
පටිච්චසමුප්පාදයේ විග්රහ වන අංග දොළොස අතුරින් සළායතන යනුවෙන් විග්රහ වන්නේ ආයතන සය (06) පිළිබඳව ය. චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යනු එම ආයතන යි. නාමරූප ප්‍රත්‍යයෙන් මෙම ආයතනයන් හට ගනී.
ඇස
චක්ඛු වශයෙන් මෙහි දක්වා තිබෙන්නේ රූපය වැද ගන්නා ප්‍රසාද වස්තුව යි. ඇස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. සසම්භාර චක්ඛු සහ ප්‍රසාද චක්ඛු වශයෙනි. මාංසමය වූ අපට පෙනන ඇස සසම්භාර චක්ඛු නම් වේ. කර්මයෙන් හටගත් ඇසෙහි රූප ඡායාව වැද ගන්නා ඔපය ප්‍රසාද චක්ඛු නම් වේ. විඤ්ඤාණය පහළ වනුයේ එම ප්‍රසාදයෙහි ගැටුණ රූපාරම්මණය අරමුණු කොටගෙන ය. එම විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණ නමින් දක්වයි. අනෙකුත් ආයතනයන් පිළිබඳව ද මේ න්‍යායයෙන් ම අවබෝධ කොටගත යුතු ය. නාම රූපයන් පවත්නා හෙයින් ම ආයතනයන් සම්මුඛ වේ. නාම රූපයන්ගේ පහළ වීමක් නොවන්නේ නම් ආයතනයන්ගේ පහළ වීමක් ද නොමැත.
භවත්‍රයෙහි සියලු තැන්හි ආයතන සය (06) ම විද්‍යමාන නොවේ. කාම ලෝකයෙහි ආයතන සය ම විද්‍යමාන වේ. රූපලෝකයෙහි චක්ඛායතන, සෝතායතන, මනායතන යන ආයතන තුන පමණක් විද්‍යමාන වේ. මෙයින් අදහස් වනුයේ අන්‍යය ඉන්ද්රියයන් නොපවත්නා බව නොවේ.ප්‍රසාද වස්තු නොපවතී. ඝාන, ජිව්හා, කාය යන ආයතනයන්ගෙන් කම් සැප විඳිම හැර වෙනත් ප්‍රයෝජනයක් නැත. බ්‍රහ්ම ලෝකයන් තුළ කාමයන්ගේ ඇලීමක් නොමැතිව ධ්‍යාන සිත්හි විපාක වශයෙන් එම ලෝකයන්හි ප්රතිසන්ධිය ලබන හෙයින් චක්ඛායතන, සෝතායතන, මනායතන සහිතව පමණක් ප්රතිසන්ධිය ලබ යි.
මෙසේ නාම රූප ප්‍රත්‍යයයෙන් සළායතන හටගන්නා අතර සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ. එය පහත අයුරින් දැක්විය හැක.
‘‘තත්ථ කතමෝ සළායතන පච්චයා ඵස්සෝ? චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝාණසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ, අයං වුච්චති සළායතන පච්චයා ඵස්සෝ’’
(විභංගපාළි)
චක්ඛුසම්ඵස්ස, සෝතසම්ඵස්ස, ඝාණසම්ඵස්ස, ජිව්හාසම්ඵස්ස, කායසම්ඵස්ස, මනෝසම්ඵස්ස යනුවෙන් දැක්වෙන ඵස්සය ෂඩායතනයන් නිසා පහළ වේ. ඉහත නාමරූප පච්චයා සළායතන නමින් ආයතන සයක් වශයෙන් දක්වා ඇති නමුදු මෙහි ආයතන දොළොසක් විද්‍යමාන වේ. චක්ඛායතනාදි ආයතන සය ආධ්‍යාත්මික ආයතන නමින් හැඳින්වේ. ඒ ඒ ආයතනයන්හි ගැටෙන අරමුණු වෙන් වෙන් වශයෙන් පවතී. රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, ඵොට්ඨබ්බායතන, ධම්මායතන යනු එම බාහිර ආයතනයි. ආධ්‍යාත්මික ආයතන කෙතරම් පැවතිය ද බාහිර ආයතනයන්ගේ උපකාරකත්වයකින් තොරව ඵස්සය ඇති නොවේ. ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්ගේ සහයෝගයෙන් ඵස්සය උපදී. චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ යනුවෙන් දක්වන ලද පාඨයෙන් ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන්ගේ උපකාරකත්වය මනාව ප්‍රකට වේ.
