මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් | සිළුමිණ

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

වානි සුරේන්ද්‍රනාතන්

අපි හැම දෙනාම මේ දිනවල සියලු රාජකාරි අතහැර අවධානයෙන් සිටින්නේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ සහ ඉන් මතු රටේ කෙබඳු වෙනස්කම් වේද කියාය. ඒ නිසා ගමනක් යද්දී පවා ඉදිරියට එන අයගෙන් 'කොහොමද ඡන්දෙ?' කියා ඇසෙන්නේ ඉබේටම මෙනි. සමස්තයක් ලෙස සියයට අසූවක් ඡන්ද හිමියන් ඡන්දය භාවිත කළ බැවින් අප සිතන්නේ ඉතිරි විස්ස කම්මැළිකමට හෝ දේශපාලනය පිළිබඳ කලකිරීම නිසා ඡන්ද පොළට නොගියා විය යුතුය කියාය. එහෙත් ඊට වඩා වෙනස් අරුතක් සහ අප අවධානය යොමු නොකළ කරුණක් එයට හේතු වී තිබේ. ඒ තුන්වැනි රාජ්‍ය භාෂාවය.

අප බොහෝ දෙනකු දන්නේ මේ රටේ සම්මත වී ඇත්තේ රාජ්‍ය භාෂා දෙකක් පමණක් බවය. එහෙත් 2017 සිට සංඥා භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් වූ බව එතරම් ප්‍රසිද්ධ වූ කරුණක් නොවේ. අපේ අවධානය එතරම් යොමු නොවන විශේෂයෙන් දේශපාලනඥයන්ගේ අවධානයෙන් බොහෝ ඈතට ගිය පිරිසක් මේ රටේ ඡන්දදායකයින් ලෙස සිටින බව මට ද අවබෝධ වූයේ පසුගියදා කොළඹ ජයවර්ධන කේන්දයේ පැවැති ආබාධ සහිතවූවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රිස්ටොෆෙල් බ්ලින්ඩෙන් මිෂන් ආයතනය මඟින් පැවැත් වූ මාධ්‍ය හමුවකින් පසුවය.

එහි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනී වානි සුරේන්ද්‍රනාතන් මහත්මිය පෙන්වා දුන්නේ දෘශ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත ඡන්ද දායකයන් මේ මැතිවරණවලදී සිය ඡන්දය භාවිත නොකරන්නේ මේ තුන්වැනි රාජ්‍ය භාෂාව භාවිත කිරීමට මෙරට කිසිදු රජයක් නිසි පියවර ගෙන නැති නිසා බවය.

'දෘශ්‍යාබාධිත අය ඡන්දය භාවිත කරන්න ගියේ නැත්තේ ඒ අයට ඡන්ද ලකුණු අඳුනා ගන්න ක්‍රමයක් නැති නිසා. බ්‍රේල් වැනි ඔවුන් භාවිත කරන යම් ක්‍රමයකින් මේ ලකුණු හඳුනාගන්න තිබුණා නම් ඔවුන්ගේ ඡන්දය ඔවුන් සහතික වශයෙන්ම කැමැති පක්ෂයට ලබා දෙන්න හැකියාව තිබෙනවා. ශ්‍රව්‍යාබාධිත අය ඡන්දය නොදැම්මේ ඔවුන්ට දේශපාලන පක්ෂවල නියෝජිතයන් කියන කිසිවක් නොඇසෙන නිසා. ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවාද? රටේ අනාගතය වෙනුවෙන් ගන්නා තීරණ කෙබඳුද යන්න ගැන ශ්‍රව්‍යාබාධිත අයට දැන ගන්න නම් සංඥා භාෂාවෙන් ඒ අදහස් සන්නිවේදනය විය යුතුයි. එහෙම ක්‍රමයක් මේ රටේ ක්‍රියාත්මක වන්නේ නෑ. ඉතින් තමන්ට නොතේරෙන දේවල් කතා කරන අයට ඡන්දෙ දෙන්නේ කොහොමද? කියලයි ඒ අය ප්‍රශ්න කරන්නේ.'

ඇය සඳහන් කළ ආකාරයට මෙහි ඇති කණගාටුදායකම තත්ත්වය ශ්‍රව්‍යාබාධිත බව අපට බාහිරින් හඳුනාගත නොහැකි වීමය. කන් නොඇසෙන බව හෝ කතා කළ නොහැකි බව අපට හඳුනා ගත හැක්කේ අප ඔවුන් සමඟ කතා කිරීමට උත්සාහ කළ හොත් පමණි. එපමණක් නොව ඇස් පෙනීමේ අර්ධ දුර්වලතා ඇති අයද, වයස්ගත වූ අය, ශරීරාංග හොඳින් පවතින බව පෙනුනද කොඳු ඇට පෙළ හෝ සුෂුම්නාවට හානි වූ අය වැනි බොහෝ දෙනකු ද අයත් වන්නේ ආබාධ සහිත වූවන්ටය. ඡන්ද පොළේ පඩිපෙළ නැඟ ගැනීමට නොහැකි බව දන්නා නිසා නොපැමිණෙන ඡන්ද දායකයින් සිටින බව ඇය ප්‍රකාශ කරද්දී එහි ප්‍රායෝගික අත්දැකීමක් මටද ඇති බව සිහි විය.

