
අභිමානය
පෘතුගීසින්
ලන්දේසින්
ඉංග්රීසින්
සමඟ
හටන් කර
මුවහත් සිහළ කඩුව
බෝපත් මැද
ලෙළදෙන අපුරුව
මංජුල සෙනෙවිරත්න
පිබිදීම
නිදහස කෙලෙසද දන්නා අදහස නුඹගේ හිත අග රැඳුණ හැටී
උදහස් වෙන්නේ කුමටද සිනහව මුව තිබුණෝතින් හරිම වටී
සතුටක් ගෙන දෙන මධු මී බඳුනෙම මඳ දුර කර ලා ගනියි වැටී
මඳහස අවැසිම ලෝකයෙ කරුමය හැමදාටම හොර රහසෙ ගැටී
සුද්දාගෙන් ලක මුදවා ගන්නට එදවස විසුවලු අපෙ රාලේ
මටත් කොටසකුත් තියා ගියා අපෙ අත්තගෙ දිවි පැනයක තාලේ
හෙටත් නැවුම් දවසක් පිබිදෙනවා නිදහස් අඬහැරයේ දෑලේ
මමත් ඔබත් කොයිබම හිටියාදැයි සිහියට එනවා මට බාලේ
රාජ කිරීටයෙන් මිදීලා බලයක් අපසතු කරගත් කාලේ
කාට කියන්නද එදා හපන්කම් සිංහලයේ එඩියක රාලේ
ඊටත් නොදෙවෙනි වීර පුතුන්ගේ ළය රතු රුහිරෙන් පිරි තාලේ
රෑටත් නමදිමි මගේ උපන් රට සයුරෙන් වටවුණු මුතු මාලේ
මුදා ගත්ත රට බෙදා ගන්ට කවුරුන්දෑ අසිපත් ෙලළ දීලා
සදහට ණය ගැති රටක් සදාලා මෙදා සැවොම කුළල් කාලා
රඳවා ගන්නට නොහැකි ණය බරක් ලෝකයෙ සැම අත කිමිදීලා
නිදා ගන්න වෙයි හෙට දින අපටද යළිත් සදා ගොළුවන් වීලා
නලිනි ද සිල්වා
ශ්‍රී ලංකා
නිදහස් අරුණලු කිරණින් දිදුලන පින් බිම ශ්‍රී ලංකා
තෙවරක් බුදු හිමි සිරිපා පහසින් දම් දිනු ශ්‍රී ලංකා
නිල්වන් කෙත්වතු සුන්දර කඳු වැටි සිසිලයි ශ්‍රී ලංකා
නිදහස සමරන අද දින අප දිනු බිමයි ශ්‍රී ලංකා
වීර පුතුන්, නරපතියන්, බිහි කළ අප මවු බිම ශ්‍රී ලංකා
සාර පසින් ගහ කොළ දලු ලියලන මවු බිම ශ්‍රී ලංකා
ශූර වීර නර විරුවන් රජ කළ වීර භූමී ශ්‍රී ලංකා
ධීර වීර දූ පුතන් හදමු අපි දිනවන්නට ශ්‍රී ලංකා
එඩ්වඩ් පෙරේරා
කුමට කවි කම්...
