බේබි හාමු මොකෝ තනියම හිනා වෙන්නේ | සිළුමිණ

බේබි හාමු මොකෝ තනියම හිනා වෙන්නේ

“අපි දෙගොල්ලන්ගෙම අප්පච්චිලා අම්මලාගෙ චින්තනය වෙනස් කරනකම් අපිට අපේ ජීවිතවලින්වත් ගැලවිල්ලක් නෑ.. මල්ලි..’ මලින්ද එහෙම කියද්දි ශ්‍රීමාල් තුළ ඇති වුණෙත් තම තමුන්ගේ අනාගතය ගැන පුදුමාකාර කරදරකාරී හැඟීමකි. මෙය අර කවුදෝ කියන්නා වගේ පරම්පරාගත ගැටුමක්ද? සිංහබාහු කතන්දරයේ සිටම පැවත එන පරම්පරාගත ගැටුම මේකද!

විල්ප්‍රඩ් රත්නසේකර හාමු මහත්තයා බස්තම උරුක්කරගෙනම සාලයට ගියේ හරියට දුරකතනයට දඬුවම් කරන්නට මෙනි. හාමු පිටිපස්සේ මැණිකෙ හාමු වලිගය වගේ ඇදෙයි.

“හලෝ... හලෝ... ඇයි මොකෝ මලයා!”

එසේ ගෝරනාඩුවෙන් අසන හාමු මහත්තයාගේ මූණ දිහා නම් බලන්න බැරි තරම්ය. එකවරම සියලුම තේජස්කම් යටපත්වී ගිය මහා බයාදු බැල්මක් හාමු මහත්තයාගේ මූණෙන් පළවෙද්දී මැණිකෙට ම ලජ්ජා හිතී ආලින්දය ‍පැත්තට හැරුණේ ඔසරි පොටෙන් මූණට ආ ඩහදිය පිසදමමිනි.

“නෑ නෑ මලයා.. ඕකා එයි... ඕකා එයි.. ඕකා එයි... ඕකා කොහේ යන්නද මොකෝ රට ඇරලා යන්නද? හා...”

ආයෙත් එහා පැත්තෙන් විනාඩි පහක විතර දේශනයකි.

“මලයා කලබල නොවී ඉන්නකෝ... මං පොඩ්ඩක් බලන්නම් කතා කරලා ජයතිස්සයා මට බයේ හැංගෙන්න ඇති..”

පැය බාගයක් විතර දුරකතන සංවාදය කෙරීගෙන යද්දී නිර්මලා මැණිකේ හිටියේ කලකිරුණ සිතින්ය. මොකක්දෝ මහා රහසක් සැඟවිලා ඇති බව හිත කියයි. රිසිවරය තැබූ විල්ප්‍රඩ් හාමු මැණිකේ ගේ ඉරියව් දිහා බැලුවේ හොර බැල්මෙනි.

“පුදුම අලකලංචියක් වෙලා තියෙන්නෙ.. අපේ හාමිනේ... අර පොල් බූරුවා.. ජයතිස්සයා පැනලා ගිහිල්ලානෙ..”

මැණිකේ හිස හරවා බැලුවේ අරියාදුවට වගේ යැයි සිතට හිතෙද්දී විල්ප්‍රඩ් හාමු කළේ ජන්තුවාට ඇමතීමය.

“ජන්තුවා.. කරුණාදාසට කියපං වාහනේ ලෑස්තිකරගන්න කියලා අපිට ගමනක් තියෙනවා යන්න...!”

මැණිකේ අසුනින් නැගිට්ටේ අමනාපයෙන් වගේ ගස්සාගෙනය.

“මැණිකෙ.. මැණිකෙත් ලෑස්තිවෙන්න... අපි යමු.. ගමනක්...!” දැන් මැණිකෙගෙ හිත හොඳය. ඒ බව මුලින්ම දුට‍ුවේ ජන්තුය.

‘යන්නෙ කොහේද’ කියා අසන්නෙත් නැතිව ගමන යන්න එකඟතාව පළකිරීම පුදුමයක්මය. ගැහැනු උදවිය සමහර වෙලාවට තේරුම් ගන්න බැරි ප්‍රහේලිකා වගේය.

