විදුහල්පති භූමිකාව ත්‍රාසජනක පුහුණුවක එල්ලීම | සිළුමිණ

විදුහල්පති භූමිකාව ත්‍රාසජනක පුහුණුවක එල්ලීම

 මීට වසර කිහිපයක අතීතයට මා සිත දිව යයි. එස්. බී දිසානායක මහතා එවකට උසස් අධ්‍යාපන ඇමැති ධූරය දරන වකවානුවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට එහි ඇතුළුවීමට ප්‍රථම අලුත්ම ආකාරයේ පුහුණුවක් දෙන්නට එවකට සිටි අධ්‍යාපන බලධාරීහු සූදානම් වූහ. අවසානයේ එය කට වචනයක් පමණක් නොවූ අතර විශ්වවිද්‍යාලයට පිවිසීමට පෙර සෑම සිසුවෙකුටම නායකත්ව පුහුණුවක් ලබා දීම ආරම්භ විය. එවකට විශ්වවිද්‍යාලවල තිබූ නවකවද වැනි අර්බුදයන්ට මෙමඟින් යම් ආකාරයක විසඳුමක් සොයන්නට උත්සහ ගත් අතර සිසුන්ට නායකත්වය දැරීමට හුරු කිරීම මඟින් විශ්වවිද්‍යාල පරිසරයන්හීදි තමන් මුහුණපාන විවිධ අර්බුදයන්ට යෝග්‍ය පෞරුෂයක් ගොඩ නැගීම යන කරුණු අරමුණු කරගෙන මෙම සිසු නායකත්ව පුහුණුව ආරම්භ විය. කිහිප විටක් මෙය වාර්තා කිරීම පිණිස අදාළ කඳවුරුවලට ගිය මා හටද මෙය අපූරු ආකාරයේ අතිදැකීමක් විය. දින මාස ගණනක් දෙමවුපිය පරිසරයෙන් වෙන්ව යාම නිසා කදුළු පෙරාගෙන පැමිණි සිසුන් අවසානයේ ගියේද වෙන්වයාමේ කදුළු පෙරමිණි. ඒ මේ නායකත්ව පුහුණුව ඔවුන්ගේ සිත් තදින්ම වැළඳ ගත් නිසාවෙනි. කෙසේ වෙතත් වැඩි කාලයක් යන්නට මත්තෙන් එය අහවර වූයේ යම් යම් ප්‍රායෝගික ගැටලු මතුවු නිසාවෙනි.

ඉන් අනතුරුව මේ නායකත්ව පුහුණුව විදුහල්පතිවරුන් සඳහා වෙන්විය. ආරම්භක කාලය මතකයේ නොමැති වුවත් මේ පුහුණුවෙන් පසු විදුහල්පතිවරුන්ට කර්නල් හා කැප්ටන් තනතුරු ප්‍රදානය වීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ පිළිබඳ විවිධ කසුකුසු ඇති විණි. එය වඩාත් තීව්‍ර වූයේ 2013 වසරේදි සිදුවූ එක්තරා කණගාටුදායක සිදුවීමක් සමඟය. ඒ රන්දෙනිගල පුහුණු කඳවුරක මෙවැනි ත්‍රාසජනක අභ්‍යාසයක් කරන අතරතුර සීදුව පඤ්ඤානන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයකු හදිසියේ මිය යාමයි. ඒ සිදුවීම කාලයාගේ ඇවෑමෙන් මැකී ගියද විදුහල්පති නායකත්ව පුහුණුව නොවෙනස්ව එසේම පැවැතිණි. වසර පහකට පමණ පසු එහි දෙවැනි සීණුවද නාදවිය. ඒ පසුගියදා දහසකුත් එකක් දරුවන්ගේ ණැන නුවන පෑදූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වූ රෝහිණි කුමාරි අතපත්තු මහත්මිය කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණුවක සහභාගි වෙමින් සිටියදි හදිසියේ ඇද වැටී මිය යෑමයි.

මෙය ඉතාම ඛේදණිය මරණයක් වන අතර ඇයගේ මරණය පිළිබඳවද මේ වන විට යම් යම් මතවාදද නැඟෙයි. ස්වේච්ඡාවෙන් කඹයක නැගීමේදි කඹය කැඩී ඇඳ වැටී මිය ගිය බවද, තවත් පිරිසක් කඹයෙන් බැසිමට ආසන්නයේදි බිම ඇද වැටී ඇය පැළඳ සිටි හෙල්මටය ගැලවී වැටි මේ තත්ත්වය උද්ගත වූ බව ද සඳහන් වන නමුත් මේ වන විට සියල්ල අහවර වි ඇත්තේ දරු පිරිසකට විදුහල්පති මාතාවක් මෙන්ම දරුවන් සිවුදෙනෙකුට මවක් අහිමි කරමිනි. නායකත්ව පුහුණුව විදුහල්පතිවරුන්ට ඇවැසි දෙයක්ද, මෙහි වරදක් සිදුව ඇත්තේ නම් එය කොතැනද, දැන් මෙහි වගකීම දරන්නේ කවරුන්ද, රජයේ පුහුණුකරුවන් සිටිත්දී මෙය පෞද්ගලික අංශයට පැවැරුවේ කවුරුන්ද, ප්‍රමිතියකින් යුතුව මෙය සිදු නොවුනිද? අද මේ නොවිසදුණු ප්‍රශ්න බොහෝමයක් මේ මරණය සමග ඉතිරි කර ඇත.