ස්පර්ශය
ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදින අතර ඇස, රූප, චක්ඛු විඤ්ඤාණ යන අංග තුනේ එකතුවෙන් ස්පර්ෂය වේ. එය කිසිදු බාහිර බලවේගයක් මගින් සිදු කරන ලද්දක් නොව හේතු ප්රත්යයන්ගෙන් සිදු වන්නකි. චක්ඛු ප්‍රසාදයේ රූපාරම්මණයක් ගැටුණ කල්හි චක්ඛුවිඤ්ඤාණය පහළ වේ. සෝතප්රසාදයේ සද්දාරම්මණයක් ගැටුණ විට සෝතවිඤ්ඤාණය උපදී. ඝානප්රසාදයේ ගන්ධාරම්මණයක් ගැටුණ කල්හි ඝාණවිඤ්ඤාණය උපදී. ජිව්හාප්රසාදයේ රසාරම්මණයක් ගැටුණ කල්හි ජිව්හාවිඤ්ඤාණය උපදී. කායප්රසාදයේ පොට්ඨබ්බාරම්මණයක් ගැටුණ කල්හි කායවිඤ්ඤාණය පහළ වේ. මනායතනයෙහි ධම්මාරම්මණයක් ගැටුණ කල්හි මනෝවිඤ්ඤාණය පහළ වේ.
වේදනා
ස්පර්ශය ඇතිවන අයුරු ඉහත කරුණු ඔස්සේ දත යුතු ය. චක්ඛායතන, රූපායතන, චක්ඛුවිඤ්ඤාණ යන ධර්ම තුන එක් වූ කල්හි චක්ඛුසම්ඵස්සය උපදී. මේ කරුණු තුන එකිනෙකින් වෙන් කළ නොහැකි වේ. එක්වර ම පහළ වේ. එසේම මෙම කරුණු තුන එකක් පසු පස එකක් වශයෙන් පිළිවෙළින් පහළ නොවන බව දත යුතු ය. ඇස, රූපය, විඤ්ඤාණය, ස්පර්ශය යන කරුණු තුන එක්වර ම සිදු වේ. එහි අතරක් නොමැත. ස්පර්ශය යනු මේ සියල්ලෙහි ම එකතුව යි. අන්‍යය ආයතනයන් හේතුවෙන් පහළ වන ස්පර්ශය පිළිබඳව ද මේ නයින් ම දත යුතු ය.
ස්පර්ශය ප්‍රත්‍යයයෙන් පහළ වනුයේ වේදනාව යි. එය පහත අයුරින් විභංගපාළියෙහි විග්රහ කොට ඇත.
‘‘තත්ථ කතමා ඵස්සපච්චයා වේදනා? චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝාණ සම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කාය සම්ඵස්සජා වේදනා, මනෝ සම්ඵස්සජා වේදනා, අයං වුච්චති ඵස්ස පච්චයා වේදනා’’
චක්ඛු සම්පස්සජ වේදනා, සෝත සම්ඵස්සජ වේදනා, ඝාණ සම්ඵස්සජ වේදනා, ජිව්හා සම්ඵස්සජ වේදනා, කාය සම්ඵස්සජ වේදනා, මනෝ සම්ඵස්සජ වේදනා යනු ස්පර්ශයෙන් හටගන්නා වේදනාව ය. වේදනා රස විඳීම් වශයෙන් තුන් ආකාර වේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා යනුවෙනි. මෙසේ වේදනාව තුන් ආකාර වන්නේ ආරම්මණයෙහි පවත්නා ස්වභාවයට අනුරූපීව ය. සෑම අරමුණක ම හොඳ බවක් හෝ නරක ස්වභාවයක් හෝ මධ්‍යස්ථ ස්වභාවයක් පවතී. ආරම්මණය සහ ආරම්මණ රසය වෙන් වෙන් වශයෙන් පවත්නා බව දත යුතු ය. අරමුණු දැනගන්නා ස්වභාවය විඤ්ඤාණයේ කෘත්‍යය යි. ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං වශයෙන් දක්වා ඇත්තේ එම කරුණ යි. අරමුණු රසය කවරාකාර ද යන්න විඤ්ඤාණයෙන් දත නොහැකි ය. ද්වාර ආරම්මණ ඝට්ඨනයෙන් ස්පර්ශය වේ. ස්පර්ශය ප්‍රධාන කොටගෙන විඤ්ඤාණයට අරමුණු රසය ප්‍රකට වේ.
අරමුණෙහි යහපත හෝ හොඳ ස්වභාවය දැනගන්නා හෝ විඳින ස්වභාවය සුඛ වේදනාව නම් වේ. සත්ත්වයා බොහෝ විට අරමුණු තුළ ඇලී මුලාවට පත් වන්නේ එම අරමුණෙහි සුඛ ස්වභාවය පාදක කොටගෙන ය. අමිහිරි වූ අරමුණක එම නපුරු බව විඳින ස්වභාවය දුක්ඛ වේදනාව ය. සත්ත්වයෝ බොහෝ විට කම්පා වන්නේ සහ දුකට පත් වන්නේ මෙම දුක්ඛ වේදනාව හේතුවෙනි. දෝමනස්ස වේදනාව නමින් හඳුන්වන්නේ ද මෙම ස්වභාවය යි.
