
කියවීම වූ කලී ‘මිනිසා සම්පූර්ණ කරයි’ යන පාඨය අතීත මිනිසාට සේම තාක්ෂණික අතින් දියුණුවේ හිණිපෙත්තටම යන වර්තමාන මිනිසාට වුවත් එකසේ බලපානුයේ දැනුමෙන් පෝෂණය සඳහා තිබෙන හොඳම සහ සරලම ක්‍රමය කියවීම නිසායි. හැල්මේ දුවන තරගකාරී ජීවන රටාවෙන් හෙම්බත් වී සිටින වත්මන් ජනයාට කියවීම යනු එක්තරා ආකාරයක කාලය සමඟ කරන සටනකි. එහෙත් කියවීමට ඇල්මක්-රුචියක් දක්වන උදවියට නම් ඒ සඳහා වෙලාවක්, තැනක් නොතැනක් නොමැති තරම්ය. එවන් වූ ලොකු පොඩි සෑම දෙනා වෙනුවෙන්ම තුරු සෙවණක ඉදිවූ හරි අපූරු හරිත පුස්තකාලයක් දක්නට ලැබෙන්නෙ ජනාකීර්ණ බදුල්ල නගර මධ්‍යයේයි.
බදුල්ල නගරයට පිවිසෙන ඕනෑම කෙනකුට දැන් නිකරුණේ කාලය මිඩංගු නොකර නගරයේ ඔබ-මොබ ඇවිදිමින් හෙම්බත් නොවී නිදහසේ තුරු සෙවණේ සිසිලස විඳිමින් පොතක් පතක් කියවීමේ වරම හිමිව ඇත්තේය. මේ අපූරු ස්ථානය බදුල්ල නගර මධ්‍යයේ පිහිටි කච්චේරියට සහ පොලීසියට පිටුපස බිම් කැබැල්ලේ තුරු සෙවණය. එතැන තැන තැන ඉදිවූ බංකු මත වාඩිවී පොත පතෙහි ඇලී ගැලී සිටින පුද්ගලයන් සාමාන්‍ය දිනකදී එතැනට යන එන කාට වුව දැක ගත හැකිය. අද එතැන ඇත්තේ පොත්පත් කියවීමට හිතකර පරිසර හිතකාමී වටපිටාවකි. එහෙත් 2015 වර්ෂයට පෙර නම් එතැන වූයේ බදුලු නගරයේ සියලු කුණුකසළ ගොඩගැසු පළාතටම දුර්ගන්ධය පැතිරවූ බිම්කඩකි.
එවන් අප්‍රසන්න බිම් කැබැල්ලට මෙවන් ජීවයක් දෙමින් හරිත පුස්තකාලයේ නිර්මාතෘ බදුල්ල නගර සභාවේ හිටපු නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර මහතායි. වසර 10ක පමණ කාලයක් නගරාධිපතිවරයාව සිටි ඒ මහතා දැන් දේශපාලනයෙන් සමුගෙන නිදහසේ දිවි ගෙවයි.
“මම පුදුම විදිහට කියවීමට රුචියක් දක්වන කෙනෙක්. පෞද්ගලික සබඳතා මත එංගලන්තය වැනි රටවලින් පවා පොත්පත් ගෙනැවිත් බදුල්ල මහජන පුස්තකාලය පෝෂණය කරමින් ඉහළ මට්ටමින් සංවර්ධනය කළා. ඇත්තටම කොතරම් පොත් එකතු කරලා පුස්තකාල පිරෙව්වත් කියවන්න එන ජනයාගේ ප්‍රමාණය අඩු බව අපට තේරුණා. ඒකට හේතුව ලෙස මම දැක්කෙ මිනිස්සුන්ගේ තියෙන කාර්යබහුල ජීවන රටාව. මුලින්ම මේ ගස්කොළන් යට ඉදිකළේ මිනිස්සුන්ට වාඩිවෙලා වෙහෙස නිවාගන්න ස්ථානයක්. පස්සෙ හිතුණා මෙහෙම රැඳිලා ඉන්න පිරිසට පොත්පත් ටිකක් තිබුණොත් කියවයි කියලා.”
ඔහුගේ සිතුවිල්ල යථාර්ථයක් බවට පත්කිරීමට හේතු වූයේද ඔහුගේ හදවත වැළඳගත් පොතකි.
“චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය පරිවර්තනය කළ ‘අරණකට පෙම් බැඳ’ කියන කෘතිය තරම් ගහ කොළ මල් ගැන කියන සෞන්දර්යය විග්‍රහ කරන තවත් කෘතියක් ලෝකයේ සොයාගන්න බැරි තරම්. මොකද ඒ පොතේ ප්‍රධාන චරිතය මහා දැවැන්ත කැලයක් ඇතුළේ මල් වවනවා. මෙතරම් ගස්කොළන් තියෙන පොතපත කියවීමට රුචියක් දක්වන මිනිසුන් සිටින අපේ වැනි රටක සොබාදහමත් කියවීමේ ගුණයත් රැකගැනීමට යමක් කරන්න අපට බැරි ඇයි? මා මෙවැනි දෙයක් ක්‍රියාත්මක කළේ එනිසයි.” ගුණසේකර මහතා පවසයි.