නොකී රහසක් කියයි උදා හිරු නැඟ ඇත
මැකී යන බවක් නෑ දුරුත්තේ ආ සීත
වැකී ලෝහිත දහර ගලා එන ළඟ පාත
රැකී නැති නිදහස ට කෙසේ දෙන්නන ද දෑත
අරුණැල්ල නැගෙන සඳ නිදහස්ව පිපි කුසුම්
සිතුවිල්ල බොඳ නොවී ළඟ රැදීයන් පැතුම්
මැසිවිල්ල පමණක්ම ඉතිරි වී යන හැඟුම්
නැළවිල්ල මිස කොහෙද සොයන නිදහස උතුම්
සෙනෙහස දී කවි ලියන්න නංවා හැකි නම්
උදහස පිටුපා යනු ඇත සත තුළ මනරම්
රස බස ජීවය සරසයි පෙන්වා සුරුකම්
නිදහස නැති නිදහස ගැන කුමටද කවිකම්
චන්ද්‍රිකා දිසානායක
වීරයෝ
සිය දේශයේ අභිමන හිත් වල රඳවා
ලේ මස් දෙසට පොහොරක් වන්නට හරවා
සටනට එළඹ අදිරද වාදය පලවා
ලැබූ නිදහස රකිමු සිහිකර හෙළ විරුවා
සටනට ගියොත් නැහැ ආපසු හැරෙන්නේ
වෙඩි උණ්ඩයට ළය පා බිය කරන්නේ
සටනෙදි පරයො පසු නොබල දුවන්නේ
එහෙමයි සටන් කොට දේශය රකින්නේ
කඩුවෙන්, වෙඩිල්ලෙන් ජය අරගනු බැරුව
කොටවා ජාතියම දේශෙම වින කෙරුව
හෙළ අභිමානෙ තව දුර ඉවසනු බැරුව
හතළිස් අටේ නිදහස් විය ගරු සරුව
බැරි කොට සටන් වැද හෙළයන් පරදන්ඩ
ඇති කොට බේද උඩ ගෙඩි දෙති හෙළයන්ඩ
සිහි කොට නොදී ලද නිදහස නැතිවෙන්ඩ
දිවි කොට රකිව් නිදහස රට රැකගන්ඩ
දිනු බිම රකින්නට දිවි දුන් රණ විරුවෝ
මවු බිම කියන අභිමානය හිත දැරුවෝ
රණ බිම ජය බිමක් කරගත් හෙළ විරුවෝ
දණ බිම තබා නමැදිය යුතු පින් කරුවෝ
බණ්ඩාර ඇකිරියගල
රැකගමු...
නිදහස ලැබී හැත්තෑ වසරක් ගෙවන
හෙළ බස නිසා සිංහල ජාතිය වටින
පරබස සුරැක කුමකට මවු රට තියෙන
රට දෙස බලනු නුවණින් දැහැමිව ලැබුණ
කලින් කලට එන යන රජවරු පස්සේ
පෙළින් පෙළට එක්වෙති මිනිසුන් අස්සේ
මලින් මලට වැන්දත් දළදා රිස්සේ
රැකගන් ලැබුණ නිදහස හැම තිස්සේ
ආරිය අමර
රැකගමු එක් වී දිනු බිම සැමදා
එක් දස් නවසිය හතළිස් අටවැනි
වසරෙහි නිදහස අපහට හිමිවුණි
සුදු අදිරජ මහතුන් මින් පිටවුණි
කළු සුදු උතුමන් පෙරටම පැමිණුනු
හෙළ බස මව් බස ලෙස පිළිගත් මුත්
ඉංග්‍රිසි බස දෙඩුමෙත් අඩුවක් නැත්
කෙදිනක හෝ එම බස රජ වුවහොත්
එදිනට ලැබු නිදහස මුළු ගැන්වෙත්
පුමතිරි ලිඟු බැව් නොදැනෙන තරමට
සියල් සිහළ දන බටහිර ඇඳුමට
හුරු වී නම් ලැබු නිදහස එදිනට
දුරු වී යයි නොදැනම වළ පල්ලට
නැටුම් ගැයුම් හා වැයුම් ද රැඟුමන්
ඉවුම් පිහුම් කන බොන දෑ සමඟින්
සිරිත් විරිත් වෙනසට ගිය විගසින්
නිදහස දියවී බිහිවේ නිවටුන්
දෙදහස් හයසිය වසරක් පැවතෙන
උදාර ගොවිකම මිහිකත සමඟින
අත්හැර කණ දෑ නොරටින් ගෙන එන
හුරුවෙන තරමට නිදහස වැළලෙන
අන් රටකින් ණය ගෙන අප යැපෙනා
උන් බසට ද සිරිතට හැඩ ගැසෙනා
පමණට ලැබගත් නිදහස කෙදිනා
නැතිවන බව සිහි කටයුතු සොඳිනා
උඩුවර දේවානන්ද හිමි
ගොංගිතොට