“පාසලක විදුහල්පතිනියකට නායකත්ව පුහුණුව වගේම පරිපාලන අංශයෙන්, චිත්ත ධෛර්යය වර්ධනය කිරීම පිළිබඳව මෙන්ම පාලනය බෙදා හදාගෙන පාලනය කිරිම සම්බන්ධයෙන් පුහුණුවීම් ඉතා අවශ්‍යයි. වර්තමානයේ නායකත්ව සංකල්පය විදුහල්පති භූමිකාවට අවශ්‍යම දෙයකි. ඒ වගේම මේ නායකත්වය විවිධාකාරයෙන් තිබිය යුතුවනවා සේම එය එකාකාරිත්වයෙන්ද බැහැර විය යුතුයි. එසේම විදුහල්පතිවරුන් පාසල් පරිපාලනයේදි ඉහළ අංශ සමඟ ඉහළට ගමන් කළ යුතුවා සේම තම සමූහයා සමඟ හරස් අතටද ගමන් කළ යුතුයි. විදුහල්පතිවරුන්ට ඉහළට නැඟීමේ අභිලාශය ලබාදීම යහපත්ය. ඉහළට යාමේ පුහුණුව ලබාදීම අවශ්‍යම දෙයකි. ඒත් ඒ පුහුණුව කඹයක් වැනි දෙයකින් කිරීම සාර්ථකද නැද්ද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය. මේ නිසා මේ සිදුවීම ගැන අපි සොයා බැලිය යුතුයි..“ ඒ ජාතික අධ්‍යාපන කොමිසන් සභාෙව් උප සභාපති ආචාර්ය ජී. බි. ගුණවර්ධන මහතාය.

මේ සිදුවීමත් සමඟ බොහෝ දෙනා තර්ක කරනුයේ ත්‍රාසජනක අතිදැකීම් හා පාසල් පරිපාලනය අතර පවත්නා සබඳතාවයන්ය. දෙවැන්න ඇයගේ වයස් මට්ටම අනුව මේ දේවල්වලට මුහුණ දීමේ හැකියාව ඇය සතුව පවතීද යන්නයි. වෛද්‍යවරුන් දක්වන්නේ වෙනත් අදහසකි.

“විදුහල්පතිවරුන්ගේ නායකත්වය හා පෞරුෂ සංවර්ධනය අරමුණු කරගෙන කරන මෙම පුහුණු කටයුත්ත හොඳයි. නමුත් අනිවාර්යයෙන් වයස අවුරුදු 35 කට වැඩි අයෙකු මෙවැනි ක්‍රීඩාවකට සම්බන්ධ කර ගන්නවානම් වෛද්‍ය පරීක්ෂණයක් කිරිම අනිවාර්යයි. බොහෝ විට එවැනි වයස්වල අය මෙවැනි අවදානම් ක්‍රිඩාවන්හි නිරතවන විට ශරීරයේ සීනි ප්‍රතිශතය අඩුවැඩි විය හැකියි. එසේම හදිසි හෘදයාබාධ ඇතිවිය හැකියි. මොළයේ අබාධ පවා ක්ෂණිකව ඇතිවිය හැකියි. එසේම මෙවැනි පුහුණුවක් දීමට ප්‍රථම ඒ සඳහා සහභාගි වන්නන්ට මාසයක පමණ කාලයක් ව්‍යායාම් වල නිරත විය යුතුය. මේ පුහුණුවීම් ලබා දීමේදි හොඳ ප්‍රථමාධාර මෙන්ම ආරක්ෂාව පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත්විය යුතුය. අපේ රට fitness culture එකකට හුරුවූ සමාජයක් නොවෙයි. ඒ නිසා හදිසියේ මෙවැනි නුහුරු නුපුරුදු දේ කිරීමෙන් විවිධ අනතුරු ඇතිවිය හැකියි......“මේ සම්බන්ධයෙන් එසේ අදහස් දැක්වූයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ධම්මික සේනානායක මහතා ය.