* * *

රත්නපුරේ වලව්වේ මලින්ද බේබි හාමු හිටියේ හිස ගිනිගත් ගානටය. අප්පච්චිලාගේ දරදඬු වැඩ නිසාම සමන්ති අක්කා ජයේන්ද්‍ර හා පලාගියා ඇත්තය. ඒත් එසේවූ පළියට මැර බලය යොදවා ජයේන්ද්‍රගේ තාත්තලාට මරණ බිය ඇති කරන්නට ගත්තු වැඩපිළිවෙළ නම් අශෝභනය.

ශ්‍රීමාල් මල්ලිට ඇමතුමක් ගත්තේ මේ තත්ත්වය නිසා ගෙදර ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කතා කරන්නටය.

“හරි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ... විල්ප්‍රඩ් මාමා මරණ තර්ජන කරලා ජයේන්ද්‍ර නැත්නම් එයාගෙ තාත්තාව බාවනවා කියලා.. දැන් හරි වැඩේ ජයතිස්ස වැඩට ඇවිත් නෑ ඔක්කොම අවුල්වෙලා...”

“මලින්ද අයියා මෙහෙම කරන්න.. මට ජයතිස්සලාගෙ ගෙදර නොම්මරේ දෙන්න.. මම පොඩි උත්සාහයක් ගන්නම්.. අපේ අප්පච්චිත් කිසිම පදනමක් නැතිව දුම්මල වරම අතට ගත්තු කපුරාල වගේ හැසිරෙනවා. නිකම් අනිත් මිනිසුන්ගෙ ජීවිත අවුල් කරනවා...”

“සමන්ති අක්කලා කොහේද කියලා නෑ. අපේ අම්මත් බයේ ඉන්නෙ.. මාමා මොකක් හරි නපුරක් කරාවිද කියලා. ජයේන්ද්‍රලාගේ පවුලට!

“මලින්ද මං පොඩි රහසක් කියන්නම්... මේක දැනට අම්මලාටවත් කියන්න එපා. සමන්ති අක්කලා රට ගිහිල්ලා නෑ. කසාද බැඳලා මෙහෙම දුර පළාතක ඉන්නවා.”

මලින්ද සැනසුම් සුසුමක් හෙළයි. නමුත් ඒ සැනසුම අම්මලාට දෙන්නට ගොස් ඊළඟට ‘වැනසුම’ ක් ලබාගත යුතු නැත. කොහොමත් මෙය දැන් උභතෝකෝටික ප්‍රශ්නයකි.

“අපි දෙගොල්ලන්ගෙම අප්පච්චිලා අම්මලාගෙ චින්තනය වෙනස් කරනකම් අපිට අපේ ජීවිතවලින්වත් ගැලවිල්ලක් නෑ.. මල්ලි..’ මලින්ද එහෙම කියද්දි ශ්‍රීමාල් තුළ ඇති වුණෙත් තම තමුන්ගේ අනාගතය ගැන පුදුමාකාර කරදරකාරී හැඟීමකි. මෙය අර කවුදෝ කියන්නා වගේ පරම්පරාගත ගැටුමක්ද? සිංහබාහු කතන්දරයේ සිටම පැවත එන පරම්පරාගත ගැටුම මේකද!

“හරි කමක් නෑ මල්ලි... අපි වෙලාවක හමුවෙලා කතා කරමු. මම ඔයාට අර ජයතිස්සලාගෙ නොම්මරේ බලලා එවන්නම්. අපේ අප්පච්චි නම් කිය කියා හිටියෙ පුතා කරපු නොසන්ඩාල වැ‍ෙඩ්ට මහ මිනිහා මොනවා කරන්නද කියලා... දැන් මිනිහා වහංගු වෙනකොට අප්පච්චිලා හිතනවා ඇති මිනිහත් මේකට උල්පන්දම් දෙන්න ඇති කියලා. පෙනුමෙන් වගේම ගතිගුණ අතිනුත් මැටිමෝල්.. ඕනැවට වඩා බයාදු මිනිහෙක්. වැඩ කරන්නයි වැඩ කරවන්නයි විතරයි මිනිහා යකා වගේ.”

මලින්ද අයියාගේ කතාවෙන් පස්සේ ශ්‍රීමාල්ට නොයෙක් නොයෙක් දේවල් හිතට එයි.

