නියඟය හා වැස්ස ගැන පුරාණ ආකල්ප | Page 2 | සිළුමිණ

නියඟය හා වැස්ස ගැන පුරාණ ආකල්ප

 වැස්ස හා නියඟය යන සංකල්පය අපේ සංස්කෘතියෙහි මුල් බැසගෙන ඇත්තේ අද ඊයේ නොව, කෘෂි ආර්ථික රටාවක් පවතින ලක් පොළොවෙහි ජීවත්වන මිනිසාට වැස්ස හා නියඟය පිළිබඳව ඇත්තේ අපූර්ව දැනුමකි. විද්‍යාවේ දියුණුව ඇතිවීමට පූර්වයෙන් ද සිංහලයන් තම ගොවිතැන් බත් කිරීමේදී ඒවා කලට වේලාවට කිරීමේ අවශ්‍යතාව දැන සිටියේ වැස්ස ලැබෙන හා නොලැබෙන අවධීන් පිළිබඳ දැන සිටි නිසාය. මේ නිසා අපේ පැරැන්නන් එසේ වැස්ස හා නියඟය දැන සිටියේ කෙසේද? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

වැස්ස ලැබෙන්නේ වලාකුළු වලිනි. මෙයටම මේඝ යැයි කියනු ලැබේ. “ධූම: ජ්‍යොති: සලිල මාරුතාං සන්නි පාත:ත්ව මේඝ:” යනුවෙන් මීදුම, හිරුරැස්, ජලය, සුළං යන මොවුන්ගේ එක්වීම මේඝ නම් වේ යැයි කාළමුණි කවීන් ද එක් තැනකදී සඳහන් කොට ඇත. මහා සමුද්‍රයෙහි නැව් පදවන නාවිකයකුට අහසෙහි බබළන තරු යම් සේ උපකාරී වෙත්ද ‍එසේම හිටි හැටියේම කඩා හැළෙන වැස්ස පිළිබඳව යම් තරමකට හෝ ලකුණු දැන සිටීම ගොවියාට ඉතා අවශ්‍ය විය. “කුසේ සිටින දරුවත් අහසේ තියෙන වැස්සත් ගණන් ගන්න බෑ” යනුවෙන් පැරැන්නන් අතර එක්තරා කියමනක් ද ඇත්තේ මේ නිසාය.

එක්තරා ධර්ම ග්‍රන්ථයකට අනුව නම් පෙර දවස මෙසේ වැසි නියං කාල පිළිබඳ අනාවැකි කිව් කාලි නම් යක්ෂණියක් සිටි බව පෙනේ. එහෙත් අද එවැනි කෙනෙක් ඇත්නම් කොතරම් වටින්නේ ද? එනමුදු අද පවා අප අතර සිටින වැහි ලිහිණි, මොනරු ආදී පක්ෂීන් මෙන්ම මණ්ඩුක, කකුළු ආදී ඇතැම් ජලචර සත්ත්වයින් ද වැසි ලකුණු ඉවෙන් මෙන් දන්නා බව ඇතැම් ‍ගැමියෝ මනාව දනිති. මිනිසාට එවැනි ස්වභාවික ගණයක් පිහිටා නැති නමුදු වලාකුළු, විදුලිය, දේදුණු ආදියෙහි ආධාරයෙන් හා පැරණි ඇතැම් බුද්ධිමතුන් විසින් සකසා ඇති මේඝ පටල ශාස්ත්‍රයේ අනුසාරයෙන් වැසි ලකුණු නියම ආකාරයෙන් දත හැකි බව කිව හැකිය. නමුත් මෙවැනි ශාස්ත්‍රයක් පිළිබඳව ලියවී ඇති පොත පතෙහි ඇති අඩුපාඩුව නම් ඉමහත් බව සැබෑය.

පුරාණයේ විසූ අපේ මුතුන් මිත්තන් මෙන්ම අද වෙසෙන අපේ ඇතැම් ගැමියන් ද තමා අවට සිදුවන පාරිසරික වෙනස්කම් වලට අනුව වැස්ස ලැබේද? නොලැබේද? යන්න හා නියඟය කොතෙක් කල් පවතීද යනාදිය පිළිබඳව හොඳින් වටහා ගනී. මෙහිදී මිනිසුන්ගේ හා සතුන්ගේ විවිධ වූ ඉරියව් හේතුකාරක වේ. එනම් දෑකැත්තා, ඇටි කුකුළා වැනි සතෙක් කෑගහන විට එයින් ඇඟවෙන්නේ වැස්ස ඉතා ළඟ බවය. එමෙන්ම ගෙම්බෝ ඉතා අධික ලෙස කෑගැසීම, වෙල් එළි කඳු මුදුන් ආදියේ සිටින මී හරකුන් අහස දෙස බලාගෙන සිටීම, ලිහිණියන් උඩ අහසේ ඉගිලීම, පොළවේ හුඹස් ආදියේ සැඟවී සිටින මෙරුවන් විශාල වශයෙන් උඩට මතුවීම, නියං කොබෙයියාගේ ඉඟිලීම ආදී සතුන්ගේ ඉරියව් වලින් විද්‍යාමාන වනුයේ එනම් ප්‍රකාශ වන්නේ නියඟය ඉතා ළඟ බවයි.