වර්තමානයේ විදුහලපති භූමිකාව කොටුවී ඇත්තේ පාසල් පරිසරයටය. මේ නිසා ඔවුන්ට ව්‍යායාම් බොහෝ දුරට අඩුය. නමුත් නායකත්වය දැරීමට මෙන්ම අභියෝග ජයගැනීමට විදුහල්පතිවරුන්ට සිදුවන නිසා මෙවන් පුහුණු යෝග්‍ය වුවද එය කඹයක එල්ලීමෙන් හෝ බිත්තියක් දිගේ බඩ ගෑමෙන් හෝ එවැනි ත්‍රාසජනක අතිදැකීම් ලබා දීමේන් අපේක්ෂිත සාර්ථකත්වයක් අතකරගත හැක්කේද?

“අපි අපේ විරෝධය පළකරනවා මේ පුහුණුවට. විදුහල්පතිවරුන්ට නායකත්වය දෙන්න කඹ උඩ නග්ගන්න අවශ්‍ය නැහැ. විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව අවශ්‍ය නැහැ. විදුහල්පතිවරුනුත් දැනගත යුතුයි මේ දේවල් ප්‍රතික්ෂේප කරන්න. විදුහල්පතිවරුන්ට තෝරගත් ඊට ගැලපෙන පුහුණුවීම් පමණක් දිය යුතුයි. අනික අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සඳහා හොඳ පුහුණුකරුවන් ඉන්නවා. එහෙම ඉන්දෙද්දි ඇයි මෙය පෞද්ගලික අංශයට දුන්නේ? මේවට මුදල් දෙන්නේ කවුරුන්ද? මේ නිසා මේ කටයුත්තට අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතුයි. නමුත් අද මේ සියලු දෙනාම නිහඬයි.......“ එසේ පැවැසුවේ ශ්‍රි ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිරි මහතාය.

මේ පිළිබඳ කරුණු කාරණා විමසීමේදී අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මුනිවත රකි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිලිබඳව විශේෂ විමර්ශනයක් අමාත්‍යාංශ මට්ටමින් දියත් කර ඇති නිසාදෝ අමාත්‍යාංශ බලධාරින් කිසිවකුත් කිසිවත් පවසන්නේ නැත. මේ කටයුත්ත පවරා ඇත්තේ මීරිගම ප්‍රදේශයේ වූ පුහුණු ආයතනයකට බව සැලය. මෙවැනි ආයතනයක් මෙවැනි අන්දමේ පුහුණු වීම් කරන්නේ නම් පළමුව ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු දෑ බොහෝ වෙති. එහෙත් ඔවුන් අතින් ඒ දේ සිදුවූවාදැයි විමසන්නට උත්සාහ ගත්තද දුරකතනයට පිළිතුරක් දෙන්නට ඔවුන් උත්සාහ කළේ නැත.

'chalange by choice' එනම් අභියෝගය තම අභිමතය පරිදීය. ලංකාව පුරා වූ බොහෝමයක් ආයතන මෙවැනි ක්‍රිඩාවන් පුහුණු කරන්නේ සියල්ලටම පළමුව ආරක්ෂාවට මුල්තැන දෙමිනි. “ලණුවකින් උඩට නැගීමේදි ආරක්ෂිත පළඳනාවක් (harness) මෙන්ම ආරක්ෂිත ලණුවක් (safety rope) පැළඳගෙන උඩට නැඟීම අත්‍යාවශයයි. උඩ සිට බිමට වැටුනහොත් මේ දෙක නිසා රැඳිලා ඉන්නවා. මේ නිසා මේ අනතුර සම්බන්ධයෙන් එහි සිටි උපදේශකයින් වගකිව යුතුයි. මෙවැනි පුහුණුවිම්වලදි අපිට අනතුරක් වළක්වා ගැනීමට ප්‍රතිකර්ම යොදන්න පුළුවන්. ක්‍රිඩාවක් සඳහා අපි යමෙකු වතුරට දමන්න පෙර ඒ ගඟ ගැන හොඳ අවබෝධයක් අපිටත් තියෙන්න ඕන. ගඟේ වලවල්, මුල් තියෙනවද, වතුර ගලන දිසාව වගේ දේවල් හොඳට දැන සිටියා යුතුයි. ඒ වගේම මේ සඳහා භාවිතා කරන උපකරණ හොඳ ප්‍රමිතියකින් තිබිය යුතුයි. ඒවා භාවිතා කිරිමට පෙර නිතරම පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම අනතුරක් වු පසුව එයින් බේරෙන ආකාරය ක්‍රීඩාවට පෙර දැනුවත් කළ යුතුයි. ඒ වගේම ආරක්ෂාව සඳහා ප්‍රථමාධාර දීමට අවශ්‍ය උපකරණ නිතරම ළඟ තිබිය යුතුයි. අනතුරක් වුවහොත් බෙල්ලේ සහයට දමන උපකරන, ඒ සඳහා අවශ්‍ය ඇඳ ළඟ තිබිය යුතුයි. මේ සියල්ලම නැතුව පුහුණු වීම් කිරීමෙන් මෙවැනි අනතුරු ඇතිවීමේ ඉඩකඩ බහුලයි. මෙවැනි ක්‍රිඩාවකදි හැම දේමට කලින් ආරක්ෂාව තිබිය යුතුයි. ක්‍රීඩාවන් කරද්දි යමෙකුට ප්‍රශ්නයක් නම් වහා නැවැත්විය යුතුයි. මේ සිදුවීම හරීම කණගාටුදායකයි. විදුහල්පතිවරු කියන්නේ හොඳ නායකයින් . නමුත් විදුහල්පතීවරුන්ට මෙවා කරන්නට ප්‍රථම ඒවා අදාළදැයි බැලිය යුතුව තිබුණා. විදුහල්පතිවරු කියන්නේ කාර්යාලයක් තුළ රාජකාරි කරන පිරිසක්. මේ අයට බොහෝ දුරට ව්‍යායාම් අඩුයි. ඒනිසා ඒ අයට මෙවැනි බරපතළ ක්‍රිඩා කරද්දී ක්‍රියාශ්‍රීලිත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.....“. එසේ පැවැසූයේ ලංකාවේ නමගිය සාර්ථකව මෙවැනි පුහුණුවිම් කරන ආයතනයක භාරකරුවෙකු වන මේජර්වරයෙකි.