පරම්පරා ගාණක් තිස්සේ තමුන්ගේ ශ්‍රමය කැප කරගෙන වහලුන් වගේ වැඩකරන අය ගැන මේ නම්බුකාර වලව් ඔළුවලට වැටහෙන්නේ නැති එක පුදුමය. එක අතකට මලින්ද අයියාට දොස් කියන්නත් බැරිය. ඔහුත් කුඩා කාලේ පටන්ම දෙමාපියන්ගේ මේ මහන්තත්තකම් හින්දා පීඩාවට පත්වෙමින් සිටිනා අයෙකි. සමන්ති අක්කාගේ හිතේද මේ මහන්තත්තකම් ගැන කලකිරීමක් තිබෙන්නට ඇත. ඒ හින්දාමද ඇය තම අප්පච්චිලාගේ සේවකයෙකුගේ පුත්‍රයා සමඟ හාද වුණේ...?

ඒත් ආදරයක්.. ඇතිවෙන්නේ කොහොමද... කලින් කියලා හිතට ඒත්තුගන්නලා ආදරයක් ඇති කරගත හැකිවන්නේ නැත.

‘ආදරය’ යනු පුදුමාකාර හැඟීමක් වෙන්නට ඇත!

සමන්ති අක්කා හා ජයේන්ද්‍ර අතර ඇතිවූ ආදරය සියලුම පවුරු පදනම් දෙදරවාගෙන යන්නට සමත් වන්නට ඇත... තම හදවත පුරා සියුම් සීතල ඉරක් ඇදී යනවා වගේ ශ්‍රීමාල්ට දැනේ. ඒ සීතල ඉරි සියොළඟ උණුසුම් කරවයි. ඔය.. මේ ආදරයේ හාස්කම වෙන්න බැරිද?

මේඛලා නම් වූ ඇය තමා දුටුවේ ඉතා අහම්බෙන්ය. ඒකත් අපමණ තහංචි මැද්දේ සහභාගි වුණු පුනරීක්ෂණ පන්තියේදීය.

බටර් පාට දිග ගවුමක් ඇඳ කොණ්ඩය තනි කරලට ගොතා සිටි ඇය දිගැටි දෑස් ලොකු කර තමා දෙස බැලුවා මතකය. ඒ එක්කම තමා සමඟ සිටි දිලුම් ඇතුළු මිතුරන් කීප දෙනෙකුම ඒ බැල්ම ගැන අවධානය යොමුකර පිස්සුවක් නැටුවා මතකය. නමුත් කෝසල ගේ පෙම්වතියගේ මාර්ගයෙන් දිලුම්ට ආපු ආරංචි අත‍ෙර් තමා ගැන හැඟීමක් ඇතිවුණු කෙල්ලන් කීප දෙනෙක් ගැන සඳහන් වුවත් ඒ අතරේ මේඛලා සිටිතැයි ඔහුට සිතුණේ නැත.

විවිධ අදහස් හිතට ගලා එද්දී සඟවා තබන සටහන් පොත එළියට ඇද්ද ශ්‍රීමාල් හීනියට කවි දෙපදයක් ලියයි.

.. සිත ළඟ ගැවසේ සුවඳක්

සුවඳ කියන්නේ ආදරයක්...

පොත් මේසයට වාඩිවී ඒ පද දෙක ලියද්දී ම පිටට වදින්නේ

‘ඩෝං’... ගා පහරකි.

“අනේ.. අනේ... අයියෙ.. ගිහිල්ලා තියෙන දුර.. හා.. හා... වලව්වෙ ලොකු බේබි හාමු.. එහෙනම් වැඩේ පටන් අරන් ආ...!”

පාසල් ඇරී ආ ජයමාල්ගේ හඬින් ශ්‍රීමාල් උඩගොස් බිම වැටුණි.

“අනේ නිකා ඉන්න මල්ලි.. මං මේ නිකං කවියක් කුරුටු ගෑවා.. කම්මැලි කමටත් එක්ක..!”

දැන් ජයමාල් ගේ මූණේ හිනා පදාසයකි. ඔහු තව මොනවාදෝ කියන්න කලියෙන් ශ්‍රීමාල් ඔහුගේ කට වැසුවේ අම්මා කාමරයට එන සද්දය ඇහිලාය.

“මොකක්ද ළමයො කරන්නෙ ගෙදර ආපු ගමන් ඇඳුම් අහවර කරලා ඇඟපත හෝදාගෙන කෑම කන්න එන්නෙ නැතිව...!”