ලක්දිව පමණක් නොව යුරෝපීය ප්‍රදේශවල ගොවිතැන් බත් කරන වැසියෝ ද යම් යම් සත්ත්ව ප්‍රතික්‍රියා මඟින් වැස්ස හා නියඟය පිළිබඳව දැන ගනී.

සිංහල ජනයා අතර පමණක් නොව වැදි ජනයා අතර ද මෙවැනි විශ්වාස පවතී. ඔවුහු ද වැස්ස වලාහක දෙවියන් උදෙසා පූජා පවත්වති. කළුගල් කැබලි දෙකක් රැගෙන ගසකට නඟින වැද්දා එය ගස මුදුනේ සිට ඇතිල්ලීමෙන් ගින්දර නොමැති විදුලියක් ඒ සමඟ තවත් අයෙකු බෙරයක් වැයීමෙන් අහසේ ගෙරවීමත්, තවෙකෙක් ගස මුදුනේ සිට වතුර ඉසීමෙන් වැස්සක් සංකේතවත් කරමින් වැස්ස ලැබෙන ආකාරය අනුකරණය කොට දක්වයි. එමඟින් ද බලාපොරොත්තු වන්නේ එදිනම හෝ දින කීපයකින් වැසි ලැබීමයි. අපි සිංහලයින්ද වැස්ස වලාහක දෙවියන් ලෙස වරුණ දෙවියා පිදීම ද මෙහිම එක්තරා කෙටසක් බව කිව හැකිය. එහෙත් සිංහලයින් වරුණ දෙවියා උදෙසා සෙත් කවි කියන චාරිත්‍රයක් ගම්බද පෙදෙස්වලින් අසන්නට ඇත.

 

මෙසේ වැස්ස වලාහක දෙවියන්ට පුරා දින හතක් තිස්සේ සෙත් කවි ගායනා කිරීමේදී හෝ කිරීමෙන් අනතුරුව වැස්ස ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. විශේෂයෙන්ම මෙවැනි විශ්වාස සමාජයෙහි පැවතීමට හේතුව ස්වභාව ධර්මයට අනුව සියලු සත්ත්වයාටම ජලය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. ගොවිතැන් බත් කරගැනීම සඳහා කලට වැස්ස අවශ්‍ය වනවා මෙන්ම අස්වනු කපා ගන්නා කාලයට ජලය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවක් ද ඇතිවේ. නොඑසේ නම් ජලයෙන් වන්නේ මහත් විපතකි. අකල් වැස්ස පිළිබඳව මිනිසුන් තුළ ඇත්තේ මහත්බියකි. මේ අනුව බලන විට මෙවැනි විශ්වාස මත ගොඩනැඟුණු යම් යම් ඇදහිලි ද ඇත. ඒවා පිළිබඳව ද මඳක් විමසා බැලීම මෙහිදී වැදගත්ය.

වැස්සට අධිපති වැස්ස වලාහක දෙවියන් විසින් මිනිසාට දෙන දායාදයකි ජලය. මේ නිසාම ස්වභාව ධර්මය දේවත්වයෙහිලා සැලකූ බව ඉතිහාසයෙන් ද පෙනේ. ඒවායේ එන ඇතැම් ගායනාවේ ද සංගීතාවේ ද ඇත.

භාරතීය මතයට අනුව ඉන්ද්‍ර යනු මේඝ හා ජලයයි. හිරු (සූර්යයා), අග්නි (ගින්දර), පරවින්‍ය (අහසට අධිපති) යනුවෙන් දෙවිවරු වේ. භාරතීයයන් ඔවුන් මුල්කොටගෙන කරගෙන ගිය ඇදහිලි ක්‍රම පසු කාලයේදී ලක්දිවට ද ගෙනෙනු ලැබීය. ඉන්පසු මේ රටේ පැවති චාරිත්‍ර වාරිත්‍ර හා එක්ව නව ඇදහිලි ක්‍රමයක් රටේ බිහිවිය.