අප නිවෙසට ගෙවල් තුනක් ඔබ්බෙන් ඇති නිවෙසේ පදිංචි 'සුදු අංකල්' ඡන්ද කාලයට 'බැහැගෙන වැඩ කළ' අයෙකි. හදිසියේ කකුලේ ඇති වූ තුවාලයක් සෙලියුලොයිටිස් තත්ත්වයට පත්ව ඔහු බොහෝ දුක් වින්දේය. පිරුණු ශරීරය ක්‍රමයෙන් වැහැරී ගියේ එක තුවාලයක් ඔඩු දුවන තත්ත්වයට පත් වූ නිසාය. රටේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකුගෙන් බෙහෙත් කරන ඔහුට දැන් 'සුදු ඇන්ටී'ගේ වාරුව නැතිව ඇඳෙන් බසින්නට පවා නොහැකිය. ඡන්දය දිනයේ අප සියලු දෙනා ඔහුට නොයෙක් යෝජනා කළත් මධ්‍යස්ථානයේ පඩිපෙළ මතක් වන නිසා ඔහු එහි යෑමෙන් වැළකී සිටියද සුදු ඇන්ටීගේ ඡන්ද අයිතියට ගරු කරමින් ඇයට අප හා යන්නට ඉඩ දුන්නේය. ඇත්තෙන්ම ඔහු පමණක් නොව අපේ අම්මා පවා පඩි පෙළ නැංඟේ අප දෙදෙනකුගේ වාරුවෙනි. වයස්ගත වීමද ආබාධ සහිත තත්ත්වයක් බව සඳහන් වන විට මේ සියල්ල එකිනෙක ගැළපෙමින් අදාළ චිත්ත රූප මගේ ඉදිරියේ මැවුණේ අප බොහෝ විට නොසලකා හැරියද අප අතර ආබාධ සහිත වූවන් කෙතරම් සිටීද යන්න සිහිපත් කරවමිනි.

අපිද තාවකාලිකව ආබාධ සහිත වන අවස්ථා පවතී. ඒ බොහෝ විට අප එකිනෙකාට සාත්තු කර ගනිමින් එයින් මිදුණු පසු සියල්ල අමතක කර දමන්නෙමු. එහෙත් සදාකාලික ආබාධ සහිත වූවකු අපේ පවුලක සිටින විට අපේ ජීවිත කෙතරම් වෙනස් වන්නේද? සුරේන්ද්‍රනාතන් මහත්මිය පවසන ආකාරයට එවැනි පවුලකට ජීවිතයක් නැති තරම්ය. එමෙන්ම මේ බර බොහෝ විට දරන්නේ පවුලේ අම්මාය.

'සමහර අය හිතන්නේ මේ වගේ දරුවන් ඉපදෙන්නේ ගෑනු කෙනාගේ අවාසනාව නිසා කියලා. ඒක නිසා ආබාධ සහිත දරුවෙක් බිහි වුණොත් බොහෝ වෙලාවට තාත්තලා ඒ පවුල අතහැරලා යන අවස්ථා තිබෙනවා. එහෙම වුණාම තත්ත්වය තවත් බරපතළයි. මොකද ආර්ථික වශයෙනුත් ඒ අය දුකින් දුකට වැටෙන නිසා. කොහොම වුණත් ආබාධ සහිත අයට රැකවරණය දෙන්නේ සියයට 80ක්ම කාන්තාවන්.'

මේ තත්ත්වයන් සලකා ආබාධ සහිත වුවන් සඳහා ආධාර ක්‍රම ආදිය තිබුණද ඒවා නිසි අයුරින් ලබා ගැනීමේ අපහසුතා රට පුරා පවතින බවද ඇය පෙන්වා දුන්නාය.

