්විමාන හා ත්‍රිමාන රූප ලබාදේ. මෙමගින් වඩාත් සවිස්තරාත්මකව දෘෂ්ටි ස්නායුවට සිදුවන හානිය පෙන්නුමි කරයි. නමුත් තවමත් මෙම පරික්ෂණ උපකරණ රජයේ රෝහල්වලින් ඇත්තේ ජාතික අක්ෂි රෝහලේ සහ මහනුවර මහ රෝහලේ පමණි.
ඔබහට ග්ලෝකෝමා රෝග තත්ත්වය ඇති බව හඳුනාගත හොත් මුලිකවම සිදුකළ යුත්තේ ඇසේ පීඩනය පාලනය කිරිමයි. ඇසේ පීඩනය එක අගයකින් පහත හෙළීමෙන් වුවද වඩාත් ඵලදායි පෙනුම ආරක්ෂාකර ගත හැක. ග්ලෝකෝමාව සඳහා ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් මත ජීවිතාන්තය දක්වා ගත යුතුය. ඔබගේ වෛද්‍යවරයා ඇසට දමන බෙහෙත් එකක් හෝ කිහිපයක් ලබාදෙනු ඇත. තවද සමහර විට පානය කිරිමට පෙතිද ලබාදෙනු ඇත. ඔබගේ රෝගි මට්ටම අනුව නිර්ණය කළ කාල පරාසයන් තුළදි වරින් වර ඇසෙහි පීඩනය පරික්ෂා කරගත යුතු බව ඔබගේ වෛද්‍යවරයා ඔබට උපදෙස් දෙනු ඇත. ඖෂධ මගින් පීඩනය පාලනය නොවුවහොත් ලේසර්කිරණ ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම කළ හැක. එමෙන්ම ඔබ හට ග්ලෝකෝමා ඇති බව සොයා ගත හොත් ඔබගේ පවුලේ අනෙක් අයටද ඇස් පරික්ෂා කරගත යුතු බව දැනුම් දිම මැනවි.
අක්ෂි විශේෂඥ වෛද්‍ය
ලලිතා සෙනරත්