පොසොන් පෝය දිනය සිංහලයාට මිහිඳු මහ රහතුන්ගේ වැඩමවීම නිසා වැදගත් වේ යැයි සැලකුව ද ඊට පෙරත් මෙම දිනය ජෙටඨ මූල (ජූලි - අගෝස්තු) නමින් වැදගත් විය. මහා වංශයට අනුව පැරැන්නන් මෙම දිනය වෙන්කරගෙන තිබුණේ සශ්‍රීකත්වය උදෙසා පුද පූජා පවත්වන කෙළිදෙලෙන් යෙදෙනු වස්ය. එදින විශේෂ පූජා ලැබුවේ වැස්සට අධිපති පර්ජන්‍ය (පර්වත) දෙවියාය. පසු කාලයේදී පොදොන - පොසොල යන නම් වලින් ප්‍රසිද්ධ විය.

අදත් දක්නට ලැබෙන “පැන් පෙරහැර” එනම් තිසා වැවවේ ජලයෙන් ශ්‍රී මහ බෝධිය, දෝවණය කිරීමේ උත්සවය විශේෂයෙන් වැස්ස හා නියඟය සම්බන්ධයෙන් පැවැත්වෙන්නකි. ශ්‍රී මහ බෝධියට මෙන්ම දළදාවට ද මෙම බලය ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසාම ඇතැම් කාලවලදී දළදා ප්‍රදර්ශනය පැවැත්විය. වැස්ස ලබාදීමේ බලය දළදාව සතුව පැවතීමෙන් රජ කෙනෙකුට කලට වැසි ලබාදීමේ රාජකාරියත් අයත්ව තිබුණ නිසා අනුරාධපුර යුගයෙන් පසුව පොළොන්නරු යුගයට රාජධානිය මාරුවීමත් සමඟම දළදාව අත්පත් කර ගැනීමට රජවරු පොර කෑ බවත් පෙනේ. මේ නිසා මහ ගම්පල ආදී පළාත්වලට රාජධානිය මාරුවීමත් සමඟම දළදාව ද ඒ ප්‍රදේශවලට රැගෙන ගියේය.

එපමණක් නොව මෙම මූලික සංකල්පය නිසාම වැව් බදු රජවරු වශයෙන් සැලකෙන මහසෙන් ආදී රජවරු දේවත්වයෙන් සැලකූ බව ඉතිහාසයේ දැක්වේ. ග්‍රාමීය මට්ටමින් බලන විට යම් යම් පුද පූජා හා ක්‍රීඩා මේ සම්බන්ධයෙන් ඇති බව පෙනේ.

වැස්ස ලබාගනු වස් කරන ශාන්ති කර්ම අතර උඩරට කොහොඹා කංකාරිය, රත්නපුර ප්‍රදේශයේ පහන්මඩු, පහතරට ප්‍රදේශවල ගම්මඩු යනාදී ශාන්තිකර්ම දැක්විය හැකිය. එසේම ක්‍රීඩා වශයෙන් පොර පොල් ගැසීම, අං ඇදීම, සොකරි නාටකය ආදිය මෙහිදී සඳහන් කළ හැකිය.

කෙසේ නමුදු අප මෙහිදී උත්සාහ ගත්තේ අපේ ජන ජීවිතයට ජීවය ලබාදෙනු ලබන වැස්ස පිළිබඳව මිනිසුන් තුළ පවතින දැනීම හා විශ්වාසයන් පිළිබඳව සමාලෝචනයක් ගෙන හැර පෑමට ය. වැස්ස නැතිව අපට ජීවත් විය නොහැකිය. එසේ නම් වැස්ස ලැබෙන්නේ කෙසේද? වැසි ලකුණු දැනගන්නේ කෙසේද? වැසි නැතිනම් අප කළ යුත්තේ කුමක්ද? වැසි අධික නම් කළ යුත්තේ කුමක්ද? යනාදී වශයෙන් මිනිසා අභිමුඛයේ ඇති ප්‍රශ්නාවලියට අපේ මුතුන් මිත්තන් පිළිතුරු සොයාගෙන ඇත්තේ මේ ආකාරයට යැයි අවසන් වශයෙන් සඳහන් කළ හැකිය.

බදුල්ලේ ධර්මසිරි පියසේන
(ඌව පළාත් නියෝජ්‍ය පෝස්ට්මාස්ටර් ජනරාල්)

Comments