සංචාරක කර්මාන්තයට අනපේක්ෂිත පහරක්? | සිළුමිණ

සංචාරක කර්මාන්තයට අනපේක්ෂිත පහරක්?

 පසුගිය පෙබරවාරි මාසය වන විට මෙරට සංචාරකයන් ගේ පැමිණීම 20% කින් ඉහළ ගොස් තිබූ අතර මහනුවර සිදුවීම් හේතුවෙන් එය ක්‍රමයෙන් පහත යමින් පවතී. පසුගිය දින කිහිපය තුළ මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් රැසක විදේශිකයන් විසින් වෙන්කරවා ගනු ලැබූ කාමර සිය ගණනක් මේ නිසා අවලංගු කර ගත් බව එම හෝටල් කළමනාකරුවෝ පවසති. නාගරික හෝටලයකට මෙම බිඳ වැටීම දහස් සංඛ්‍යාත වන අතර සංචාරක නිකේතන සඳහා එයින් වන බලපෑම වඩාත් දැඩි ය.

දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය මෙරට හොඳම සංචාරක සමය වන අතර මේ දිනවල උද්ගත වූ තත්ත්වය ඉදිරි කාලයේදී සංචාරක පැමිණීම් සඳහා ද අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි සංචාරක කළමනාකරුවෝ සැක පළ කරති. පසුගිය සමයේදි මෙරටට පැමිණෙන චීන සංචාරකයන් ගේ සංඛ්‍යාව සැලකිය යුතු තරම් ඉහළ ගිය අතර මෙවර චීන අවුරුදු උලෙළ සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කළ චීන සංචාරකයන් මේ සිද්ධිය හේතුවෙන් සිය සංචාර අවලංගු කර ගනු ඇතැයි ද සැක පළවේ.

විදේශීය ප්‍රවෘත්ති සේවා සහ සමාජ ජාලා වෙබ් අඩවි මඟින් ප්‍රචාරය කරන ලද ජාතිවාදී හැඟීම් අවුස්සන සුලු හා පක්ෂග්‍රාහී සාවද්‍ය ප්‍රවෘත්ති මෙලෙස විදේශිකයන් අතර ශ්‍රී ලංකාව තුළ යළිත් ජාතිවාදී කෝළාහල ඇති වී ඇතැයි යන දුර්මතය ගොඩනැඟීමට හේතු වී තිබේ. මහනුවර ප්‍රදේශයේ ඇඳිරි නීතිය පැනැවීම හා රට පුරා හදිසි නීතිය පැනවීමත් සමඟම විදේශීය මාධ්‍ය ඒ පුවත් ලොව පුරා ප්‍රචාරය ‍කෙළේ රටට හිතකර නොවන අන්දමින් යැයි කියවේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයකු පවසා තිබුණේ ශ්‍රී ලංකා රජය ලෝකය තුළ තම සාමකාමී ප්‍රතිරූපය යළි ගොඩනැංවීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය වාර්තා කරන පරිදි පසුගිය ජනවාරි මාසයේ මෙරටට සංචාරකයන් පැමිණීම සියයට 12.6 කින් වර්ධනයවූ අතර වසරේ පළමු මාස දෙක තුළ එය 14% කින් වර්ධනය වී තිබේ. සුපුරුදු පරිදි චීනය සංචාරකයන් 35,929 ක් පැමිණෙමින් 42% ක වර්ධනයක් දක්වමින් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන රට බවට පත්වූ අතර ඉන්දියාවෙන් සංචාරකයන් 32914 පැමිණෙමින් 25% ක වර්ධනයක් දක්වමින් දෙවැනි ස්ථානයට ද පත්ව තිබේ. ලංකාවට සංචාරකයන් පැමිණෙන සුපුරුදු රටවල් අතර එක්සත් රාජධානිය තවමත් පෙරමුණෙහි සිටින අතර එරටින් සංචාරකයන් 23817 ක් පැමිණෙමින් 18% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2018 පෙබරවාරි මාසය අවසානය වනවිට එරටින් පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 23817 ක් විය. චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් ගෙන් 15% ක් ආවරණය කර තිබේ. 2018 පෙබරවාරි අවසානය වනවිට යුරෝපා රටවලින් පැමි‍ණි සංචාරකයින් 52% වූ අතර ආසියා පැසිපික් කලාපීය රටවලින් පැමිණි සංචාරකයන් 41% ක් ද ඇමෙරිකාවෙන් 5% ක් මැදපෙරදිගින් 2% සහ අප්‍රිකානු රටවලින් 0.49% ක් ද වාර්තා වී තිබේ.

Comments