“ඉන්න අම්මේ... ඉන්න.. මේ එනවා.. හදිස්සියක් නෑනේ.. අපි හෙමීට.. හෙමීට... කමු... කෝ... දැන් ලබන සතියෙ රිසල්ට්ස් ආවාම... ආව්.. ආව්... අපේ අයියා... පාටියක් දාවි..!”

කවි ලියන සටහන් පොත පසෙක ලන ශ්‍රීමාල් පුටුව පසෙකට කර නැගී සිටින්නේ හිනා මූණක් මවාගෙනය.

“යමු.. යමු.. මාත් කෑවෙ නෑ ඔයා එනකම්..”

“හහ්.. ‘ඇස් දෙකෙන් එවපු ලියුම’ බල බල ඉන්න ඇති එහෙනම්.. ඔහොම තමයි අයියේ... ආදරය ඇති තැන.. දැනෙන්නේ නැත... කු‍ෙස් ගින්දර..!”

“ෂඃ... මෙයා දන්න දේවල්..!”

කෑම කා හමාර වී පසුව ...............ට ඇමතුමක් ගන්නට ඕනෑයයි හිත ඇතුළේ කෙනෙක් මුරගා කියද්දී ශ්‍රීමාල් කෑම මේසයට වාඩිවෙයි.

“මං ඒත් බැලුවා ලොකු බේබි හාමු මොකද අද දවල් කෑමට ආවෙ නැත්තෙ කියලා...”

ජන්තුට තියෙන්නේ හරිම චරපුරුෂ ඇස් දෙකක්... ශ්‍රීමාල්ට හිතෙයි. ජන්තු කතා නැතිව බත් බෙදාගන්න උදව් කරද්දී ශ්‍රීමාල්ට ජන්තු ගැන එහෙම හිතාපු එක ගැන දුකය.

මිනිස්සුන්ගෙ පපුකුහරවල තියෙන හිතවත්කම ආදරය වගේ කැක්කුම් තමා මිනිසා සුන්දර සත්වයෙක් කරන්නෙ.. ඒත් ඒවා තේරුම් ගන්නා ආකාරය එකිනෙකාට වෙනස්.. ශ්‍රීමාල්ගේ සිතට අපූරු කල්පනා දහරාවක් ම ගලා එයි. මේවා ගැන කතා කරන්න පුළුවන් මිත්‍රයෙකුට ඉන්නේ සිරිනාත විතරය. යමක් ගැන බුද්ධිමත්ව විග්‍රහ කරන්නට හැකි සමත්කම වගේ ම පැතිර ගිය සන්තානගත චින්තන ධාරාව හරිහමන් විදියට හසුරුවාගෙන කියාපාන්නට පුළුවන්කම ඇත්තේ ඔහුට ය. අනිත් මිත්‍රයෝ තවම සිටින්නේ හරියට ගන්ධබ්බ අවිදියේ වගේය. ශ්‍රීමාල්ගේ මුහුණ මත හීන් හිනාවක් ඇදෙයි.

“මොකෝ අපෙ බේබි හාමු තනියෙන් හිනාවෙන්නෙ..”

ජන්තු‍ගේ කුහුල් ඇස් ආයෙමත් ශ්‍රීමාල්ගේ මුහුණට වැටෙයි. ජයමාල් ඔළොක්කු හිනාවක් මූණට මවාගෙන කරබාගෙන ආහාර බුදින්නේ බකපණ්ඩිතයෙකු වගේ යැයි ඔහුට හිතෙන්නේ එවිටය.

“අන්න... අර ඔයාගෙ... ක...”

බාගෙට කියාගෙන යන දෙයක් ජයමාල් එකවර නතර කරයි. කෑම මේසය වෙත එමින් සිටියේ විල්ප්‍රඩ් හාමුය.

“මොකෝ පොඩිපුතා බත්කට එකපාරටම උගුරෙ හිරවුණාද? ආ... කෑම බීම වුණත් නිවිහැනහිල්ලෙ කන්න බොන්න ඕනෑ.. ඒ වගේම ඇඟට ඔරොත්තු දෙන විදියට කන්න බොන්න ඕනෑ... අපත්‍ය වෙන දේවල් කන්න බොන්න හොඳම නෑ...”