මේ හරිත සෙවණේ මවක් දරුවකුද ඇකයේ හොවාගෙන පොතක් කියවයි. ක්‍රිකට් ආම්පන්න මල්ලක් කරේ එල්ලාගත් දරුවකු පොතක් කියවමින් එතැන ගත කරන්නේ ක්‍රිකට් පුහුණුවට තවත් කල් වේලා ඇති නිසාය. නගරයට ඇදී එන ලොකු පොඩි දහස් සංඛ්‍යාත ජනකායකගේ කියවීමේ රුචිය වර්ධනයට සේම නිකරුණේ කාලය කා දමන ඇතැමුන්ගේ සිත්සතන් පොතපත කෙරෙහි යොමු කරවීමටත් මේ හරිත පුස්තකාලය අපූරු තැනකි.
හරිත පුස්තකාලය පාලනය කෙරෙනුයේ බදුල්ල නාගරික ෙකාමසාරිස් අනුරාධා ෙහ්රත් මහත්මිය යටතේ තිබෙන නගර සභා මහජන පුස්තකාලය මගිනි. එහි පුස්තකාලායාධිපතිනී ටී. ජී. ආර්. රංජනී මහත්මියයි.
“මෙතැන අපේ පුස්තකාලයේ දෙදෙනෙක් සිටිනවා. ලොකු පොඩි සෑම දෙනා වෙනුවෙන්ම ඔබින පොත්පත් දහසකට වැඩිය තියෙනවා. ඊට අමතරව සෑම පුවත්පතක්ම සඟරාවක්ම පාහේ තිබෙනවා. නගරයට ඇදී එන ඕනෑම කෙනෙකුට පුළුවන් ඇවිල්ලා පොතක්පතක් රැගෙන නිදහසේ බංකුවක වාඩිවෙලා කියවන්න. ඒ සඳහා කිසිදු මුදලක් ගන්නෙ නෑ. ඊට අමතරව ඕනෑනම් පොත්පත් රැගෙන යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම දැන් සමහරු නිවෙස්වල තියෙන අමතර පොතපතත් අපට ගෙනත් දෙනවා.”
බදුල්ලට නගරයට දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත ජනකාය අතරින් වැඩි දෙනෙක් මේ වෙද්දී මෙතැනට පැමිණ යෑමට අමතක නොකරති. “පාසල්වලින් දරුවෝ ගන්න එන දෙමාපියන්, කාර්යාලවලින් වැඩක් කරගන්න එන ජනයා පැය ගණන් දැන් මේ ස්ථානයේ රැඳෙනවා. ඇත්තටම ඒ අය දැක්කම අපිට හරිම සතුටුයි. මොකද මේ අය දැන් හරි හරියට කියවන්න පුරුදු වෙලා. ඒ වගේම දරුවෝ ඇවිත් පොතපත අත ගානවා, කියවනවා.”
මිනිසා තුළ කියවීමේ රුචිය වර්ධනයට සේම පරිසරයට බැඳුණු කියවීමේ පුරුද්දකට ජනතාව හුරු කරලීමට මෙවැනි සංකල්පයක් රටපුරාම ව්‍යාප්ත කළ හැක්කේ නම් එය කෙතරම් අගනේද?
හරිත පුස්තකාලයේ නිර්මාතෘ හිටපු නගරාධිපතිවරයා වෙත නගරය අලංකාර කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන බොහෝ අදහස් වෙයි.
“1921 කොළඹ නගරය සංවර්ධනය කළේ ස්කොට් ජාතික පැට්‍රික් එරික් නමැත්තා. ඔහු කොළඹ නගර සභාව සංවර්ධනය කළේ පෙරදිග උද්‍යාන විදිහට. ඔහුගේ චින්තනය වුණේ සාම්ප්‍රදායට ගරු කරන නගරයක් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබිඹු විය යුතුයි කියන එක. ඒ වගේම නගරයක් සොබාදහමට ළංවිය යුතුයි කියන දේ. මේ කාරණා 1921 සමයේ ඉතාම හොඳින් කොළඹ මහ නගර සභාව තුළින් පිළිබිඹු වූ බවට සාක්ෂි තියෙනවා.
පැට්‍රික් මහතා බිහිකළ පෙරදිග උද්‍යාන ක්‍රමය නගර දියුණු කරන්න තියෙන හොඳම ක්‍රමය ලෙසයි මම අදටත් දකින්නෙ. මේ හෙට අනිද්දා ඔය පළාත් පාලන ආයතනවලට පත්වන පිරිස වුණත් නගර දියුණු කිරීමේදී මෙන්න මේ කියන චින්තන මතයි ඒ දේ කළ යුත්තේ.
නිදහසේ පරිසර සුවය විඳිමින් පොතක් පතක් කියවලා ඉතාම හොඳ මානසික තෘප්තියක් විඳිමින් නගරයෙන් පිටව යන්න පුළුවන්නම් එයයි නගරයකින් ජනයාට ලැබිය හැකි තෘප්තිය. මා ඇතිකළ හරිත පුස්තකාල සංකල්පය තියෙන්නෙත් මේ චින්තනය තුළයි.”