අරමුණ
මධ්‍යම අරමුණක එහි විද්‍යමාන මධ්‍යම බව විඳින ස්වභාවය උපේක්ෂා වේදනාව යි. අදුක්ඛමසුඛ වේදනා යනුවෙන් දැක්වෙන්නේ ද මෙම මධ්‍යස්ථ ස්වභාවය යි. මෙහි දී අවබෝධ කළ යුතු වැදගත්ම කරුණක් නම් අරමුණුවල මෙසේ විවිධාකාර ස්වභාවයක් නොපවත්නා බව යි. ඒ ඒ සත්ත්වයාගේ චින්තන ස්වභාවය, කාල, දේශ ආදි වශයෙන් පවත්නා ආකාරය අනුව අරමුණ ගන්නා ස්වභාවය වෙනස් වේ. එක ම අරමුණු අරඹයා පුද්ගල මනස තුළ විවිධාකාර චින්තනයන් පහළ වනුයේ අරමුණෙහි පවත්නා ස්වභාවය අනුව නොව පුද්ගල මනස එම ආරම්මණය ග්‍රහණය කරන ආකාරයට අනුරූපීව ය. කරුණු මෙසේ හෙයින් ඇතමෙක් ප්‍රිය කරන ආරම්මණය තවකෙක් ප්‍රතික්ෂේප කර යි. වෙනත් කෙනෙකුට අප්‍රිය අමනාප වශයෙන් දක්නා අරමුණ වෙනත් අයෙකුට ඉතා ප්‍රියමනාප වේ. ලෝකය තුළ මහත් විවාදයක් සහ තරගයක් හටගෙන තිබෙන්නේ ද මෙසේ අරමුණු ග්‍රහණය කිරීමේ විවිධත්වය අනුව ය.
විවාදය
නුවණින් අවබෝධ කළ යුතු වැදගත් ම කරුණ නම් සියලූ ආරම්මණයන් ඔවුන්ගේ ලක්ෂණයන්ට අනුව පවත්නා බව ය. එම අරමුණෙහි සැබෑ ලක්ෂණය අවබෝධ නොකොට එය ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් ගැනීමෙන් සිත තුළ විවාදයක් හටගෙන බොහෝ ප්‍රපඤ්චයන් උපදව යි. සංක්ෂේපයෙන් දක්වන්නේ නම් ඇලීම සහ ගැටීම සිදු වනුයේ මෙසේ ආරම්මණයන් තම චින්තනයට අනුව වර්ග කිරීමට යෑමෙනි. සත්ත්වයා සිතන ආකාරයට සැබවින් ම අරමුණු තුළ ප්‍රිය හෝ අප්‍රිය ස්වභාවයක් පවතින්නේ නම් යමෙක් අප්‍රිය වශයෙන් ග්‍රහණය කරන අරමුණ සියලූ දෙනාට එසේ අප්‍රිය විය යුතු ය.
එසේ ම එක් සත්ත්වයකු ප්‍රිය වශයෙන් ග්‍රහණය කරන අරමුණ අන් සියලු දෙනා ද ප්‍රිය ස්වරූපයෙන් ම ග්‍රහණය කළ යුතු ය. එහෙත් එවැන්නක් ලොව තුළ කිසිදා සිදු නොවේ. අරමුණුවල යථා ස්වරූපය නොදැනීම සහ චිත්ත ස්වභාවය, චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය මැනවින් අවබෝධ කිරීමට අසමත් වීම හේතුවෙන් අරමුණු හොඳ සහ නරක වශයෙන් බෙදා ලෝකය තුළ ඝට්ඨනයක් ඇති කොටගෙන ඇලෙමින් ගැටෙමින් ජීවත් වේ.
අරමුණුවල ස්වභාවය, ද්වාර, ආරම්මණ, ස්පර්ශ, වේදනා ආදී ධර්මයන්ගේ යථා ස්වරූපය නුවණින් දක්නේ නම් කිසිවිට කිසිවකු සමඟ හෝ කිසිදු ආරම්මණයක් සමඟ ඝට්ඨනයක් ඇති නොවේ. මෙම ස්වභාවය අවබෝධ කරගන්නා තුරු මානසික නිදහසක් ඇති නොවේ. රහතන් වහන්සේලා දකින්නේ ද අප දක්නා අරමුණුම වේ. එහෙත් ඒ කිසිදු අරමුණක් හේතුවෙන් උන්වහන්සේලාගේ සිත වික්ෂේපයට පත් නොවේ. අරමුණු ස්වභාවය මැනවින් දැන සිටින හෙයින් අරමුණ අරමුණක් වශයෙන් පමණක් දකී. එය යහපත් හෝ අයහපත් වශයෙන් ග්‍රහණය නොකර යි. කරුණු මෙසේ හෙයින් පටිච්චසමුප්පාදයට අනුව ලෝකය ක්‍රියාත්මක වන අයුරු නුවණින් වටහාගෙන ලෝකය තුළ ඇලීමට ගැටීමට පත් නොවී ලෝකය ඉක්මවා යෑමට උත්සහ ගත යුතු ය.
ලබන සතියේ... සංඥා, උපාදාන, භව
ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී
071-9861535