'ආබාධ සහිත වූවකුට මසකට රුපියල් 3000/- ලබා දීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. එය 1996 සම්මත වූ පනතක්. ඒත් සමහර පළාත් පාලන ආයතන එය දන්නේ නෑ. අනෙක සමහර ග්‍රාම නිලධාරීන් හිතන්නේ මේ මුදල ලබා දීම තමන් ඒ අයට කරන විශාල උදව්වක් කියලා. එහෙම දෙයක් නෑ. ඒක ඔවුන්ගේ රාජකාරිය වගේම, ආබාධ සහිත අයගේ අයිතිවාසිකමක්. අනෙක බොහෝ දෙනා හිතන්නේ ආබාධිත කියන්නේ එක්කෝ කකුලක් අතක් නැති වෙනවා වගේ පේන දේවල් විතරයි කියලා. ඒ නිසා කොඳු නාරටිය සම්බන්ධ ආබාධ නිසා ඇවිදගන්න බැරි වීම වගේ අපට එකවර හඳුනාගත නොහැකි තත්ත්වයන්වලදී ආධාර මුදල දෙන්න අදිමදි කරනවා. මේ දේවල් සම්බන්ධ දැනුම්වත් වීම මද කම නිසායි මේ තත්ත්වය උද්ගත වී තිබෙන්නේ. තවත් විශේෂ කාරණයක් නම් ඇතැම් පාසල්වල ආබාධ සහිත දරුවන් සඳහා වෙන්වූ පන්ති කාමර තිබුණත් ඇතැම් පාසල් ඔවුන් අනෙක් සියලු ළමයින් සමඟ අධ්‍යාපනය ලැබිය යුතුයි කියන මතයේ ඉන්නවා. එය ඉතාම හොඳ සිතිවිල්ලක් වුණාට අර විශේෂ දරුවන්ට උගන්වන්න ගුරුවරුන්ට තිබෙන පුහුණුව, ඔවුන් දිය යුතු අවධානය ලබා දීමට ඇති හැකියාව හා වේලාව ආදිය සැලකීමේදී මෙය සාර්ථක ක්‍රමයක් ලෙස සැලකිය නොහැකියි. විශේෂයෙන් අපට සංඥා භාෂාවෙන් ඉගැන්විය හැකි පුහුණු ගුරුවරුන් ඉතා අඩුයි.'

ආබාධ සහිතවූවන් සඳහා ලෝක ආධාර ක්‍රමයක්ද ඇති මුත් ඒවා රටට ලැබීමේ ගැටලු ඇති වී ඇත්තේ අපේ රට ආබාධ සහිත වූවන් සඳහා අනුගමනය කරන පිළිවෙත හා පවතින ආර්ථිකය අතර ඇති පරස්පර විරෝධතාව නිසාය. ඒ පිළිබඳවද වානි සුරේන්ද්‍රනාතන් මහත්මිය මෙසේ පැහැදිලි කළාය.

'දැන් අපේ රටේ සාක්ෂරතාව සියයට 91ක් පමණ වනවා. සංඥා භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස නම් කර තිබෙනවා. ඒ වගේම ආබාධ සහිත වූවන් සඳහා වන ගෝලිය ප්‍රඥප්තිවලට රජය අස්සන් කරලා එකඟතාව පළකරලා තිබෙනවා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන්න. ඔවුන්ගේ අයිතීන් තහවුරු කරන අණපනත් රැසක් ව්‍යවස්ථාපිත වෙලා තිබෙනවා ඒ වගේම අපි මැදි ආදායම් ලබන රටක් බවට පත් වෙලා. මේ තරම් 'දියුණු' මට්ටමක් තිබෙන රටකට ආධාර අවශ්‍ය නෑ කියන තැනයි ලෝකය ඉන්නේ. ඉන්දියාවේ සමුළුවකදී පවා අපේ රටට ආධාර අවශ්‍ය නෑ කියන මතයක් ගොඩ නැඟුණා. ඒත් යථාර්ථය කුමක්ද?ආබාධ සහිත වූවන්ගේ සුබසාධනය, ඔවුන්ගේ අයිතීන් ඒ අයුරින්ම රැකෙනවාද කියන දේ තමයි ලොකුම ප්‍රශ්නය. එක උදාහරණයක් කියන්නම්. මේ රටේ මුස්ලිම් ජනගහනය සියයට 9.2යි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කී දෙනෙකු ඉන්නවාද? ඒ වගේම මේ රටේ අවරුදු 5ට අඩු සහ මානසික ආබාධ සහිත වූවන් හැරුණු කොට ඉතිරි ආබාධ සහිත වූවන් සියයට 8.7යි. ඒ වෙනුවෙන් නියෝජිතයන් කී දෙනෙක් මන්ත්‍රීධුර දරනවාද? නියෝජිතයන් මොනවා වුණත් අඩුම ගානේ ඔවුන්ගේ අයිතින් තහවුරු කිරීම සඳහා කීදෙනකු අවධානය යොමු කරනවාද?'

මේ මාධ්‍ය හමුවේදී ඔවුන් අපට ඉතිරි කළේ තවත් ඡන්ද ප්‍රතිඵලයකි.

අරුණි මුතුමලී 

Comments