මාලදිවයිනේ විදෙස් පිළිවෙතේ ප්‍රයෝජ්‍යතාව | Page 2 | සිළුමිණ

මාලදිවයිනේ විදෙස් පිළිවෙතේ ප්‍රයෝජ්‍යතාව

 අසල්වැසි මාලදිවයින් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ලබාදුන් තීන්දුවත් සමග දේශපාලන අර්බූදයක් මතුව තිබේ. ආණ්ඩුව ප්‍රථයෙන්ම එම තීන්දුවට ගරු නොකළ අතර පසුව ශේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකරු හා විනිසුරකු සහ හිටපු ජනාධිපතිවරයකු වන අබ්දුල් ගයූම් අත් අඩංගුවට ගත්තේ ය.

මහජන ඡන්දයෙන් බලයට පත්වූ මාලදිවයිනේ ප්‍රථම ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට ඉල්ලා අස්වීමට සිදුවූ සොඳුරු දේශපාලන කුමන්ත්රවණය සිදුවූයේ 2012 දී ය. ඔහුගේ හිසට තුවක්කුව එල්ල කර ඉල්ලා අස්වීම ලබා ගත් බව ජනාධිපතිවරයා පසුව ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව දිගින් දිගටම මාලදිවයිනට ඉහළින් දේශපාලන කළු වලාකුළු ඇති විය.

මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය ද සම්බන්ධ කර ගනිමින් දේශපාලන කුමන්ත්‍රණයක් ආරම්භ වූ බව වාර්තා වූ අතර වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ගමන් ගත් මිලිටරි බෝට්ටුවක 2015 වසරේ දී පිපිරීමක් ඇතිවීම මේ කුමන්ත්‍රණයේ තවත් එක් සිද්ධියක්දැයි කියන්නට තාමත් කාලය මදි ය.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා හා තවත් විනිසුරුවරයකු අත් අඩංගුවට ගැනීමෙන් පසුව වාර්තා වූයේ කිසියම් පාර්ශ්වයක් අල්ලස් ලබාදීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට අවශ්‍ය පරිදි තීන්දුවක් ලබා දී ඇති බවයි. පසුව වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් පෙර තීන්දුව සලකා බලා එය හකුලා ගත්හ.

මාලදිවයින කුඩා රාජ්‍යයක් වුවද එහි දේශපාලන අර්බූදය සමග මුළු ලෝකයම ඒ සම්බන්ධයෙන් උනන්දු වී තිබේ. අර්බූදය සම්බන්ධයෙන් එක්සත් ජනපදය, ප්‍රංශය, ඉන්දියාව, මහජන චීනය, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව ප්‍රකාශ නිකුත් කර තිබේ.

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් දැන් රැඳී ඉන්නේ ශ්‍රී ලංකාවේ ය. ඔහු ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ පිරිස් බලය යවා විනිශ්චයකරුවන් හා දේශපාලන සිරකරුවන් බේරා ගන්නා ලෙසයි. එසේම එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ මාලදිවයින සමග සියලු මූල්‍ය ගනුදෙනු අත්හිටුවන ලෙසයි. නෂීඩ්ගේ එම ප්‍රකාශයත් සමග මහජන චීනය වහා ප්‍රකාශයක් නිකුත් කළා ය. මහජන චීනයේ බලාපොරුත්තුව වූයේ කිසිවකු මිලිටරි අරමුණකින් මාලදිවයින් අර්බූදයට ප්‍රවේශ නොවිය යුතු බවයි.

නෂීඩ් තම ධූර කාලයේ දී ඉන්දියාව සමග සුහදව කටයුතු කළේ ය. එහෙත් ජනාධිපති අබ්දුල්ලා මහජන චීනය සමග කටයුතු කළේය. මේ නිසා ඉන්දියාව මෙන්ම මහජන චීනය ද මාලදිවයින සම්බන්ධයෙන් උනන්දු ය. එනිසා මාලදිවයින් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් කීවේ "තත්ත්වය සංකීර්ණ කරන්නා වූ පියවර ගැනීමෙන් තොරව මාලදිවයිනේ ස්වාධීනත්වයට ගරු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව වර්ධනාත්මක භූමිකාවක් පෙන්විය යුතු බවයි. :"

"ස්ට්‍රිංස් පර්ල්ස්" යනු ඉන්දියානු සාගර කලාපයේ මහජන චීන අභිලාශයන් නිරූපනය වන භූ විද්‍යාත්මක න්‍යායකි. මහජන චීනයේ සිට සුඩාන වරාය දක්වා පැතිරෙන මුහුදු මාර්ග සන්නිවේදනය දිගේ දිවෙන චීන හමුදාමය, වෙළෙඳ පහසුකම් ජාලය මීට අදාළ ය. එම උපක්‍රමශීලී ප්‍රවේශය මගින් මහජන චීනය පසුගිය කාලය පුරා මාලදිවයින සමග සමීප සබඳතා ඇති කර ගත්තේය.

ඉන්දියානු සාගර කලාපයේ වරායන් අතර ජාලයක් නිර්මාණය කර ගැනීමට මහජන චීනය මහන්සි විය. පසුගිය කාලය පුරා ඔවුන්ගේ වෙහෙස මහන්සියේ උපරිමය වූයේ මාලදිවයින සමග සබඳතා ගොඩනගා ගැනීමයි. ඒ නිසා මහජන චීනය හා මාලදිවයින අතර අලුත් ගනුදෙනු සිදු විය. මේ නිසා ඇතිවී පවතින දේශපාලන අර්බූදයේ දී ද මහජන චීනය ඊට මැදිහත් විය.

පසුගිය සතියේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කිරීම සඳහා මාලදිවයිනේ වත්මන් ජනාධිපති වරයා යොමුකර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම අවශ්‍ය බව පසුගිය බදාදා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ලිපියක් ලියමින් හිටපු ජනාධිපති නෂීඩ් කීය. එහෙත් කිසිම රාජ්‍යයක් ඒ සම්බන්ධයෙන් මෙතෙක් මැදිහත් නොවීම සැලකිය යුතු කරණකි. ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ ශක්තිමත්ම මිතුරා වී ඇත්තේ මහජන චීනයයි. එනිසා යාමීන්ගේ බල තුලනය ශක්තිමත් වී ඇත.

වත්මන් යුගය තුළ රටක විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේ දී ප්‍රයෝජ්‍යතාව ප්‍රමුඛ කාර්යක් ගනී. පරමාදර්ශයට විදේශ ප්‍රතිපත්තිය තුළ ඇත්තේ අවම ලංසුවකි. මාලදිවයිනටත් මේ ප්‍රතිපත්තිය අදාළවීම අහඹුවක් නම් නොවේ.

- අබරන්

Comments