ලොකුහාමු කියාගෙන එන්නේ අමුතුම බණක් යැයි කියන්නා වගේ ජන්තු ද සිරියා දෙස බලන හැටි ශ්‍රීමාල්ට පෙනෙයි.

“ඒ වගේම දිරවන්නෙ නැති සමාජ ආස්සර තියෙනව නේද ආන්න ඒවත් ‍ෙහාඳ ‍දේවල් නෙමේ.. ඒවා තමුන්ගෙ දියුණුවට බාධාවක්..,!”

එකත් එකටම දැන් නම් හාමු කියන්නේ එදා කඩමණ්ඩියට ගිහිල්ලා බේබි හාමුලා එතැන ගැවසිච්ච එක ගැන බව නම් සක්සුදක් සේම පැහැදිලිය.

අපේ අප්පච්චිත් හරියට ගරිල්ලා භටයෙක් වගේ තමා.. දවස් ගාණක් යන්න ඇරලා හැංගිලා ඉඳලා පහර දෙනවා.

ජයමාල් එහෙම හිතාගෙන අයියා දිහා බලන්නේ හොරැහින්ය. සැමියාගේ පිළිවෙළ දන්නා නිර්මලා මැණිකේ කටකොණකට හිනාවක් නගාගත්තේ වෙලේ කඩේට ගිහිල්ලා ඇයි හොඳැයි පවත්වපු පුත්තරයන් දෙන්නාට හරි නම් මීට වැඩි ඇණුමක් බැණුමක් දිය යුතුයි කියා හිතාගෙනය.

“අපොයි.. අපොයි බේබි හාමුලා දෙන්නා වෙලේ කඩේ මුදලාලිගෙ කහට වඩියක් තොලගාපු විච්චියක් දන්නවා නම්.. ඉඳලා ඉවරයි” කුස්සියට රිංගපු ජන්තු සිරියාගෙ කණට කර කියන්නේ දේව රහසක් වගේය.

නමුත් හැමෝම ගල් ගැහෙන්නේ ශ්‍රීමාල් ගේ කතාවටය.

“අප්පච්චි.. මෙහෙම කියනවට තරහ වෙන්න එපා.. අප්පච්චි කියන කතාව ඇත්ත. ඒත් මායි මල්ලියි දන්නවා නොගැළපෙන අය එක්ක වුණත් පවතින්න ඕනෑ විදිය.. අපි මෝඩයො නෙමේ අපි පුංචි එවුනුත් නෙමේ...!”

නිර්මලා මැණිකෙ ඇස් ලොකු කර දෙටු පුත්‍රයා ‍දිහා බලන්නේ හරියට නොසරුප් කතාවක් කී ගාණටය.

“හහ්.. හහ්.. හා.. එහෙම තමා තමුන්ලා හිතාගෙන ඉන්නේ.. ඒත් තමුන්ලා දන්නේම නැතිව තමා තමුන්ලා අතින් මෝඩ තකතිරු කම් කෙරෙන්නේ.. ඒකයි මං මේ කල්තියාම අනතුරු ඇඟවීම් කොරන්නෙ.. බොලව් ළමයිනේ.. බත් හැළිය ම තැම්බිලා ද බලන්න එක බත් ඇටයක් පොඩි කළාම ඇති.. හහ්.. එහෙම තමා යං යං දේවල්වල අසුබ පෙරනිමිති පාන ඒවා පුංචි පුංචි ඉඟි බිඟිවලින් වුණත් තේරෙනවා හරිද?...”

ඊළඟට ඔහු බස්තම හතර වටේටම දික් කර ආලින්දය පැත්තට ඇදෙන්නේ ඒ තරම් හොඳ මුහුණකින් නොවන බව හැමදෙනාටම තේරෙයි.

හැමෝන්ටම වඩා ජයමාල්ට අයියා ගැන පුදුමය. වෙනදා අප්පච්චි කියන හැමදේටම උගුඩුවා වගේ ඔලුව වන වනා නිහඬව සිටින අයියා දැන් හරස්පද අසන්නට පටන් අරන් වගේය. මේ හයිකාරකම ඔහුට ආවේ මොකකින්ද? අඩමානක් නැත. දැන් අයියාට සිකුරා ලබාගෙන එනවා වගේය.

“මල්ලි ඉක්මනට කාලා ලෑස්තිවෙන්න. සර් පහවෙද්දි එනවා නේද ටියුෂන්වලට..!”