මේ සඳහා පාසල් වල විදුහල්පතිවරුන් තෝරා ගැනීමක් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි. එයට වයස් භේදයක්ද නැත. නමුත් මෙවැනි අභියෝගිත්මක ක්‍රීඩා කරද්දි වයස් භේදය අනිවාර්යයෙන්ම සැලකිය යුතුය. මෙම විදුහල්පතිනිය මීට පෙර මෙවැනි පුහුණුවීම් දෙකකට ගොස් තිබුණද එහිදි පුහුණුව සාර්ථකව නිම කර ඇත්තේ ය. වාර්තා වන අන්දමට මේ අවස්ථාවේදීද ඇයත් සමඟ සිටි පිරිස මේ ක්‍රිඩාව කිරිම ප්‍රතික්ශේප කර ඇති අතර ඇය විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ ඇය පෙර කෙඩෙට් ගුරුවරියක්ද විම නිසා වන්නට ඇත. එහෙත් අවසානයේ රටට අහිමි වූයේ වටිනා ගුරු මාතාවකි.

“2013 දි මේ වගේ පුහුණුවකදි සීදූව පඤ්ඤානන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයකු හදිසියේ මියයෑම සිදුවුණ වෙලාවේදීත් අපි මේ ගැන අපේ විරෝධය පළ කළා. මේ දෙවැනි සිදුවීම. ප්‍රශ්නය තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙවැනි පුහුණුකරුවන් ඉන්දෙද්දී බාහිර ආයතනවලට ඇයි මේ වගකිම් දෙන්න යන්නේ කියලා. අනිත් ඒවා වගේ මේ පුහුණුවත් පෞද්ගලීකණය කරලා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අහනවා මේවා දුන්නේ විධිමත් ටෙන්ඩර් පටිපාටියට අනුවද කියලා. ඒ වගේම ඔවුන්ගේ හැකියාව බැලුවද? මේ විදුහල්පතිනියව යවලා තියෙන්නේ අතුරේ රා මදින්න යනවා වගේ ගමනක්. මේ සඳහා අවශ්‍ය ආරක්ෂාව තිබිලත් නැහැ. අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ නව ප්‍රවනතාවයන් ඇතිවි තියෙනවා. ඒ වගේ ම පාසල් පරිපාලනයේ නව ප්‍රවනතා ඇතිවී තියෙනවා. මේ නිසා මේවා ගැනයි විදුහල්පතිවරුන්ට පුහුණුවීම් දිය යුත්තේ. මේ සම්බන්ධයෙන් වගකිම් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතුයි.මේ විදුහල්පතීන්ව පුහුණුවීම් වලට යැවූ අමාත්‍යාංශ බලධාරීන් මෙයට වගකිව යුතුයි. අමාත්‍යාංශ ලේකම්ට මේ වගකිමෙන් බැහැර වෙන්න බැහැ. අද හැමෝම බෝලේ පාස් කරන්න හදනවා. ඒත් වටිනා ජිවිතයක් රටට අහිමි වෙලා....“ ඒ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාය.

සුභාෂිණි ජයරත්න

Comments