ජයමාල් කට ඇදකරගෙනම කෑම මේසයෙන් ඉවත්වී කාමරයට ඇදෙයි.

“මට නම් බයේ බෑ බං.. දැන් අපේ ලොකු බේබි හාමු හරියට අමුතු වෙලා.. වෙනදා තමුන්ගෙ අප්පුච්චාට විරුද්දෙන් එක බැල්මක්වත් හෙළන්නෙ නැති දරුවා.. දැන් මලයාටත් වඩා අන්තයිනේ.. පරම්පරාවල්වල වෙනස තමා ඕං..!”

ජන්තු එහෙම කියන්නේ කුස්සියට වී පිඟන් කෝප්ප සේදීමට බිරියට උදව් වෙනගමන්ය. සිරියා එවිට රහසින් සැමියාට කියන්නේ කෙටි උපදෙසකි.

“කෑනුගහා ඉන්න අනේ අපේ කුමාරත් අහගෙන ඇති. ඌත් කවද හරි අපිට විරුද්දෙන් වචන උරුක්කොරන් ආපු දාට තේරෙයි ඕකෙ ර‍ඟේ..”

“හහ්... එව්වා කොහේද මාත්තෙක්ක.”

“දැන් බලන්නකො රත්නපුරේ හාමුලාට විරුද්ද වෙලා සමන්ති බේබිහාමු හිතුවක්කාර වුණා.. එතකොට තේවතු කංකානම ජයතිස්සට විරුද්ද වෙලා එයැයිගෙ පුතා සමන්ති හාමු එක්ක පැනලා යන්න සම්බන්ධ වුණා.. ඕවා.. දෙයියනේ කාට කාට වුණත් නරක ආදුරුස නෙව.. අනේ අපේ කොල්ලා මොඩයා ඌ යන්තං මළපතේ අකුරක්වත් ඉගෙන ගන්නෙ ලොකු බේබි හාමුට පිං සිද්ද වෙන්න... නැද්ද ඒයි...!”

“හරි.. හරි.. උඹලගෙ තර්කෙ හරි.. බං. ඒ වුණාට මං උඹලට නොකී පොඩි රහසක් තියෙනවා බං.. අපේ කරුණාදාස තමා මට කීවෙ.. ගෙදර ගියාම කියන්නංකො හ්ම්.. දැන් ඕවා නවත්තගම්මුකො..”

කාලය පැය - දින - සති - මාස වලින් පියාඹා ගියේ එහේ බලලා මෙහේ බලනකොට කියා හැමෝම හිතනවා වගේය. රත්නපුරේ සමන්ති බේබිහාමු ජයේන්ද්‍ර සමඟ පලා ගොස් විවාහවීමේ සිද්ධි‍යේ උණුසුම පහවෙලා ගිහින්ය. ජ‍ෙය්න්ද්‍රගේ පියා, ජයතිස්ස නැවත රත්නපුර වලව්වේ සේවයට පැමිණීම යහපත් සිද්ධියක් විය.

ඒ අතරේ මේ විවාහය සම්බන්ධව හාරා ඇවිස්සීම් කරමින් දැඩි සේ විරෝධය පාමින් රත්නපුර හාමු ජෝඩුවද අවුස්සමින් සිටිය විල්ප්‍රඩ් හාමු උපාසකයෙකුසේ නිහඬ වූයේ ඇයි දැයි හැමෝටම ප්‍රශ්නයක් විය.

ඒත් ඒ රහස දැන සිටියේ ජයතිස්සගේ බිරිය වන චන්ද්‍රලතා පමණි. තේ ගස් තේ දලු කතා නොකරයි. පොල් ගස් ද තෙල් මෝල් ද කතා නොකරයි. කතා කරන්නේ හිත විතරය. ඒ හිත හැමෝගේම යහපත සඳහා ගොලුකරගෙන සිටිය යුතු බ ව චන්ද්‍රලතා දන්නීය.

මේ අතරේ කුමාර කොලුවාට ගමේ පාසලට යාමට අවස්ථාව සැලසුණි. ඒ ලොකු බේබි හාමුගේ මැදිහත්වීම නිසා බව කටින් නොකීවාට ජන්තු - සිරියා දෙමාල්ලෝ දැන සිටියහ.

Comments